කියන්න සතුටුයි මේ වෙද්දී රටේ විශාල උනන්දුවක් තියෙනවා ආරක්ෂිත ගෘහ තුළ වගාව පිළිබඳව. මාස කිහිපයකට ඉහත රටපුරා ඇද හැලුනු වර්ෂාව හේතුවෙන් එළවලු වගාවන්ට විශාල හානියක් සිදුවුනා. විශේෂයෙන් උඩරට එළවළු වගාවට අත්වුන හානිය සුළුපටු එකක් නෙමෙයි. තක්කාලි වගාවන් කොයිතරම් හානියට පත්වුනාද කියනවා නම් කිලෝවක සිල්ලර මිල ඇතැම් අවස්ථාවක රු. 600 ඉක්මවා ගියා. මේ දේ හැම වසරෙම නැවත නැවත සිදුවන බව දැන් ගොඩක් දෙනා තේරුම් අරන් තියෙනවා. ඇත්තටම මේ දේශගුණික විපර්යාස වල ප්‍රතිඵල. වහිනකොට ගංවතුරක් ඇතිවන තරම්ම ඉහළ තීව්‍රතාවයකින් වැස්ස ලැබීමත්, ඊට සුළු කාලයකට පසු දැඩි වියළි කාලගුණයක් ඇතිවීමත් දැන් රටාවක් වෙලා. මේ තත්ත්වය පාලනය කරගැනීම අපිට හැකියාවක් නෑ. කළ හැකි දේ එයට අනුගත වෙමින් ක්‍රියාත්මක වීම පමණයි. ඉතිං ආරක්ෂිත ගෘහ තුළ බෝග වගාව කියන්නේ දේශගුණික විපර්යාස වලට අනුගත වීමේ කෘෂිකර්මයේ ඇති අතිශය සාර්ථකම හා හොඳම උත්තරය කියන එක මේ වෙද්දී බොහෝ දෙනාට අවබෝධ වෙලා තියෙනවා.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පමණක් නොව ඩොලර් මිලියන ගණන් වල ආයෝජන සහිත දැවැන්ත ව්‍යාපෘති කිහිපයක්ම මේ වසරේදී ශ්‍රී ලාංකේය කෘෂි ව්‍යාපාර ක්ෂේත්‍රයට අලුතින් එකතුවීමට නියමිතයි. ඒ බොහෝ දෙනාගේ ඉලක්කගත වෙළෙඳපොළ මාලදිවයින, මැදපෙරදිග හා යුරෝපයයි. ඒ වගේම සංචාරක හෝටල් සහ ප්‍රසාරණය වෙමින් පවතින සුපිරි වෙළෙඳසැල් ජාලයයි.
කොහොම වුනත් ආරක්ෂිත ගෘහ තුළ බෝග වගාව කියන්නේ හොඳින් සැලසුම් කරලා කරන්න ඕන දෙයක්. ගොඩක් දෙනා මගෙන් අහනවා කීයක් විතර යයිද කියලා. නිතරම අහන ප්‍රශ්නයක් තමයි වර්ග අඩි 1000ක එකක් හදන්න කීයක් යයිද කියන එක. නමුත් මේ වැඩේ එතරම් සරල නෑ කියන එක කියන්නම ඕන. අඩුම තරමේ මේ වගේ වැඩක් පටන් ගන්න ඔබ හිතනවා නම් මෙන්න මේ කරුණු ගැන සලකා බලන්න වෙනවා.

