Sat. Feb 29th, 2020

Lanka Online

Sri Lanka Online News

විශ්වය ගැන රහස් රැසක් දැන සිටි හයිපතියා

මේ කතාව සියවස් 17කට එහා පරණ එකක්. නමුත් මේ කතාවෙන් මානව සමාජයට ලබාදෙන පණිවුඩය සදාකාලයටම නැවුම් සත්‍යවාදී මෙන්ම අමරණීය එකක්.ක්‍රි.වර්ෂ 350 – 415 කාලසීමාව වනවිට පෙරදිග රෝම අධිරාජ්‍යය පැරණි ඊජිප්තුව තෙක්ම පැතිරී තිබුණි. එකල ලොව වටිනාම පුස්තකාලය පිහිටා තිබුනේ ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නුවර වන අතර එම පුස්තකාලය ලොව පුරාම ප්‍රසිද්ධව තිබුණේ ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය නමින්. තවත් තැනෙක එය දැනුමේ මහා භාණ්ඩාගාරය ලෙසද අර්ථ දක්වා තිබේ.ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලයේ පාලකවරයා වූයේ මහා දාර්ශනිකයෙක් හා ගණිතඥයෙක් වූ “තියොන්” ය. ඔහූ ඉහත කී විෂයන් තුළ කෙල පැමිණි පුද්ගලයෙකි. මේ ශ්‍රේෂ්ට මිනිසාගේ එකම දියණිය නමින් “හයිපතියා” විය. ඇය ක්‍රි.වර්ෂ 360දී උපත ලබන්නට ඇතැයි විශ්වාස කෙරේ. කුඩා කාලයේ සිටම ඊජිප්තු දැරියන් ගෙදරදොරේ වැඩට සම්බන්ධ කරගත්තද තියොන් තම දියණියට සිප්සතර මනාව කියාදෙන්නට විය.

පියාගේ ඇවැත්ත නිසාම ඇය ඇතැන්ස් නුවරට ගොස් ග්‍රීසියේ විසූ මහා දාර්ශනිකයන් වන ප්ලේටෝ, ඇරිස්ටෝටල්, ප්ලෝටිනස් හා පාමෙනිඩිස් යන අයගේ ඉගැන්වීම්ද උගත්තීය. තම පියාගෙන්ද තාරකා විද්‍යාව හා ගණිත විෂය පිළිබඳ මහා දැනුමක් ලබාගත්තාය. ඇයගේ දැනුමට සමකළ හැකි කාන්තාවක් එකල මිහිපිට සිටි බවක් අපට සිතාගත නොහැක.ඇයගේ මහා දැනුම තව තවත් ගෝලයන්ට ලබා දී ඇලෙක්සැන්ඩ්‍රියාව දැනුමේ කේන්ද්‍ර නගරය බවට පත් කිරීමේ උදාර අරමුණක් ඇයට විය. එනිසාම ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්ලේටෝනියන් පාසලට අනුයුක්ත වී නගරයේ දරු පරපුර වෙනුවෙන් දර්ශනය, ගණිතය හා තාරකා විද්‍යාව උගන්වනු ලබනවා. පසු කලෙකදී ඇය එම පාසලේ ප්‍රධානියා බවටද පත් විය. ඇගේ සිසුන් අතර ග්‍රීක දේව වන්දනාකරුවන්, ඊජිප්තු ආගමික ලබ්ධිකයන් මෙන්ම ක්‍රිස්තියානි ආගමිකයන්ද වූහ. හයිපතියා කිසිම ආගමක් විවේචනය නොකළ අතර ඇයගේ ඉගැන්වීම් තිබුණේ නව ලොවකට දැනුම පදනම් කොටගත් තාරකා විද්‍යාව, ගණිත විද්‍යාව හා දර්ශනය මතම පමණි.

