Wed. Jul 15th, 2020

Lanka Online

Sri Lanka Online News

කොළඹ නගරයේ වැඩිය කවුරුවත් නොදන්නා තැන්

කොළඹ එනවා කියන එක ගොඩක් වෙලාවට නිරන්තරයෙන් ‍රැකියාවට හරි ඉගෙනීමට හරි කොළඹ එන මනුස්සයෙක්ට ඒ තරම් ප්‍රිය උපදවන දෙයක් වෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට කොළඹ එක්ක මතක් වෙන්නේ තදබදය, ට්‍රැ‍ෆික්, ජනාකීර්ණ කම, දැඩි රස්නය වගේ දේවල් තමයි. අර ගෙන්දගම් පොළව කියන එක නියමෙටම ගැලපෙන්නේ කොළඹට. හැබැයි කවදාවත් හිතිලා තියෙනවද කොළඹ කියන්නේ හරි සුන්දර නගරයක් කියලා? ගස්වලින් ආවරණය වුණු ග්‍රෙගරි රෝඩ් එක, නැතිනම් ලයනල් වෙන්ඩ්ට් පැත්තේ යනකොට දැනෙන සනීපේ, මල් පාරේ නැතිනම් ග්‍රීන් පාත් එකේ තියෙන නිස්කලංක ගතිය කවදාවත් දැනිලා තියෙනවද? ඒ විතරක් නෙවෙයි, හැමදාමත් අධ්‍යාපන චාරිකා වලට එක්කරගෙන එන සත්තු වත්තයි, කෞතුකාගාරයයි, ග්‍රහලෝකාගාරයයි ඇරුණහම තව බලන්න සුන්දර තැනුත් කොළඹ පුරවරයේ සහ ඒ අවට තියෙනවා. හැබැයි මේ තැන් ගොඩක් අය දන්නෙවත් නැහැ.

පිටකො‍ටුවේ ඕලන්ද ගෘහනිර්මාණයන් අපි අද දකින කො‍ටුව සහ පිටකො‍ටුව කියන්නේ ඇත්තටම යටත් විජිත ශ්‍රී ලංකාවේ තිබුණු ප්‍රධානතම බලකො‍ටුවක්. ඒ නිසා තවමත් ඕලන්ද ගෘහනිර්මාණ ශිල්පයට අනුව බිහිවුණු ගොඩනැඟිලි කොළඹ කො‍ටුව අවට තියෙනවා. හැමදෙනාම දන්න ඕලන්ද ඉස්පිරිතාලය හෙවත් ඩච් හොස්පිටල් කියන්නේ එයින් ජනප්‍රියම එකක්. එතනින් එහාට කාර්ගිල්ස් එකයි කේ.එෆ්.සී එකයි තියෙන කාර්ගිල්ස් මිලර්ස් ගොඩනැගිල්ලත් එහෙමයි. ඒක ඇතුළේ ඇවිදින කොටත් අර අතීත ලෝකයකට අයිතියි කියන හැඟීම අපිට දැනෙනවා. මීට අමතරව කො‍ටුවේ පරණ තැපැල් කාර්යාලය, ග්‍රෑන්ඩ් ඔරියෙන්ටල් හෝටලය, පරණ පාර්ලිමේන්තුව එහෙමත් මේ ලැයිස්තුවට ඇතුළත්.

ගංගාරාමය පන්සල-ගංගාරාමය පන්සල කියලා ගොඩක් අය දන්නේ වැවත් එක්ක තියෙන සීමාමාලකය. ගොඩක් අය වැඳපුදාගන්න සහ සිරි නරඹන්න කියලා එන්නෙත් එතනට තමයි. හැබැයි ගංගාරාමය කිවුවහම යන්න ඕන සීමාමාලකයට විරුද්ධ පැත්තේ ඇතුළට වෙන්න තියෙන පරණ පන්සලට. බොහොම සුන්දර ප්‍රතිමා සහ මියුරල් නිර්මාණ එක්ක තියෙන මේ පැරණි පන්සල 19 වන සියවස අගදී හික්කඩුවේ සිරි සුමංගල නාහිමි විසින් ආරම්භ කරපු, ලංකාවේ තියෙන පැරණිතම පුදබිමක්. පන්සල ඇතුළේ සහ පිට හැමතැනම තියෙන පැරණි ප්‍රතිමා සහ වෙනත් කෞතුක වටිනාකම් තියෙන පෞරාණික වස්තූන් එක්ක ගංගාරාමය පන්සලට කෞතුකාගාරයක අසිරියක් ලැබිලා තියෙනවා. ඉතින් ඊළඟට සීමාමාලකය බලන්න එන ගමනේදී ගංගාරාමය පැරණි පන්සලටත් ගොඩවැදිලා යන එක පාඩු නෑ.