1. ස්ථානය (Location) Evaporation තාක්ෂණයට අනුවනම් ලංකාවේ ඕනෑම තැනක ආරක්ෂිත ගෘහයක් හදලා බෝග වගාව කරන්න පුළුවන්. ඒක තමයි ලංකාවට වඩාත් ගැලපෙනම තාක්ෂණය. නමුත් ඔබේ ඉඩමේ ස්වභාවය ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. විශේෂයෙන් එළවලු බෝගවලට හොඳ සූර්යාලෝකයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා ගෘහය ඉදිකරන ස්ථානයට සෙවණ වැටෙන බාධක තියෙනවද කියලා සලකා බලන්න වෙනවා. ඒ වගේම අවශ්‍ය යෙදවුම් පහසුවෙන් ලබාගැනීමේ හැකියාව වගේම නිෂ්පාදන පහසුවෙන් වෙළෙඳපොළ වෙත රැගෙන යාමේ හැකියාව ගැනත් සලකා බලන්න වෙනවා. සෞම්‍ය දේශගුණයක් සහිත බොහෝ ප්‍රදේශවල නිෂ්පාදන වියදම සාපේක්ෂව අඩුයි. නමුත් පහසුවෙන් ළඟා විය හැකි වෙළෙඳපොළක් ඒ බොහෝ ප්‍රදේශවල නෑ. නිශ්චිත ඉලක්කගත වෙළෙඳපොළක් නැතුව වැඩේ ඒ වගේ තැනක පටන් ගත්තොත් ප්‍රවාහන වියදම වැඩියි.

2. ජලය වගාවක් කරනවා නම් අනිවාර්යයෙන්ම ජල පහසුකම තියෙන්නම ඕන. නිශ්චිත ජල ප්‍රභවයක් නැතිනම් වැසි ජලය එක්‍ රැස් කිරීම පිළිබඳ අවධානය යොමුකරන්න ඕන. ආරක්ෂිත ගෘහ තුළ බෝග වගාවක් කරනකොට ඒ සඳහා ඉහළ විභවයක් තියෙනවා. නිකමට හිතන්න ඔබට අක්කරයක වපසරියක් සහිත පොලිතින් ගෘහයක් තියෙනවා කියලා. ඒ කියන්නේ වර්ග අඩි 43560ක්. ගෘහය මතට මිලිමීටර් 300ක වැස්සක් වැටුනොත්, ඒ වතුර එකතු කරගන්න පුළුවන් වුනොත් ඔබ එකතු කරනවා අක්කර අඩියක වතුර. ඒ කියන්නේ ලීටර් 1233481ක්. ඔව් ලීටර් ලක්ෂ 12ක්. ඔබ evaporation තාක්ෂණය යටතේ ජලරෝපිත වගාවක් කරනවා නම් අක්කරයක වගාවකට අවශ්‍ය ජල ප්‍රමාණය දිනකට ලීටර් 8000-10000 අතර වෙනවා. ඒ වගේ විශාල ව්‍යාපෘතියකදී වැසි ජලය එක් රැස් කිරීමේ වැඩසටහනකට ආයෝජනය කිරීම ඉතා වැදගත් වෙනවා. නළ ළිඳක් වෙනුවෙන් ආයෝජනය කිරීමත් සුදුසුයි. නමුත් වියළි කලාපයේ නම් භූගත ජලයේ විද්‍යුත් සන්නායකතාවය (EC) වැඩියි. සමහර තැනෙක මයික්‍රෝසීමන්ස් 3000 ඉක්මවනවා. ඒ වගේ වතුරක් කෙලින්ම බෝගවලට දෙන්න පුළුවන් කමක් නෑ. ප්‍රති ආස්‍රැතකරන ෆිල්ටරයක් (Reverse osmosis) මඟින් පෙරලා EC අගය 0 ට ආසන්න අගයට අරන් UV බල්බ් එකක් හරහත් යවලා විෂබීජ වලින් තොර කරන්න ඕන. ඒ සඳහත් සැලකියයුතු ආයෝජනයක් කරන්න වෙනවා. නළ ළිඳක් හදන්න අදහස් කරනවා නම් අහල පහළින් විරෝධතා මතුවෙන්න පුළුවන්. ඒ ගැනත් කල්පනාකාරී වෙන්න ඕන.

3. විදුලිබලය Evaporation තාක්ෂණය යටතේ වගාවක් පවත්වාගන්නවා නම් එහි භාවිතා වන Cooling pads සහ Exhaust fans සඳහා සැලකියයුතු විදුලිබලයක් වැය වෙනවා. ඒ වගේම තෙකලා විදුලිය අවශ්‍ය වෙනවා. ව්‍යාපෘතිය මහා පරිමාණ එකක් නම් සූර්ය පැනල මඟින් විදුලිය නිපදවීමේ දීර්ඝකාලීනව වාසි දායක වෙනවා. එම විදුලිය ප්‍රධාන පද්ධතියට ඒකකයක් රු.22 බැගින් අලෙවි කරලා අමතර ආදායමක් ලබාගන්න පුළුවන්.

