“මාගේ සොයුරු ඊජිප්තුවේ රජු වෙත යි. මේ පණිවිඩය ඔබේ සොයුරු අලාෂියාවේ රජු වෙතින්. අප්‍රමාදීව මාගේ පණිවිඩකරු සමග ඔබේ පණිවිඩකරුව එවන්න. ඔබට අවැසි සියලුම තඹ මා ඔබ වෙත ලැබීමට කටයුතු කරන්නම්.”මේ වදන් පෙළ අන්තර්ගත වන්නේ ඊජිප්තු පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් 19 වැනි සියවසේ දී ඊජිප්තුවේ අමානා ප්‍රදේශයෙන් සොයාගන්නා ලද ‘අමානා ලිපි හුවමාරුව’ ලෙස හඳුන්වනු ලබන ක්‍රි. පූ. 1375 වර්ෂයට අයත් රාජ්‍ය තාන්ත්‍රික ලිපි ගනුදෙනු සටහන් කරන ලද මැටි පුවරු එකතුවක යි. එහි සඳහන් වන ඊජිප්තු රජු 1353 – 1336 අතර කාලයේ දී ඊජිප්තුවේ පාලන කටයුතු මෙහෙය වූ ආඛනේටන් රජු (ටූටන්කාමුන් රජුගේ පියා) බව හඳුනාගැනීමට ඉතිහාසඥයින් සමත් වුව ද, ඔහු සමග ලිපි හුවමාරු කර ගත් රජු සහ ‘අලාෂියාව’ යනුවෙන් හැඳින්වෙන රාජ්‍යය කුමක් ද යන්න ගැන නිවැරදි තොරතුරු අනාවරණය කරගැනීමට ඔවුන් තවමත් සමත් වී නැහැ.

බොහෝ ඉතිහාසඥයින්ගේ මතය වන්නේ තඹ ලෝහය බහුලව පැවති බවට නිගමනය කළ හැකි ‘අලාෂියාව’ වත්මන් සයිප්‍රස් ජනරජය විය හැකි බව යි. නමුත් සත්‍ය වශයෙන්ම තඹ ලෝහය බහුලව පැවති පුරාණ නගරය, සයිප්‍රස් ජනරජයේ ‘එන්කෝමි’ ගම්මානයදැ යි අනාවරණය කරගැනීම සඳහා දියත් කරන ලද පුරාවිද්‍යා ගවේෂණයක් තවමත් අවසන් වී නොමැති හෙයින් ඒ පිළිබඳව අවසන් නිගමනයකට පැමිණිය නොහැකි බව යි වාර්තා වන්නේ. දැනට හෙළිදරව් වී ඇති ආකාරයට ලෝකඩ යුගයේ අවසන් කාලයේ දී (එනම් ක්‍රි. පූ. 15 – 11 සියවසේ දී පමණ) තඹ වෙළඳාමේ කේන්ද්‍රස්ථානය ලෙස නම් ලද එන්කෝමි නුවර, පුරාණ සයිප්‍රස් ජනරජයට ධනය රැගෙන ආ ප්‍රධානම මූලාශ්‍රය ලෙස සැලකෙනවා.

එන්කෝමි නුවර ඉතිහාසය සොයා ඉදිරියට මැටි පුවරුවල සඳහන් වන අතුරුදන් වූ තඹ නගරය සොයා 1896 දී බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ග්‍රීක-රෝම ඉතිහාසය පිළිබඳ විශේෂඥ ඇලෙක්සාන්ඩර් මරේගේ ප්‍රධානත්වයෙන් මුල්වරට කැනීම් කටයුතු අරඹා ඇත්තේ නැගෙනහිර දිග සයිප්‍රසයේ තුර්කි පාලනය යටතේ පවතින ප්‍රදේශයක් ආශ්‍රිතව යි. එම කැනීම් කටයුතුවල දී රන්, රිදී, ලෝකඩ, කිරිගරුඬ භාණ්ඩ, මිණි කැට සහ විසිතුරු පිඟන් භාණ්ඩ සහිත සොහොන් කොත් සිය ගණනකින් යුතු විශාල සුසාන භූමියක් සොයාගැනීමට පුරාවිද්‍යාඥයින් සමත් වී තිබෙනවා. එම සොහොන් කොත් අතිශය පැරණි බවට මුල දී මතයක් ඇති වුව ද පුරාවිද්‍යාඥ ඇලෙක්සාන්ඩර් මරේගේ මතය වුණේ එහි අන්තර් ගත වූ පිඟන් භාණ්ඩ, 3 – 14 වැනි සියවසට අයත් බව යි.