හතරවන සියවස යනු බටහිර ක්‍රිස්තියානිකරණය මගින් ග්‍රීසිය, රෝමය හා තවත් රටවල් ගිලගනිමින් සිටි යුගයකි. ඊජිප්තුව දෙසටද අන්තවාදී ක්‍රිස්තියානි ආගමේ අඳුරු සෙවණැලි වැටෙන්නට විය. ක්‍රිස්තියානි නායකයන්ගේ අන්තවාදී දහමෙන් ග්‍රීක දාර්ශනික ඉගැන්වීම්වලට නිතරම බලපෑම් එල්ලවිය. මුල්ම කාලයේ ඊජිප්තුවේ වහලුන් අල්ලාගෙන බලෙන් ක්‍රිස්තියානි ආගමට හැරවූ නමුත් ටිකෙන් ටික කාලය ගෙවී යද්දී සාමාන්‍ය ජනතාවටද ඒ ඉරණමට ගොදුරුවන්නට විය.ඇලෙක්සැන්ඩ්‍රියා නගරය යුදෙව්වන් වැඩි වශයෙන් ගැවසෙන භූමියක් වුවද එහි ඊජිප්තු ආගමත් ග්‍රීක දේවවාදයත් දක්නට ලැබුණි. මේ නිසා විටින් විට ක්‍රිස්තියානි ආගමේ බලධාරීන් විවිධ ආගමික කණ්ඩායම් සමඟ අරගල ඇති කරගන්නට විය. ක්‍රිස්තියානි දහම විසින් අනෙක් සියලු ආගම් හා දර්ශන විශ්වාස කරන්නන් මිථ්‍යාදෘෂ්ටිකයන් ලෙස හදුන්වන්නට විය. එසේම මේ සෑම අවස්ථාවකම තියොන් හා හයිපතියා කිසිම පැත්තකට නොබෙදී සිටින්නට තරම් බුද්ධිමතුන් වූහ.

හයිපතියා විසින් තව දුරටත් සිය දාර්ශනික ඉගැන්වීම් සිදු කරමින් සිටි අතර ක්‍රිස්තියානි බලවතුන්ගේ බලපෑම් එන්න එන්නම දැඩි විය. ඇලෙක්සැන්ඩ්‍රියාවේ පාලකවරයාටද අවසානයේ ක්‍රිස්තියානි ආගම වැළඳගන්නට වීමෙන් තත්වය බොහෝ නරක අතට පත්විය. ඇය දිගින් දිගටම කියා සිටියෙ ඇගේ දර්ශනයේ සත්‍යය ඔප්පු කර පෙන්වීමට අවස්ථාවක් ලබාදෙන මෙන්ය. නමුත් ක්‍රිස්තියානි බලවතුන් ඇයගේ කිසිම බහකට ඇහුම්කන් දුන්නේ නැත.හයිපතියාගේ ඉගැන්වීම් අතර ප්‍රධානම තැනක් ගන්නා කරුණු තුනක් තිබේ. 01) සෞරග්‍රහ මණ්ඩලය සූර්යයා කේන්ද්‍ර කොටගෙන ඇති බව 02) සියලූම ග්‍රහයන් සූර්යයා වටා ගමන් කරන බව හා 03) සියලූම ග්‍රහයන් සූර්යයා වටා ගමන් කරන්නේ ඉලිප්සාකාර හැඩයකින් යුත් පථයක බව යනාදියයි.නමුත් ඒ වනවිට විශ්වාසය වී තිබුණේ පෘථිවිය කේන්ද්‍ර කරගෙන සෞරග්‍රහ මණඩලය අප වටේ ගමන් කරන බවටයි. හයිපතියාට ඇයගේ න්‍යාය සනාථ කර පෙන්වීමට අවශ්‍ය වූවත් ක්‍රිස්තියානිය මුල් කරගත් එකල සමාජය ඇයට කිසිම ඉඩක් දුන්නේ නෑ.

