ශ්‍රී ලංකාව අතීතයේ පටන් කෘෂිකර්මාන්තයෙන් යැපුණු ආර්ථිකයෙන් යුක්ත වූ රටකි. අතීතයේ පමණක් නොව වර්තමානයේද අපගේ ප්‍රධාන ජීවනෝපාය කරගත් රැකියාව වන්නේ කෘෂි කර්මාන්තයයි. අතීතයේ පටන් මෙහි රාජ්‍ය විචාළ පාලකයන්ගේ මාහැඟි නිර්මාණ අදත් විද්‍යමාන වීමෙන් හෙළි කරන්නේ ඒ කාලයේදී කෙතරම් දුරට කෘෂිකර්මාන්තය දියුණුවී තිබුණේදැයි යන්නයි.අපගේ ඉතිහාසය සෙවීමේදී වැඩි වශයෙන් සමීප කරගන්නේ ඓතිහාසික හා සාහිත්‍ය මූලාශ්‍රයන්ය. මහාවංසය, දීපවංසය ආදී කෘති මේ සඳහා සුවිශාල මෙහෙවරක් ඉටුකරයි. මීට අමතරව සෙල්ලිපිවලින් ද ලැබෙන දායකත්වය සුළුපටු නොවේ. ඒවා සලකන්නේ පුරාවිද්‍යා මූලාශ්‍රය ලෙසයි. මේ අනුව ලංකාව පුරා විසිරී පැතිරී ඇති ශිලාලේඛන මගින් බොහෝ තොරතුරු අප ඉදිරියේ තැබීමට සමර්ථ වී ඇත.

අතීතයේ දී කෘෂිකර්මාන්තයේ නියැළුණු පිරිස තම කටයුතු නොමසුරුව නොමැළිව ඉතා වුවමනාවෙන් සිදු කළ බවත් මේ සඳහා රජයෙන් සිදුවිය යුතු සියලු වගකීම්ද මනාව සිදු වූ බවත් මෙකී ලිපිලේඛන කියාපායි. කෘෂිකර්මාන්තයේදී යල-මහ- මැද කන්න තුනම වගා කළ බවත්, ගොඩ-මඩ දෙකම වගා කළ බවත් තොරතුරුවලින් දත හැකිය. එකල වගා කළ ධාන්‍ය මොනවාදැයි හෙළි කරන ලිපියක් තෝනිගලෙන් හමුවේ. එකී ලිපියේ දැක්වෙන්නේ එක් පුද්ගලයෙක් කලහුමනක නියම තන්හි වී, මුං, උඳු තැන්පත් කර ලැබෙන පොලිය යහිසපවය නම් විහාරයේ වාර්ෂිකව පවත්වන අරියවංස පූජාව සඳහා ලබා දුන් බවයි. ඒ අනුව වී වගාවට අමතරව මුං, උඳු වැනි කෘෂි බෝගයන් ද හේන් ගොවිතැනද එකල පැවති බව හඳුනාගත හැකිය. මෙම තොරතුරුවලින් හඳුනාගත හැකි වැදගත් කරුණක් නම් තාක්ෂණය දියුණු වර්තමාන සමාජයේ ගොවීන්ගේ කෘෂි ඥානය එකල තාක්ෂණය නොමැති කාලවකවානුවක් තුළ වුවද ජීවත් වූ ගොවියන්ගේ තිබූ බවයි. වගාකළ යුතු බීජ මොනවාද? ඒවා වගාකළ යුතුවන්නේ කුමන කාලයේද? ආදිය පිළිබඳ මනා අවබෝධයකින් එකල ගොවියන් පසු වූ බව හඳුනාගත හැකිය.

