සියඹලා ‍බොර වල ටා‍ටරික් අම්ලය 5% ක්ද, සිට්‍රික් අම්ලය 4% ක්ද ,මැලික් හා ඇසි‍ටික් අම්ලයද, ‍පොටෑසි‍ටම් ටාටරික් 8% ක්ද, සීනි පදාර්ථ 25% සිට 40 දක්වා ද, මැලි‍යම් හා ‍පෙක්ටීන් පදාර්ථ‍යද අන්තර්ගතය. බීජාවරණ‍යේ ‍ස්ථිර තෛල පදාර්ථ හා අපද්‍රව්‍ය සංඝටක අඩංගු ය. බීජවල ඇල්බියුම්නොයිඩ්ස්, මේද පදාර්ථ ද, කා‍බෝහයිඩ්‍රේට 63.22 ක්ද, ඇතුළත්ය. භෂ්මයෙහි පො‍ස්පරස් හා නයිට්‍රඡන් අන්තර්ගත ය. ඵලයේ ඔක්සැලික් අම්ලය අඩංගු ය.පෝෂණ අගය පලාවක් ලෙස කෑමට එකතු කර ගන්න සියබලා දළු ගොඩක් ගුණයිසියඔලා දළු ග්‍රෑම් 100ක

  • 1 ජලීය කොටස ග්‍රෑම් 70.5
  • 2 ශක්තිය ග්‍රෑම් 115
  • 3 ප්‍රෝටීන ග්‍රෑම් 5.8
  • 4 මේදය ග්‍රෑම් 2.1
  • 5 කා‍බෝහයිඩ්‍රේට ග්‍රෑම් 18.2
  • 6 කැල්සියම් මිලි ග්‍රෑම් 101
  • 7 පොස්පරස් මිලි ග්‍රෑම් 140
  • 8 යකඩ මිලි ග්‍රෑම් 5.2
  • 9 කැරටීන් මයික්‍රො ග්‍රෑම් 250
  • 10 තයමීන් මයික්‍රො ග්‍රෑම් 240
  • 11 රයිබොප්ලෙවින් මයික්‍රො ග්‍රෑම් 170
  • 12 නියැසීන් මිලි ග්‍රෑම් 4.1
  • 13 විටමින් සී මිලි ග්‍රෑම් 3

සියඹලා බොර ග්‍රෑම් 100ක

  • 1 ජලීය කොටස ග්‍රෑම් 20.9
  • 2 ශක්තිය ග්‍රෑම් 283
  • 3 ප්‍රෝටීන ග්‍රෑම් 3.1
  • 4 මේදය ග්‍රෑම් 0.1
  • 5 කා‍බෝහයිඩ්‍රේට ග්‍රෑම් 67.4
  • 6 කැල්සියම් මිලි ග්‍රෑම් 170
  • 7 පොස්පරස් මිලි ග්‍රෑම් 110
  • 8 යකඩ මිලි ග්‍රෑම් 10.9
  • 9 කැරොටීන් මයික්‍රො ග්‍රෑම් 60
  • 10 රයිබොප්ලෙවින් මයික්‍රො ග්‍රෑම් 70
  • 11 නියැසීන් මිලි ග්‍රෑම් 0.7
  • 12 විටමින් සී මිලි ග්‍රෑම් 3