පෝලන්ත ජාතික තාරකා විද්‍යාඥයෙක් වූ නිකොලස් කොපර්නිකස් සූර්යකේන්ද්‍රවාදය එනම් හයිපතියා විසින් කල විග්‍රහය විද්‍යාත්මකව තහවුරු කර පෙන්වන තුරු මිනිසුන් විශ්වාස කලේ පෘථිවිය සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රය බවයි. එදා හයිපතියාට ඉඩ ලැබුනානම් ඇගේ මතය ඔප්පු කර පෙන්වීමට ලෝකයට තවත් වසර 1200ක් බලාසිටීමට වෙන්නෙ නෑ. එහෙනම් අද ලෝකය තවත් වසර කීයක් ඉදිරියට තියෙන දියුණුවක් ළගා කරගන්න තිබුනාද ? ඔබම පොඩ්ඩක් ඒ ගැන හිතා බලන්න.ඒ වගේම සිය පියාගේ ඉගැන්වීම් තව දුරටත් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව විශ්ව පිහිටීමේ කේතු ආකාර 04ක් පිළිබඳව සොයාගැනීමට හයිපතියාට හැකිවිය. එමෙන්ම ඇය විසින් කළ විශිෂ්ටතම සොයාගැනීම ලෙස පෙන්වාදිය හැක්කේ තරු මාලිමාව (Astrolabe) යි. ඒ මගින් සූර්යයාගේ පිහිටීම, ග්‍රහයන්ගේ පිහිටීම් හා ඒ ඒ ග්‍රහයන් අතර දුර ප්‍රමාණය මැනගන්නට හැකියාව ලැබුණි.

තරු මාලිමාව 19 වෙනි සියවස දක්වාම තාරකා විද්‍යාවේ භාවිතය සදහා යොදාගත් බව ඔබ දන්නවාද? එහි තේරුම වසර 1600ක් යනතුරු ඇයගේ තරු මාලිමාවට සමාන යන්ත්‍රයක් සාදාගැනීමට නොහැකි වූ බවයි.. ඇයගේ තවත් විශිෂ්ට නිර්මාණයක් වන්නේ පිත්තල ද්‍රවමානයයි. ද්‍රව්‍යයන්ගේ ඝනත්වය මනින්නට එකල භාවිතා කලේ එයයි.කෙසේ වෙතත් ඇලෙක්සැන්ඩ්‍රියාවේ ආගම්වාදී අරගලවලනම් නිමාවක් තිබුනේම නැත. එහි උච්චතම අවස්ථාව ලෙස දැක්විය හැක්කේ ක්‍රි. වර්ෂ 391 දී සෙරාපියුම් දේවස්ථානය හා ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය ගිනි තබා විනාශ කර දැමීමේ සිද්ධියයි. සෙරාපියුම් දේවාලය ග්‍රීක – ඊජිප්තු දෙවිවරුන් උදෙසා කැප කර තිබූ ගෘහ නිර්මාණ ශිල්පයෙන්ද ඓතිහාසික වටිනාකමකින්ද හෙබි ස්ථානයකි. එමෙන්ම ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය දැනුම් සාගරයකි. ඉතිහාසයේ සදහන් පරිදි මේ ගින්න අතරතුරදී පුස්තකාලයාධිපති තියොන් හා හයිපතියා විසින් වටිනා පොත් බොහොමයක් දැවෙන්නට නොදී එතනින් ඉවත් කරගෙන තිබේ.

කෙමෙන් කෙමෙන් කාලය ගෙවී ගියේය. ක්‍රිස්තු වර්ෂ 415 මාර්තු මාසයේ එක් දිනයක ක්‍රිස්තියානි බලවතුන් විසින් ඇය අල්ලා ගත්හ. ඇයට සියලූම වද දෙමින් වීදි මංමාවත් දිගේ ඇදගෙන ගියහ. ක්‍රිස්තියානි ආගම වැළඳගන්නටත්, දාර්ශනික ඉගැන්වීම් සියල්ල මිථ්‍යාවක් බව පිළිගන්නටත් ඇයට අණ කර සිටියත් ඇය දිගින් දිගටම කියා සිටියේ සත්‍යය හැර කිසිම විටෙක බොරුවට හිස නොනමන බවයි. ඇගේ ඇස්වල තිබුණේ නිර්භීත සිංහ ධේනුවකගේ බැල්මකි.අවසන් මිනිත්තු කිහිපය ළගාවිය. රුධිරය වෑහෙන හයිපතියාව නැවතත් සොල්දාඩුවන් විසින් තද කර අල්ලා ගත්හ. ළගම ඇති සීසරියම් දේවස්ථානයට ගෙන ගොස් ඇයව නිරැවත් කොට “මේකිට ගල් ගහපල්ල. මරා දමපල්ලා..” යැයි ජනතාවට අණ දුන්හ. සියලු වද වේදනා අවසානයේ ඇයගේ නිසොල්මන් සිරුර දේවස්ථානයේ බිත්ති දිගේ ඇද වැටිණ. ඔවුහු කෙතරම් මිලේච්ඡද කියතොත් ඇගේ මෘත දේහය කීතු කීතුවලට ඉරාදමා දේවස්ථානයත් සමඟම ගිනිබත් කළහ.

