පරිස්සම් වෙන්න වෙයි.. ඔයාට ලැබෙන්න ඉන්නෙ නිවුන් දරුවො..”වෛද්‍යවරයා එය කියන විටත් එල්සයිරී එවන් කතාවක් බලාපොරොත්තුව උන්නාය. ප්‍රමාණයට වඩා විශාලව ඇති කුස දකිනා විට මෙවර තමන්ට ලැබෙන්නේ නිවුන් දරුවන් විය හැකියැයි එල්සයිරී සිතුවාය. එහෙත් ඊලග මොහොතේ වෛද්‍යවරයා කීවේ ඇය කොහෙත්ම බලාපොරොත්තු නොවුණු කතාවකි.
“ඔයාට ලැබෙන්න ඉන්නෙ පස් නිවුන් දරුවෝ..”“මොකක්..?” එල්සයිරී කොතරම් විස්මයට පත් වුණාදැයි කිවහොත් ඊලග තත්පරයේදී ඇය සිහිසුන් වූවාය. දෙපැයකට පසුව සිහිය ලද මොහොතේම ඇය හඩන්නට පටන් ගත්තාය.“දෙයියනේ.. තව දරුවො පස් දෙනෙක්..? මෙච්චර දරුවො ගොඩක් කොහොමද අපි හදාගන්නෙ..?”ඇගේ බියද සාධාරණය. දැනටමත් එල්සයිරී ඩියෝන්ට දරුවන් පස් දෙනෙකිි. එල්සයිරීගේ සැමියා කුඩා ගොවිපොලක් පවත්වාගෙන ගිය දුප්පත් ගොවියෙකි. එල්සයිරී ගෘහනියකි. දැනටමත් සිටින දරුවන්ටත් අවශ්‍ය දේ සපයා දෙන්නේ අසීරුවෙනි. ඉතින් තවත් දරුවන් පස් දෙනෙක්..?

කෙසේ වුවත් ඒ දරුවෝ මෙලොව එලිය දුටුවහ. 1934 මැයි 28 වෙනිදා ඩියෝන් පවුලේ පස් නිවුන් දැරිවියන් උපත ලැබූහ. ඒ කැනඩාවේ උතුරු ඔන්ටාරියෝ පලාතේ, කෝර්බියල් ගම්මානය අසල පිහිටි ඔවුන්ගේ පුංචි ගොවිපොලේදීය. දරුවන් ඉපදුනේ අඩු මාසයෙනි. ඔවුන්ගේ උපත් බරද අඩුය. එහෙත් ගමේ වෛද්‍යවරයා වූ ඇලන් රෝයි ඩැෆෝ මේ අලුත් ජීවිත පහ බේරා ගන්නට විස්මිත අයුරින් සමත් වූයේය.
ඒ පුංචි ගොවිපොලේ විදුලිය නැත. එනිසාම දැඩි සේ සීතලය. ගම්මානය අහලක වෛද්‍ය උපකරණ බෙහෙත් මිලදී ගන්නටවත් තැනක් නැත. එහෙත් වෛද්‍ය ඩැෆෝ තමන්ගේ කාර්යය ඉටු කලේය. ඔහු ගොවිපොලේ කුඩා නිවස හැකි ලෙසින් විෂබීජහරණය කළේය. ඉන් පසු උණුවතුර බෝතල් මගින් උණුහුම් කළ වේවැල් කූඩ වල දරුවන් උණුහුමට තැබුවේය. දරුවන්ගේ සිරුරු ඔලිව් තෙල් ගා සම්බාහනය කරන්නට හෙදියකද රැදවූයේය.

