මීට කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේදී. පින්වතුනි අනන්ත ගුණ ඇති පදුමුත්තර සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෝකය ප්‍රඥාවෙන් ආලෝකමත් කරමින් වැඩ ඉඳල පිරිනිවන් පා වදාළා. උන්වහන්සේ ගේ ධාතූන් වහන්සේ තැන්පත් චෛත්‍ය රාජයාණන් වහන්සේ කල් ගත වීමෙන් කෙමෙන් කෙමෙන් වනයෙන් වැසී ගියා.මිනිසුන්ගෙන් ටික ටික ඈත් වෙමින් අමතක වෙමින් පැවතුනා. නඩත්තු කරන්න කෙනෙක් නැතුව ගියා. දැන් බලන්න පින්වතුනි අපේ රුවන්වැලි සෑය ආදී චෛත්‍ය රාජයාණන් වහන්සේලාත් අවුරුදු සිය ගානක් කැලයෙන් වැසී තිබුනනේ අන්න ඒ වගේ.ඉතින් මහ වනය නිසා කාටවත් ඒ පලාතට යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මේ පලාතේ හිටියා වනයේ හැසිරෙමින් ජීවිකාව කරන එක්තරා පුද්ගලයෙක්.

මේ පූද්ගලයා දවසක් දා වනයට පිවිසිලා ඇතුලටම අමාරුවෙන් ඇවිදගෙන ගියා. එතකොට එක පාරටම වනයෙන් වැසී තැනින් තැන කැඩී ගිය වල්බිහිවෙලා ගිය චෛත්‍ය රාජයාණන් වහන්සේ දැක්කා. දකිනවාත් සමගම මේ තැනැත්තා ට බුදු රජාණන් වහන්සේ පිළිබඳ සිහි වෙන්න පටන් ගත්තා. ගෞරවණීය හැඟීමක් ඇති වෙන්න පටන් ගත්තා. ” බුද්ධස්ස ථූපෝ” අනේ ශ්‍රේෂ්ඨ වූ සම්බුදු රජාණන් වහන්සේගේ චෛත්‍ය නේද මේ බිඳ වැටිලා තියෙන්නේ.මේ විදිහට පින්වතුනි මහත් සංවේගයක් හිතේ ඇති වුණා. මෙයා කල්පනා කළා මං මේ චෛත්‍ය පිරිසිදු කරන්නේ නැතුව වෙනත් වැඩක් කරන්න හොඳ නැහැ කියලා බුදු ගුණ සිහි කොට චෛත්‍ය පිලිසකර කරන්න පටන් ගත්තා. සෑය වසා ගෙන වැවී තිබුණු ගස් වැල් කපල අයින් කරලා වටේට වල් පැලෑටි ගලවා ඉවත් කරල පුලුවන් උපරිම ආකාරයෙන් චෛත්‍ය රාජයාණන් වහන්සේ පිරිසිදු කළා. පිරිසිදු කරල චෛත්‍ය ට පිටුපාන් නැතුව අට වතාවක් වන්දනා කරලා යන්න ගියා.

ඔය විදියට එයාගේ ජීවිතය ගත වෙලා ගිහින් මිය පරලොව ගියා. ඒ සිද්ධ කර ගත් පුණ්‍ය බලයෙන් තව්තිසා දිව්‍යලෝකයේ ඉපදුනා. පින්වතුනේ හරිම පුදුමයි මේ දිව්‍ය රාජයා ගේ විමානය යොදුන් හැටක් උසයි යොදුන් තිහක් පළල් තනිකර මැණික් වලින් තමයි නිර්මාණය වෙලා තිබුණේ.ආලෝකේ විහිදෙනවා ඈතට. බලන්න පින්වතුනි පිනක මහිමය. ඔය විදියට මෙයා තුන්සිය වතාවක් දෙව්ලොව දිව්‍ය රාජයෙක් වෙලා ඉපදුනා. ඊටපස්සේ මනුස්ස ලෝකයේ විටන් විට විසිපස් වතාවක් සක්විති රජ වුණා. එහෙම සසරේ යනකොට පින්වතුනි පුදුම විදියට භෝග සම්පත් ලැබුණේ. කිසිම දෙයක් කිසිමදාක අඩුවක් නම් උනේ නෑ. චෛත්‍ය පිරිසිදු කිරීමේ පිනෙන්.

සංසාර ගත ජීවිතයේ දී වනයේ ගමන් කරන විට වනය විසින් ම එයාව ආරක්ෂා කළා හැප්පෙන්න දෙයක් හරි ඇනෙන්න කටු හරි තියෙනවා නම් එවා ඉබේම ඉවත් වෙනවා.බලන්න පිනක මහිමය හරී පුදුමයි. ඒ විතරක් නෙවෙයි දස කුෂ්ට ගඩු මිමැස්මොර කැසිලි ඇදුම ආදී ලෙඩ රෝග මෙයාට සසර පුරා හැදුනේ නැහැ. ඒ චෛත්‍ය පිරිසිදු කිරීමේ පිනෙන්.පින්වතුනේ ඊට අමතරව ආශ්චර්යමත් සිදුවීමක් සිදු වුණා මෙයාට ඒ පුණ්‍ය බලයෙන් ඒ තමයි මෙයාට සසර පුරා පිළිකා රෝගය හැදුනේ නැහැ. දැන් බලන්න පින්වතුනි පිළිකාව නිසා අදටත් කොච්චර මිනිසුන් මිය යනවද. එතකොට අපිට මේකෙන් හොඳ පණිවිඩයක් ලබා දෙනවා ඒ කියන්නේ චෛත්‍ය පිලිසකර කිරීම පිළිකා රෝගීන් සඳහා හොඳම පින්කමක් පින්වතුනි අපි ලෙඩකට බෙහෙත් ගන්න අතරම පින් කරන්න ඕන. මොකද අපේ නිරෝගී සුව උදෙසා පින බලපානවා.