4. වගා කිරීමට අදහස් කරන බෝගය/බෝග මේ පිළිබඳව ඉතා හොඳ අධ්‍යයනයක් කරන්නම වෙනවා. ඔබ සැරසෙන්නේ විශාල ආයෝජනයක් කරන්න. ඊට සාපේක්ෂව හොඳ ලාභයක් ලබාගතයුතු වෙනවා. නිශ්චිත වෙළෙඳපොළක් ඉලක්ක කිරීම එහිදී වැදගත්. ඒ වගේම අදාල බෝගය වගා කිරීම ගැන හැදෑරීමක් කිරීම අවශ්‍ය වෙනවා. තවාන් පාලනය, පැල සිටුවීම, නඩත්තුව, පුහුණුව හා කප්පාදුව, පොහොර භාවිතය, රෝග, පෝෂණ ඌණත හා පලිබෝධ හඳුනා ගැනීම හා ප්‍රතිකාර ගැනත්, අස්වනු නෙලීම ගැනත් හොඳ අවබෝධයක් ලබාගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා. කොහොම වුනත් ඉහළ වාණිජ වටිනාකමක් සහිත, වසර පුරාම සාමාන්‍යයෙන් හොඳ මිලක් සහ ඉල්ලුමක් තියෙන බෝගයක් තෝරගැනීම කළයුතු වෙනවා. එහිදී දෙමුහුම් වර්ග වගා කිරීම ප්‍රතිඵලදායකයි. නමුත් වසර පුරා වගාකළ හැකි වීමත්, අපේ නිවර්තන කලාපීය දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ සොයාබලන්න ඕන. ඒ වගේම යම් ප්‍රභේද/දෙමුහුම් වර්ග වලට සුවිශේෂී වූ දේ තිබේනම් ඒ ගැන අධ්‍යයනය කළයුතුමයි.

5. ආරක්ෂිත ගෘහය තෝරාගැනීම හා ඉදිකිරීම ආරක්ෂිත ගෘහ පිළිබඳ හැදෑරීමේදී ආකාර කිහිපයක (හැඩය) ගෘහ හමුවෙනවා. ඒ විවිධ බෝග හා දේශගුණික අවශ්‍යතා අනුවයි. සාමාන්‍යයෙන් වඩාත් අඩුවියදමකින් හදන්න පුළුවන් වෙන්නේ කෘමි ප්‍රතිරෝධි දැල් වලින් ආවරණය කරන ලද Top vent ආකාරයේ ගෘහයක් තමයි. නමුත් මෙතනදී බොහෝ දෙනා නොසලකා හරින කාරනය තමයි ගෘහයේ උස. විශේෂයෙන් under gutter height එක. අපේ රටේ බොහෝ ප්‍රදේශවල දේශගුණික තත්ත්වයන් සලකා බැලීමේදී එම උස අවම වශයෙන් 3m ක් වත් පවත්වා ගතයුතු වෙනවා. නැතිනම් දැල් ගෘහයක් වුනත් අභ්‍යන්තර උෂ්ණත්වය හා සාපේක්ෂ ආර්ද්‍රතාවය ඉහළ යන්න පුළුවන්. පොලිතින් ගෘහයක් නම් අනිවාර්යයෙන්ම evaporation තාක්ෂණය භාවිතා කළ යුතු වෙනවා. එම තාක්ෂණය යටතේ වඩාත් පුළුල් පරාසයක බෝග වගා කිරීමේ හැකියාව ලැබෙනවා. සාමාන්‍යයෙන් පිටත උෂ්ණත්වයට සාපේක්ෂව අභ්‍යන්තර උෂ්ණත්ව සෙල්සියස් අංශක 5ක් අවම කරගන්න හැකියාව ලැබෙනවා. ආර්ද්‍රතාවයත් අවම කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඔබ දීර්ඝකාලීන ආයෝජනයක් කරන්නේ නම් ලංකාවේ අමුද්‍රව්‍ය අරන් ගෘහයක් හදනවාට වඩා සුදුසු වන්නේ Prefabricated tunnel එකක් ආනයනය කර මෙහි එකලස් කිරීමයි. එය ඇත්තටම වාසිදායක වගේම උපරිම ප්‍රමිතියකින් ගෘහය නිර්මාණය කරගැනීමට ඉන් ඉඩ ලැබෙනවා. මිළ ගණන් තීරණය වෙන්නේ වපසරිය, නිෂ්පාදිත රට අනුව තමයි. සාමාන්‍යයෙන් වර්ග අඩි 1725 ක නියම ප්‍රමිතියට හදපු Prefabricated tunnel එකක් රු. මිලියනයකට ආසන්න වෙනවා. ගාන අඩුවට ටනල් හදන අය ඕනතරම් ඉන්නවා..හැබැයි ඒ වැඩිදෙනාට කෘෂිකර්මය පිළිබඳ දැනුමක් නෑ. බොහෝ තැන්වල හදලා තියෙන ගෘහ ප්‍රමිතියෙන් තොරයි. විශේෂයෙන් උෂ්ණත්වය හා ආර්ද්‍රතාවය පාලනයෙන් තොරයි. ගාන අඩු එක නෙමෙයි, හරි එක හදාගන්න හැමතිස්සෙම උත්සාහ ගන්න.