කිසිදු පහසුකමක් නැතිව වෛද්‍ය ඩැෆෝ විසින් මේ කර තිබුණේ ලේසිපාසු දරු උපතක් නොවේ. ස්වභාවිකවම පස් නිවුන් දරුවන් ලැබෙන්නේ ලෝකයේ මිලියන පනස්පහකින් එක් අයෙකුට බව කියවෙයි. එහෙත් මේ උපත ඊටත් වඩා විශේෂය. පස් නිවුන් දරු උපතක් සිදුවන්නේ එතරම් කලාතුරකින් වන අතරම සර්වසම පස් නිවුන් දරුවන් බිහිවීම අති දුර්ලභය. ඉතින් එල්සයිරී ඩියෝන්ගේ මේ දරු උපත අතිශයින් දුර්ලභ, විස්මිත සිදුවීමක් විය.මේ විස්මිත දරු උපත ගැන ආරංචිය ඉක්මනින්ම ඒ ගම්මානයේ පමණක් නොව ඒ පලාතේද මුළු රටේද පැතිරී ගියේය. මාධ්‍ය වාර්තා කරුවන්, ඡායාරූප ශිල්පීන් මෙන්ම දහස් ගණන්, දස දහස් ගණන් නරඹන්නන්ගෙන්ද ඔවුන්ගේ ගොවිපොල වටා පිරී යන්නට විය. පැමිණි දහස් ගනනක් සෙනගට උවමනා වූයේ මේ දරුවන්ව යන්තමින් හෝ දැකගන්නටය.

ඒ ආ මිනිසුන්ගෙන් ඇතැමෙක් මෙතරම් දරුවන් ගණනක් හැදීම ගැන ඩියෝන් යුවලට සරදම් කතා කී අතර තවත් සමහරෙක් දරුවන් වෙනුවෙන් ආධාරද කළහ. එක් කාන්තාවක් දරුවන් තබා ගන්නට ඇදක් මිලදී ගන්නැයි ඩියොන් යුවලට ඩොලර් දහසක් පරිත්‍යාග කළ අතර තවත් රෝහලකින් නොමේරූ දරුවන් තබා ගන්නට ඉන්කියුබේටර දෙකක් ලබා දී තිබිණ.ඒ අතරදී Chicago World Fair ප්‍රදර්ශනයේ හිමිකරු දරුවන්ගේ පියා වූ ඔලිවා ඩියෝන්ට කතා කලේය.“අපි මේ දරුවන්ව අපේ ප්‍රදර්ශනයේදී මහජන ප්‍රදර්ශනයට තියමු. මම ඒ වෙනුවෙන් ඕගොල්ලන්ට ලොකු මුදලක් ගෙවන්නම්..” ඔහු දරුවන්ගේ පියාට යෝජනා කලේය.ඔලිවා ඒ වන විට උන්නේ දැඩි ආර්ථික අසීරුතා මැදය. මේ ආ යෝජනාව හොදද නරකදැයි තේරුම් ගන්නට ඔහුට හැකියාවක් තිබුණේ නැත. දරුවන්ව පිටස්තරයෙකුගේ භාරයට දෙන්නට අකමැති වුවත් මුදල් වල අවශ්‍යතාවය ඔහුට තදින් දැනිණ. ඒ නිසාම ඔහු ඒ ගැන උපදෙසක් ගන්නට ගමේ පල්ලියේ දේවගැතිවරයා සොයා ගියේය.

දේවගැතිවරයා මේ දරුවන්ව ප්‍රදර්ශකයාට ලබා දෙන්නැයි දරුවන්ගේ පියාට උපදෙස් දුන්නා පමණක් නොව, මේ ගණුදෙනුවේ ව්‍යාපාරික කලමනාකාරවරයා වෙන්නටත් ඉදිරිපත් වූයේය.දරුවන්ව භාර දෙන ගිවිසුමට අත්සන් කොට ඊලග තත්පරයේදීම ඔලිවා ඒ ගැන පසුතැවෙන්නට වූයේය. ඔහු ඒ ගිවිසුමෙන් ඉවත් වෙන්නට ඉල්ලූ නමුත් Chicago Fair පාර්ශවයෙන් ඊට කැමැත්තක් තිබුණේ නැත. දැන් ගිවිසුම අත්සන් කර හමාරව ඇති හෙයින් එය ඉවත් කරගන්නට කිසිසේත්ම නොහැකි බව ඔවුන්ගේ නීතිවේදීහු මේ යුවලට දැන්වූහ. මේ දරුවන්ව උපයෝජනයෙන් වලක්වාලීම සදහා මේ යුවල රතුකුරුස සංවිධානයත් සමග දෙවසරක ගිවිසුුමක් කොට දරුවන්ගේ වගකීම ඔවුන් වෙත පැවරූහ. ඉතින් රතුකුරුස සංවිධානය විසින් ඩියෝන් පවුලේ ගොවිපොල ඉදිරියෙන් ඇති පාරට අනෙක් පසින් මේ නිවුන් දරුවන් වෙනුවෙන් ළදරු නවාතැනක් ඉදි කරන ලදී.

