සියලුම ශ්‍රේෂ්ඨ මනසවල් හිතන්නේ එකම ආකාරයට යැයි කිව්වත් ඒ පිළිබඳව නම් ඇත්තේ සැකයක්. කෙසේ නමුත් ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් සියලුම දෙනා සතු එක පොදු ලක්ෂණයක් තිබෙනවා. ඒ තමයි එක එක්කෙනාට ආවේණික වූ අමුතු හැසිරීම්. ශ්‍රේෂ්ට විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ටත් මේ ආකාරයේ අමුතු ගති පැවතුම් තිබී තිබෙනවා. උදාහරණයක්‌ ලෙස කවදාවත් මේස් නොපැළඳීම සහ යකඩ හැන්දක් අතේ තබාගෙන නිදා ගැනීම වැනි පුරුදු. ඉතින් මෙවැනි චර්යා අනුගමනය කිරීමෙන් අපිටත් බුද්ධිමතෙකු විය හැකිද? ඒක නම් අපි ඔබට තහවුරු කරලා කියන්නේ නැති උනත් ඔහුගේ ඒ චර්යාවන් දැනගෙන සිටීමේ නම් වරදක් නැහැ. ඒ නිසා ලිපිය කියවලම බලන්න!

01. මේස් තහනම් !

ඔව් ! කිසියම් හේතුවකට ඇල්බට් අයින්ස්ටයින් මේස් පැළඳීමට ඉතාමත් අකමැති වුනා. වරක් ඔහු ඔහුගේ බිරිඳ එල්සාට යැවූ ලිපියක සඳහන් කළේ තමාගේ නිරාවරණ දෙපා වසා ගැනීමට මේ නිසා ඔහුට නිතරම උස් බූට් සපත්තු පැළඳීමට සිදුවන බවයි. මේ පුරුද්ද ඇත්තෙන්ම ඔහුට යම්කිසි වාසි සහගත ආකාරයකට බලපෑවාද? කෙසේ නමුත් ශිත ඍතු වලදී පවා මේස් නොපැලැඳ ආරක්ෂාකාරීව සිටීමට තරම් ඔහුට සවිමත් ප්‍රතිශක්තිකරන පද්ධතියක් තිබී ඇති බව නම් සහතිකයි. සැබැවින්ම අයින්ස්ටයින් මේස් නොපැලඳිමට හේතුව වන්නේ කුඩා කාලයේ දී ඔහුට ලබා දුන් අලුත්ම මේස් ජෝඩුවක පවා සිදුරක් සාදා ගැනීමට ඔහුට යන්නේ දිනක් හෝ දෙකක් පමණක්‌ වීමයි. ඔහු කෙතරම් බුද්ධිමත්ද කියනවා නම් ඔහුගේ වටිනා අදහස් සඳහා ඇති කාලය, කරදරකාරී මේස් දෙකක් වෙනුවෙන් යෙදවීමට ඔහු අකැමැති වුණා විය හැකියි. ඒ නිසා එකල පටන් ඔහුගේ මරණය දක්වාම ඔහු කිසිම අවස්ථාවක මේස් පැළඳ නැහැ.

02. කාඩ් නිවාස.

ඇල්බට් අයින්ස්ටයින් කුඩා කාලයේ සිට ඇති කරගෙන තිබූ තවත් පුරුද්දක් තමයි කාඩ් කුට්ටමේ කාඩ්, ත්‍රිකෝණාකාරව එක මත එක ගොඩ ගසමින් “කාඩ් නිවාස” සෑදීම. වරක් ඔහු තට්ටු 14ක කාඩ් නිවසක් පවා සෑදුවා. ඔබත් මේ ක්‍රීඩාවේ නියැලිලා තියෙනවා නම් ඔබ දන්නවා ඇති ඒ සඳහා කොපමණ ඉවසීමක් සහ අවධානයක් යෙදවීම අවශ්‍ය ද කියලා. අයින්ස්ටයින් වැනි බුද්ධිමතෙකු වීමට ඔබත් අද සිට කාඩ් නිවාස සෑදීම ආරම්භ කළ යුතු බව අපි යෝජනා කරන්නේ නැහැ. නමුත් ඔහුගේ මෙම පුරුද්දෙහි ඇති බලපෑම ගැන අපි කල්පනා කළ යුතුයි. ඔබ මේ ආකාරයේ යාන්ත්‍රික ක්‍රියාවලියක්‌ සඳහා මොළය යෙදවීමේදී, මොළය විසින් අපගේ පරිකල්පන හැකියාව මුදාහැරෙනවා. ඔබ එයට අවධානය වැඩිපුර යොදවන තරමට ඔබගේ ප්‍රතිඵලත් වැඩි වේවි. කෙසේ නමුත් ඕනෑම අවස්ථාවක අපගේ මොළය කාර්ය බහුලව තැබීමේ කිසිදු වරදක් නැහැ. ඉතින් බරපතළ ක්‍රියාවකට වඩා මෙවැනි සරල ක්‍රියාවක් මගින් අපගේ මොලයට ව්‍යායාමයක් ලබා දීමේ වරදක් නැහැ නේද?

