ගම්පොළ යුගයේ එක් දිනයක වෙනදා මෙන්ම කන්ද උඩරට ප‍්‍රදේශයට හිරු උදා වූයේ මුළු ප‍්‍රදේශයම ආලෝකවත් කරමිනි. එහෙත් මහා රූස්ස ගස් අතරින් හිරු එළිය බිමට පතිත වන්නේ නැත. යාම්තම් අඳුර පහ වී ගොස් ඇති ආකාරයක් දිස් වේ. එදින වර්තමානයේ නාථ දේවාල භූමිය පිහිටි ප‍්‍රදේශයට, උඩවත්ත කැ​ෙල් සිට මුහුණ පුරා රැවුළක් වවාගත් උඩුකය නිරාවරණය වූ, පුද්ගලයෙක් ගමන් කරමින් සිටියි. උරහිසේ රෙදි මල්ලකි. වම් අතේ පැන් කෙණ්ඩියක් සහ දකුණු අතෙහි සැරයටියකි. පෙනුමෙන් බමුණකු යැයි කිව හැකිය. එකවරම ඔහු එහි නැවතී තරමක් උස කළු ගලක් මත අසුන් ගෙන ගිමන් හැරියේය.

හදිසියේම බමුණා සිටි ස්ථානය අසල පිහිටි බිලයක වාසය කළ, සුදු හාවකු පසුපස හිවලූන් ලුහුබඳිනු දකී. ඌ, තම බිලයට වේගයෙන් පැමිණ, යළි ආපසු හැරී හිවලුන් ලුහුබඳින්නට විය. පුදුමයකි.. ගත වූයේ තවත් මොහොතකි. මුවෙකු පිටුපස ලුහුබඳින කොටියෙකි. මුවා පණ බයේ නාථ දේවාල භුමියට ඇතුළු විය. ඒ සමඟ ම මුවා පෙරළා කොටියා ලුහු බඳින්නට විය. තවත් පුදුමයට පත් වූ මෙම බමුණා අන් කිසිවෙක් නොව සෙංඛණ්ඩ ය. ඔහු මෙය ජය භූමියක් ලෙස හඳුනා ගෙන අසපුවක් සාදා එහි පදිංචි විය.

තුන්වෙනි වික‍්‍රමබාහු රජතුමා (1356 – 1374) මේ බව දැනගෙන බමුණා අසපුව සාදා ගත් ස්ථානයේ මතු බුදුවන නාථ දෙවියන් වෙනුවෙන් දේවාලයක් ඉදි කරන ලදි. පසුව එය වටා තම රජ මාලිගය, අන්තඃපුරය, ආදි සුවිසල් ගොඩනැගිලි සාදා නගරයක් බවට පත් කළේ ය. සෙංඛණ්ඩ බමුණාට කෘතගුණ සැලකීමක් වශයෙන් සෙංකඩගලපුර යන නම තබන ලදී.

කන්ද උඩරට පාලනය කළ රජවරුන් කිහිප දෙනෙකු ලන්දේසින් සමඟ ගනුදෙනු කළ බව අප දන්නා කරුණකි. එවන් කාලයක ලන්දේසීන් සෙංකඩගලපුර මහ රජතුමා බැහැ දැකීමට ගොස් නවතින්නේ නාථ දේවාල භූමියේ ගෙඩිගේ දේවාලය අසල ය. එහි ගම්බාර දේවාලයේ බැම්මේ වාඩි වී රජතුමාගෙන් පණිවුඩයක් ලැබෙන තුරු බලා සිටිති. සමහර දිනවල ඒ සඳහා පැය ගණන් ගත කිරීමට සිදු වේ. එම අවස්ථාවලදී කාන්සිය මකා ගැනීම සඳහා අඳින ලද චිත‍්‍ර ද නාථ දේවාල භූමියේ අදට ද දැක ගත හැකිය. මහනුවර පැරණිතම ගොඩනැගිල්ල පිහිටා තිබෙන්නේ නාථ දේවාල භූමියේය. සමහර විට ඒ බව ඔබ නොදන්නවා ඇති.

