දීර්ඝායුෂ විඳීමට හැමදෙනාටම වාසනාව ලැබෙන්නේ නෑ. වයස හෝ තරාතිරම නොබලා, මිනිසුන් ස්වභාවික හේතු මත හෝ හදිසි අනතුරු නිසා මිය යන මේ කාලයේ, විශේෂයෙන්ම අවුරුදු 100 ඉක්මවා ජීවත් වෙනවා කියන්නේ ආශ්චර්යයක්. බොහෝ කාලයක් ජීවත් වුණාට වැඩක් නෑ ඒ ජීවිතේ නිරෝගී නැත්නම්. මොකද බොහෝ ලෙඩ දුක්, රෝග පීඩා සහිතව දීර්ඝායුෂ විදීම කියන්නේ නම් වාසනාවක් කියලා හඳුන්වන්න බැහැ. ඉතින් යම් කෙනෙක් අවුරුදු 100 ඉක්මවලා බොහෝ නිරෝගීව සතුටින් කාලය ගත කරනවා නම් ඒ පුද්ගලයාගේ රහස අහලා දැනගන්නම වටිනවා.

ඉතින් ඒ වගේ රහසක් අහල දැනගන්න පුළුවන්, මේ වන විට ජීවතුන් අතර ඉන්න වයස්ගතම මිනිසා තමයි ජපානයේ ජීවත් වන චිටෙට්සු වටනබේ කියන්නේ. 2020, ඒ කියන්නේ මේ වසරේ, මාර්තු මාසයේදී ඔහු ඔහුගේ 113 වන උපන් දිනය සැමරුවා. ඊට මාසයකට කලින් ගිනස් ලෝක වාර්තා විසින් ඔහුට උපන්දිනයට කලින්ම සුබපතලා තෑගිබෝග පවා එවලා තිබුණා. ඔහු මේ වන විට ජීවත් වෙන්නේ, ජපානයේ නීගටා හි තිබෙන වැඩිහිටි නිවාසයක. එතනට තමයි ගිනස් ලෝක වාර්තා විසින් ඔහුගේ තෑගිබෝග එවල තිබුනෙ. ඔවුන් තෑගි බෝග වලට අමතරව, දැනට ජීවත්වන වයස්ගතම මිනිසා වටනබේ කියන එක සහතික කරමින් ඔහුට රාමු කරපු සහතිකයක්ද එවා තිබුණා. උපන්දිනය දවසේ වටනබේ විසින් කලාත්මක අත්අකුරු වර්ගයක් (Calligraphy) භාවිතා කරමින් “ලෝකයේ අංක 01” ලෙස සඳහන් කල බැනරයක්ද සකසා ගෙන තිබුණා.

වටනබේ ඔහුගේ දිගුකාලීන ජීවිතයක් ගත කිරීමේ රහස ලෙස කියන්න කෝප නොවීමත්, නිතරම මුහුණේ සිනහවක් රඳවාගෙන සතුටින් සිටීමත් ය. ඔහු දුඹුරු සීනි ඇතුළු විවිධ පැණි රස කෑම වර්ග වලට ඉතා කැමැත්තක් දක්වනවා. නමුත් මේ වන විට ඔහුගේ දත් අහිමි වෙලා තියෙන නිසා දැන් ඔහු වඩාත් කැමැති කස්ටර්ඩ් වර්ග සහ ක්‍රීම් පෆ් වල ඇතුළට දමා ඇති පිරවුම ආහාරයට ගැනීමටයි.
ළමුන් අට දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා ලෙස වටනබේ උපත ලබන්නේ 1907 මාර්තු පස් වැනි දිනයි. ඔහු ජපාන රජයේ කෘෂිකර්මාන්ත කාර්යාලයේ සේවය කිරීමට පෙර වසර ගණනාවක්ම සීනි කර්මාන්ත ශාලාවක සේවය කර තිබෙනවා.

 

රාජ්‍ය කෘෂිකර්මාන්ත කාර්යාලයේ රැකියාව ලැබීමෙන් පසු ඔහු විශ්‍රාම යන තෙක්ම සේවය කරලා තිබෙන්නේ එහි බවයි ගිනස් වාර්තාවල සඳහන් වෙන්නේ. වටනබේ තමන්ගේ දිගු ජීවිත කාලය ඇතුලතදී රට වෙනුවෙනුත් සේවය කරපු කෙනෙක්. මොකද ඔහු දෙවන ලෝක යුද්ධය අවසාන වීමට ආසන්න කාලයේ, එනම් 1944 අවුරුද්දේ හමුදාවේ පවා සේවය කර තිබෙනවා. වටනබේ දරුවන් පස් දෙනෙකුගේ පියෙක් වගේම හොඳ ගෙවතුවගා කරුවෙක්‌. මොකද ඔහුට වයස අවුරුදු 104 වන තෙක්ම ඔහු බොහෝ එළවළු සහ පළතුරු වගා කර තිබෙනවා. ඒ වගේම 2007 වසර වන තෙක්ම ඔහු ඉතා සැලකිල්ලෙන් සහ ප්‍රවේශමෙන්, ජපානයේ සම්ප්‍රදායක් වන බොන්සායි ගස් වැවීමත්, ප්‍රදර්ශනය කිරීමත් සිදුකර තිබෙනවා.

හැබැයි අපි මේ තරම් වෙලා කිව්වේ ලෝකයේ වයස්ගතම පුද්ගලයා ගැන නම් නෙවෙයි. දැන් ඔබට ගැටලුවක් මතුවෙනවා ඇති මොකද්ද ඒ කිව්වේ කියලා?! අපි මේ තරම් වෙලා කිව්වේ, “ලෝකය වයස්ගතම මිනිසා/පිරිමියා” ගැන. නමුත් ලෝකයේ වයස්ගතම “පුද්ගලයා”, පිරිමියෙක් නෙවෙයි කාන්තාවක්! ඇයත් ජීවත් වෙන්නේ ජපානයේ. ඇගේ නම කේන් ටනාකා. ඇය ඉපදුණේ 1903 ජනවාරි 02 දිනයි. ඇය පසුගිය ජනවාරියේ දී සිය 117 වැනි උපන්දිනය සමරුවා. මේ වන විට ජීවතුන් අතර සිටින “වයස්ගතම පුද්ගලයා” වගේම දැනට ජීවතුන් අතර සිටින “වයස්ගතම කාන්තාව” යන ගිනස් වාර්තා දෙකම දරන්නේ ඇයයි.

කොහොම වුණත් ඇගේ දීර්ඝායුෂ විඳීමට බලපාන රහසත්, වටනබේ ගේ සතුටින් සිටීමේ රහසට එතරම් වෙනස් වෙන්න බැහැ. මොකද කෙනෙකුගේ මානසික සෞඛ්‍යය, ඔවුන්ගේ කායික සෞඛ්‍යය සහ ආයුෂ කෙරෙහි බෙහෙවින් බලපානවා. ඉතින් ඔබ නිතර කෝප නොවී සතුටින් සිටිනවා නම් ඔබට ලෙඩ රෝග අඩුයි. ඒ වගේම දීර්ඝායුෂ විඳීමටත් වාසනාව ලැබේවි. කොහොම වුනත් මේ අපූරු වයස්ගත පුද්ගලයන් දෙදෙනාටම තවත් දිගු කාලයක් නිරෝගීව ජීවත් වීමට වාසනාව ලැබේවායි අපිත් ප්‍රාර්ථනා කරමු.