පෘථිවිය කියන්නේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන ග්‍රහලෝකයක්‌. ඉතින් මේ ලෝකය ලස්සන කරන්න අත්‍යාවශ්‍ය දෙයක් තමයි ශාක සහ සතුන් කියන්නේ. සතුන් ගැන කතා කිරීමේදී ඉතාම අහිංසක සතුන් වගේම භයානක දරුණු සත්ත්වයන් පවා සිටිනවා. ලොකු කුඩා භේදයක් නැතුව මේ ආකාරයෙන් සතුන් භයානක සහ දරුණු වීමට හේතුව තමා ප්‍රධාන වශයෙන්ම ආත්මාරක්ෂාව. එසේම ලෝකයේ සමතුලිතතාව පවත්වා ගැනීමට අහිංසක සතුන් වගේම දරුණු විලෝපිකයන් පවා අවශ්‍යයිනේ. ඉතින් අපි මේ ලිපියෙන් ඔබට කියන්න යන්නේ වාසනාවට වගේ අපට නිතර හමු නොවන, ලෝකයේ ඉන්න දරුණු සතුන් 10 දෙනෙක් ගැන. ලෝකයේ ඉන්න භයානකම සත්ත්වයන්ගේ ලැයිස්තුවේ අංක එකට එන්නේ කවුදැයි දැනගත්තොත් ඔබ පුදුම වේවි. ඒක දැනගන්න අවසානය වනතෙක් කියවා බලන්න.

10. කේප් බෆලෝ (Cape buffalo)

දකුණු අප්‍රිකාවේ කෘගර් ජාතික උද්‍යානයේ සහ උප සහරාන් අප්‍රිකාවේ(sub Saharan Africa) දක්නට ලැබෙන මේ, මී හරක් වර්ගය ලොව පුරා ලක්ෂ 9ක පමණක් ගහනයකින් යුක්තයි. නිතරම වගේ විශාල කණ්ඩායම් ලෙස හැසිරෙන ඔවුන් උදෑසන සහ සවස කණ්ඩායම් ලෙස තණබිම් උලා කෑමටත්, වතුර වලවල් අසල ගැවසීමටත් කැමති, හුදකලාව සිටිනවිට සාමකාමී සත්ත්වයන් පිරිසක්. නමුත් ඔවුන්ගෙන් එක් සතෙකුට හෝ විශේෂයෙන්ම පැටවෙකුට, තර්ජනයක් හෝ තුවාලයක් ඇති වුවහොත්, ඔවුන් ඔවුන්ගේ අන්වර්ථ නාමයේ ජීවමාන ස්වරූපය බවට පත්වෙනවා. මේ මී හරක් වර්ගයට ඇති අන්වර්ථ නාමය තමයි “කළු මරණය” (Black death) කියන්නේ. මහද්වීපය පුරා අනෙක් ඕනෑම ක්‍රමයකට සිදුවන දඩයක්කරුවන්ගේ මරණ වලට වඩා මේ මී හරකුන් නිසා සිදුවන මරණ ප්‍රමාණය අධිකයි. ඔවුන් තමාට තර්ජනයක් වන සත්ත්වයාට හෝ පුද්ගලයාට පහර දීමට පෙර කණ්ඩායම වශයෙන් වෘත්තාකාරව වටකර පැයට සැතපුම් 35 ක වේගයෙන් දිව විත් ඔවුන් මතට කඩා පනිනවා. අඩි හයක් පමණ උසට සහ ටොන් එකක් පමණ බරට වර්ධනය වන මේ දැවැන්ත මෘගයන්ගේ තියුණු අං සමග සෙල්ලම් කිරීමට නම් ඒ නිසා ඔබ කැමති වෙන්නේ නැති වෙයි. මේ සතුන්, තමන් තුවාල ලැබ සිටියදීත් පහර දීමටත්, ගමන් කරන වාහන වලට කඩා පැනීමටත් ප්‍රසිද්ධයි.

