ඉන්දුනීසියාව කියන්නේ ලොව විශාලතම මුස්ලිම් රාජ්‍යය. එසේම ලොව වටා සිටින සංචාරකයන් බොහෝ දෙනෙකුගේ ආකර්ශනයට ලක්වන රටක්. එම නිසාම ඉන්දුනීසියාවට දිනපතා සංචාරකයන් බොහෝ පිරිසක් පැමිණෙනවා.ඉන්දුනීසියාවේ ඇති සංචාරක ආකර්ශනයන් අතරින් එකක් තමයි අපි මේ කියන්න යන මුහුද යට පිහිටල තියෙන පන්සල. ඉන්දුනීසියාවේ සංචාරක කලාපවලින් ප්‍රසිද්ධම කලාපයක් වන ‘බාලි” දූපත්වල පෙමුටෙරාන් ගම්මානය අසල මුහුද යට තමයි මෙය පිහිටල තියෙන්නේ. ඉන්දුනීසියාව මුස්ලිම් රාජ්‍යයක් වුවත් බාලිහි ජනගහනයෙන් 90%ක් හින්දු භක්තිකයන්. එසේම පෙරදිග ලෝකයේ බෞද්ධ රටක් වූ ඉන්දුනිසියාව අතීතයේදි විශාල වශයෙන් බුදු දහම පැවතුන රටක්. ලොව විශාලතම බෞද්ධ පන්සල වන “බෝරෝ බුදුර්” පිහිටා තිබෙන්නේද ඉන්දුනිසියාවේ ජාවා දූපත්වලයි.

කෙසේ වුවත් අපි මේ කතාකරන්න යන පන්සල හදුන්වන්නේ “ටෙම්පල් ගාර්ඩ්න්” යන නමින්.බෑලූ බෑල්මට මේ පන්සල ඉතා පැරණි පන්සලක් ලෙසයි පෙනෙන්නේ. අන්තර්ජාලයේ බොහෝ තැන්වල අසත්‍ය ලෙස මෙම පන්සල මෑතකදි සොයාගත් ඉතා පැරණි පන්සලක් ලෙස වාර්තා කර තිබෙනවා. නමුත් ඈත්තටම මේ පන්සල නිර්මානය කරල තියෙන්නේ 2006 වසරේදි. මෙම පන්සලේ ඇති ප්‍රතිමාවල පෙනුම ඉතාම පෞරාණික පෙනුමක් ගෙනඑන ලෙස ඒවා නිර්මාණය කළ මූර්ති ශිල්පීන් විසින් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

මෙම පන්සල නිර්මාණය කිරීමේ මූලික අරමුණ සංචාරකයන් ආකර්ශනය කරගැනීම. එසේම මෙය සංස්කෘතික හා කොරල්පර හා කොරල්පර ආශ්‍රිත පරිසරය සංරක්ෂණ ව්‍යාපෘතියක කොටසක්. මෙහි මීටර් 15 ක් ගැඹුරට මුහුද යටට කිමිදුන විට මුහුද යට ඉදි කර අති පන්සලේ මුල්ම ප්‍රතිමා කීපය දෑකගත හැකි වෙනවා. තවත් මිටර් 30 ක් පමන ගැඹුරට කිමිදුන විට තවත් ප්‍රතිමා දැකගත හැකිවෙනවා. බුදුන් වහන්සේගේ ප්‍රතිමා හා තවත් හින්දු දෙවි දේවතාවන්ගේ ප්‍රතිමා රැසක් මෙහිදී දැකගන්නට පුලුවන්.සියලුම ආගම්වලට අයත් සංචරකයන් විශාල ප්‍රමාණයක් දිනපතා මෙම පන්සල නැරඹීමට පැමිණෙන්නේ මෙහි ඇති අපූර්වත්වය හා නිර්මාණශීලීත්වය නිසාමයි.