එපමණක් නොව තවත් බොහෝ ඓතිහාසික වටිනාකමකින් යුත් සෙල්ලිපි කිහිපයක් ද දක්නට ලැබේ. ඊට අමතරව තවත් වැදගත් තැන් කිහිපයකි. එහෙත් දළදා මාලිගයට හෝ නාථ දේවාලයට හෝ පැමිණෙන බොහෝ දෙනකු ඒ ගැන දන්නේ නැත.නාථ දෙවිඳුන් ලෝකයේ බොහෝ රටවල ජනතාව විසින් අදහනු ලැබේ. උන් වහන්සේට අවලෝකිතේෂ්වර යන නම ද භාවිත කෙරේ. ඒ පණිවා ආදී පවින් දුරු වූ තිසරණ සරණ ගිය අනාගත මෛත‍්‍රී බුදුන් වහන්සේ ය. මෙම නාථ දේවාල භූමිය නිසා සෙංකඩගලපුර හෙවත් සෙංඛණ්ඩ ශෛලාභිධානපුර වශයෙන් නම ලැබි තිබෙන බව දන්නේ ද අතළොස්සක් වූ පිරිසකි.

පසුව එහි රජවරු තමන්ට නම් ලබා ගැනීම, ජනතාවට නම් ප‍්‍රකාශයට පත් කිරීම, යහපත් රාජ්‍ය පාලනයක් සිදු කරන බවට ජනතාවට ප‍්‍රතිඥා ලබා දීම, ඔටුනු පැලද වීම, නානුමුර මංගල්‍ය සමඟ හිස තෙල් ගෑමේ මහෝත්සවය ආදී සුවිශේෂී රාජ්‍ය කටයුතු සිදු කිරීමට අණ කළහ. ඒ රාජ්‍ය නියමයක් ලෙස ය.මෙම ජයභූමිය තුළ පසු කාලයක නාථ දේවාල ගෙඩිගේ අසල ශ‍්‍රී දළදා මාලිගය ඉදි වූ අතර, (වර්තමානයේ පවතින දළදා මාලිගය නොව, අදට එය ගරා වැටී පාදම පමණක් ඉතිරිව පවතිනු දැක ගත හැකිය) බුදුන් වහන්සේගේ පාත‍්‍රා ධාතුන් වහන්සේ තැන්පත් කළ චෛත්‍යය ද, ඓතිහාසික වැල් බෝධිය, ආයුධ සෑදීමට යකඩ උණු කරන ලද කෝව, ඝණ්ටාර කුලුන, දළදා හාමුදුරුවන්ට පැන් ලබාදුන් ළිඳ, කළු ගලෙන් සාදන ලද පිංතාලිය, කළු ගලෙන් නිම කරන ලද සැතපෙන බුදු පිළිම වහන්සේ, ශ‍්‍රී පතුල, ගල් උළුවස්ස, කැණීම් කරන විට හමු වී ඇති බුද්ධ ප‍්‍රතිමාව, මෙරට පැරණිතම වාහල්කඩ, ඓතිහාසික වැල් බෝධිය ආදී සුවිශේෂී අංග ඉන් කිහිපයකි.ශ‍්‍රී මහා නාථ දේවාලය පිහිටා තිබෙන්නේ දළදා මාලිගය ඉදිරිපිටය.

සතර මහා දේවාල( (නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි) අතුරින් ප‍්‍රථම දේවාලය මෙය වේ. මහනුවර ඇසළ මහා පෙරහරේ ශ‍්‍රී දළදා මාලිගයට පසුව දේවාල සතරෙන් ප‍්‍රථමව ගමන් කරන්නේ නාථ දේවාල පෙරහරයි. නාථ දේවාලයට ගම්පොළ යුගයේ ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පය ද සම් මිශ‍්‍රව ඉදි කර ඇති ශෛලමය දෙමහල් ගොඩනැගිල්ලක් වන අතර, එය ගෙඩියක ආකාරයෙන් සාදා ඇති නිසා ගෙඩිගේ වශයෙන් භාවිතයට පැමිණ තිබේ. මෙහි පිවිසුම වාහල්කඩ දෙපස මුරගල් දෙකකින් ද, මුදුණේ මකර තොරණකින් ද, උඑ සෙවිලි කළ වහලයකින් ද සමන්විත වේ.

