මෙයින් අනූඑක්වන කපෙහි බන්දුමතී නගරයෙහි වතුර ඇද දීමෙන් පවුල රකින දුගී කතක් වූවාය. එකල එහි බුදුරදුන් ඇත ද මහ සඟන ඇත ද දිළිඳු වූ ඇයට දන් දීමට කිසි වස්තුවක් නො තිබිණ. එබැවින් ඕ පහන් සිතින් විහාරයෙහි පැන් තැබීම කළාය. ඕ තොමෝ මරණින් මතු ඒ පිනෙන් තව්තිසා දෙව්ලොව දෙව්විමනක දහසක් දෙවඟනන්ට ප්‍රධානව උපන්නාය. ඕ ආයුෂයෙන් ද රූපශෝභාවෙන් ද සැපයෙන් ද පිරිවරින් ද ආධිපත්‍යයෙන් ද රූපයෙන් ද ශබ්ධයෙන් ද ගන්ධයෙන් ද රසයෙන් ද ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන කරුණු දසයෙන් අන් දෙවඟනන් ඉක්ම සිටියා ය.සසර සැරිසරන්නාවූ ඕ ඒ පිනෙන් පනස් වරෙක දෙව්රජුන්ගේ මෙහෙසිය වූවාය. විසිවරෙක සක්විති රජුන්ගේ මෙහෙසිය වූවාය. අනූ එක් කපක් මුළුල්ලෙහි දේවමනුෂ්‍ය දෙගතිය හැර අන් ගතියකට නො ගියාය. අහසෙහි වුව ද කඳු මුදුනකදී වුව ද පැන් වුවමනා වෙතහොත් ඇයට සැණෙකින් පැන් ලැබෙන්නේ ය. ඇගේ ශරීරයට කිසි විටෙක උෂ්ණයෙන් පීඩාවක් නො වීය. ඕ මෙසේ දීර්ඝ කාලයක් ඒ පිනෙන් දෙව් මිනිස් සුව විඳ අප බුදුන් කල මිනිස් ලොව ඉපද පැවිදිව සව් කෙලෙසුන් නසා රහත්ව නිවන් පුරයට පිවිසියාය. ඕ බුදුසස්නෙහි උදක දායිකා ථෙරි යන නමින් ප්‍රසිද්ධ වූවා ය.

  • එකනවුතිතො කප්පො යං දකං අදදිං තදා
  • දුග්ගතිං නාභිජානාමි දකදානස්සිදං ඵලං

මේ ඒ ස්ථවිරියගේ ප්‍රකාශනයෙකි.මෙයින් එක් අනූවන කපෙහි යම් ජලය දීමක් කළෙම්ද ඒ හේතුවෙන් මේ වන තෙක් කිසිවිටෙක දුර්ගතියට නො පැමිණියෙමි. මෙය උදක දානයේ ඵලය ය යනු එහි තේරුම යි.(ආපදාන පාළියෙන්) පැන් පූජා කළ දාසියක් එක් සමයෙක් හි අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහත් වූ බික් සඟන හා කොසොල් රට සැරිසරන සේක් ථුන නම් බමුණු ගම වෙත වැඩම කළ සේක. “ශ්‍රමණ ගෞතමයෝ ඔවුන්ගේ ගම සමීපයට පැමිණියහ.” යන පුවත එහි වෙසෙන බමුණන් අතර පැතිර ගියේය. එහි වෙසෙන බ්‍රාහ්මණයෝ මිථ්‍යා දෘෂ්ටිකයෝ ය. මසුරෝ ය. බුදුරදුන් කෙරෙහි අප්‍රසන්නයෝ ය. ඔවූහු “ශ්‍රමණ ගෞතමයන් අප ගමට පැමිණ ඔවුන්ගේ දහම මෙහි පැතිර වුවහොත් මේ ජන සමූහයා ඔවුන්ගේ කීම පිළිගන්නෝ ය. ඉන්පසු අපගේ බ්‍රාහ්මණ ධර්මයට මෙහි තැනක් නැති වන්නේ ය.” යි බිය වී බුදුරදුන් ගමට ඇතුළු විය නොහෙනු පිණිස තැන තැන ගං ඉවුරෙහි තිබූ යාත්‍රාවන් ඉවත් කරවූහ. ඒදඬු බිඳ දැමූහ. පැන්හල් නැති කළහ. වාසය කළ හැකි ශාලා නැති කළහ. එක් ළිඳක් ඉතිරි කොට අන් සියළු ළිං වසා දැමූහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ විප්‍රකාරය දැක අහස් ගමනින් ගඟින් එතෙරව ක්‍රමයෙන් බමුණු ගමට වැඩ මාර්ගයෙන් ඉවත්ව එක්තරා ගසක සෙවණෙහි බික්සඟන පිරිවරා වැඩහුන් සේක.

