කඩොලාන සාමාන්‍ය ශාකවලට ජීවත්වීමට අසීරු පරිසර සාධක හමුවේ ඒවා ඉතා මැනවින් හැඩ ගැසී ජීවින් රාශියකට වාසස්‌ථන සපයන ශාක විශේෂ ගණනාවක එකතුවකි. ස්‌වභාවිකව අපට මේවා හමුවනුයේ ගංමෝය, කලපු සහ ගං ඉවුරු ආශ්‍රිතවය.

ශ්‍රී ලංකාවේ කඩොලාන හෙක්‌ටයාර් 10000-12000 ක්‌ පමණ පවතින අතර පුත්තලම, මඩකලපුව, ත්‍රිකුණාමලය , කල්පිටිය, කොග්ගල, කෝකිලායි, කලවැටිය, රැකව හා මීගමුව වැනි ප්‍රදේශවල විශාල කඩොලාන ප්‍රජාවන් දැක ගත හැකිය.

හෙක්‌ටයාර් 3385 ක්‌ පමණ වන ශ්‍රී ලංකාවේ විශාලතම කඩොලාන පරිසර පද්ධතිය පිහිටා ඇත්තේ පුත්තලම කලපුව ආශ්‍රිතවය. කඩොලාන ශාක විශේෂ 50 කට අධික සංඛ්‍යාවක්‌ ශ්‍රී ලංකාවේ පවතී.

කඩොලාන වැවෙන ප්‍රදේශයේ විශේෂ පරිසර සාධක හෙවත් ලක්‍ෂණ පවතී. එනම් මෙම ප්‍රදේශ වඩදිය බාදිය ක්‍රියාවලියට ලක්‌ වේ. ඇතැම් කඩොලාන පවතින ස්‌ථානවල දෛනිකවද ඇතැම් ස්‌ථානවල වසරේ විවිධ කාල වකවානුවලද පස ජලයෙන් යට වීම සහ නැවත නිරාවරණය වීම සිදු වේ.

කඩොලාන පවතින පරිසරයේ ජලය ලුණු ගතියෙන් (ලවණ සාන්ද්‍රණය) වැඩිය.තවද කඩොලාන ඇති පසෙහි පාංශූ වාතය ඉතා අඩු බැවින් නිර්වායු තත්ත්වය නිසාද සමුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය සෙමින් සිදු වේ. වියෝජන ක්‍රියාවලිය සෙමින් සිදුවීම නිසා කාබනික ද්‍රව්‍ය එකතු වී කලු පැහැති මඩ ගොහොරු තත්ත්වයක්‌ ඇති වේ. කඩොලාන ඇති ප්‍රදේශවලට තද සූර්යාලෝකය ලැබේ. තවද එම ප්‍රදේශවල අධික සුළං ද පවතී.

ඉහත සඳහන් කළ පරිසර සාධක ශාක වර්ධනය සඳහා එතරම් හිතකර නොවන බව අපට පෙනීයන කරුණකි. එසේ වුවද කඩොලාන ශාක මෙම අහිතකර පරිසර සාධක හමුවේ නොනැසී ජීවත්වීමට මැනවින් අනුවර්තනය වී ඇත.

මඩ සහිත පසක කඩොලාන ශාකයට නොපෙරළී සිටීම සඳහා “කරු මුල්” හා “කයිරු මුල්” නම් විශේෂිත මුල් කඳේ පාදයෙන් සහ අතුවලින් හට ගනී. ඒ මගින් ශාකය ඉතා හොඳින් පසට සවිකර ගනී. මහ කඩොල් හා මල් කඩොල් වල මෙම අනුවර්තනය පවතී. මහ කඩොල් ශාකවල කරු මුල් සහ කයිරු මුල් පැවතියද මල් කඩොල්වල ඇත්තේ කයිරු මුල් පමණි.