ඊළඟ ට පින්වතුනි මෙයාට සසරේ ගමන් කරද්දී චෛත්‍ය පිරිසිදු කිරීමේ පිනෙන් දිව්‍යලෝකයේ සහ මනුෂ්‍ය ලෝකයේ විතරයි ඉපදුණේ. ඒ කියන්නේ කවදාවත් අපායේ ගියේ නෑ. ඒ වගේම පින්වතුනි මෙයා දිව්‍යලෝකයේ හරි මනුෂ්‍ය ලෝකයේ හරි කොහේ හරි ඉපදුනාම හරිම ලස්සනයි හරිම පැහැපත් පෙනුමක් ලැබුණා. ඒවගේම පින්වතුනි චෛත්‍ය පිරිසිදු කිරීමේ පිනෙන් මෙයාට සසරේ ගමන් කරද්දී කැමති දේවල් විතරයි ලැබුණේ අකමැති දේවල් ලැබුණේ නැහැ. බලන්න පින්වතුනි ඒකම කොච්චර ලොකු දෙයක් ද නේද? ඇයි අපිට ලැබෙන්නේ කැමති දේවල් විතරක් නෙවෙයි නේද අපි අකමැති දේවල් කොච්චර ලැබෙනවද. ඒ වෙලාවට අපි කොච්චර දුක් වෙනවද. ඉතින් මෙයාට හැම දෙයක්ම ලැබුණේ කැමති දේවල්.

ඒවගේම පින්වතුනි ඔය හැමදේකටම වඩා අසිරිමත්ම දේ වුණේ ඒ පුණ්‍ය බලයෙන් මෙයා භාවනා කරන්න ගියාම ඉක්මනින් සිත එකඟ වෙනවා. ඒ කියන්නේ කාමච්ඡන්දය ව්‍යාපාදය ථීනමිද්ධය උද්ධච්ච කුක්කුච්ච විචිකිච්චා කියන නීවරණ ධර්මයන් යටපත් වෙලා සිත සමාධිගත වෙනවා. පින්වතුනේ සමාධිය ලබා ගන්නට තිබෙන අමාරුව අපහසුතාවය දන්නේ භාවනා කරන උදවිය.එතකොට තවත් දෙයක් අපිට මේකෙන් පේනවා ඒ තමයි සමාධිය ලබන්නත් පින බලපානවා කියන එක.දැන් තමයි පින්වතුනි ගොඩක් ම අසිරිමත් දේ ගැන කියන්න යන්නේ. ඔව් ඒ චෛත්‍ය පිරිසිදු කිරීමේ පිනෙන් මේ තැනැත්තා ට ගෞතම බුදු සසුනේ එක ආසනයේ දීම උතුම් අරහත්වයට පත් වීමේ වාසනාව ලැබුණා. ඒ තමයි පින්වතුනි ගෞතම බුද්ධ ශාසනයේ වැඩ සිටි ඒ මහා බලසම්පන්න පුණ්‍ය වන්ත අති උත්තම අති පාරිශුද්ධ” පභංකර” නම් මහරහතන් වහන්සේ.

පින්වතුනේ උන්වහන්සේ දවසක් දා සමාධියට සමවැදී පුබ්බේනිවාස කියන ඥානයෙන් තමන් වහන්සේට සසර දුකින් මිදීමට හේතු වෙච්ච පෙර කරපු පිං ගැන සොයා බලද්දී කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේදී කරපු චෛත්‍ය පිලිසකර කිරීමේ මේ පින්කම පිළිබඳ ව දැක වදාළා.ඉතින් පින්වතුනි අපිට අපේ ජීවිතයෙන් මේ වගේ පින්කම් කොච්චර කරන්න පුළුවන් ද.මුලින්ම අපි ශ්‍රද්ධාව හිතේ පිහිටුවා ගැනීම වැදගත්. පින්වතුනේ පිරිනිවන් පා වදාළ බුදු පසේබුදු මහරහත් ආදී උතුමන්ගේ ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇති චෛත්‍ය රාජයාණන් වහන්සේ වන්දනා කිරීම පිළිබඳව ධාතූන් වහන්සේ වන්දනා කිරීම පිළිබඳව සහ අනෙකුත් පින්කම් පිළිබඳව ” නිධිකණ්ඩ” කියන සූත්‍රයේ බුදු රජාණන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කොට තිබෙනවා. ඉතින් ඒක නිසා අපිට එක සිතින් උනන්දුවෙන් ශ්‍රද්ධාවෙන් පිළිවෙලට ලස්සනට ඒ පින්කම් කර ගන්නට පුළුවන්.බලන්න ඔබට පැහැදිලි ඇති මෙම දේශනාවෙන් සසර දුකෙන් මිදෙන්නට පින උපකාරී වන ආකාරය.ඉතින් අපි සියලු දෙනාටම බොහෝ පින් කරගෙන ඉක්මනින් සසරින් මිදෙන්න හැකි වේවා.