පැන් ගෙන යන්නාවූ බොහෝ ස්ත්‍රීහු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙන් එමඟින් පැන් ගෙන ගියෝය. කලින් එගම බ්‍රාහ්මණයන් ශ්‍රමණ ගෞතමයන් එන කල්හි කිසිවකු පෙර ගමන් කිරීම් ආදියෙන් ඔවුනට කිසිඳු සැලකිල්ලක් නො දැක්වූහ. ඔවුන් අතුරෙන් එක් බ්‍රාහ්මණයෙකුගේ දාශියක් පැන් කළයක් ගෙන යන්නී භාග්‍යවතුන් වහන්සේ පිරිවරා වැඩ සිටින බොහෝ භික්ෂූන් ගමන් විඩාවෙන් පිපාසිතව සිටිනා බව පෙනී “ශ්‍රමණ ගෞතමයනට හෝ ඔවුන්ගේ ශ්‍රාවකයන්ට සැලකිලි නො කිරීමට ගමෙහි බමුණෝ කතිකා කරගෙන සිටින්නාහ. එහෙත් මෙබඳ පුණ්‍යක්ෂේත්‍රයක් ලැබ පැන් ටිකක්වත් පිළිගන්වා පිනක් කර නො ගතහොත් කවදා මම මේ දුඃඛ ජීවිකාවෙන් මිදෙන්නෙම්දැ” යි සිතා “මාගේ ස්වාමියා හා ගම් වැසියෝ මට කරන දඬුවමක් කෙරෙත්වා. මම මේ පුණ්‍යක්ෂේත්‍රයෙහි පානීය දානයක් දෙමි” ය යි අන්‍ය ස්ත්‍රීන් විසින් වළක්වත්දී ම ජීවිතාපේක්ෂාව හැර හිස තැබූ පැන් කළය ගෙන බිම තබා තථාගතයන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ පැන් පිළිගන්නා සේ යාඥාකළාය.එකල්හි තථාගතයන් වහන්සේ ඇයට අනුග්‍රහ පිණිස පැන් පෙරහා අත්පා සිසිල් කොට පැන් බීම ද කළ සේක. කළයෙහි පැන් මඳකුදු අඩු නො වීය. ඕ තොමෝ ඒ ප්‍රාතිහාර්යය දැක ඉමහත් ප්‍රීතියට පැමිණ භික්ෂුවකට ද පැන් පිළිගැන්වූවාය. ඒ භික්ෂුව ද පැන් පෙරහා ගෙන අත්පා සිසිල් කර පානය ද කළේය.