ජමි උල්-අල්ෆර් මස්ජිදය හෙවත් රතු පල්ලිය-කො‍ටුවේ මහ වීදියේ කලබලය අතරින් පිටකො‍ටුව පැත්තට ඇවිදගෙන යනකොට වම් අත පැත්තෙන් අහස උසට නැගුණු රතු පාට මුස්ලිම් දේවස්ථානයක් පේන්න පටන් ගන්නවා. ඒ තමයි චිරප්‍රසිද්ධ කො‍ටුවේ රතු පල්ලිය. මේ උත්තුංග පල්ලි ගොඩනැගිල්ල අපේ හිත ඇදගන්නේ රතු පාට නිසා විතරක් නෙවෙයි. මේ පල්ලිය නිර්මාණය කරලා තියෙන ඉන්දු-සැරසෙනික ගෘහනිර්මාණ ශිල්පීය නිපුණතාවය අදහන්න වටිනවා. ඇත්තටම ගොඩක් දෙනෙක් කියන්නේ රතු පල්ලිය ලෝක අවධානයට පාත්‍ර වෙන්න වටින තරමේ ගෘහනිර්මාණ ශිල්පීය අරුමයක් කියලා. 1908 අවුරුද්දේ නිර්මාණය කරපු මේ රතු පල්ලිය ඈත මුහුදටත් පේන නිසා, ඇතැම් විට සේලරුවෝ කොළඹ වරායට එල්ලය තියාගන්න සලකුණක් විදියට පාවිච්චි කළා කියලත් කතාවක් තියෙනවා. මේ කොළඹ යනවා නම් ගිහින් බලන්න වටින තැනක්!

බැද්දගාන වෙහෙරකඩ නටඹුන්-කොළඹ කියන්නේ ප්‍රධාන යටත් විජිත නගරය කියලා දැනගෙන ඉන්න ගොඩක් අයට අමතක වෙන කාරණය තමයි, කොළඹ නැතිනම් හරියටම කෝට්ටේ කියන්නේ සිංහල රාජධානියක් වුණු බව. කෝට්ටේ යුගය කියලා කියන කතන්දර අහලා ඇතිනේ. ඉතින් කොළඹ සහ නගරයේ පිටත තවමත් මේ කෝට්ටේ රාජධානියට අයත් පුරාවිද්‍යාත්මක වටිනාකම් තියෙන තැන් සෑහෙන්න තියෙනවා. කුතුහලය තියෙන කෙනෙක්ට මේ තැන් බලන්න යන්නත් පුලුවන්.ඇතුල් කෝට්ටේ නවීන ඉදිකිරීම් සහ නිවෙස් අතරින් ගිහින් මේ ප‍ටු මාර්ග වල ඈත කෙලවරට ආවහම දකින්න පුලුවන් ඔයත් එක්කම තියෙන ස්ථූප දෙකක නටඹුන්. මේ තමයි වෙහෙරකඩ නටඹුන්. මේවා සංරක්ෂණය කරලා තියෙන්නේ. හැබැයි මේවා ඒ තරම් උස් නැහැ. ඒ නිසාම පන්සලක ස්ථූප කියන්නත් බැහැ. සමහරු කියනවා මේ හයවන පරාක්‍රමබාහු රජුගේ සොහොන් ගැබ කියලා.මීට අමතරව මේ අවට තවත් කෝට්ටේ යුගයට අයත් පුරාවිද්‍යාත්මක වටිනාකම් තියෙන තැන් කීපයක්ම තියෙනවා. අලකේෂ්වර මාලිගය එයින් තවත් එකක්.