කඩොලාන ශාක ප්‍රජාවෙන් මිනිසාට හා පරිසරයට ප්‍රයෝජනයන් රැසක්‌ සැලසේ. කඩොලාන ශාක ප්‍රජාව මගින් කලපු පරිසර පද්ධතියට මෙන්ම මිනිසාට ප්‍රයෝජන රැසක්‌ ලබාදෙයි.

කැරන්කොකු ශාකයේ දළු රසවත් මැල්ලුමක්‌ ලෙස ආහාරයට ගනී. කිරල පලතුරක්‌ ලෙසද, කිරල කිරිබීමක්‌ ලෙසද භාවිත වේ. ගිංපොල් ශාකයේ වියළාගත් අතුවලින් පැදුරු මලු සහ වට්‌ටි නිපදවීම සිදු වේ. කිරලවල ස්‌වසන මුල් කපා පොරොප්ප ඇබ ලෙස සකස්‌ කරයි.

මහ කඩොල් ශාකයේ ටැනින් ග්‍රන්ථ බහුලව පවතින නිසා එම ශාකයේ පොතු ගසා මුට්‌ටියක දමා තම්බා ධීවර දැල් සායම් කර ගැනීම පාරම්පරික සිරිතකි, කඩොලාන ආශ්‍රිතව හමුවන කදුරු ශාකයේ ලීය වෙස්‌ මුහුණු කර්මාන්තය සඳහා සුලභව භාවිත වේ.

එමෙන්ම කටු ඉකිළිය යනු වටිනා දේශීය ඖෂධයකි. ගොඩනැගිලි වැට සැදීම හා ඉන්ධන සඳහා දැව වශයෙන් ද කඩොල් දැව භාවිත වේ. විශේෂයෙන් වියළි කලාපයේ සත්ව ආහාරයක්‌ ලෙස කඩොලාන අතු යොදාගනී. කලපු ධීවරයන් මසුන් ඇල්ලීමේදී මස්‌ අතු බැඳීම සඳහා මහ කඩොල් යොදා ගනී.

කඩොලාන ශාක ආශ්‍රිතව ධීවර කර්මාන්තයේදී ඉතා වැදගත් වන ඉස්‌සන්, කකුළුවන් සහ මත්ස්‍යයන්, රැසක්‌ ජීවත්වෙන අතර ඔවුනට අවශ්‍ය ආහාර, ආරක්‍ෂාව සහ සෙවණ කඩොලාන මගින් සැපයේ. ගොඩ බිම දෙසට වේගවත්ව හමා එන සුළං පහර ද, රළ පහරද කඩොලාන ශාක නිසා පාලනය වේ. එමගින් ඉවුරු ඛාදනය අඩු වේ. කොළ පොහොර නිපදවීම සඳහා ද කඩොල් පත්‍ර භාවිත වේ. මී මැස්‌සන්ට දිනපතා පරාග එකතු කිරීමට කඩොලාන ශාක වැදගත් වේ.

මෙයට අමතරව කඩොලාන ප්‍රජාව ආශ්‍රිත කොටගෙන විශේෂ රැසකට අයත් මත්ස්‍යයන්, උභයජීවීන්, උරගයන් පක්‍ෂීන් සහ ක්‍ෂීරපායින් වාසය කරති. පාසල් කඩොලාන ප්‍රජාව යනු කදිම විද්‍යාගාරයකි.

කඩොලාන ශාක වර්ධනය වන්නේ මුහුද/කලපුව හා ගොඩබිම අතර කලාපයේ නිසා රළ පහර මඟින් සිදුවන වෙරළ ඛාදනය කඩොලාන ශාක නිසා වැළකී යනවා. කඩොලාන මෙලෙස Buffer Zone එකක් ලෙසින් ක්‍රියා කිරීමේ වැදගත්කම හොඳින්ම ප්‍රදර්ශනය වූයේ සුනාමි ව්‍යසනය අතරතුරයි. විශාල මුහුදු රළ කෙලින්ම ගොඩබිම වෙත කඩාගෙන එනවා වෙනුවට කඩොලාන ගස් අතරින් පැමිණි විට සිදු වූ හානිය බොහෝ සෙයින් අඩු වී තිබුණා.

