ඉලක්කම්වලින් අගය තීරණය කිරීම අද සමාජයේ මුල් බැසගත් ස්වභාවයක්. තරඟකාරී බව ජීවිත පරමාර්ථය කර ගත් මිනිසුන්ට ‘කී වෙනියා ද?’, ‘ලකුණු කීය ද?’ ‘කොච්චර වටිනවා ද?’ යන දේවල් තිබෙන්නේ බොහොම වැදගත් ස්ථානවලයි. එනිසා ම, ඉලක්කම් තුළ වටිනාකම් ලබා ගන්නයි බොහෝ දෙනා උත්සාහ කරන්නේ. නමුත්… ප්‍රශංසා ලැබිය යුතු දෙය සෑමවිටම ඉලක්කම් අගයෙන් ඉදිරියෙන් නොසිටින්නට පුළුවන්. ඇතැම් විට… එය සියල්ලේ පසුපසින් සිටිනවා වන්නට ද පුළුවන්…

මේ කථාව ඇතැම්විට ඔබ අසා ඇති. ඔලිම්පික් තරඟ ඉතිහාසයේ විශිෂ්ටතම පරාජිතයෙකු බවට පත් වූ මේ ශ්‍රී ලාංකිකයා අප පෙර කී අයුරින් ම ප්‍රශංසාව යනු ඉලක්කම මත තීරණය නොවන්නක් බව තහවුරු කළ අයෙක්. ඔහු නමින් ආර්. ජේ. කේ. කරුණානන්ද.ඒ 1964 වර්ෂය යි. පළමු වරට ආසියාතික රටක පැවැත්වෙන ඔලිම්පික් උළෙල බවට පත් වෙමින් ඒ වර්ෂයේ දී 17 වැනි ඔලිම්පික් මහා ක්‍රීඩා සැණකෙළිය පැවැත්වුණේ ජපානයේ ටෝකියෝ නගරය කේන්ද්‍ර කරගෙනයි. මේ තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයන් හය දෙනෙකුගෙන් යුතු කණ්ඩායමේ සිටි කරුණානන්ද මහතා මීටර් 5000 සහ මීටර් 10000 දිගු දුර දිවීමේ ක්‍රීඩා ඉසව් තුළ ශ්‍රී ලංකා බලාපොරොත්තුව බවට පත් වුණා. එවක ඔහු ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයෙක්.

ජයග්‍රහණය තුළින් පමණක් නොව පරාජය තුළින් ද විශිෂ්ටයන් බිහි කරන බව ඔහු විසින් ලොව හමුවේ විදහා පෑ මීටර් දසදහසේ ඉසව්වට සියල්ල සූදානම් ව තිබුණා. රටවල් ගණනාවක් නියෝජනය කරමින් දක්ෂ මළල ක්‍රීඩකයන් ගණනාවක් මේ ඉසව්වට ඉදිරිපත් ව සිටියා. තරඟ ආරම්භක සංඥාවත් සමඟ තරඟකරුවන් සෙමෙන් ඉදිරියට දිව යන්නට පටන් ගත්තා. මීටර් 400 බැගින් වූ තරඟ වට 25කින් සමන්විත මේ ඉසව්වේ මුලින් සිටි ක්‍රීඩකයන් පළමු වට 10 සම්පූර්ණ කරද්දී කරුණානන්ද ඔවුන්ට වඩා සම්පූර්ණ තරඟ වටයක් පමණ පසුපසිනුයි සිටියේ. තරඟයේ 20 වන වටය ඇරඹෙන විට සෙසු සියලු ක්‍රීඩකයන් කරුණානන්ද අභිබවා ඉදිරියෙන් සිටියා. මුල් පෙළේ ක්‍රීඩකයන් තරඟයේ අවසන් වටයට එළඹෙන බවට සංඥාව නිකුත් කෙරෙන විට ක්‍රීඩක කරුණානන්ද සිටියේ ඔවුන්ට වඩා වට 4ක් පමණ පිටුපසින්.