සියඹලා ශාක‍යේ වැදගත්කම-ඉදුණු සියඹලා මිහිරි හා ඇඹුල් රස මිශ්‍රය . එහයින් වාත ශාකමය . උෂ්ණාධික ය. පිත්ත ශාකමය . පරණ වූ සියඹලා බොර, ආහාර රුචිය වඩවයි . පිපාසය සමනය කරයි . සියඹලා බොර විරේචන ගුණ යුක්තය . සියඹලා කරලේ ලොඳ වැනි කොටස දිය කිරීමෙන් සියඹලා බොර සකස් කර ගනී. ඉදුණු සියඹලා කරල් වල බොර මෙන්ම අඹරා ගත් පත්‍ර කල්කය දැවිලි සහිත ඉදිමුමට ආලේප කරයි. වසරක් දෙකක් පමණ පැරණි වූ ඉදුණු ඵල ආමාශයට හා අන්ත්‍රවලට ගුණ දායක ය. මළ බද්දය දුරු කරවයි . අඹරාගත් කොළ තැලුම් , ඉදිමුම්වලට ගෑමට යොදා ගනී . ඉදුණු සියඹලා මද හදවතට ගුණදායකය . සියඹලා දළු හා මල් ශීත වීර්යයි . පිත්ත ශාකමය . මල් ස්වරසය අතීසාරයට ගුණ දේ . සියඹලා දළු හා මල් ව්‍යංජනයක් ලෙසද ආහාරයට ගනී . සියඹලා මල් ප්‍රදාහ කාරක රෝගවලට ආලේප කෙරේ . මිරිකා ගත් මල් යුෂ රක්ත අර්ශස් රෝගයේදී අභ්‍යන්තර වශයෙන් දෙනු ලැබේ .

සියඹලා ඉන්දියානු ජාතිකයෝ සිය ආහාර වේලට ප්‍රධාන වශයෙන් ම එක් කර ගන්නා කුළු බඩුවකි . සියඹලා යුෂ සරුවත් බුරුම ජාතිකයන්ගේ ජනප්‍රිය පානයකි . සියඹලා කරලේ මදපිපාසය , මල බද්දය නසන පිත්ත විරේචක , යකෘතය උත්තේජනය කරවන ඔසුවකි . සුරාසව – මද්‍යසාර , අත්තන ආදියෙන් ඇති වූ මත් විෂ පහ කිරීම සඳහා සියඹලා භාවිත කරයි .සියඹලා පොතු ස්වරසය අන්ත්‍ර ශුල වේදනා නිවාරණය කරයි. සියඹලා කුඩා ළමුන්ට අනගි විරේකඔසුවකි . අව්වේ සිටීමෙන් ඇතිවන ශරීර පීඩා දැවිලි සහිත රෝග නැසීමේ ශක්තිය සියඹලා සතුය . කෑම අරුචිය , බඩගින්න නොමැතිකම යන‍ මේවාට නොවරදින ප්‍රතිඵල ලබා දෙන පානයකි. සියඹලා බොර පානය, ගෙඩි – වණ, අර්බුද , පිළිකා වලදී සියඹලා ඇට ආලේපය සදහා ගැනේ .සියඹලා ඇට කසට රස යුක්තය . එබැවින් අතීසාර හා විසර්ප රෝග හරණයට අනගි ඔසුවකි . සියඹලා බීජයේ රතු පැහැති කුරුට්ටේ අතීසාර නාසක ගුණ පවතී .

බීජ වලින් සැකසූ ඖෂධ උණ , මුත්‍රා , ව්‍යූහගත ආබාධ , සන්ධිගත රෝග , නසයි . පත්‍ර වලින් සකසා ගත් කසාය උගුරේ ආබාධයනට උගුර සේදීම සදහා ගැනේ . අතීසාර රෝගින්ට සියඹලා කොළ ජලයෙන් පොඩිකර ලබා ගත් ආම්ලික සාරය පිත්තප්වර , මුත්‍රාස්මරී , (මුත්‍රා ගල්) අවස්ථාවලදී භාවිත කෙරේ .සියඹලා භෂ්මය (දවාගත් අළු) වෙනත් භෂ්ම සමඟ මිශ්‍ර කර ප්‍රයෝග කෙරේ . ඉදුණු සියඹලා කරලේ පොතු ලවන ලෙස ඖෂධ පිණිස ගත හැක . වෙනත් ඖෂධ සමඟ මිශ්‍ර කර විවිධ යෝග පිළියෙළ කර ගනී . පුරාණ වූ පිලාවේ ඉදිමීමට සියඹලා භෂම ගුණ දායක‍ය . පොතු භෂම ජීර්ණ පද්ධතියේ රෝග වලදී ඖෂධ යෝග සමඟ යෙදේ .