ඔබ දන්නවාද සාගරයේ හා කලපු වල ජීවත් වන බොහෝ සත්ත්ව විශේෂ තමන්ගේ කුඩා කාලය කඩොලාන මුල් අතර ගෙවා දමන බව. විශේෂයෙන්ම මත්ස්‍යයන් මෙසේ තම ජීවිතයේ මුල් අවධිය කඩොලාන මුල් අතර ගත කරන්නේ විශාල හා සංකීර්ණ කඩොලාන මුල් පද්ධතිය තුළ තමන්ට ආරක්ෂාව ලැබෙන නිසායි.

මීට අමතරව ඉස්සන් කකුළුවන් වැනි සතුන් රැසක් සතුරන්ගෙන් ආරක්ෂා වී ජීවත්වීමට කඩොලාන පරිසරයේ සහය පතනවා. මේ නිසාම කඩොලාන ශාක අතර තිබෙන්නේ ඉතාමත් විශාල හා සංවේදී පරිසර පද්ධතියක් වන අතර මෙහි ඇසට නොපෙනෙන කුඩා ප්‍රමාණයේ ජීවීන්ගේ සිට අඩි ගණනක් දිගින්‍ යුතු විශාල මත්ස්‍යයන් පවා ජීවත් වනවා. කඩොලාන ශාක විනාශ වන විට මෙම සතුන්ට බිත්තර දැමීමට, ආරක්ෂා සහිතව ජීවත්වීමට තිබෙන ප්‍රදේශ නැතිවී ගොස් කලක් යන විට එම සතුන්ගේ ගහනය අඩු වී යනවා. මෙයින් විශාලම තර්ජනය ඇති වන්නේ ධීවර ප්‍රජාවට බව අමුතුවෙන්ම කියන්න ඕනෙ නෑ නෙ.

. කඩොලාන ශාක වලට සාමාන්‍ය ශාක මෙන් කිහිප ගුණයකින් කාබන් උරා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ කියන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා වායුගෝලයට එකතුවන කාබන් ඩයොක්සයිඩ් උරාගෙන අපිට හුස්ම ගැනීමට ඔක්සිජන් ලැබෙනවා. මෙම ක්‍රියාව සාමාන්‍ය ශාක වලට වඩා කිහිප ගුණයකින් වැඩිපුර කඩොලාන ශාක වලින් ඉටු වෙනවා වූවත් මේ පිළිබඳ අපේ රටේ ජනතාවට තිබෙනා දැනුම අඩු නිසා ඔවුන් කඩොලාන ශාකයක් කොතරම් වටිනවාද කියා දන්නේ නැති තරම්.

මෙවැනි වටිනාකම් නිසා කඩොලාන හඳුන්වන්නේ ලෝකයේ ඵලදායීතාවය වැඩිම සහ ජීවවිද්‍යාත්මක ලෙසින් ඉතාමත් සංකීර්ණ වූ වනාන්තරය පද්ධතියක් ලෙසිනුයි. මීට අමතරව මුහුද හා ගොඩබිම වනාන්තරය එකිනෙකට යා කෙරෙනා පාලමක් ලෙසින් කඩොලාන හඳුන්වන්නේ කඩොලාන වනාන්තර අතරමැද සිට එම පරිසර පද්ධති එකිනෙක සම්බන්ධ කරන නිසායි.

ලෝකයෙන්ම නිවර්තන කලාපයට විශේෂ මේ කඩොලාන වලට ලැබිය යුතු අවධානය හා වටිනාකම අපේ රටේදී ලැබෙනවාද යන්න තරමක් ගැටළු සහගත වූවත් රටක් ලෙස කඩොලාන ශාක ප්‍රජාවක් අප සතු වීම අප රට ලැබූ භාග්‍යයක් වන අතර එවන් සුවිශේෂී වූ පරිසර පද්ධතියක් රැක ගැනීමට කටයුතු කරනා රාජ්‍ය නිළධාරීන් සිටීම පරිසරයට ආදරය කරන අපගේත් භාග්‍යයක්. මේ සටහන ඇය නැගූ හඩට අප විසින් ලබා දෙන ශක්තියයි.

