යූ ටියුබ් කියන්නේ මේ වන විට ලෝකයේ ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක වීඩියෝ මුදා හැරිය හැකි, වීඩියෝ බැලිය හැකි, බෙදාහදා ගත හැකි වෙබ් අඩවියක්. එහි යූ ටියුබ් චැනල සහ ඒවාට ඇතුලත් කරන ලද වීඩියෝ ගණන් කළ නොහැකි ප්‍රමාණයක් තිබෙනවා. නමුත් ඔබ කවදා හෝ සිතා බැලුවාද යූ ටියුබයේ ආරම්භය සහ එයට ඇතුළත් කළ පළමු වීඩියෝව කුමක්ද කියා? අපි මේ ලිපියෙන් ඒ පිළිබඳව සොයා බලමු.

යූ ටියුබයට මුදාහැරි පළමු වීඩියෝව වන්නේ “Me at the zoo” නම් වීඩියෝවයි. ඒ 2005 අප්‍රේල් 23 වන දින වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජාවෙඩ් කරීම් විසිනි. “Jawed” නම් පරිශීලක නාමය යටතේ ඇතුලත් කරන ලද එම වීඩියෝව රූගත කරන ලද්දේ ඔහුගේ උසස් පාසලේ මිතුරකු වූ යාකෝව් ලැපිට්ස්කි විසිනි. ඔහු ඔහුගේ යූ ටියුබ් ගිණුම ආරම්භ කරන ලද්දේද එදින වන අතර ඉංග්‍රීසි භාෂාවෙන් තත්පර 18ක් පුරා දිවෙන මේ වීඩියෝව ඔවුන් සැන් ඩියාගෝ සත්තු වත්තේ අලින් ඉදිරිපිට සිට රූගත කරන ලද්දක්.

පහත දැක්වෙන්නේ එම වීඩියෝවේ ඔහු පැවසූ දෑ වල දළ පරිවර්තනයක්‌. ” හොඳයි එහෙනම්..අපි දැන් ඉන්නේ..ම්ම්.. අලින් කිහිපදෙනෙක් ඉදිරිපිට. මේ අලි මිතුරන් ගැන සිත් ඇදගන්නා සුලු දේ තමයි.. අර්ම්ම්.. එයාලට ගොඩක්.. ගොඩාක්.. දිග හොඬවැල් තියෙනවා. ම්ම්ම්… ඇත්තෙන්ම ඒක නියමයි! ඒ වගේම මං හිතන්නේ අපිට දැනට කියන්න තියෙන්නේ එච්චරයි. ” තත්පර 18 ඇතුළතදී ජාවෙඩ් වීඩියෝවේ ඉදිරිපත් වලින් මේ සුළු ප්‍රකාශය පමණයි. කෙසේ නමුත් ලොස් ඇන්ජලීස් ටයිම්ස් 2009 දී ප්‍රකාශ කළේ, “යූ ටියුබය වෙත ඇතුලත් කරන ලද පළමු වීඩියෝව වශයෙන් එය මිනිසුන් මාධ්‍ය භාවිතා කරන ආකාරය මූලික වශයෙන් වෙනස් කළ අතර ‘තත්පර 60 ක වීඩියෝ’ වල ස්වර්ණමය යුගයක් ඇරඹීම උදෙසා එය උපකාරී වු බවයි.

නමුත් ඊට ප්‍රතිවිරුද්ධ ලෙස “ද ඔබ්සර්වර්” පුවත්පත ප්‍රකාශ කළේ එම වීඩියෝවේ ගුණාත්මකභාවය ඉතාම දුර්වල මට්ටමක පිහිටි බවයි. කෙසේ නමුත් “බිස්නස් ඉන්සයිඩර්” විසින් මෙම වීඩියෝව එදා මෙදා තුර යූ ටියුබයට ඇතුලත් කල වැදගත්ම වීඩියෝව ලෙස නම් කර ඇත්තේ එම වීඩියෝව මුළු යූ ටියුබ් වෙබ් අඩවියම නියෝජනය කරන්නක් බව පවසමිනි. ඔවුන්ට අනුව යූ ටියුබ් වීඩියෝවක් ඉතා විශිෂ්ට එකක් විය යුතු නැති අතර, මිනිසුන් වෙත ලඟාවිය හැකි එකක් පමණක්‌ වීම ප්‍රමාණවත්ය. පළමු යූ ටියුබ් වීඩියෝව ඕනෑම මිනිසෙකුට තමන් විසින්ම නිර්මාණය කළ හැකි ආකාරයේ සරල වීඩියෝවක් බව ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කලා.

“නිව් යෝර්ක් ඔබ්සර්වර්” විසින්ද එය යූ ටියුබ් ඉතිහාසයේ වැදගත්ම වීඩියෝව ලෙස නම් කරන ලද අතර ඔවුන් පවසන්නේ එය කෞතුක වස්තුවක් බඳු දෙයක් බවයි. “බස් ෆීඩ් නිව්ස්” විසින්ද එය අන්තර්ජාලයේ ඇති වැදගත්ම වීඩියෝ 20 අතරට ඇතුළත් කර ඇත.
එලෙස තත්පර 18 වීඩියෝවකින් ආරම්භ කරන ලද යූ ටියුබය මේ වන විට පැය ගණන් දිගු චිත්‍රපටි ආදී ලක්ෂ සංඛ්‍යාත වීඩියෝවල නවාතැන බවට පත් වී තිබෙනවා. එම වීඩියෝවේ ගුණාත්මක බව සහ මිනිසුන්ට ඇති වැදගත්කම කෙසේ වෙතත්, අද වන විට අපට නැතුවම බැරි නිෂ්පාදනයක ආරම්භය සනිටුහන් කළ එම වීඩියෝව ගැන වසර 15කට පසු අද අපිට දැනෙනවාට වඩා වැදගත්කමක් අනිවාර්යෙන්ම අනාගතයේදී දැනෙනු ඇත.