සියඹලා ශීතාද රෝගයට ගුණදායකය . විටමින් සී ඌනතා රෝග අවස්ථාවලදී සියඹලා බොර සීනි යොදා සකස් කර ගත් ශිරප් දෙහි යුෂ සමඟ පානය කරයි . සියඹලාකොළ අමු කහ සමඟ තම්බා ගත් ජලය කුෂ්ඨ , දැවිලි ආදී අවස්ථා වලදී සේදීමට ගනු ලබයි . සියඹලා කොළ තැවිල්ල වාත වේදනා දුරු කරයි. කුළුබඩු හා ඖෂධයක් ලෙස එක්වන සියඹලා ශාක‍යේ පත්‍ර , කරල් , පත්‍ර ස්වරසය , පොතු ආදී කොටස් අරුචිය , පිපාසය , බඩ කැක්කුම, මල බද්ධ,අතීසාර, ආමවාත වාතාබාධ , විවිධ ප්‍රදර රෝග , උණ ශුක්‍ර දෝෂ , ස්වප්න දෝෂ, කුෂ්ඨ, සර්ප විෂ, අධික දහඩිය දැමීම, කැස්ස යනාදී රෝග ගණනාවකට වෙනත් ‍ඖෂධ සමඟ ප්‍රයෝග කෙරේ .සියඹලා බොර පවස නිවන පානයකි .ආහාර කල් තබා ගැනීමේදී අතීතයේ පටන්ම සියඹලා කරල්යොදා ගෙන තිබේ . අනිකුත් පළතුරු වර්ග හා සසඳන කල සියඹලා කරල් සතු සීනි හා ආම්ලික කොටස ඉහළ අගයක පැවතීම විශේෂයකි . ජෙලි, සිරප්, අච්චාරු හා ආහාර සමඟ ගන්නා කටුක රසැති සුප් පිළියෙළ කර ගැනීම සඳහා ඉන්දියාවේ වැඩි වශයෙන් සියඹලා කරල් භාවිතයට ගැනේ .

යෝග හා අත් බෙහෙත් ආම්ලිකා පානය -ජලයේ දියකර ගත් ඉදුනු සියඹලා ‍බොර පෙරා ගෙන එයට ගම්බිරිස් සීනී,කරාබු, එනසාල්,කපුරු,කුරුදුපොතු මේවායේ චූර්ණය මිශ්‍ර කර සාදාගත් පානය අරුචිය නසයි . ගෙබි පැසවීමට – සියඹලා කොළ ඇට අඹරා ආලේපය මැනවි . පනුවන් නැසීමට සියඹලා නැටි , අරළු ,පෙති පුවක් , වලගසාල් , තම්බා පානය කරයි . අධිකව දහඩිය දමන අයට සියඹලා කොළ ,‍බෙලි කොළ අඹරා ඇඟ අතුල්ලා ස්නානය හොදය . අධික හිසරදයට – සියඹලා දළු , හීන් උදුපියළිය ,රතු ලූණු කොටා පොට්ටකි බැද වංඩුවේ තම්බා නළල තැවීම හොදය .අබිං විෂ හරණයට සියඹලා කරල් ඉස්ම පොවන්න.