අංක 11 කොළඹ, ජෙෆ්රි බාවාගේ නිවස-ජෙෆ්රි බාවා ගැන හැමෝම දන්නවනේ. ලංකාවේ හිටපු ගෘහ නිර්මාණ ශිල්පයේ අගතැන්පත් ප්‍රාඥයෙක් වුණු බාවා ගැන ගොඩක් අය නොදන්න දෙයක් තමයි, බාවාගේ කොල්ලුපිටියේ තියෙන නිවස මේ වනවිට කෞතුකාගාරයක්ය කියන එක. කොල්ලුපිටියේ 33 වෙනි ලේන් එකේ තියෙන මේ අංක 11 නිවස පිටින් ඒ තරම් දෙයක් විදියට පේන්නේ නැහැ. හැබැයි ඇතුළට යනකොට ඕනම කෙනෙක්ට අපූරු වෙනස්ම ලෝකයකට ගියා කියලා දැනෙන්න පටන් ගන්නවා. ජෙෆ්රි බාවා කියන මනුස්සයාගේ තිබුණු ගෘහ නිර්මාණ ශිල්පීය දක්ෂතා විතරක් නෙවෙයි, එතුමාගේ රසඥතාවයත් තේරුම් යන්න පටන් ගන්නවා. ඒ වගේම අර පශ්චාත් යටත් විජිත කාලයට අයිති අපූරු මන්දිරයක් ඇතුළේ ඇවිදිනවා කියන අපූරු හැඟීමත් දැනෙන්න පටන් ගන්නවා. රුපියල් 1000ක් ගෙවලා ටිකට් එකක් අරගෙන යන්න වුනත්, මේ චාරිකාව ජීවිතේටම වටිනවා කිවුවොත් හරි.

ඕලන්ද කෞතුකාගාරය-කොළඹ කො‍ටුවේ වංකගිරියක් වගේ විහිදුණු හරස් පාරවල් මැද්දේ එක තැනක තියෙනවා පරණ තාලේ එතරම් පෙනුමක් නැති යෝධ කුළුණු තියෙන උස ගොඩනැගිල්ලක්. මේ තමයි ඕලන්ද කෞතුකාගාරය. මෙතන තියෙන විශාල දොර‍ටුවෙන් ඇතුළට යන ඕනෑම කෙනෙක්ට ක්ෂණයකින් අමතක වෙනවා තමන් ඉන්නේ ජනාකීර්ණ කො‍ටුව, පිටකො‍ටුව ප්‍රදේශය මැද කියලා. ඒ තරමට මේ උද්‍යානය සහ කෞතුකාගාර ගොඩනැගිල්ල නිස්කලංකයි. මේ ගොඩනැගිල්ල හදන්නේ 17 වෙනි සියවසේ හිටපු ‍තෝමස් වෑන් රී කියන ලන්දේසි ආණ්ඩුකාරවරයා විසින්. මේ දෙමහල් ගොඩනැගිල්ල ඊට පස්සේ රෝහලක්, පොලිස් පුහුණු මධ්‍යස්ථානයක් සහ කො‍ටුව තැපැල් කාර්යාලය විදියටත් භාවිතා වෙලා අන්තිමට ඉංග්‍රීසි පාලන කාලේදී පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයක් විදියටත් පාවිච්චි වෙනවා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. අද මේක සුන්දර කෞතුකාගාරයක්. ඕලන්ද පාලන සමයට අයිති කෞතුක වටිනාකමක් තියෙන පැරණි වස්තූන් තුන්දහසක් විතර මෙතන තියෙනවා.

සපුමල් පදනම-කොළඹ ජාතික කලා භවන, ලයනල් වෙන්ඩ්ට් එක වගේ පැරණි චිත්‍ර කලාගාර වගේම අලුත් ආට් ගැලරිත් මේ වෙනකොට කොළඹ ඇතුළේ සෑහෙන්න තියෙනවා. හැබැයි ඒ එකකටවත් වඩා සපුමල් පදනම වෙනස්. ඒ වගේම තමයි ඒ එකක් එක්කවත් සපුමල් පදනම සම කරන්න බැහැ. ඒකට හේතුව සරලයි. සපුමල් පදනම කියන්නේ ශ්‍රී ලාංකීය නව චිත්‍ර කලාවේ විකාසනය වගේම ඉතිහාසයත් සඟවා ගත්තු අපූරු චිත්‍ර කෞතුකාගාරයක්. හැබැයි ගොඩක් දෙනෙක් නොදන්න තැනක්. හැරී පීරිස්ගේ නිවස වුණු සපුමල් පදනම ඇතුළට ගියාට පස්සේ ඕනම කෙනෙක් එතන තියෙන ශාන්ත සුන්දරත්වයෙන් වශීකෘත වෙන එක සුලභ දෙයක්. මෙතන සුප්‍රසිද්ධ 43 කණ්ඩායමේ අයගේ වටිනා චිත්‍ර එකතුවක්ම තියෙනවා.