09. කෝන් ස්නේල් (Cone snail)

කැරිබියන් දූපත්, හවායි දූපත් සහ ඉන්දුනීසියාවේ හමුවන මේ අලංකාර සත්ව කොට්ඨාශය නිවර්තන කලාපීය උණුසුම් ජලයේ වාසය කරනවා. ඉතා මිල අධික වන දුඹුරු සහ සුදු පැහැති කටුව නිසා පහසුවෙන්ම හඳුනා ගත හැකි මෙම ගොලුබෙල්ලන් නොගැඹුරු ජලයේ, වෙරළට ආසන්න කොරල් පර සහ ගල්පර මත දක්නට ලැබෙනවා. නමුත් කිසිම විටෙක මේ අඟල් 4 -6 අතර ප්‍රමාණයක් වන ගැස්ට්‍රෝපෝඩාවන් ඇල්ලීමට නම් උත්සාහ කරන්න එපා. මොකද ඔවුන්ගේ සැඟවුණු තියුණු දත් වල කෝනෝටොක්සින්(conotoxin) නම් විසක් අඩංගුවෙනවා. මේ නිසා ඔවුන් ලොව සිටින විෂ සහිතම ගොලුබෙල්ලන් බවට පත්වෙනවා. ඉතින් මේ ගොලුබෙල්ලන්ගේ දෂ්ටනයට ලක් වූ අතළොස්ස අතරට එකතු වීමට තරම් ඔබත් අවාසනාවන්තයි නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න. කෙසේ නමුත් මේ ගොලුබෙල්ලන්ගේ විෂට ප්‍රති විසක් තවම නිපදවා නැහැ. ඔවුන්ගේ විෂ මගින් මිනිස්සුන්ගේ ස්නායු පද්ධතියේ ස්නායු සංවේදන ගමන් කිරීම නවතා දමන නිසා මිනිත්තු කිහිපයක් ඇතුළත අංශභාග තත්ත්වයට ගොදුරු වීම වැළැක්විය නොහැකියි. එමෙන්ම ඔවුන්ගේ අන්වර්ත නාමය වන “සිගරට් ගොලුබෙල්ලා”(Cigarette snail) යන නමට ගැළපෙන පරිදි ඔබට ඔබේ මරණයට පෙර වෙලාව ඉතුරු වන්නේ සිගරට් එකක් ඉරීම සඳහා ගතවන කාලය පමණයි.

08. ගෝල්ඩන් පොයිසන් ඩාර්ට් ෆ්‍රොග් (Golden poison dart frog)

“පොයිසන් ඩාර්ට්” යනු ඉතාම වර්ණවත් විශාල ගෙම්බන් වර්ගයක් වන අතර ඔවුන්ගෙන් අතළොස්සක් පමණයි මිනිසුන්ට මාරාන්තික වන්නේ. ඔවුන්ගෙන් වඩාත්ම විෂ සහිත වර්ගය වන්නේ “ගෝල්ඩන් පොයිසන් ඩාර්ට්” නම් කොලොම්බියානු පැසිපික් වෙරළ තීරයේ වැසි වනාන්තර වලින් හමුවන ගෙඹි වර්ගයයි. ඔවුන්ගේ වර්ගයේ අනිත් ගෙම්බන් මෙන් නොව මොවුන් අඟල් දෙකක් පමණ තරම් කුඩා වන අතර, ඔවුන්ගේ බැට්‍රකෝටොක්සින් (Batrachotoxin) නම් විස කෙතරම් ප්‍රබලද යත්, එක් ගෙම්බෙකු තුළ වැඩුණු මිනිසුන් දහ දෙනකු මරණයට පත් කළ හැකි තරම් විසක් අඩංගු වෙනවා. එයින් මයික්‍රෝග්‍රෑම් දෙකක් පමණ, එනම් ඉඳිකටු හිසක තරම් ප්‍රමාණයක් තමයි එක් මිනිසකු මරණයට පත් කිරීම සඳහා අවශ්‍ය වන්නේ. වඩාත්ම භයානක කාරණය වන්නේ මොවුන්ගේ විෂ ග්‍රන්ථි පිහිටා ඇත්තේ සමට යටින් වීමයි. මේ නිසා එම ගෙම්බෙකු ඇල්ලීම පමණක් ඔබව කරදරයට දැමීමට ප්‍රමාණවත්. මෙම වනාන්තර වල ජීවත්වන එම්බේරා නම් ස්වදේශීය ගෝත්‍රිකයන් සියවස් ගණනාවක් තිස්සේ ඔවුන්ගේ ඊ හිස් මම ගෙම්බන්ගේ විෂ පොවා භාවිතයට ගෙන තිබුණා. නමුත් වර්තමානයේ වනාන්තර විනාශය නිසා මෙම ගෙම්බන් වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටිනවා.