6. වගාක්‍රමය 99%ක්ම ගෘහ වල වගා ක්‍රමය බිංදු ජලසම්පාදනය තමයි කරන්නේ. එහි වාසි ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් ඒ සඳහා භාවිතා කරන වගා මල්ලක මිල රු.100ක් අවට වෙනවා. ගොඩක් අය මේවායේ වගා මාධ්‍යය ජීවානුහරණයකින් තොරව නැවත භාවිතා කරනවා. අන්න ඒක වැරදියි. එයින් දිලීර , බැක්ටීරියා පහසුවෙන් පැතිරෙන්න පුළුවන්. බිංදු ජල සම්පාදන පද්ධතියක් සවිකිරීමේදිත් එයට යොදාගන්නා අමුද්‍රව්‍ය වල ප්‍රමිතිය ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. තවමත් ජලරෝපිත වගාව (Hydroponics) සඳහා ගොඩක් අය අවධානය යොමුකරනවා අඩුයි. ඇත්තටම ඒ සඳහා විශේෂ දැනුමක් තියෙන්න ඕන. ඒ වගේම දැඩි අවධානයකින් හා පාලනයකින් වගාව පවත්වා ගන්න ඕන. වාණිජ මට්ටමෙන් කෙරෙන Hydroponics සාමාන්‍යයෙන් ප්‍රධාන ආකාර දෙකකට බෙදෙනවා. Deep water culture (ගැඹුරු ජල තටාක ආකාරය) සහ Nutrient film technology (පෝෂක පටල තාක්ෂණය). මේ ආකාර 2ටම මූලික පිරිවැය සෑහෙන යනවා. වාසි අවාසිත් තියෙනවා. සාමාන්‍යයෙන් NFT තාක්ෂණය තමයි වඩාත් ගැලපෙන්නේ. ඒ සඳහා භාවිතා කරන විශේෂිත වූ නළයක් (මීටර් 8) රු. 6000-8000 ත් අතර වෙනවා. නමුත් ඒවායේ කල්පැවැත්මනම් වැඩියි. ඇත්තටම Hydroponics කියන්නේ මූලික පිරිවැය අධික වුනත් ඉතාම ලාබදායී ව්‍යාපාරයක්.

