එදා අතීත සිංහල ගැමි සමාජය ගත් විට අදෘශ්‍යමාන බලවේග පිළිබද දැඩි බීතියක් දක්වමින් ඒ බලවේග සදහා විවිධ බලි පිදේනි ඔප්පු කරමින් එම බලවේග වලින් මිදීමට අහිංසක ප්‍රයත්නයක් දැරූවක් බව සිංහල යක්ෂ නාමාවලිය දෙස බලන කල පැහැදිලි වනු නොඅනුමානය .යක්ෂයින් ලක්ෂ ගණනින් දක්නට ලැබුනද එයින් යකුන් 50ක් 60ක් ප්‍රධාන ගණයේ ලා සලකනු ලබයි.රීරියකා ,සන්නි යකා,සූණියම් යකා,කලු යකා,කලු කුමාර යකා මහසෝන් යකා මේ අතරද ප්‍රධාන යකුන් ලෙස සලකයි.

මෙයින් මහා බලගතු මෙන්ම මිනිසුන් හට මරණය ලගා කරන යකෙක් ලෙස මහසෝනාට ගැමි සමාජයේ ප්‍රබල ස්තානයක් ගැනීමට හැකියාව ලැබී ඇත.සොහොන්වල සැරිසරන නිසාම මෙම නම ලැබුනු බව ජනප්‍රවාදයේ සදහන් වේ.මෙම යක්ෂයාගේ ස්වරූපය මේ ආකාර ගනී.කදු ගිරි මුදුන්වල රැකවලා සිටින අතර මිනී වටකරගෙන සිටින බව කියවේ.උස අසූ එක් රියනක් (අඩි 122ක්) ය.ඇස් තුනකී.අත් හතරකී.රතු පාට සමකී.කලු කොන්ඩය විශාල ලෙස බැද ඇත.වලස් මුහුනකී.දිගටි මුහුනේ විශාල වූ කටකී.හිසේ දැල් වූ පන්දමක්ද පපුවේ මලක්ද දකුණතේ හෙල්ලයක්ද වමතේ ලේ වැගිරෙන ඇතෙක්ද ඇග පුරා ලොම් ඇත.

මෙම යක්ෂයාගේ දෝස වැටෙනවා යැයි සැලකෙන ස්තාන කීපයක් ගැමියන් මග හැර සිටීමට තරයේ වග බලා ගනී.ඒ අවස්තානම් සොහොනක් අසලින් රාත්‍රී ගමන් කිරීම,ස්ත්‍රීන් තනි පංගලමේ කැලයකින් යාම,රාත්‍රී නුග ගස් යටින් යාම,ලේ බේරෙන දඩමස් රැගෙන යාම,පිසින ලද ආහාර තුම්මංසලකින් ගෙන ගොස් අනුභවය,තුන්මංසල වල තනියම යාම වැනි අවස්තාය. එමෙන්ම හරක් මරන තැන් වල,මිනිසුන් නොවසනා ගෙවතු වලද,ගිරි තලාවල,මිනිසුන් නාන තැන්වල,සහ වැඩියෙන් සිටිනුයේ අමු සොහොනේය.දඩයක් කරුවන්ගේ මස් සොරකම් කරයි.අල්ලන ලද මාලු සොරකම් කරයි.