වකුගඩු රෝගයට ගුණ දෙන සියඹලා ආනම හදා ගන්න හැට් එක්‌ එක් පළාත් වලට ගැළපෙන ඖෂධ වර්ග එම පළාතේ වැඩිපුර වැවෙනවා. ඒ ස්‌වභාව දහමේ නිමැවුමක්‌. අපේ බොහෝ අය එය නොදැන සිටින කාරණාවක්‌ ඖෂධ තිබෙන්නේ අපේ වත්තේ පිටියේ. නිතර දෙවේලේ අපේ පරිසරයේ බහුලව හැදෙන්නේ එම පරිසරයේ ජීවත් වන අයට අවශ්‍ය දේ පහසුවෙන් සොයා ගැනීමටයි. රජරට සියඹලා බහුල ප්‍රදේශයක්‌ රජරට වැසියන් සියඹලා භාවිතයෙන් අඩුවීම වකුගඩු රෝගයට මූලික හේතුවක්‌ වෙලා. සියඹලා ආහාරයට ගැනීම හැමෝටම හොඳයි. අද සියඹලා ආනම ගැන දන්නේ කීයෙන් කී දෙනාද. වකුගඩු රෝගයෙන් ගැළවීමට, නිරෝගී දිවි පෙවෙතකට සියඹලා ආනම සකස්‌ කර සතියකට දින දෙක තුනක්‌ ආහාරයට ගැනීමට උත්සාහ කර බලන්න.

සියඹලා ආනම අවශ්‍ය ද්‍රව්‍ය සියඹලා – ග්‍රෑම් 150.දෙවැනියට ගත් පොල් කිරි – අඬු කෝප්ප 2 ක්‌.සූදුරු, මහදුරු, කොත්තමල්ලි, ගම්මිරිස්‌ ඇට කිහිපයක්‌, තිප්පිලි ටිකක්‌, සුදු ලූනු, රතු ලූනු, උළුහාල්, කුරුඳු, කරපිංචාසාදා ගන්නා ක්‍රමය සියඹලා සෝදා පිරිසිදු කර අතින් ඇට ගලවා ගන්න. අඹරාගත් සූදුරු, මහදුරු, කොත්තමල්ලි කබලේ බැද කුඩුකර ගත් තිප්පිලි කුඩු ටිකක්‌, කුරුඳු කෑල්ලක්‌, ගම්මිරිස්‌ කුඩු ටිකක්‌ සියඹලා මදවලට එක්‌කර පොල් කිරි දමා මිශ්‍ර කර ගන්න. සිහින්ව කපාගත් සුදු ලූනු සහ රතු ලූනු දමා ලිප තබා උකු පදමට සාදා ගන්න. දේශීය සහල් වර්ගයක්‌ සමඟ ආහාරයට ගන්න. මෙය නිරෝගි බවට හොඳම පිළියමක්‌.

ලේසියෙන් හදාගන්න පුලුවන් වගේම සෑහෙන ගුණදායි පානයක්.අවශ්‍ය දේවල් බොහොම ටිකයි.ඉදිච්ච සියඹලා බීට් ගෙඩියක්,සීනි හෝ මී,පැණි,ලුණු,වතුර,අයිස් කැට ඉස්සෙල්ලාම සියඹලා කරල් පොතු ඇරලා වතුර තියෙන භාජනේකට දාලා පැය දෙකක් තුනක් පෙඟෙන්න තියන්න. මතක තියාගන්න ඇලුමිනියම් භාජනයක් එහෙම ගන්න එපා.ඊට පස්සෙ පෙඟුණු සියඹලා හොඳින් පොඩි කරලා ඇට ඉවත් කරලා පෙරණයකින් පෙරාගන්න. ඒ වතුරට බිට් ගෙඩිය කපලා දාලා බ්ලෙන්ඩර් කරන්න අවශ්‍ය ප්‍රමාණයට සීනි එකතු කරන්න. ලුණුත් චුට්ටක් දාන්න.ඇඹුල් ගතිය වැඩියි නම් තව වතුර දාන්න. අයිස් කැට කීපෙකුත් දාලා බීමට ගන්න.හදලා බලන්නකො. ඇඟ නිවෙන පානයක්. අනික මල බද්දයෙන් පීඩා විදින අයට දිව ඔසුවක්.