අවසානයේ, ඉතා තියුණු බවට පැමිණි තරඟයේ නිමාව සනිටුහන් කරමින් ඇමෙරිකාව නියෝජනය කළ විලියම් මිලාස් රන් පදක්කම ජයග්‍රහණය කරනු ලැබුවා. දෙවැනි ස්ථානය දිනා ගනිමින් ටියුනීසියාවේ මොහොමඞ් ගැමුට් රිදී පදක්කම ලබා ගනිද්දී තෙවන ස්ථානයට පත් ජපානයේ ජිතිකයා ලෝකඩ පදක්කම ලබා ගත්තා. තරඟ සංවිධායකයන් ඊ ළඟ තරඟ ඉසව්ව ඇරඹීමට උත්සුක වූවත් ඒ වෙනුවෙන් පිටිය සූදානම් කර ගැනීම පමා කෙරෙන යමක් පිටියේ සිදු වෙමින් තිබුණා. ඒ අන් කිසිවක් නොව තවදුරටත් ධාවනයේ යෙදෙමින් කරුණානන්ද ක්‍රීඩකයා ධාවන පථයේ හිඳීම යි. ඒ වනවිට අන් සියලු ක්‍රීඩකයන් ධාවන පථයෙන් ඉවත් ව සිටියා.

ටෝකියෝ ඔලිම්පික් පිටියේ ඒ මොහොතේ රැස්ව සිටි 60000ක පමණ ප්‍රේක්ෂක පිරිසෙන් කරුණානන්ද වෙත යොමු වුණේ සමච්චල් සහගත ප්‍රතිචාරයක්. ඔවුන් උසුළු විසුළු කරමින් හූ කියන්නට පටන් ගත්තා. එහෙත් ඒ අවඥා සහගත භාවය කරුණානන්ද ව නතර කරන්නට සමත් වූයේ නැහැ. තරඟ නිමාවට තවත් වට තුනක් ඔහු දිව යා යුතු යි. තරඟයේ 23 වන වටය ඔහු අරඹන විට ක්‍රමයෙන් සමච්චල් සහගත හූ හඬ ප්‍රේක්ෂකාගාරයන්ගෙන් මැකී යන්නට පටන් ගත්තා. වියැකී යන හූ හඬ අතරින් ඔහු 24 වන වටය ද ආරම්භ කළා. හූ හඬවල් අතරින් ම සිහින් අත්පොළොසන් හඬක් නැගෙන්නට පටන් ගත්තේ ඒ අතරවාරයේ යි. තවත් සුළු මොහොතකින් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාංගණය ම දෙදරුම් කමින් මහා ඔල්වරසන් හඬක් නැගෙන්නට පටන් ගත්තේ ඔහු නමිනුයි.

ඔහු තරඟ ඉසව්වේ 25 වැනි තරඟ වටය අරඹන විට ක්‍රීඩා පිටිය ඒකනින්නාද වෙමින් “කරූ සිලෝන්” යන හඬ පැතිරෙන්නට වුණා. ඉතාමත් ජව සම්පන්න ව අවසන් වටය දිව ගිය කරුණානන්ද තරඟය අවසන් කළේ ලෝක ඔලිම්පික් ඉතිහාසයේ විශිෂ්ටතම පරාජිතයෙකු ලෙසිනුයි. සිය අසුන්වලින් නැගී සිටි සියලු ප්‍රේක්ෂකයන් මේ ධාවකයාට ගෞරවාචාර දක්වමින් අත්පොළොසන් දෙන්නට වුණා.කොටින් ම එදා මීටර් 10000 ජයග්‍රාහකයාටවත් නොලැබුණු අන්දමේ ඉතා උණුසුම් පිළිගැනීමක් තරඟයේ අවසානයා වූ කරුණානන්දට හිමි වුණා. ලොව පුරා මාධ්‍යවේදීන් ඔහු ව වට කොටගෙන විවිධ ප්‍රශ්න අසන්නට පටන් ගත්තා.“පදක්කමක් පිළිබඳ කිසිම බලාපොරොත්තුවක් නැතිව ඔබ මේ විදිහට දිව්වේ ඇයි?”