ඒ අළුත් නිවස තුළදී පස් නිවුන් දැරියන්ට සලකනු ලැබුවේ රජ කුමරියන්ට මෙනි. එහෙත් ඔවුන්ගේ අම්මාටත් තාත්තාටත් ඒ නිවසට ඇතුලු වෙන්නට අවසර තිබුණේ නැත. ඉදහිටක දරුවන් බලන්නට අවසර ලැබුණත් ඒ හැම විටකම ඔවුන් පසුපස ආරක්ෂකයින් යොදා තිබිණ. කිසි විටෙක තම දරුවන් සමග හුදෙකලා වෙන්නට ඔවුන්ට ඉඩක් ලැබුණේ නැත.තවත් මාස කිහිපයකින් පසුව ඒ දෙමාපියන්ට තම පස් නිවුන් දරුවන්ගේ භාරකාරත්වය මුලුමනින්ම අහිමි කරමින් රජය විසින් පනතක් නිකුත් කෙරිණ. ඒ දරුවන්ට වයස අවුරුදු දහ අටක් වන තුරු ඔවුන්ගේ භාරකාරත්වය රජයට පවරා ගනිමිනි. ඒ පනත ගෙන ආ වහාම දරුවන් රදවා තිබුණු නිවස සැබෑම ළමා සත්වෝද්‍යානයක් බවට පත් කෙරිණ. නිවසේ එක් පසෙකින් දරුවන්ගේ ක්‍රියාකාරකම් නරඹන්නට හැකි වන පරිදි විශාල කවුළුවක් නිර්මාණය විය. එය හරියටම සත්වෝද්‍යානයක වීදුරු කූඩුවක් බදු විය. මේ දරුවන් වෙනුවෙන් ගෘහ පාලිකාවක්ද, ගෘහ සේවිකාවන් දෙදෙනෙක්ද, හෙදියන් තිදෙනෙක්ද යොදවා තිිබුණු අතර ඊට අමතරව හැම තත්පරයකම පොලිස් ආරක්ෂාවද සලසා තිබිණ.

ඒ නිවස වටා අඩි හතක් උසැති විදුලි වැටක් සවිකොට තිබිණ. ඒ වැටේ තැනින් දැන දැන්වීම් පුවරු සවිකොට තිබුණි.“කරුණාකර සහයෝගය දෙන්න. නිශ්ශබ්දතාවය අත්‍යවශ්‍යයි.”“නිවුන් දරුවන්ගේ ඡායාරූප ගැනීම තහනම්..”පස් නිවුන් දැරියන් හැදී වැඩුණේ දැඩි නීති රීති මැදය. උදේ හයට අවදි විය යුතුය. ඔවුන්ට ලබා දෙන කෑම වේල මැසිවිල්ලකින් තොරව කා, මහජන ප්‍රදර්ශනය සදහා සූදානම් විය යුතුය. මහජන ප්‍රදර්ශන කාල පරිච්ඡේදය අවසන් වූ විට නැවතත් නියමිත කාල සටහනට ඔවුන්ගේ කටයුතු කරගත යුතුය.දැරියන් වයසින් වැඩෙද්දී ඔවුන්ව හැම වර්ගයකම වාගේ වෙලද දැන්වීම් වලට යොදා ගන්නට පටන් ගැනුණි. රසකැවිලි, සෙල්ලම්බඩු, සබන්, අයිස්ක්‍රීම්, පාන් මේ සියළු වෙලද දැන්වීම් වලට මේ දැරියන් ඉදිිරිපත් කොට ලබා ගන්නා මුදල් ඔවුන්ගේ භාරකාරත්වය දරනා රජයේ අරමුදලටය. ඊට අමතරව මේ නිවුන් දරුවෝ හොලිවුඩ් චිත්‍රපට තුනකද රගපෑහ.