කළයේ පැන් තිබූ පරිදි ම පිරී තිබිණ. ඈ එසේ සියළුම භික්ෂූන්ට පැන් පිළිගැන්වූවාය. පැන් කළය පළමු සේම පිරී තිබිණ. ඕ තොමෝ අතිශය ප්‍රීතියෙන් පැන් කළය හිස තබා නිවස බලා ගියාය. තමාගේ දාශිය බුදුරදුන් ඇතුළු මහ සඟනට පැන් පිළිගැන්වූ බව ඇසූ බ්‍රාහ්මණයා “මෑ ගම්වැසියන්ගේ කතිකාව බිඳ මටද අවනම්බු කළාය” යි කිපී බිම පෙරළා ඇයට අතින් පයින් පහර දිණ. බමුණාගේ ප්‍රහාරයෙන් දාසිය මියගොස් පැන් පූජා කිරීමේ පින් බලයෙන් තව්තිසා දෙව්ලොව උපන්නාය. ඇයට එහි කල්පවෘක්ෂයක් සහිත අත්‍යාලංකාර විමානයක් එහි පහළ විය. විමන වටා රිදීවන් වැලිතලා ඇති නිල්මැණික් කඳක් බඳු ජලය ගලා යන රමණීය ගංගාවක් පහළ විය. විමානය ඉදිරිපස පඤ්චවර්ණ පද්ම සමූහයන් ඇති මහා පොකුණක් පහළ විය. එහි ස්වර්ණ නෞකාවක් ද පහළ විය. ඕ එහි දිව්‍ය සම්පත් විඳිමින් විසුවාය.තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් අමතා “ආනන්දය ළිඳට ගොස් මා හට පැන් ගෙන එව” යි වදාළ සේක. “ස්වාමිනි, මෙගම බමුණන් ළිඳ දූෂණය කොට ඇත්තේය. එබැවින් පැන් නො ගත හැකිය” යි ආනන්ද ස්ථවිරයන් වහන්සේ සැළ කළහ. දෙවනුව ද තුන්වෙනුව ද තථාගතයන් වහන්සේ පැන් ගෙන එන්නට වදාළහ.

ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය ගෙන ළිඳ කරා ගියහ. උන්වහන්සේ ගිය කල්හි පැනින් පිරී ළිඳ උතුරා යන්නට විය. ළිඳෙහි වූ වීපොතු පිදුරු ආදී සියල්ල පාවී ගොස් ජලය පිරිසිදු විය. එයින් ගලායන ජලයෙන් ගමෙහි පහත් තැන් යට වන්නට විය. ඒ ප්‍රාතිහාර්ය දුටු බමුණෝ මුළු ගමම ජලයෙන් යට වී යනු ඇතැයි බිය වී තථාගතයන් වහන්සේගේ ම පිහිට සොයා උන්වහන්සේ වෙත වහා අවුත් ක්ෂමා කරවා ගත්හ. එකෙණෙහි ජලය අතුරුදහන් විය. ඔවූහු භාග්‍යවතුන් වහන්සේට හා සංඝයාට වාසස්ථාන පිළියෙල කර දී පසු දින දානයට ද ආරාධනා කළහ. පසුදින බුදුරදුන් ඇතුළු සඟනට දන් දී ඔවූහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ හිඳ ගත්හ.එකෙණෙහි දෙවඟනද තමාගේ සම්පත්තිය බලා ඉමහත් සොම්නසට පැමිණ ඒ මහත් වූ සම්පත්තිය ලැබීමේ හේතුව විමසන්නී ඒ පැන් දීමේ පින බව දැන මහත් සතුටට පැමිණ “දැන් ම මම භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් උන්වහන්සේ වඳිමි. මනාකොට පිළිපන්නවුන්ට කරන ස්වල්ප වූ සත්කාරයෙන් මහත් සම්පත් ලැබෙන බවට මිනිස් ලොවට ප්‍රකාශ ද කරන්නෙමි” යි අප්සරා දහස හා විමානයත් සමග තථාගතයන් වහන්සේ වෙත පැමිණ උන්වහන්සේට වැන්දාය. තථාගතයන් වහන්සේ ඇගෙන් ම ප්‍රශ්න කර මහජනයාට ඇය හඳුන්වා දී ධර්ම දේශනා කළ සේක. දෙවඟන දහම් අසා සෝවාන් ඵලයට පැමිණියාය. පැමිණි පිරිසට ද ධර්ම දේශනාව සාර්ථක විය. (විමාන වස්තුවෙන් ගන්නා ලදී. එහි නාවාවිමාන නමින් මෙය දැක්වේ