ඉලක්කම් අගය සියල්ලන්ට ගළපන ලෝකය ඔහුගෙන් ප්‍රශ්න කළා.“මම ආවේ පදක්කමක් දිනා ගැනීමේ බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඔලිම්පික් තරඟාවලියට සහභාගි වෙලා මගේ රට නියෝජනය කරන්නයි මම ආවේ. ඔලිම්පික් තේමාවත් ඒකනේ. මම ඒක අකුරට ම ඉටු කළා. පරාජය දැක දැක හරි මම දිව්වේ මගේ රට වෙනුවෙන්…”කරුණානන්ද ඔවුන්ට උත්තර දුන්නා. ඒ තරඟයේ රන් පදක්කම්ලාභියා ඉතාමත් නිහතමානී ව ස්වකීය ජයග්‍රහණයේ ගෞරවය හිමි විය යුතුව තිබුණේ ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයාට බව පසුව පවසා තිබුණා. ජපානයේ සේ ම ලොව පුරා ප්‍රධාන මාධ්‍ය ගණනාවක ම ප්‍රමුඛ පෙළේ පුවතක් ලෙසින් මේ සිදුවීම එදවස වාර්තා කෙරුණා.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ධෛර්යයෙන් යුතුව නැගී සිටීම උදෙසා පූර්වාදර්ශයන් ලුහුබඳිමින් සිටි ජපාන ජාතිකයන්ට ටෝකියෝ ඔලිම්පික් උළෙලින් මුණගැසුණු වීරයා තමයි කරුණානන්ද. මේ සිදුවීම ජපන් පාසල් දරුවන්ගේ පෙළ පොත්වලට පවා ඇතුළත් කෙරුණේ බාර ගත් වගකීම නිසි ලෙස ඉටු කිරීම ඉලක්කම් අගයෙන් නිර්ණය කළ නොහැකි විශිෂ්ටත්වයක් බව පෙන්වා දෙමිනුයි. අදටත් මේ ක්‍රීඩකයා ජපන් දරුවන්ගේ මානසික ශක්තිය දියුණු කරලීම පිණිස ධෛර්යයේ පාඩමක් කියා දුන්නෙකු ලෙසයි සැලකෙන්නේ. උපන් රටින් එතරම් පිළිගැනීමක් නොලැබුණ ද රට වෙනුවෙන් වගකීම මැනැවින් ඉටු කළ කරුණානන්ද ලෝක ඔලිම්පික් ඉතිහාසයේ අමරණීය චරිතයක් බවට මේ සිදුවීම තුළින් පත් වුණා.

ස්වකීය අඹුදරුවන් ද සමඟ ජපානයට යාමට ඔහුට ශිෂ්‍යත්වයක් ලැබුණේ ද මේ පරාජය අතිශය ගෞරවනීය පරාජයක් ලෙසින් ජපනුන් සැලකූ නිසයි. නමුත් අවාසනාවන්ත ලෙසින් ජපන් ගමනට සති දෙකකට පළමු කරුණානන්ද මහතා අම්පාර නාමල්ඔය ජලාශයේ දී ඔරු පැදීමක නියැළෙමින් සිටිය දී දියේ ගිලී ජීවිතක්ෂයට පත් වුණා…‘බාර ගත්ත වගකීමක් ඉටු කරද්දි එහි අගය ඉලක්කම්වලින් මනින්නට එපා. පටන් ගත් දෙය අවසන් කිරීමයි වඩාත් වැදගත්. එහි දී වටපිටාවෙන් එන අපහාස උපහාස ගණන් ගත යුතු නෑ. උසුළු විසුළු කරන ලෝකය ම ඔබට පිදුම් දෙන දවසක් එළඹේවි, ඔබ කරන දේ හරියට කරන අයෙකු වුණොත්…’ මේ විශිෂ්ටයා 56 වසරකට එපිට අතීතයේ දී අපට ඉගැන්වූ පාඩම එය නො වේ ද…!