නාථ යන්නෙන් අදහස් කරන්නේ ”අධිපතියා” යන්න ය. තම දුක් කම්කටොලු දුරු කර ගැනීම සඳහා අදත් බෞද්ධයන් විසින් අවලෝකිතේශ්වර වන්දනාව සිදු කෙරේ. කන්ද උඩරට රාජධානි යුගයේ දී රජවරුන්ගේ නම් තේරීම සිදු කළේ නාථ දේවාලයේ දී බව ඉහත සඳහන් කළෙමු. ඒ පිළිබඳව ඉංග‍්‍රීසි ලේඛක ෆි‍්‍රඩ්හැම් මෙසේ විස්තර කර තිබේ. “එවකට නැකත්කරුවන්ගේ කාර්ය භාරය වූයේ චාරිත‍්‍ර පැවැත්වීමට වේලාවක් සෙවීමත් මංගල සම්මත නම් සෑදීමත් ය. ඒ අනුව එක්, එක් නැකත්කරුවා මැණික් එබ්බවූ රන් තැටියක නමක් ලියා නාථ දේවාලයේ තැබිය යුතු ය. සමහර විට රජු තේරීමෙන් අවුරුද්දකට දෙකකට පසු පැමිණෙන නියමිත දිනයේ දී රජවීමට නියමිත කුමාරයා මහ පෙරහරින් විෂ්ණු දේවාලයට ගොස් පුද සිරිත් පවත්වා දෙවියන් ඉදිරියේ වැඳ වැතිරේ. ඉන්පසු එහි සිට නාථ දේවාලයට යන ඔහු පුද සිරිත් පවත්වා රන් තැටි පරීක්ෂා කර බලා තමන් කැමති නමක් තෝරා ගෙන එය මහ අදිකාරමට ලබා දෙයි. ඔහු හැමෝටම ඇසෙන සේ මෙසේ පවසයි.

මහ රජතුමන් උදෙසා දෙවියන් වහන්සේ තෝරාගෙන ඇති නම මෙයයි”මෙරට අනුරාධපුර යුගයේ සිට පැවත එන අදහසක් නම් සිරිලක අගරජු බෞද්ධයකු විය යුතු බවය. එය ඉස්මතු කර පෙන්වීම සඳහා රාජ නාමය සහ මඟුල් කඩුව පැලඳවීම අවලෝකිතේශ්වර බෝධිසත්වයන් ඉදිරියේ සිදු කළා විය හැකිය. මේ අනුව ඈත අතීතයේ ගෞතම බුදුන් වහන්සේ ජීවමානව වැඩ නොසිටින බැවින් සහ අනාගතයේ බුදු වීමට නියමිත මෛත‍්‍රී බුදුන් වහන්සේ අදහන කාලයක් තිබෙන්නට ඇති යැයි සිතේ.

මේ රටේ පමණක් නොව ලෝකයේ තායිලන්තය, තායිවානය, චිනය, කොරියාව ආදි ​ෙබාහෝ රටවල් අදහන්නේ අවලෝකිතේශ්වර බෝධිසත්වයන් නැතිනම් මෛත‍්‍රී බුදුන් වහන්සේ ය. එම රටවල මෛත‍්‍රී බුදුන් වහන්සේගේ සිරස මත බුද්ධ රූපයක් කොටා ඇත. එදා රාජ්‍යත්වයේ සංකේතය දළදා වහන්සේයි. සෙංකඩගලපුර නගරයක් සාදන විට දළදා වහන්සේ මහනුවරට වැඬමවා ඇති බැවින් මෙහි දළදා මාලිගයක් සාදා ඇත. ඒ අනුව නාථ දේවාලයට වම්පස දළදා මාලිගය සාදා තිබේ. එහි පාදම පමණක් අද දක්නට ලැබේ.රජතුමා ඔටුනු පැලඳ දස රාජධර්මයෙන් රාජ්‍ය පාලනය කරන බව ට දිව්රා පොරොන්දු වේ. ඒ නාථ දෙවියන් ඉදිරියේ ය. ගෞතම බුදුන් වහන්සේ ඉදිරියේ දිව්රිය නොහැකිය. දිව්රා පොරොන්දු විය හැක්කේ දෙවියන් ඉදිරියේ ය.