මෝසම් වර්ෂාව ආරම්භයට පෙරාතුව (ජූලි සිට අගෝස්තු දක්වා) කැලෑ එළි පෙහෙළි කිරීමත් අගෝස්තු සිට සැප්තැම්බර් මැද දක්වා කාල සීමාවේදී කැලෑව ගිනි තැබීමත් සැප්තැම්බර් මැද සිට සුන්බුන් ඉවත් කොට දඬුවැට සකස් කිරීමත් සැප්තැම්බරයේ අග සිට නොවැම්බර් මැද දක්වා බෝග සිටුවීමත් ඊළඟ වර්ෂයේ මාර්තු තෙක් අස්වනු නෙළා ගැනීම දක්වා ගොවියා ගත කරනුයේ කාර්යබහුල කාල වකවානුවකි. වී වගා කිරීම කළ යුතු කාලයේ වී ගොවිතැනත් හේන් ගොවිතැනේදී නවදැලි හේන සකස් කරගැනීමේ සිට අස්වනු නෙළාගැනීම දක්වා කළ යුතු කටයුතු, පිළිවෙත් පිළිබඳ දැනුමක් හා ඉවසිලිවන්තභාවයක් මෙකල සිටි ගොවියන් සතුව පැවති බව ශිලාලේඛනගත තොරතුරුවලින් මනාව හඳුනාගත හැකිවේ.

අතීතයේ පැවතියේ යැපුම් ආර්ථිකයකි. ලබාගන්නා අස්වැන්න පරිභෝජනය පිණිස පමණක් පැවති අතර ඊට අමතරව ඔවුන් ලැබූ අස්වැන්නෙන් විහාර දේවාල සඳහාද පුද පූජා සිදු කොට ඇති බව සෙල්ලිපි ඇසුරින් හැඳිනගත හැකිවේ. අතීතයේ සිට මෙරට විසූ සාමාන්‍ය ජනතාව ආගමට දහමට ළැදි පිරිසක් බවත් දැහැමි සමාජයකින් යුක්තව පැවති බවත් මේ සාධක අනුව දත හැකිය.

යල මැද මහ ආදී කන්නවල වගා කළ බෝග පිළිබඳ හඳුනාගැනීමෙන් පැහැදිලි වන කරුණක් වන්නේ මොවුන් විවිධ බීජ, බෝග ගැන මනා දැනුමකින් පසු වූ බවයි. විශේෂයෙන්ම වී හැරුණු කොට අතිරේක බෝග වගා ක්‍රම පිළිබඳත් ඒවා වගා කිරීමේදී අනුගමනය කළ යුතු උපක්‍රම පිළිබඳත් මනා හැඳිනීමකින් සිටි බව පැහැදිලිය. ඇතැම් අවස්ථාවල භූමියේ නිසරු බව ආදිය මඟහරවා ගැනීම සඳහා අතිරේක බෝග වගා කිරීම කෙරෙහි යොමු වූ බවද සිතිය හැකිය.

වර්තමානයේ තරම් තාක්ෂණික දියුණුවක් නොමැති යුගයක කෘෂිකර්මාන්ත කටයුතු සඳහා ගවයා, මී ගොනා ආදී සතුන්ගෙන් ලැබුණු දායකත්වය සුළුපටු සේ සැලකිය නොහැකිය. ශිලාලේඛනවල ගෙරි, මී, ගොන්, එළ ආදී සතුන් පිළිබඳ සඳහන් කර තිබීමෙන් මෙය තවදුරටත් සනාථ කරගත හැකිය. විශේෂයෙන්ම වී ගොවිතැනේ දී මී හරකුන් බහුල වශයෙන් යොදා ගන්නට ඇත. වර්තමානයේදීත් කෘෂි කර්මාන්ත කටයුතු සඳහා මී හරකුන් යොදා ගැනීම සිදු කරයි. මීට අමතරව කිරි වැනි ආහාර සඳහා ගවයා, එළුවා ආදී සතුන් ගෘහාශ්‍රිතකරණය කර ඇත. ඔවුන්ගෙන් ලැබෙන ගොම පොහොර සිය වගා කටයුතු සරුසාර කරගැනීමට යොදා ගන්නට ඇත. මේ අනුව වර්තමානයේ මෙන්ම අතීතයේදීත් ගවයා, එළුවා ආදී සතුන් කෘෂිකාර්මික කටයුතුවලදී ගොවියාට මහත් සේ උපකාර කළ, දායක වූ පිරිසක් ලෙසින් හඳුනාගත හැකිය. ඔවුන් ගැමි දිවිය හා බැඳුණු ස්වභාවය නොයෙක් ජන ගී ආශ්‍රයෙන් ද හැඳිනගත හැකිවේ.