07. බොක්ස් ජෙලිෆිෂ් (Box jellyfish)

ඉන්දු පැසිෆික් ජලයේ, එනම් ඕස්ට්‍රේලියාවේ උතුරු වෙරළ තීරයට එපිටින් ජලයේ බොහෝවිට පාවෙමින් හෝ පැයට සැතපුම් 5ක පමණ වේගයෙන් පිහිනා යමින් දක්නට ලැබෙන මෙම විනිවිද පෙනෙන අපෘෂ්ඨවංශීන්, සාගර ජලයේ ජීවත් වන වඩාත්ම විෂ සහිත සත්වයන් ලෙස සැලකෙනවා. ඔවුන්ගේ නමේ කියවෙන ආකාරයටම පෙට්ටියක් වැනි ඔවුන්ගේ සිරුරු රාමුවේ කෙළවරින් අඬු 15ක්‌ පමණ විහිදෙන අතර ඒ සෑම එකක්ම අඩි 10ක් දක්වා වර්ධනය විය හැකියි. ඒ සෑම එකකම නෙමටෝසිස්ට් නම් සෛල දහස් ගණනක් ඇති අතර එහි අඩංගු වන විෂ මගින් හදවතට, ස්නායු පද්ධතියට සහ සමේ සෛල වලට එකවර පහර දෙනවා. මෙම විෂට ප්‍රතිවිෂක්‌ ඇති නමුත් වසරකට සිය ගණන් වාර්තා වන මෙම ජෙලිෆිෂ් ප්‍රහාරයන්ට ලක්වන මිනිසුන් බොහෝ විට වෙරළට ලඟා වීමට පෙර කම්පනය නිසා හෝ හදවත නතර වීම නිසා ගිලී මරණයට පත් වෙනවා. ඉතාම කලාතුරකින් වන පරිදි වෙරළට පිහිනාවිත් රෝහලකට ගොස් ප්‍රතිවිෂ ලබා ගත්තත්, සති ගණනක් යනතුරු වේදනාවෙන් සිටීමට සහ ජෙලිෆිෂ්ගේ අඬු වලට හසු වීමෙන් ඇති වූ දරුණු කැළැල් සමඟ ජීවත් වීමටත් ඔබට සිදු වේවි.

06. පෆර් ෆිෂ්/බ්ලෝ ෆිෂ් (Puffer fish/blow fish)

ජපානය චීනය පිලිපීනය ඇතුළු ඕනෑම නිවර්තන කලාපීය මුහුඳකින් හමුවන මේ මාළුන් වර්ගය මිහිපිට ජීවත්වන වඩාත්ම විෂ සහිත පෘෂ්ඨවංශීන්ගේ දෙවන ස්ථානයට පත් වන අතර විෂ ඔවුන්ගේ සම, මාංශපේශී වල, අක්මාවේ, වකුගඩු වල සහ ලිංගේන්ද්‍රයන්හි අඩංගු වෙනවා. මුහුදේදී මේ සත්වයෙකු හා ගැටීමෙන් සිදු වන මරණ ප්‍රමාණයටත් වඩා වැඩි මරණ ප්‍රමාණයක් සිදුවන්නේ මේ මත්ස්‍යයන් ආහාරයට ගැනීම නිසයි. ජපානයේ මේ මත්ස්‍යයන් “ෆුගු” නම් සුවිශේෂී ආහාරයක් ලෙස පිසිනවා. එම මාළුන් පිසීම කළ හැක්කේ පළපුරුදු බලපත්‍ර ලත් විශේෂ කෝකියන්ට පමණක් වන නමුත් වසර පුරාම අත්වැරදීම් නිසා සිදුවන විෂ ශරීරගත වීම් ජපානයෙන් වාර්තා වෙනවා. ටෙට්‍රෝඩොටොක්සින් නම් මෙම මත්ස්‍යයන් සතු විෂ, සයනයිඩ් වලට වඩා 1200 වාරයක් පමණ ප්‍රබලය. මෙම විෂ නිසා තොල් සහ දිව අක්‍රීයවීම, කරකැවිල්ල, වමනය හදවතේ රිද්මය අක්‍රමික වීම, මාංශ පේශි අක්‍රිය වීම, හුස්ම ගැනීමේ අපහසුතාවය ආදී ලක්ෂණ ඇතිවිය හැකි අතර ඉක්මනින් ප්‍රතිකාර නොකළහොත් මරණය පවා ඇතිවිය හැකිය.