මහසෝනා මිනිසුන්ට සිදු කරනවා යැයි සැලකෙන රෝග ලෙස සැලකෙන්නේ හනු පූට්ටුව,සිරුර කෙසගවීම,පිපාසය,උමතුව,පිස්සු විකාර ගති,ඇග කැසීම,බඩ නොයාම,වාත අමාරුව,වතුර ගෙඩි මතුවීම,ඇග කෙට්ටුවීම,දුර්වල කම හා දිරා යාම,සිහි නැතිවීම,නන් දෙඩවීම,නහර නිල්පාටවී සුදුමැලි වීම,නිතර උණ,ඇගපත රුදාව,….. ආදී රෝගයි.මහසෝනා කරන රෝග වලට පිදේනි පිදවිලි සමග ඔහුට ගිලීමට පණ ඇති කුකුලෙකු හා මිනී හිසක පිසින ලද බත් ද දිය යුතු බව යාග සාහිත්‍යයේ දක්නට ලැබේ.මහසෝනා වැඩි පුර දක්නට ලැබෙන්නේ රාත්‍රියට අමු සොහොන් වලය.ඔහුට අවතාර 10ක් ඇත.වෘකයා,ඌරා,බල්ලා,ගොනා,කන්‍යාව,මිනිසා,රාක්ෂයා,නරසිංහ,නයා හා මහ අවතාරයයි.ඔහු මෙම කොයි අවතාරයකින් හෝ මුණ ගැසීමට ගැමියා කෙසේවත් සූදානම් නම් නැත.මහ සොහොනා පිට පැත්තේ සිට පහර දෙන බවත් ඇගිලි පාර නිල් පාටට හිටින බවත් කියන ගැමියා මහසොහොනා පහර දුන් බව අදුනාගන්නේද එම ලකුනෙන්‍ බව කියයි.

මහසෝනා හදුන්වන නම් කීපයක් ඇත.මහ සොහොනා,රීරි සොහොනා,මිනී සොහොනා,පුලුටු සොහොනා,ගරා සොහොනා,ලේ සොහොනා,අමු සොහොනා,ජය සොහොනා ,මරු සොහොනා ,ගොලු සොහොනා යනු ඒ නම් ය.මෙම යක්ෂයාගේ උපත් කතාව ගත් කල දෙමපින් ලෙස දැක්වෙන්නේ ගජරාෂ්ට රජු හා ඉන්ද්‍රාවතී බිසවයි.තවත් කතාවක සොරුදත්ත ඊශ්වරයා හා ගජකුම්බකාරී මව පියාවන බව කියයි.ඒ කෙසේනමුත් මහසොහොන් උප්පත්තිය ලංකාවේ දුටුගැමුනු රජ කල සිදුවූ සිදුවීමක් මගින් ගෙතූවක් බව දක්නා ලැබේ.ජනවහරේ මහසොහොන් උප්පත්තිය මෙසේ සදහන් වේ. වරක් දුටුගැමුනු රජුගේ යෝධයකු වන ගෝඨයිම්බර තම බිරිය සමග උස්සවයකට ගියේය.එහිදී ගෝඨයිම්බර ගේ බිරිදගේ රූපශ්‍රීය දැකජයසේන නම් යක්ෂයා ඇයට ලොබ බැද ඇයට ආරූඪ විය.

මේ බව දැනගත් ගෝඨයිම්බර බිරිදට ආරූඪ වූ යකු සටනට කැදවූයේය.ජයසේනද බිරිදව තමාට ලබාගන්නා අටියෙන් යුදයට එලබියේය සටනේදී ගෝඨයිම්බර ජයසේනගේ ගෙල පා පහරින් වෙන්කරන ලදී.මෙය දුටු සෙනසුරු දෙවියන් මහා වලස් හිසක් ගෙන ගෙළ වෙන්වූ ජයසේනයාගේ කදට සවි කර පණ ලබා දුන්නේය.මෙසේ වලස් හිසක් සමග නැවත උපන් මහ සොහොන් යක්ෂයා අමනුෂ්‍ය ලෙසින් අමු සොහොන්වල සැරිසරන්නට විය.එතැන් සිට මිනී වලවල් හාර මිනී කන්නටත් වලලන්නට ආ මිනිසුන්ට පහර දී විනාශ කරන්නටත් විය.ගෝඨයිම්බර ජයසේනගේ හිස රැගෙන ගිජ්ජකූට පර්වතේ සැගව ගිය බවත් ජනකතාවල දක්නට ලැබේ.මෙතෙක් ඔබ අසා තිබූ මහ සොහොන් යක්ෂයා පිලිබද යම් ප්‍රමානයක දැනුමක් මෙම ලිපියෙන් ලබන්නට ඇතයි සිතමි.ඔබේ අදහස් වලට ඉඩ තබමි..