අනුත්තර පුරිසදම්ම සාරථි වූ අපගේ තථාගත සර්වඥයන් වහන්සේ බුද්ධත්වයෙන් නවවැනි මාසයේදී තුන්බෑ ජටිලයන් දමනය කිරීමෙහිලා යෙදී වාසය කළා. මේ පිරිස දමනය කිරීමට උන්වහන්සේ සෘද්ධි ප්‍රාතිහාර තුන්දහස් තුන්සිය තිස් ගණනක් දක්වා තිබෙනවා.උන්වහන්සේ මහා කරුණාවෙන්, ඉවසීමෙන්, උපේක්ෂාවෙන් එසේ කර තිබෙනවා. උරුවෙල් කාශ්‍යප දමනයට සෘර්ධි පාමින් සිටිද්දී එක් දිනක් කාශ්‍යප සිතනවා, අද අපට මිනිසුන් දානය ගෙනෙන දවස. ශ්‍රමණයා ඇවිත් කුමක් හෝ ප්‍රාතිහාර්යයක් පෑවොත් මිනිසුන් උන්වහන්සේට පැහැදේවි. එනිසා අද වැඩියේ නැත්නම් හොඳයි කියා සිතුවා. බුදුරජාණන් වහන්සේ ඒ සිත දැක උතුරුකුරු දිවයිනට පිණ්ඩපාතය වැඩ අනෝතත්තවිල සමීපයේ විවේකව වැඩ සිටිද්දී දිවැසින් දුටුවා බොහෝ කල් බුදුදහම පවතින්නේ ලංකා ධරණතලයේ බව. ඒ වනවිට ලංකා ධරණීතලයේ විශාල යක්ෂ බලයක් ක්‍රියාත්මක වුණා. ඒ යක්ෂ බලය ඉවත් කර බුද්ධානුභාවය පිහිට වූයේ නැතිනම් ඉදිරියේ දී ධරණීතලයේ බුද්ධ ශාසනය පිහිටවන්නට බාධා පැමිණෙනවා. මේ වනවිට පින් ඇති දෙවියන්ගේ පින මෝරා තිබෙනවා. උන්වහන්සේ දුරුතු පුන් පොහෝ දා මහිංගයනයට වැඩම කරනවා.

මහියංගන ස්තූපය ඉදිවීම එදා මහා යක්ෂ සමාජයක් එකට එකතුවෙලා සිටියා. තථාගතයන් වහන්සේ ආකාසයේ සිට තද ඝන අන්ධකාරයක් මැව්වා. ඒ අන්ධකාරයට යක්ෂයෝ බය වුණා. ඒ අය සෘර්ධියෙන් තම තමන්ගේ ආලෝක පතුරුවන්නට බැලුවත් නොහැකි වුණා. ඒ අන්ධකාරය මැදින් භාග්‍යවතුන් වහන්සේ රශ්මි දහරා විහිදවමින් ආකාසයේ වැඩ සිටියා. දැන් සියලු දෙනාට පෙනෙන්නේ උන් වහන්සේ පමණයි. කෑ ගසා කියනවා “අපට අභය දෙන්න, අපට අභය දෙන්න” කියා. එවිට උන්වහන්සේ වදාළා ඔබලාට අභය දෙන්නම් මට අසුන් ගන්න තැනක් දෙන්න කියා. “ස්වාමිනි මෙතැන වැඩ සිටින සේක්වා යි” ආරාධනා කළා. භාග්‍යවතුන් වහන්සේගේ ආකාසයේ සිට පත්කඩය වැඩම කර බිම ඇතිරුවා. උන් වහන්සේ පත්කඩයේ වැඩ සිටියා. මුලින්ම තථාගතයන් වහන්සේ බුද්ධ භූමිය කරගත්තේ මහියංගනය බිමයි. හරියටම අද චෛත්‍යය ගොඩනැඟුන තැනයි වැඩ සිටියේ. උන්වහන්සේ එතැන වැඩ සිටමින් තමන්ගේ ආනුභාවය ටික ටික පතුරුවා. එසේ පතුරන විට ගිණි ජාලාවක් ලෙස එය පැතිරි ගියා. යක්ෂයන් බියෙන් පිටු පසට, පිටුපසට ගියා. කෙතරම් ගියාද කියතත් සියලු දෙනා මුහුද ආසන්නයේ නැවතුණා.