7. බෝග සැලැස්ම බොහෝ දෙනා අමතක කරන එහෙත් අතිශය වැදගත්ම දෙයක් තමයි බෝග සැලැස්ම කියන්නේ. ඔබ යම් නිශ්චිත වෙළෙඳපොළක් වෙත භාණ්ඩ සපයනවා නම් (උදා- අපනයන) ගැනුම්කරුවන් නිතර අහන දේ තමයි මෙපමණ කිලෝ ප්‍රමාණයක් සතියකට අඛණ්ඩව ලබාදිය හැකිද කියන කාරනය. වැඩිදෙනා කරන්නේ ආරක්ෂිත ගෘහයක් මුලුමනින්ම වගා කරලා එකවර අස්වැන්න නෙලන එක. එක වගා කන්නයක් අවසන් කරලා ඊළඟ කන්නය පටන් ගන්න තව මාසයක් ගතවෙනවා. එහි අස්වැන්න ලැබෙන්න තව මාස 2-3ක් ගතවෙනවා. මෙන්න මේ හිඩැස ඔබට හිතකර නෑ. ආරක්ෂිත ගෘහ තුළ බෝග වගාවේ මූලිකම අරමුණ තමයි වසර පුරා අඛණ්ඩ සැපයුම. ඔබට තියෙන්නේ එක ගෘහයක් නම් එය දෙකට බෙදාගෙන වයස් සීමාවන් දෙකක වගාවන් පවත්වාගන්න පුළුවන්. එතනදි කෙනෙක් අහන්න පුළුවන් එතකොට රෝග හා පලිබෝධ පිළිබඳ ගැටලුවක් එන්න පුළුවන් නේද කියලා. නමුත් මගේ අත්දැකීමේ හැටියට ඔබ සම්පූර්ණයෙන්ම වගා කරත් නොකරත් ඔබේ වැරදි බෝග කළමනාකරණය නිසා රෝග, පලිබෝධ ඇතිවෙන්න පුළුවන්. නිරන්තර සුපරීක්ෂාව තුළින් ඒවා වළක්වා ගන්න පුළුවන්. ඔබට වගා ගෘහ 2ක් හෝ වැඩිගණනක් තියෙනවා නම් ගැටලුවක් නෑ.
පහසුවෙන් වගා කාලසටහන හදාගෙන වසර පුරා අඛණ්ඩව නිෂ්පාදනය ලබාදෙන්න එතකොට හැකියාව ලැබෙනවා.

8. වෙළෙඳපොළ ආරක්ෂිත ගෘහ තුළ බෝග වගාවෙන් වැඩි ලාභයක් ලබාගන්නවා නම් ඒ වගේ ස්ථාවර වෙළෙඳපොළ වෙත නිෂ්පාදන අලෙවි කිරීම කළයුතුමයි. වෙළෙඳපොළ සාමාන්‍යයෙන් මිළට වඩා ඇඇතැම්විට ලැබෙන මිළ අඩුවෙන්න පුළුවන්. නමුත් නිශ්චිත ගැනුම් කරුවන් වෙත ස්ථාවර මිලකට වසර පුරාම අලෙවි කරන්න පුළුවන් නම් පාඩු අවමයි. විශේෂයෙන් අපනයනකරුවන්ට නිෂ්පාදන අලෙවි කිරීම එතනදී වාසිදායකයි. සාමාන්‍යයෙන් වෙළෙඳපොළේ සිදුවන මිල උච්චාවචනයන්ට ඔබේ නිෂ්පාදනය අහිතකර විදිහට ගොදුරු නොවී තියෙන්න එය රුකුලක් වෙනවා. ඒ වගේම තමයි වෙළෙඳපොළ විසින් බලාපොරොත්තු වන ප්‍රමිතිය ඔබ විසින් පවත්වා ගත යුතු වෙනවා. මනා ඇසුම්කරණයකුත් අවශ්‍ය වෙනවා.

8. ශ්‍රමය හා නඩත්තුව ඕනෑම කෘෂිකර්ම ව්‍යාපෘතියක පැවැත්ම රඳාපවතින්නේ මේ කාරණා මත. පුහුණු ශ්‍රමය හැමවිටම ඔබේ ව්‍යාපාරයට ශක්තියක් වෙනවා. ඕනෑවට වඩා ශ්‍රමිකයන් යොදාගැනීමත් ප්‍රායෝගික නෑ. එතකොට නිෂ්පාදන වියදම් වැඩි වෙනවා. තවාන කියන්නේ වගාවේ හදවත. එය හැමවිටම නීරෝගීව, පිරිසුදුව පවත්වාගන්න ඕන. ඒ වගේම තමයි ඕනම වගාවකට දෛනික වැඩසටහන පිළිබඳ රටාවක්, කාල සටහනක් පවත්වා ගතයුතුයි. තවාන් පරීක්ෂාව, තවානට වතුර දැමීම, සමස්ත වගාව තුළ සුපරීක්ෂණ වටයක් යෑම, ජල සම්පාදනය හා පොහොර ලබාදීම, එම උපකරණ පරීක්ෂාව හා නඩත්තුව, වැල් බෝග පුහුණුව හා කප්පාදුව, අස්වනු නෙලීම හා සැකසීම, උපකරණ නඩත්තුව ආදී මූලික රාජකාරි නිසි පාලනයකින් පවත්වා ගැනීම ක්‍රමානුකූල වගාවක් පවත්වා ගන්න උපකාරි වෙනවා.

