ශ්‍රීමත් අයිසැක් නිව්ටන් විසින් සොයා ගන්නා ලද ගුරුත්වාකර්ෂණ නියමයන්ට අනුව තමයි පෘථිවිය ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මෙම නීතිය ක්‍රියාත්මක කළ නොහැකි සමහර ස්ථානවල ගුරුත්වාකර්ෂණ විෂමතා තියෙනවා. උදාහරණයක් විදිහට, මෝටර් රථයකට එහි එන්ජිම ක්‍රියා විරහිත කර තිබියදී කන්දක් ඉහළට යාම, දිය ඇල්ලක් පහලට නොවැටීම සහ ඉතා විශාල පර්වතයක් ඊට වඩා කුඩා ගලක් මත ඇද වැටෙන්නේ නැතිව අමුතු කෝණයකින් සමබරව පිහිටීම වැනි අවස්ථා හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ විදිහට පැහැදිලි කළ නොහැකි ආකාරයේ පෘථිවියේ ඇති අභිරහස් ගවේෂණය කරන්න කැමති ඔබ වෙනුවෙන් අද අපි ඉදිරිපත් කරන්නේ ගුරුත්වාකර්ෂණ නියම වලට පටහැනිව ක්‍රියාත්මක වෙන ස්ථාන කිහිපයක් ගැනයි.

01. එංගලන්තයේ ඉහළට යන දිය ඇල්ල.

අඩි හැත්තෑ අටක් පමණ උස මේ දිය ඇල්ල හේෆීල්ඩ් වලට නුදුරින් පිහිටා තිබෙනවා. සාමාන්‍ය ආකාරයට දිය ඇල්ලේ වතුර පහළට ගලනවා වෙනුවට මේ දිය ඇල්ලේ වතුර අහස දෙසට විසි කෙරෙනවා. මේ නිසා ඒක දිය ඇල්ලකට වඩා වතුර මලක් වගෙයි පෙනෙන්නේ. මේ අමුතු සංසිද්ධියට හේතුව තමයි සුළඟ. දියඇල්ල අසලින් හමන සුළඟ කෙතරම් ප්‍රබලද කියනවා නම්, වතුර පහලට නොවැටි සුළඟ විසින් වතුර අහස දෙසට විසි කිරීමට සමත් වෙනවා. නමුත් සෑම දිනකම ඒකාකාර ලෙස මේ තරම් ප්‍රබල සුළඟක්‌ හමන්නේ කොහේ සිට දැයි තවමත් අභිරහසක්.

02. ඇමෙරිකාවේ ඔරිගන්හි අද්භූත නිවස.

ඇමරිකාවේ “Oregon vortex” අසල වනාන්තරයේ කුඩා නිවසක් පිහිටා තිබෙනවා. ස්වදේශී ඇමෙරිකානුවන් විසින් එය “තහනම් භූමිය” ලෙසයි හඳුන්වන්නේ. මෙම නිවසේ යම් ගෝලාකාර බල ක්ෂේත්‍රයක් ක්‍රියාත්මක වෙන බව විශ්වාස කරනවා. එයින් අර්ධයක් පොළොව මට්ටමෙන් පහළටත්, අනෙක් අර්ධය පොළව මට්ටමෙන් ඉහළටත් ක්‍රියාත්මක වෙනවා. ඔබ‍ට මේ නිවස ඇතුලත සාමාන්‍ය ලෙස ඇවිදීමට නොහැකි වන්නේ ඔබ බිත්තිය අල්ලාගෙන ඇවිද්දේ නැතිනම් මුහුදට ඇද වැටෙන නිසයි. ඒ වගේම මේ නිවසේ ඇති එක් කොස්සක් කිසිම අයුරකින් බිමට වැටෙන්නේ නැහැ. ඔබ නිවසේ ඕනෑම ස්ථානයක එම කොස්ස තැබුවොත් එය සිරස් අතට දිගටම සිට වී තිබෙනවා. නිවස ඇතුලත සම්පූර්ණයෙන්ම පැතලි මතුපිටක පවා බෝල පෙරළී යනවා. සංචාරකයන් විසින් මෙහි පොළව සහ බිත්තිවල ආනතිය පරික්ෂා කළත් ඒවායේ මෙසේ බෝල පෙරලී යාමට කිසිදු ආනතියක් නැති බවත්, මතුපිටවල් සම්පූර්ණයෙන්ම සමතලා බවත් ඔප්පු වී තිබෙනවා.