අතීතයේ ජනතාවගේ ඥානය පරීක්ෂා කිරීමේදී හෙළිවන වැදගත් කරුණක් ඇත. එනම් අතීතයේ විසූවන් තුළ පවා බැංකු ක්‍රම පිළිබඳ අවබෝධයක් තිබූ බව හෙළි වීමයි. උතුරු මැද පළාතේ පිහිටුවා ඇති තෝනිගල සෙල්ලිපිය තුළ මුදලට ලැබෙන පොලී ප්‍රමාණය වීවලට 50ක්ද, බෝංචිවලට 25ක්ද ආදි වශයෙන් සටහන් වීමෙන් දත හැකිය. ඒ අනුව එකල බැංකු ක්‍රමයක් පිළිබඳ ජනතාවගේ තිබූ ඥානයේ ස්වභාවයද හැඳිනගත හැකිවේ. උතුරුමැද පළාතේ දිස්වන මහාපරිමාණයෙන් යුත් ජලාශ හා වැව් ආශ්‍රයෙන් එකල පැවති කෘෂි කර්මාන්තයේ ස්වභාවය හඳුනාගැනීමට සාක්ෂ්‍ය අප වෙත සපයයි. ඒ සාක්ෂ්‍ය නිරවද්‍ය කරගැනීම පිණිස සෙල්ලිපිවලින්ද මහඟු දායකත්වයක් ලබා දෙයි.

තෝනිගල ලිපියට අමතරව මේ කාලයේදී දැකගත හැකි තවත් ලිපියක් වන්නේ ඇටබැඳිගල ලිපියයි. එහි කහවණු තැන්පත් කර එයින් ලැබෙන පොලිය පිළිබඳ සඳහන් කර ඇත. ඊට අමතරව කුඹුරු, වැව්-අමුණු, ඉඩකඩම් ආදිය පිළිබඳ තොරතුරු ලැබෙන සෙල්ලිපි ගණනාවක් හමුවේ. හිඟුරේගල පර්වත ලිපිය, නාගිරිකන්ද ලිපිය, ගැරඬිගල ලිපිය ආදිය ක්‍රිස්තු වර්ෂ 4-5 වැනි සියවස්වල පිහිටුවා ඇති සෙල්ලිපියි. මේවා මගින් කෘෂිකාර්මික කටයුතු පිළිබඳ මනා දැනුමක් ලබාගත හැකිය.

මෙකී ශිලාලේඛන මඟින් එකල මෙරට කෘෂිකර්මාන්තය කෙතෙක් දුරට සමෘද්ධව පැවතියේදැයි හැඳිනගත හැකිය. ගොවියන් කෘෂිකාර්මික කටයුතුවලදී යොදාගත් බෝග පිළිබඳත් වගා කළ කාලවකවානු පිළිබඳත් කෘෂි කටයුතු සාර්ථක කරගැනීම පිණිස වාරි තාක්ෂණයේ බලපෑමත් ගොවිතැනේදී පිහිට වූ සතුන් පිළිබඳත් ඔවුන්ගේ පැවති බැංකු ක්‍රම පිළිබඳත් තොරතුරු රාශියක් හඳුනාගැනීමට මේ අනුව හැකියාව ලැබේ. ඒ කරුණු මගින් අතීතයේ පැවති ගොවිතැන පිළිබඳ දළ අදහසක් වර්තමානයේ ජීවත්වන අපට ලබාගත හැකි වේ.(පදියතලාවේ ඥාණවිමල හිමි)