03. වයලින් වාදනය.

කුඩා අයින්ස්ටයින් කාඩ් නිවාස සෑදීමට කැමැත්තක්ද දැක්වුවත් ඔහුගේ මව නම් තමන්ගේ පුතා වෙනුවෙන් ඊට වඩා ප්‍රයෝජනයක් සහිත යමක් ගැන උනන්දුවක් දැක්වුවා. ඒ අනුව ඈ තෝරා ගත්තේ වයලිනයයි. අයින්ස්ටයින් නම් මුලදී වයලීනයට කැමති වුනේ නැහැ. නමුත් පසුව වයස අවුරුදු 13දී ඔහු මොසාර්ට් ගේ සංගීතයට සවන් දීමෙන් පසු වයලීනයට සැබැවින්ම කැමතිවුනා. එතැන් සිට ඔහු කිසිදිනක වයලින් වාදනය අතහැරියේ නැහැ. එයින් අපට උගත හැකි පාඩම තමයි යමක් ගැන අපගේ පළමු හැඟීම කුමක් වුවත්, ඒ පිළිබඳව කුතුහලයක් ඇති කර ගැනීමෙන් සහ වැඩිදුර ඉගෙන ගැනීමෙන් අපට ඒ පිළිබඳව කැමැත්තක් ඇති කරගත හැකි බව.

අපගේ මොලයට විවේකයක් ලබා දීමට ඇති හොඳම ක්‍රමය තමයි අප කරමින් සිටින ක්‍රියාව වරින් වර මාරු කිරීම. ගණන් හදලා මහන්සි නම් ඔබට පුළුවන් ගිටාරය වාදනය කරන්න. ගිටාරය වයා වෙහෙසයි නම් ඇවිදින්න යන්න. එහෙමත් නැත්නම් ඡායාරූපකරණයේ යෙදෙන්න. තාර්කික යමක් කිරීමෙන් පසු මොළයට විවේකයක් ලබා දීමට හොඳම ක්‍රමය වන්නේ කලාකාමී දෙයකට මාරු වීමයි. කොහොම වුණත් කෙටි නින්දකින් ලැබෙන විවේකයට නම් ඒ කිසිම දෙයක් සම කරන්න බැහැ. අයින්ස්ටයින් අනිවාර්යෙන්ම මේක දැනගෙන සිටියා!

04. පැය 10ක නින්ද.

ඔව්! අයින්ස්ටයින් දිනපතා පැය 10 ක රාත්‍රි නින්දක් ලබා ගත්තා. එය සාමාන්‍ය මිනිසෙකු විසින් ලබා ගත යුතු යැයි නිර්දේශ කරන ප්‍රමාණයට වඩා පැය දෙක තුනකින්ම වැඩියි. අනිවාර්යෙන්ම අයින්ස්ටයින් කම්මැලියෙකු නම් නොවේ. අපි හැමෝම දන්නවනේ මොළයට හොඳ උත්තේජනයක් සහ විවේකයක් ලබා දීමට නින්ද අත්‍යාවශ්‍ය බව. ඒ වගේම අපි එක එක්කෙනාගෙන් වෙනස්. ඒ අනුව අපි වැනි ඇතැම් අයට පැය 6 ක නින්දක් වුනත් ප්‍රමානවත් උනාට, අයින්ස්ටයින් වැනි ඇතැම් අයට පැය 10ක ලබා නින්දක් උවමනා විය හැකියි. තමන්ගේ ජීවිත කාලය පුරාම විශ්වයේ රහස් සිද්ධාන්ත සොයමින්, සූත්‍ර ව්‍යුත්පන්න කරමින් මොළය වෙහෙස වූ අයින්ස්ටයින් පැය දහයක නින්දක්‌ විවේකයක් ලබා ගැනීම ඇත්තෙන්ම සාධාරණයි.