ලංකා ධරණී තලයට පෙනෙන්නේවත් නැති කිට්ටුවත් නැති කඳු තිබෙන දිවයිනක් තිබුණා “ගිරී” කියා. භාග්‍යවතුන් වහන්සේ සෘර්ධියෙන් අර යක්ෂයන්ට පේන්න ඒ දූපත ඉදිරියට ගෙනාවා. ලංකාව වටේ සිටි යක්ෂයන්ට ඉදිරියේ පෙනෙන ඒ දිවයිනට ගියා. ඒ සියලුදෙනා සමඟ භාග්‍යවතුන් වහන්සේ නැවතත් සෘර්ධියෙන් ඒ දිවයින තිබු තැනම තැබුවා. උන් වහන්සේට මෙවැනි ආනුභාවයන් තිබෙනවා. දුරුතු පුන් පෝදා මුළු ලංකාවේම බුද්ධ ආනුභාවය පැතිරී ගියා. දෙවිවරු ආකාසයේ බැබළි බැබළි සාධුකාර දෙමින් මල්වරුසා වැස්සුවා. ඒ දෙවියන් අතර බැබලි බැබලි සමන් මලක් වන් සුමන සමන් දෙවියන් සිටියා. තථාගතයන් වහන්සේ සුමන සමන් දෙවියා ඉලක්ක කර ගනිමින් දෙවියන්ට දහම් දෙසුවා. අසූහාරදාහක් දෙවිවරු මහියංගන සෑ මළුවේදී ධර්මය අවබෝධ කළා. මහියංගන චෛත්‍යයේ ඒ ආනුභාවය අදටත් තිබෙනවා. සැදැහැ සිත් ඇත්තන්ට ඒ ආනුභාවය දකින්න පුළුවන්. හුදකලාවේ ආකාසයට එස වූ තේජාන්විත ආනුභාවය පැතිරෙන සෑයක් තමා මහියංගනය චෛත්‍යය කියන්නේ. ලංකාවේ ප්‍රථමවරට බුද්ධානුභාවය පැතුරුණු තැනයි ඒ.

සුමන සමන් දෙවියා සෝතාපන්න වුණා. දෙවියා කියනවා “ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ වැඩිය පසු අප වඳින්නේ පුදන්නේ කාටද?” බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයෙන් කේශ ධාතු අහුරක් ගෙන සුමන සමන් දෙවියන්ට දෙනවා. රත්තරං සළුවකින් එය පිළිගන්නවා. රන් සළුවේ කේශ ධාතුන්ගේ රැස් විහිදෙනවා. ශාසන ඉතිහාසයේ බුදුරජාණන් වහන්සේ කේශ ධාතුන් වහන්සේ දුන් අවස්ථා දෙකයි. තපස්සු භල්ලික වෙළෙඳ දෙබෑයන්ටත්, සුමන සමන් දෙවි රජුන්ටත්.

සුමන සමන් දෙවියන් තථාගතයන් වහන්සේ වැඩ සිටිය ස්ථානයේම ඒ කේශ ධාතු තැන්පත්කර පරම පූජනීය ශාස්තෘන් වහන්සේ වැඩහුන් තැන තවත් කෙනෙකුට නො පෑගේවායි සිතා එතැන රියන් හතක් උස ඉන්ද්‍රනීල මාණික්‍යයෙන්් සෑයක් මවා කේශ ධාතු එහි තැන්පත් කළා. තථාගතයන් වහන්සේ ජීවමාන ව වැඩ සිටිද්දී ඉදිවූ හතරවන සෑය මහියංගන සෑ රජුන්. ඒ සෑ රජාණන් වහන්සේ දෙවියන්ගෙන්, බ්‍රහ්මයන්ගෙන්, මිනිසුන්ගෙන්, නාගයන්ගෙන් වැඳුම් පිදුම් ලබනවා.

ගී‍්‍රවා ධාතුන් වහන්සේ තථාගත පරිනිර්වාණයෙන් පසුව ඒ සෑයේ තව ධාතුන් වහන්සේ නමක් නිදන් වුණා. ඒ පිටකොන්දේ අවසාන කශේරුකා වන ගී‍්‍රවා ධාතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේගේ දැල්වෙන චිතකයෙන් ගී‍්‍රවා ධාතුන් වහන්සේ වඩම්මවා සරභූ මහරහතන් වහන්සේ පන්සියක් රහතන් වහන්සේ සමඟ මහියංගන සෑයට වැඩමකර ඉන්ද්‍රනීල මාණික්‍ය සෑය තමන්ගේ ශ්‍රී හස්තයෙන් ඔසවා කේශ ධාතුන් සමීපයේ ගී‍්‍රවා ධාතුන් වහන්සේ තැන්පත් කර රියන් දහතුනක් උසට මේධ වර්ණ පාෂාණයේ සෑයක් මව්වා. සෑයක් වටකොට සෑයක් හැදීමට කියනවා කඤ්චුක සෑය කියලා. පැරැණි පොත්පත් වල ඒ බව මෙසේ සඳහන් වෙනවා.

  • බෝධිතෝ නවමේ මාසේ- ලංකං පඨම මාගතෝ
  • බුද්ධෝ සුමන දේවස්ස – කේසධාතුවරං අදා

බුද්ධත්වයට පත්වෙලා අපේ බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් සුමන සමන් දෙවියන්ට දුන්නා.