දරුවන්ට වයස අවුරුදු නවය වන විට ඔවුන්ව රදවා තිබුණේ “Quintland” නම් ඔවුන්ටම වෙන්කල ළමා ලන්තයකය. සංචාරක ආකර්ශනයෙන් නයගරා ඇල්ලද පරදවමින් පළමු තැනට පැමිණි Quintland, ඔන්ටාරියෝ නගරයට වසරකට ඩොලර් මිලියන පනහකට වැඩි සංචාරක ආදායමක් ලබා දුන්නේය.මේ සියල්ල අතරතුර මේ දරුවන්ගේ දෙමාපියන් ජීවිකාව සරි කරගත්තේ, තම දරුවන්ව ප්‍රදර්ශනයට තබා ඇති ළමාලන්තය ඉදිරිපිට කුඩා වෙලදසැලක් පවත්වා ගනිමින්, දරුවන්ව බලන්නට එන සංචාරකයින්ට සිහිවටන විකුණමිනි.නව වසරක් පුරා කෙරුණු නීතිමය සටනකින් පසුව 1943 දී මේ දරුවන්ව යලිත් දෙමාපියන්ගේ භාරකාරත්වයට යොමු කෙරිණ.
එහෙත් දෙමාපියන් සමග විසීම මේ දරුවන්ට ප්‍රීතිමත් අත්දැකීමක් වූයේ නැත. මුදල් විසින් ඒ පවුලේ ලෙන්ගතුකම් වෙනස් කොට තිබිණ. අම්මාත් තාත්තාත් දැරියන්ට සැලකුවේ අකාරුණික අයුරිනි. අම්මා නිතරම මේ පස් නිවුන් දැරියන්ට පහර දුන්නාය. වෙනස්කම් කළාය. ඒ අතරතුර තාත්තා දැරියන්ව ලිංගික අපයෝජනයට ලක් කලේය.පොදු ජනතාවගේ ප්‍රදර්ශන භාණ්ඩ ලෙසින් ළමා විය ගෙවූ දැරියන්ට තරුණ විය ගෙවන්නට සිදුවූයේ තම දෙමාපියන්ගේ මෙහෙකාරියන් ලෙසටය.

වයස දහ අට පිරුණු පසු තම පවුලෙන් වෙන්ව ගිය පස් නිවුන් දැරියෝ කිව්බෙක් හි පදිංචිව තම අධ්‍යාපන කටයුතු කරන්නට පටන් ගත්හ. එයින් එක් දැරියක් වූ එමිලී වයස විස්සේදී මිය ගියාය. 1970 දී මේරි නම් වූ තවත් නිවුන් දැරියක් මොලයේ ලේ කැටියක් හිරවීමෙන් මරණයට පත් වූවාය. ඒ වන විට දැරියන් ප්‍රදර්ශන භාණ්ඩ ලෙස ඉපැයූ අරමුදලින් ඔවුන්ගේ කොටස ඔවුන් වෙත ලැබී තිබිණ. ඒ එක් අයෙකුට ඩොලර් 183,000 ක් බැගිනි. දැන් කාලයේ නම් එය ඩොලර් මිලියන 1.3 කට ආසන්න මුදලකි. 1998 වසර වන විට මේ පස් නිවුන් සොයුරියන්ගෙන් ඉතිරිව උන්නේ තිදෙනෙකු පමණකි. තමන්ගේ ළමා විය සූරාකෑම ගැන ඔවුහු රජයට එරෙහිව නඩු පැවරූහ. එයින් ඔවුන්ට කැනේඩියානු ඩොලර් මිලියන හතරක වන්දි මුදලක් ලැබිණ.පස් නිවුන් සොයුරින්ගේ තුන්වැන්නා යුවොනී 2001 වසරේදී මිය ගියාය.හතරවැන්නිය වූ සෙසිලීගේ පුතා තම මවගේ බැංකු ගිණුමත් කොල්ලකාගෙන, ඇයව මහළු නිවාසයක තනි කොට අතුරුදහන් වූයේය. දැන් ඇය රජයේ මුදලින් නඩත්තු වන මහළු නිවාසයක අසරණව කල් ගෙවන්නීය. පස්වැන්නී ඇනට් මොන්ට්‍රියල් නගරයේ තවමත් ජීවත් වෙන්නීය.මේ පස් නිවුන් දැරියන්ගේ කතාව මිනිසුන්ගේ අකාරුණික බවේත් ආත්මාර්ථකාමීත්වයේත් ප්‍රතිඵල ලෙසින් ලියැවුණු තවත් එක් ශෝකාන්තයක් ලෙසින් ඉතිරි විය.