03. ආර්මේනියාවේ ඇරගට්ස්(Aragats) කඳු පාමුල ඇති මාවත.

තුර්කිය සහ ආර්මේනියාව වෙන්කෙරෙන දේශ සීමාවේ ඇති ඇරගට්ස් නම් කන්ද නැරඹීමට බොහෝ සංචාරකයන් පැමිණෙන්නේ එහි ඇති ගුරුත්වාකර්ෂණයට විරුද්ධව සිදුවෙන අමුතු සංසිද්ධියක් අත්දැකීමටයි. ඔබ ඒ කඳු පාමුලට ඔබේ වාහනය ගෙනැවිත් එන්ජිම ක්‍රියා විරහිත කර තැබූවොත්, වාහනය විසින් ඉබේම කන්ද ඉහළට ගමන් කරනවා. ඒ අසලම ගඟකුත් ඇති අතර ඒ ගඟද උඩුගං බලා ගලන ගඟක්. සංචාරකයන් පවසන පරිදි එහි කන්ද පල්ලම් බැසීමට වඩා කන්ද නැගීම ඔවුන්ට පහසුවක්.

04. ඇමරිකාවේ නෙවාඩා හි හුවර් වේල්ල.

 

ඔබ මේ අඩි 726.4 ක්‌ උස වේල්ල මුදුනට නැග්ගොත්, ඔබ‍ට කුඩා අත්හදා බැලීමක් සිදු කරන්න පුළුවන්. ඔබ වේල්ල මුදුනේ සිට වතුර බෝතලයක් පහළට හලන්න. පුදුමයකට මෙන් වතුර පහලට නොවැටි උඩු අතට විසිරේවි. ඒ ආකාරයෙන්ම සැහැල්ලු වස්තුවක්‌ උඩ සිට පහළට අතහැරියොත් එය පහළට නොවැටී පාවෙමින් තිබේවි. මෙයට හේතුව ලෙස සැලකෙන්නේ වේල්ල අසලින් හමන අධික සුළඟයි.

05. ඇමරිකාවේ වයෝමින්ග් හි “යක්ෂයාගේ කුළුණ.” (Devil’s tower in Wyomin US)

බ්ලැක් හිල් හි, බෙයාර් ලොජ් රේන්ජර් දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෙම ස්වභාවික නිර්මාණය, එහි හැඩය සහ ප්‍රමාණය නිසා බොහෝ සංචාරක ආකර්ෂණයට ලක්වූ ස්ථානයක්. අඩි 1267ක් පමණක් උස් වුවත් එවරස්ට් කඳු මුදුන තරණය කළ අයට පවා මෙම යක්ෂයාගේ කුළුණ තරණය කිරීමට අපහසු බවයි පැවසෙන්නේ. එහි ඇති අධික බෑවුම් සහිත ස්වභාවය නිසා එහි උඩට නැගීම කළ නොහැක්කක් වන අතර වඩාත් අපහසු වන්නේ නැවත ආපසු බැසීමයි.

06. දකුණු කොරියාවේ අද්භූත මාවත.