  • නිදභිත්ථාන තං දේවෝ – සත්තරතන මුච්චකං
  • ඉන්දනීලමණිමයං – ථූපං සද්ධාය කාරයි

ඒ දෙවිරජ සත්රුවන් සහිතව කේශ ධාතුන් වහන්සේලා නිදන් කොට සත් රියන් ඉඳුනිල් මිණි සෑයක් සැදැහැයෙන් කරවූයේය.

  • ගීවට්ඨිධාතුං බුද්ධස්ස – ආනෙත්වා ජම්බුදීපතෝ
  • නිධාය සරභුත්ථේරෝ – මේදවණ්ණ සීලායතං

සරභූ මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ගී‍්‍රවා ධාතුන් වහන්සේ දඹදිව සිට රැගෙනවිත් මේ උතුම් සෑයේ නිදන්කොට මේධ වර්ණ පාෂාණයෙන් තවත් කඤ්චුුක සෑයක් කර වූයේය.

  • කාරේසි ද්වාදසහත්ථ – මුච්චකං චේතියං තහිං
  • දේවානම්පියතිස්සස්ස – රඤ්ඤාභාතු කුමාරකෝ

එහි කළ ඒ සෑය දොළොස් රියන් වූයේය. එහිම කාලයක් ගියපසු දෙවියන්ට පි‍්‍රය වූ දේවානම්පියතිස්ස රජුගේ සහෝදර චූලභය කුමරු සෑයක් කරවීය.

  • උද්ධ චූළාභයෝ තිංස – හත්ථුච්චක මකාසිතං
  • දුට්ඨගාමිණි භුමින්දෝ – සාසනෝදය කාමකෝ

චූලාභය කුමරු කළ ඒ සෑය තිස් රියන් උස කඤ්චුක සෑයයි. සසුන් වැඩ කැමැති දුටුගැමුණු රජතුමාද එහිම සෑයක් කරවීය.

  • අසීතිරතනුබ්බේධං – තස්ස කඤ්චුක චේතියං
  • කාරෙසිතං නමස්සාමි –මහියංගන සුවිස්සුතං

දුටුගැමුණු රජු විසින් කරන ලද ඒ කඤ්චුක සෑය අසූ රියන් උස වූයේය. මහියංගනය නමින් ප්‍රකට ඒ උතුම් සෑය මම වන්දනා කරමි.

  • ලංකාය යත්ථ පඨමං සුගතෝ නිසජ්ජ
  • යක්ඛේ දමේසි නිජ සාසන පාලනාය
  • ඨානෙ තහිං නහිත කුන්තල ගීවධාතුං
  • වන්දාමි සාධු මහියංගන ථූපරාජං

සුගතයන් වහන්සේ ස්වකීය ශාසනය ආරක්ෂාවනු පිණිස පළමුවෙන් ලක්දිවට වැඩ යම් තැනක වැඩහිඳ යකුන් දමනය කළ සේක්ද, ඒ උතුම් ස්ථානයේ කේශ ධාතුන් වහන්සේ හා ගී‍්‍රවා ධාතුන් වහන්සේ නිදන් කොට කරවන ලද මහියංගන සෑ රජුන් වන්දනා කරමි.

මේ ආකාරයට අපටත් ඒ ගුණ සිහිකරමින් සෑයන් වඳින්න ඇත්නම් කෙතරම් පිනක් රැස්වෙනවාද? ඔබ ආනුභාවසම්පන්න සෑයන් වන්දනා කරනවිට පිනට හානිකර ගන්න එපා. ඒ වගේම ජීවමාන ස්තූප හතරටම එකවර මෙසේ වන්දනා කරන්න.

  • සම්බුද්ධේ ධරමානම්භි – ථූපා ඒතේ පතිට්ඨිතා
  • කේස දුස්සෙභි ධාතුහි – චත්තාරෝ තේ නමාමහං

බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේම කරන ලද කේෂ ධාතු සෑ දෙනමත් (ගිරිහඬු සෑය සහ මහියංගන සෑය) සළුමිණ සෑයත්, සිළුමිණ සෑයත් යන සතර ස්තූපයෝ මම ආදරයෙන් වන්දනා කරමි.

සෑ වන්දනාවෙන් ඔබට අනන්ත පින් රැස්වෙනවා. සෑ වන්දනාවෙන් පසුව මගෙන් දෝසයක් වුණිනම් සමාවන්න කියා ඔබ සමාව ගන්න. හිතේ රැඳුන පින සසරට එකතු වෙනවා. මේ සෑ රජාණන් වහන්සේ සැදැහැ සිතින් වන්දනා කරන්නට ඔබ අධිෂ්ඨානයක් ඇතිකර ගන්න.