ඒ අනුව එදා මතු බුදු වන නාථ දෙවියන් තෝරා ගන්නට ඇත. ඔටුනු පැලඳවීම ද සිදු කරන්නේ මෙහි දී ය. සංස්කෘතික ත‍්‍රිකෝණය මගින් කළ කැණීම්වල දී මේ අසලින් ගඩොලින් කළ කවාකාර පදනමක් මතු විය. එය ඔටුනු මණ්ඩපය නමින් හැඳින් වේ. ඔටුනු පැලඳ වීමට අමතරව නම් තැබීම ද මෙහිදී සිදු වී ඇත. එහෙත් කඩුව ගැනීම නාථ දේවාලයේ දි සිදු කරන්නේ නැත. යුද්ධය සඳහා කඩුව ලබා ගන්නේ විෂ්ණු දේවාලයේ දී ය.නාථ දේවාලය සහ විෂ්ණු දේවාලය අතර පිහිටා ඇත්තේ දේව සංහිඳය. දේව සංහිඳ යනු නියමයන්, දඩුවම් ලබා දෙන ස්ථානයයි. නාථ දේවාලය ඉදිරියෙන් වූ දාගැබෙහි දළදා වහන්සේ සමඟ තිබු පාත‍්‍රා ධාතුව තැන්පත් කර තිබේ.නාථ දේවාලයක් යනුවෙන් හැඳින් වුව ද, මෙහි ඇත්තේ බුදු දහමට සම්බන්ධ බුදු කුටි, බෝධීන් වහන්සේලා, විහාර කුටි ආදිය වේ. පෝය දිනවල ආගමික වැඩසටහන් රාශියක් පැවැත්වෙන්නේ ඒ නිසාය.

පෙරහර මංගල්‍යයේදී දේවාලයක වන දියකැපීම ආදී චාරිත‍්‍ර සිද්ධ වුව ද, බෞද්ධ ආගමේ න්‍යායන් ක‍්‍රියාත්මක වනු දැක ගත හැකිය.මහනුවර දේවාල පෙරහර ආරම්භයේ දී පැවතියේ කතරගම, විෂ්ණු, පත්තිනි, දේවාල තුනේ පෙරහරය. ඉන්පසුව එම පෙරහරට නාථ දේවාල පෙරහර එකතු වී තිබේ. අවසානයේ දළදා පෙරහර එකතු විය. නාථ දෙවියන්ගේ ප‍්‍රතිමාවල සහ රූපවල සිරසේ බුද්ධ රූපය කොටා හෝ ඇඳ තිබිය යුතුය. එසේ නොවේ නම් එම නාථ දෙවියන්ගේ ප‍්‍රතිමාවක් හෝ රූපයක් යැයි පිළිගැනීමක් ලැබෙන්නේ නැත.කළු ගලෙන් සාදන ලද පිං තාලියක් ද එහි තිබේ. කඩු, හෙලි, කිණිසි ආදී ආයුධ සෑදීමට යකඩ උණු කරන ලද ”කෝව” පිහිටා තිබෙන්නේ මුළුතැන්ගේ ඉදිරිපිට මල් ගස යට ය. කෝව මතුපිටට පෙනෙන්නේ නැත. මතු කර ගත හැකිය. එය එහි අඩි කිහිපයක් යට ඇති බව වත්මන් බස්නායන නිලමේ හීන්කෙන්ද මහතා පවසයි.