 

දකුණු කොරියාවේ ජේජු දූපතේ ඇති මෙම මාවතේ බිම වැටී ඇති හිස් බෝතල් සහ කෑන් ඉබේම මාවතේ උඩු අතට පෙරළි යනවා. මේ මාවතට බොහෝ දෙනාගේ අවධානය යොමුවීමත් සමඟ බලධාරීන් විසින් ඉක්මනින්ම මෙය සංචාරක ස්ථානයක් බවට පත්කර තිබෙනවා. ඔවුන් විසින් මෙම ගුරුත්වාකර්ෂණ විෂමතාවය ආරම්භ වන ස්ථානයේ පුවරු පවා නිර්මාණය කර තිබෙන්නේ මෙහි එන සංචාරකයන්ට මාවත දිගේ බෝතල් සහ කෑන් තබා ඒවා ඉහලට රෝල් වී යන ආකාරය බැලීමටයි.

07. මියන්මාරයේ රන් ගල් තලාව.

රත්තරන් වලින් ආවරණය වී ඇති මෙම ගල්තලාව තවත් ගලක ගැට්ටේ පිහිටා ඇත්තේ ඕනෑම මොහොතක පහළට පෙරළී යාවි යැයි සිතෙන ආකාරයෙන්ය. නමුත් එය වසර 2500කටත් වඩා කාලයක් තිස්සේ එතන ඒ ආකාරයෙන්ම නොසැලී තිබෙනවා. මෙම ගල මුදුනේ චෛත්‍යයක්‌ ඉදිකර ඇති අතර ඔවුන් විශ්වාස කරන්නේ ඒ තුළ ඇති බුදුන් වහන්සේගේ කේශ ධාතූන් විසින් මෙම ගල මෙසේ නොවැටී රඳවා ගෙන තිබෙන බවයි. මිනිසා විසින් කිසිම ආකාරයකින් මෙය පොළොවට සවි කර නොමැති අතර ඕනෑම කෙනෙකුට අවශ්‍ය නම් එය එහාමෙහා කළ හැකිය. නමුත් වසර 2500 කටත් අධික කාලයක් තිස්සේ සොබාදහම විසින් එසේම තිබෙන්නට හැරිය මෙම ගල්තලාව කිසිවකු විසින් එහා මෙහා කිරීමට හැකි දැයි බැලීමට උත්සාහ කර නැත. පවසන ආකාරයට එය සෙලවිය හැක්කේ කාන්තාවකට පමණක් වන බැවින් එම ගල් තලාව ඇල්ලීම කාන්තාවන්ට තහනම්ය.

08. ආජන්ටිනාවේ ඩවස්කෝ පර්වතය.

බොහෝ කාලයක් ගුරුත්වාකර්ෂණය සමඟ සටන් කරමින් සිටි මේ පර්වතය නම් ඒ තරගය පැරදී තිබෙනවා. මොකද ටොන් 300ට වඩා බරැති මෙම පර්වතය වසර දහස් ගණනක් තිස්සේ තවත් පර්වතයක ගැට්ටේ තිබුණත් ඉන් පසු එය තරමක් ඇල වී තිබෙනවා. ප්‍රදේශවාසීන් විසින් එය පරික්ෂා කිරීමට පර්වතය ඇල වෙන පැත්තට යටින් වීදුරු බෝතලයක් තැබූවිට පර්වතයේ ඇල වීම සනාථ කරමින් එය පුපුරා ගොස් තිබුණා. 1912 පෙබරවාරි මස 29 වැනි දින මේ පර්වතය පහළට ඇද වැටී තිබුණා. ප්‍රදේශවාසීන්ට එය විශාල කම්පනයක් ගෙන දුන්නා. ඉන් අවුරුදු 95කට පසු එම ස්ථානයේම මේ පර්වතයටම සවිකර ඇති ටොන් 9ක්‌ පමණක් බර මිනිසා විසින් සකස් කළ ප්ලාස්ටික් අනුරුවක් දැන් එතන තැන්පත් කර තිබෙන්නේ පැරණි පර්වතය සිහි කිරීමටයි.