05. බ්ලැක් මැම්බා (Black mamba)

විවිධ සර්පයන් ඔවුන්ගේ විෂ නිසා මාරාන්තික වන නමුත් දකුණු සහ නැගෙනහිර අප්‍රිකාවේ සැවානා වනාන්තර සහ ගල් සහිත ප්‍රදේශ වල හමුවන කළු මම්බා භයානක වන්නේ උගේ අධික වේගය නිසයි. අඩි 14ක් පමණ දිගට වර්ධනය වන මෙම සත්වයා උගේ පැයට සැතපුම් 12.5 ක පමණ අධික වේගයත් සමඟ මිහිපිට ජීවත්වන වේගවත්ම සර්පයා බවට පත්වෙනවා. වාසනාවකට මෙන් ඔවුන් පහර දෙන්න ඔවුන්ට තර්ජනයක් එල්ල වූ විට පමණක් වුණත්, එසේ පහර දෙන විට ඔවුන් හඹා ගෙන ගොස් පහර දී එක දිගට නැවත නැවතත් සපාකෑම සිදු කරනවා. ඒ එක් සපාකෑමක මිනිසුන් 10 දෙනකු මරණයට පත් කළ හැකි විෂ අඩංගු වෙනවා. එය හෘදයට සහ ස්නායු වලට බලපෑමක් එල්ල කරන විෂ වර්ග දෙකක සම්මිශ්‍රණයකි.මිනිත්තු 20ක් ඇතුළත ප්‍රතිවිෂ නොලැබුණහොත් එම විෂ තිබෙනවාට වඩා සිය ගුණයකින් මාරාන්තික වෙනවා.

04. සෝල්ට්වෝටර් ක්‍රොකඩයිල් (Saltwater crocodile)

ඉන්දියාව සහ වියට්නාමය අසල ප්‍රදේශයේ සිට උතුරු ඕස්ට්‍රේලියාව දක්වා වන ඉන්දු පැසිපික් කලාපයෙන් හමුවන මෙම කරදිය කිඹුල් වර්ගය ඉතා ඉක්මනින් කෝපයට පත්වන, තමා පසු කර යන ඕනෑම දෙයක් කෙරෙහි කලහකාරීව හැසිරෙන කොට්ඨාශයකි. මෙම මාරක සත්වයා අඩි 23 ක් දක්වා දිගින් සහ බරින් ටොන් එකකටත් වඩා වර්ධනය වන අතර වාර්ෂිකව මරණ සිය ගණනක් සඳහා වගකිව යුතු වෙනවා. වාර්ෂිකව සිදු වන මොනර ප්‍රහාරයන් ටත් වඩා වෙන කිඹුලන් නිසා සිදු වන මරණ ප්‍රමාණය වැඩිය. කරදිය කිඹුලෙකු ලෙස නම් කෙරුනත් මේ සත්වයා වඩාත් මාරාන්තික වන්නේ ඌට කරදිය සහ මිරිදිය යන දෙකෙහිම ඉතා හොඳින් පිහිනීමට ඇති හැකියාව සහ වර්ග අඟලකට රාත්තල් 3700ක පීඩනයකින් යුතුව කෙරෙන සපාකෑම නිසයි. එම ප්‍රමාණයක් ගැන සිතා ගැනීමට ඔබට අපහසුනම් අප ඔබට උපකාරයක් ලෙස මෙසේ පවසන්නම්. සාමාන්‍ය මිනිසෙකු මස් කැබැල්ලක් සපන පීඩනය වන වර්ග අඟලට රාත්තල් 200ක පීඩනය මෙම කිඹුලාගේ හකු වලින් කෙරෙන සපා කෑමකින් 5%ක්‌ වැනි කුඩා ප්‍රමාණයකට සමානයි.

03. සෙට්සේ ෆ්ලයි (Tsetse fly)

සුඩානය, කොංගෝ රාජ්‍යය සහ ඇංගෝලාව වැනි රටවල් වලින් හමුවන මේ මැස්සා ලොව වඩාත්ම භයානක මැස්සා ලෙස හැඳින්වෙන අතර 8 -17mm අතර ප්‍රමාණයකට හෝ සාමාන්‍ය ගෙමැස්සෙකුගේ ප්‍රමාණයට වර්ධනය වෙනවා. මෙම මැස්සන් ලේ උරා බොන්නන් වගේම Trypanosomes නම් පරපෝෂිතයාගේ වාහකයා ලෙසද ක්‍රියා කරනවා. මෙම ක්ෂුද්‍ර රෝගකාරකයා නිසා ස්නායුමය ගැටලු සහ මෙනින්ජයිටිස් රෝගයට සමාන රෝග ලක්ෂණ ඇතිවන “අප්‍රිකානු නිද්‍රා රෝගය” (African sleep sickness) ඇතිවිය හැකියි. එහිදී හැසිරීමේ වෙනස්කම්, සමායෝජනය දුර්වලතා සහ නින්ද සම්බන්ධ ගැටලු ඇතිවිය හැකියි. ප්‍රතිකාර නොකළහොත් මරණය පවා ඇතිවිය හැකියි. නමුත් ඇත්ත වශයෙන්ම මෙම රෝගයට නිශ්චිත ලෙස සොයාගත් එන්නතක්‌ හෝ ප්‍රතිකාරයක් නොමැති බැවින් ආරක්ෂා වීමේ උපක්‍රම ලෙස ලා පැහැති වර්ණ වල ඇඳුම් ඇඳීමත්(මේ මැස්සන් දීප්තිමත් වර්ණ කෙරෙහි වැඩියෙන් ආකර්ෂණය වන නිසා )දහවල් කාලයේ දී වනාන්තර වල පඳුරු අසළ නොගැවසී සිටීමත් නිර්දේශ කෙරෙනවා.