මෙසේ මිනිසාටත් පරිසරයටත් ඉමහත් ප්‍රයෝජනයක්‌ ලබා දෙන කඩොලාන ශාක ප්‍රජාවන් අහිතකර මිනිස්‌ ක්‍රියාකාරකම් රැසක්‌ නිසා විනාශවෙමින් පවතී. නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා එළිපෙහෙළි කිරීම, ඉස්‌සන් කොටු දැමීමට කඩොලාන විනාශ කිරීම, අපද්‍රව්‍ය සහිත දූෂිත ජලය කලපුවලට එකතුවීම, බෝට්‌ටුවලින් එකතු වන තෙල් නිසා කලපු ජලය දූෂණය වීම, දැව සඳහා මහා පරිමාණයෙන් කඩොලාන ගස්‌ කපා දැමීම, කඩොලාන ප්‍රදේශවල පොල් ලෙලි පල් කිරීම සඳහා වළවල් හෑරීම කර්මාන්ත ශාලාවලින් හා නිවාසවලින් බැහැර කරන කැලි කසළ කඩොලානට එකතු කිරීම, කඩොලාන ආශ්‍රිතව කලපු ඉවුරුවල සංචාරක හෝටල් ඉදිකිරීම, වන සතුන් දඩයම් කිරීම සඳහා කඩොලාන ගිනිතැබීම, මත්පැන් නිෂ්පාදනය සඳහා කඩොලාන ප්‍රදේශ විනාශ කිරීම වැනි කරුණු මේ අතර වේ.

විනාශ වෙමින් පවතින කඩොලාන සම්පත ආරක්‍ෂා කර ගැනීම සඳහා අපට ගත හැකි ක්‍රියාමාර්ග රැසක්‌ ඇත. ඒවායින් කිහිපයක්‌ ලෙස කඩොලාන විනාශ කර ඇති ස්‌ථානවල නැවත කඩොලාන සිටුවීම , කඩොලන පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම, කඩොලාන පවතින ප්‍රදේශ සංරක්‍ෂිත ප්‍රදේශ බවට ප්‍රකාශ කිරීම, විකල්ප ආදායම් / සම්පත් පරිහරණ ක්‍රම හඳුන්වාදීම, කලපු දූෂණය අවම කිරීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීම වැනි ක්‍රියාමාර්ග නම් කළ හැකිය.

දැනට ශ්‍රී ලංකාවේ පවතින කඩොලාන ප්‍රජාවේ ප්‍රමාණය කුඩා වුවද ඉන් සිදුවන මෙහෙය සුළුපටු නොවේ. ප්‍රජාව දායක කර ගනිමින් විනාශ වූ ස්‌ථානවල නැවත කඩොලාන ස්‌ථාපනය කිරීමේ ව්‍යාපෘතියක්‌ කැස්‌බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මගින් පුත්තලම කලපුවේ ක්‍රියාත්මක කරනු ලබයි.එහිදී වෙරළබඩ පක්‍ෂීන්ගේ භෝජන කලාප, තොටුපළ පවතින ස්‌ථාන, කලපු ගොඩබිම සහ කඩොලාන විශේෂ සංයුතිය පිළිබඳව විශේෂ අවධානයක්‌ යොමු කර ඇත. තවද කඩොලාන සම්පතෙහි ඇති වැදගත්කම පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීමද මෙම ව්‍යාපෘතියෙන් සිදු කරන්නේ සාගර, කැස්‌බෑවුන්ටද කඩොලාන සහිත කළපු පරිසර පද්ධතියෙන් ඉමහත් සේවයක්‌ වන බැවිනි.