පසුව 1913 දී සයිප්‍රස් පුරාවිද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු වූ ඔක්ස්ෆර්ඩ් සරසවියේ මහාචාර්ය ජෝන් මයර්ස්, මාස 3ක කාල සීමාවක් සඳහා කැනීම් කණ්ඩායම සමග සම්බන්ධ වී ඇති අතර අදාළ ප්‍රදේශයෙන් නගර ප්‍රාකාර මාලාවක් සොයාගැනීමට ඔහු සමත් වී තිබෙනවා. ඒ ඔස්සේ දිගින් දිගටම කැනීම් සිදුකරගෙන යාමේ දී හෙළිදරව් වී ඇත්තේ අදාළ නගර ප්‍රාකාර, බයිසන්ටයින් හෝ ග්‍රීක-රෝම ශිෂ්ටාචාරයට අයත් ඒවා නොව වෙනත් පුරාණ නගරයකට අයත් නටඹුන් බව යි. ඒ අනුව එම සොහොන් කොත් අතිශය පැරණි බවට වූ පුරාවිද්‍යාඥ ඇලෙක්සාන්ඩර් මරේගේ මුල් මතය තහවුරු වී තිබෙනවා.

අලාෂියාව යනු වත්මන් සයිප්‍රස් ජනරජය ද?ඒ අනුව අමානා ලිපි හුවමාරුවට අයත් මැටි පුවරුවල සඳහන් වන තඹ ලෝහයෙන් ඉසුරුමත් අලාෂියාව, වත්මන් සයිප්‍රස් රාජ්‍යය ද යන්න සොයා බැලීම සඳහා පුරාවිද්‍යා ගවේෂණ කටයුතු නොකඩවා පවත්වාගෙන යාමට පසුකාලීන පුරාවිද්‍යාඥයින් කටයුතු කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අනාවරණය වී ඇත්තේ මහාචාර්ය ජෝන් මයර්ස් විසින් සොයාගන්නා ලද නගර ප්‍රාකාර, ක්‍රි. පූ. 1340 – 1200 අතර කාලයේ දී පැවති පුරාණ නගරයකට අයත් බව යි. එසේම අදාළ නගර ප්‍රාකාරයන්ට මැදිව සුසාන භූමියක් පමණක් නොව නිවෙස්, දේවස්ථාන, තඹ සහ ලෝකඩ භාණ්ඩ නිෂ්පාදනාගාර පැවතී ඇති බවට කරුණු හෙළිදරව් වී තිබෙනවා. මෙසේ තඹ නිෂ්පාදනාගාර පැවති බව සොයාගැනීමෙන් පසුව බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ අමානා ලිපි හුවමාරුවට අයත් මැටි පුවරුවල සඳහන් වන තඹ ලෝහයෙන් ඉසුරුමත් අලාෂියාවේ අගනුවර ලෙස එන්කෝමි ගම්මානය පවතින්නට ඇති බව යි.

කෙසේ වුව ද 1974 දී තුර්කිය විසින් සයිප්‍රස් ජනරජය ආක්‍රමණය කිරීම හේතුවෙන් වැඩිදුර කැනීම් කටයුතු තාවකාලිකව නතර කර තිබෙනවා. ඒ හේතුවෙන් තවමත් පුරාවිද්‍යාඥයින්ට 11 වැනි සියවසේ දී සයිප්‍රසයේ ප්‍රධාන වෙළඳ නගරය ලෙස සලාමිස් නගරය නැගී සිටීම හේතුවෙන් බිඳ වැටුණු එන්කෝමි ගම්මානය, සත්‍ය වශයෙන්ම පුරාණ ලෝකයේ තඹ නගරය ලෙස පැවති බව තහවුරු කිරීම සඳහා අවැසි තොරතුරු ලැබී නොමැති බව යි සඳහන් වන්නේ.