9. ප්‍රමිතිය සහ සහතිකකරණය ඕනෑම දෙයක ප්‍රමාණාත්මක වර්ධනය එක්කම ගුණාත්මය පිළිබඳ සලකා බැලීම ඉතා වැදගත්. ආරක්ෂිත ගෘහ තුළ වගා කරන්නේ ඉහළ වානිජ වටිනාකමක් ඇති බෝග. නමුත් තරගකාරී වෙළෙඳපොළ තුළ රැඳී ඉන්න නම් ඒ සඳහා අගය එකතු කිරීමක් කරන්න වෙනවා. ඒ ක්‍රියාවලිය වගාව තුළම කිරීමෙන් ඔබට සහතිකකරණ ක්‍රියාවලියට යොමුවෙන්න පුළුවන්. ලේසිම ක්‍රමය තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යහපත් කෘෂි පිළිවෙත් (GAP) වැඩසටහන හා සම්බන්ධ වීම. ඔබේ ඉලක්කය යුරෝපා වෙළෙඳපොළ නම් Global GAP සහතිකකරණයට යොමුවෙන්නත් පුළුවන්. සහතිකකරණය හැමවිටම ඔබේ නිෂ්පාදනයට අමතර වටිනාකමක් වගේම අනන්‍යතාවයක් ලබාදෙනවා.

10. කළමනාකරණය ඕනෑම ව්‍යාපෘතියක ස්ථාවරත්වය රඳාපවතින්නේ එහි කළමනාකරණය මත. ඔබට ඇති සීමිත සම්පත් ප්‍රමාණයෙන් අවම පිරිවැයක් යටතේ උපරිම නිෂ්පාදනයක් කර ලාභ ලැබීම තමයි මූලික ඉලක්කය වෙන්නේ. දැන් තාක්ෂණය දියුණුයි. බොහෝ දේ පරිඝණකගත මෘදුකාංග පද්ධති, සංවේදක ආධාරයෙන් ඔබට පාලනය කළ හැකියි. ඒ වගේම ගොවිපොළ බෝග වගා කළමනාකරණය සඳහාම සකස් කළ Artemis වැනි ඔන්ලයින් මෘදුකාංගයක සහයත් ලබාගත හැකියි. ඒවා මඟින් ඉතා නිවැරදි පෙරැයීම්, පුරෝකතන ලබාගත හැකියි. අනාගතයේ ඔබ ගන්නා තීන්දු තීරණ වලට අවශ්‍ය දත්ත ගබඩා කරගත හැකියි. දැන් ලෝකයේ කෘෂිකර්මයේ නවීන තාක්ෂණය යටතේ වැඩිපුර කතා වෙන්නේ Precision Agriculture ගැන. ඉතාම ප්‍රතිඵලදායකය යෙදවුම් ඕනතරම් දැන් පහසුවෙන් ලබාගැනීමේ හැකියාව ඔබට තියෙනවා.

ඉතිං මේ දේවල් ගැන අවධානය යොමුකරලා ඔබේ ආයෝජනය කරොත් අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිඵලයක් ලබාගන්න ඔබට පුළුවන්. GI බට ටිකක් අරන් සැකිල්ලක් වටේ පොලිතින් ඔතලා ග්‍රීන්හවුස් එකක් කියලා ලෝකෙට පෙන්නන්නත් පුළුවන්. හැබැයි එහෙම එකක් අන්තිමට නතර වෙන්නේ රෙදි වනන්න, දරපලලා දාන්න හෝ අබලි ද්‍රව්‍ය ගොඩ ගහන තැනක් විදිහට. ඒ නිසා හොඳට හිතලා සැලසුම් කරලා ඔබේ ආයෝජනය කරන්න.