ක්‍රිස්තියානි ආගම විසින් “විද්‍යාව යනු ආගම්වලට ඇති ලොකුම බාධාව” ලෙස වරදවා අර්ථකථනය කල නිසා මේ විශ්වය ගැන අග්‍රගණ්‍ය සොයාගැනීම් කල නිර්භීත විද්‍යා දැරියක් ලෝකයට අහිමි විය.නමුත් ඇය තාරකා විද්‍යාවට කල විශිෂ්ට සේවය අගයනු පිණිස චන්ද්‍රයාගේ විශේෂිතම ද්විත්ව භූ ලක්ෂණ “හයිපතියානු භූ ලක්ෂණ” ලෙස නම් කරන ලදී.ඇයගේ ශ්‍රේෂ්ඨ කියමනක් වන්නේ..”Reserve your right to think, for even to think wrongly is better than not to think at all.”එහි අර්ථය”කිසිවක්ම හිතන්නැතුව සිටිනවාට වඩා වැරදියට හෝ යමක් සිතීම වඩා හොඳයි. ඒ නිසා සිතන්නට ඇති අයිතිය රැකගන්න” යන්නයි.

ස්පාඤ්ඤය විසින් නිර්මාණය කළ “Agora” චිත්‍රපටය මං බැලුවේ උපාධිය කරන්න ගත්තු මුල්ම කාලෙදී. ඉතිහාස කතා බලන්න තිබ්බ ආසාව නිසාම බැලුවා මිසක දර්ශනය, තාරකා විද්‍යාව වගේ ඒවා ගැන එහෙමටම ලොකු කියවීමක් මා තුළ තිබ්බේ නෑ. නමුත් ඒ චිත්‍රපටය නැරඹීමෙන් පසුව මා තුළ ඒ විෂයන්වලට පෙරට වඩා උනන්දුවක් ඇති උනා.ඒ ඔක්කෝටම වඩා ජීවිතය ගැන විශාල පාඩමක් ඉගෙනගත්තා. ඒකනම් මට කවදාවත් අමතක වෙන එකක් නෑ. ඒ තමයි මං මට අවංකව, සත්‍යවදීව, බොරුව ඉදිරියේ නැමෙන්නැතුව ජීවත් වීම තරම් ගෞරවයක් තවත් නෑ කියන එක.මේ කතාව කියවද්දී යම් ආගමකට අගෞරවයක් වන බව කිසිවෙකුට හිතෙන්න පුලුවන්. ඒත් බුද්ධිමත්ව හිතන අය වටහාගන්න ඕනි මා විසින් ආගමකට නොව එකල යම් ආගමක් පවරාගෙන සිටි බලවතුන් හා සුළුතර අන්තවාදී භක්තිකයන් පිරිසක් විවේචනය කල බව.එදා ක්‍රිස්තියානි ආගම හා අද පවතින ආගම අතර ලොකු වෙනසක් තිබෙන බව අපි හැමෝටම පේන දෙයක්. නමුත් ක්‍රිස්තියානියේ ඉතිහාසය දැන් තරම් මානව හිතකාමී හා සුන්දර එකක් නොවූ බව පමණක් ඔය මතකයේ තබාගන්න