02. මදුරුවා (Mosquito)

ඇන්ටාක්ටිකාව හැරුණුකොට ලෝකයේ ඕනෑම කලාපයකින් හමුවන සාමාන්‍ය මදුරුවා අපගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත් වන්නේ 3000කටත් වඩා අධික මදුරු විශේෂ අතරින්, බොහොමයක් දෙනා මාරාන්තික රෝග කාරකයන් රැගෙන යන වාහකයක් ලෙස ක්‍රියාකරන බැවිනි. මුලික වශයෙන් ඊඩීස්, ඇනෝෆිලස් සහ කියුලෙක්ස් වර්ග වලට අයත් රෝගකාරකයන් මගින් මැලේරියාව, චිකුන්ගුන්යා, එන්සෙෆලයිටිස්, එලිෆන්ටියසිස්, කහ උණ, ඩෙංගු, බටහිර නයිල් වයිරසය සහ සීකා වයිරසය වැළඳිය හැකි අතර වාර්ෂිකව එම රෝග වලට ලොව පුරා මිලියන 700ක්‌ පමණ ගොදුරු වීමත්, දළ වශයෙන් 725 000 පමණ දෙනා මියයාමත් සිදු වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව මේ වන විට ලෝක ජනගහනයෙන් අර්ධයකටත් වඩා මදුරුවන් නිසා වැළඳෙන රෝග වලට ගොදුරු වීමේ අවදානමට ලක්ව සිටිනවා. මදුරුවන් ආකර්ෂණය වන්නේ මිනිසුන්ගේ ශරීර උෂ්ණත්වයට සහ ප්‍රාශ්වාස කිරීමේදී පිටවන කාබන්ඩයොක්සයිඩ් වලටයි. මේ නිසා මදුරුවන් පලවා හැරීමට දැනට ඇති හොඳම උපක්‍රමය වන්නේ මදුරු විකර්ශක භාවිතය පමණි.

01. මිනිසා.

පුදුමයට පත් වුණාද? නමුත් මිනිසා කියන්නේත් සත්වයෙකු වීමත්, ආදි කාලයේ පටන් මිනිසා ගහ මරා ගැනීම නිසා සිදු වන මරණත් හේතුවෙන් අප මේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්වීම පුදුමයක් නොවෙයි. දැනට අවුරුදු දහයකට පෙර ගත් වාර්තා වලට අනූව පමණක් ලොව පුරා යුද මරණ මිලියන 150ත් බිලියනයත් අතර ප්‍රමාණයක් වෙනවා. අතීතයේ ගෙවුණු මොන යුගයටත් වඩා මේ ගෙවෙන්නේ මිනිසාගේ වඩාත්ම සාමකාමී කාල පරිච්ඡේදය යැයි ඇතැමුන් පැවසුවත්, දැනට ලොව පුරා පවතින යුද්ධ සහ කෝපය, වෛරය, ආගම් ජාති භේද වැනි විවිධ හේතු මත ගහමරා ගන්නා මිනිසුන් දෙස බැලූ විට, සාමකාමී බව නම් අසලකවත් පෙනෙන්නට නැත. මිනිසා මිහිපිට ජීවත් වෙන ඕනෑම සත්වයකුටද තර්ජනයක් වේ. ගෝලීය උෂ්ණත්වය, වනාන්තර හා කොරල්පර විනාශ කිරීම, පරිසර දුෂණය, දඩයම, විද්‍යාත්මක පරීක්ෂණ, අවි ආයුධ ආදී විවිධ දේවල් ලෙස මිනිසා යනු ඕනෑම භයානක යැයි කියන සත්ත්වයකුට වඩා භයානක කොට්ඨාශයකි. මේ ලැයිස්තුවේ පළමු තැනට මිනිසා ඒමට ප්‍රධානම හේතුව වන්නේ සත්ව ලෝකයේ බුද්ධිමත්ම ජීවියා මිනිසා වීමයි.