අයින්ස්ටයින්ගේ නිදා ගැනීමේ පුරුදු බොහෝ බුද්ධිමතුන්ගේ නිදා ගැනීමේ පුරුදු වලට වඩා වෙනස්. එයට හේතුව වෙනත් බුද්ධිමතුන්ගේ කතා වලට අනුව ඔවුන් බොහෝ විට පැය 4ක් හෝ 2ක් නිදාගත් අයයි. උදාහරණයක් ලෙස චාර්ල්ස් ඩිකන්ස් නින්ද නොයාමේ රෝගයෙන් පෙළෙන්නෙකු වු නිසා ඔහුට නිදාගත හැකි වුයේ එළිය වැටීගෙන එන මොහොතේ පැයක් දෙකක් පමණයි. ඒ වගේම නිකොලා ටෙස්ලා නරක සිහින දකින්නෙකු වු නිසා නිතර අවදියෙන් සිටි අතර ඔහු විවේකයක් ලබා ගත්තේ දවල් කාලයේ කෙටි නින්දවල් ලබාගැනීමෙන් පමනි.

අයින්ස්ටයින් ද රාත්‍රියේ පැය දහයක් නිදා ගැනීමට අමතරව දහවල් කාලයේත් කෙටි නින්දවල් ලබා ගත් අයෙක්. ඔහුගේ නිදා ගැනීමේ චර්යාවේ පුදුමය එය පමණක් නොවෙයි. දහවල කෙටි නින්දවල් ලබා ගන්නා විට ඔහු අතින් යකඩ හැන්දක් හෝ මෙම යකඩ හැන්දට සමාන්තරව පහළින් බිම යකඩ පිඟානක්ද තබා තිබුණා. ඉතින් ඔහුට නින්ද ගොස් යකඩ හැන්ද අත හැරුණු විට එය යකඩ පිඟාන මතට වැටී නැගෙන සද්දයෙන් ඔහු වහාම අවදි වෙනවා.

05. දිනපතා ඇවිදීම.

අයින්ස්ටයින්ගේ බොහෝ පුරුදු වගේම ඔහුගේ මෙම පුරුද්දත් සාම්ප්‍රදායික ලෙස ව්‍යායාමයක් ආකාරයෙන් කළ එකක් නොවේ. ඔහු එතරම් ඔහුගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වූ පුද්ගලයෙකු නොවූ අතර ඔහුගේ මෙම දිනපතා ඇවිදීම පිටුපස තිබුනේ වෙනත් අරමුණක්‌.බොහෝ දෙනා දන්නා පරිදි අප කාර්ය බහුල නොවන වෙලාවක ඇවිදිමින් සිටින විට අපගේ අවධානය ඒ කෙරෙහි යොමු වන අතර අපගේ මනසට නිදහසක් ලැබෙන නිසා යම් දෙයක් ගැන කලින් නොසිතූ ආකාරයේ අදහස් පහළ වීමටත්, අමතක වූ දේවල් මතක් වීමටත්, යම් දෙයක් ලෙස නව මානයකින් බැලීමේ හැකියාවත් ලැබෙනවා. දිනපතා ඇවිදීමට යාමේ අයින්ස්ටයින්ගේ පුරුද්ද පසුපස තිබුණේ මේ අරමුණ විය හැකියි.

06. පුරුද්දක් ලෙස එකම වැඩේ නිරත වීම.

අයින්ස්ටයින් සැමවිටම සිතුවේ බර්න්හි රජයේ පේටන්ට් කාර්යාලයේ ඔහුගේ රැකියාව ඔහුට ප්‍රමාණවත් බවයි. ඔහුගේ වැටුප අඩු වුවත්, රැකියාව කම්මැලි වූවත් ඔහු එයට කැමති වුනා.ඇත්ත වශයෙන්ම, අයින්ස්ටයින් ඔහුගේ රැකියාව පිලිබඳ ආදරය කළ දෙය වුයේ මෙම කම්මැලි ස්වභාවයයි. කිසිදු නිපුණතාවයක් හෝ ප්‍රවීණතාවයක් අවශ්‍ය නොවන ඒකාකාරී දෙයක් අප කරන විට, අපගේ මොළය එයට ඉක්මණින් අනුගත වෙනවා. වැඩි කල් නොගොස් අපි වැඩිය නොසිතාම එම පුරුද්ද අනුගමනය කිරීමට ඉගෙන ගන්නවා. මෙය අපගේ සිතුවිලි එක් දෙයකින් තවත් දෙයකට නිදහසේ ගලාගෙන යාමට ඉඩ දෙනවා. එනම්, ඇල්බට් අයින්ස්ටයින්ට ඔහුගේ බුද්ධිය සඳහා අවශ්‍ය වුයේ ඔහුගේ සිතුවිලි සමඟ හුදෙකලා වීමට කාලයයි.