රජ වාසල කවටයා යනුවෙන් විරුදාවලී ලත් අන්දරේ නාමය අදටත් ශ්‍රී ලාංකීය ජන විඥානයෙන් බැහැර නොවන්නේ ඇතැමුන්ගේ ක්‍රියා කලාපයන් තුළින් මෙම භූමිකාව යළි යළිත් ඉස්මතු වන බැවිනි මේ කාලයේ කවට අන්දරේ නාමය යළි සමාජගතව ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් පටිගත කොට ළඟ තබාගත් දුරකථන ඇමතුම් එක්ලක්ෂ විසිදහසකටත් වැඩි ප්‍රමාණයක් සහිත සංයුක්ත තැටි පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමගිනි මෙරට ව්‍යවස්ථාදායකය සහ අධිකරණය මුල් කොට ගත් කුමන්ත්‍රණකාරී සංවාද එම දුරකථන සංවාදයන්හි ගැබ්ව ඇතැයි යන්න මූලික විමර්ශනවලදී තහවුරු වී ඇත ඒ අනුව මෙරට බලාත්මක අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය යටතේ ඔහුට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරන ලෙස නීතිපතිවරයා පොලිසියට නියෝග කොට ඇත එබැවින් මේ වන විටත් මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණ ආරම්භ වී ඇති බැවින් ඒ පිළිබඳව අදහස් පළකිරීමේ නීතිමය හැකියාවක් නැත එහෙත් ඔහුට එරෙහිව ඉදිරිපත් කොට ඇති මෙම චෝදනා සත්‍ය නම් ඒවායේ කිසිදු කවට ස්වරූපයක් තිබිය නොහැක එහෙත් යමකුට ඒ ගැළපීම මනාව ගොඩනගා ගත හැක්කේ රජවාසල කවට අන්දරේට හිමිව තිබූ බව පැවැසෙන සද්ද විද්ද පළඟ පතිර යන අභිධාන නාමයම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ පෙළපත් නාමයටද එක්ව තිබීම නිසාය උප්පැන්න සහතිකයේ එන පරිදි ඔහුගේ සැබෑ නම සද්ද විද්ද පළඟ පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පොන්සු බව කියනු ලැබේ එහෙත් නමේ අවසානයට එන රාමනායක කොටස ​ඔහුගේ පරපුරට අයත් වූවක් නොවේ එය ඔහුට සිංහල සිනමාවට පිවිසීමට වරම් ලබාදුන් චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න රාමනායකයන්ට කරන ගෞරවයක් වශයෙන් ඔහුගේ වාසගම සිය නමට එක්කර ගැනීමෙන් තනාගත් කෘත්‍රිම පෙළපත් නමකි

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පිළිබඳ කතාව පසෙක තිබියදී රජවාසල කවටයා යනුවෙන් පරසිඳු අන්දරේ පිළිබඳ පවත්නා ජන විශ්වාසය හුදෙක් ඔහු පිළිබඳ සත්‍ය තත්ත්වයක් නොවන බවත් ඒවායින් බොහොමයක් පසුකාලීනව ප්‍රබන්ධය වූ කයි කතන්දර පමණක් බවත් අන්දරේ නම් සැබෑ චරිතය පිළිබඳව සියුම් ලෙස විමැසීමේදී පෙනී යයි අන්දරේ පිළිබඳ සියලු පුරාවෘත්තයන්ට අනුව ඔහු කන්ද උඩරට රජකම් කළ රාජාධිරාජසිංහ රජු (වර්ෂ 1782-1798) විසින් රජ වාසල කවටයා නම් ඉන් පෙර නොවූ විශේෂ තනතුරටක් පත්කර ගත් විසුළු පෙනුමින් යුතු ගැමියෙකි ඒ ප්‍රවාද ගත තොරතුරුවලට අනුව රජතුමාට ඔහු මුල්වරට හමුවී ඇත්තේද අහඹු ලෙසකිනි රජ වාසල අද්දර පොකුණක වෙසෙන මැඩියකුගේ කන් කරච්චලයක් නිසා රාත්‍රී නින්ද අහිමිව කෝපයට පත්වන රජතුමා එම මැඩියා මරා දැමීමට රාජ පුරුෂයන්ට අණ කරයි එහෙත් ඔවුනට එවැනි මැඩියකු සොයාගත නොහැකි විය එම මැඩියා මරා දමන අයකට රාජ ප්‍රසාද හිමිවන බවට රජතුමා රටපුරා අණබෙරකරුවන් යවනුයේ කෝපය එතරම් උත්සන්නව පැවැති බැවිනි කෙසේ හෝ අණබෙරකරුවන්ට මගදී හමුවන විසුළු පෙනුමකින් යුත් පුද්ගලයකු මෙම අභියෝගය පිළිගෙන රජවාසලට පැමිණ රාත්‍රියේ පොකුණ අසල හිඳ මැඩි හඬ එන දිසාවට හී පහරක් එල්ල කොට එම මැඩියා මරා දමයි එයින් මහත් සතුටට පත්වන රජතුමා ඒ පිළිබඳව විමැසීමේදී අන්දරේ දෙන හාස්‍යෝත්පාදක පිළිතුරුවලින් කොතෙක් ප්‍රමුදිත වීද යත් ඔහුට සද්ද විද්ද පළඟ පතිර නම් අභිධාන නාමය දී ඔහු රජ වාසලේම රඳවා ගනියි ජන ප්‍රවාදවලට අනුව අන්දරේගේ වාසගම සද්ද විද්ද පළඟ පතිර රාජපක්ෂ මුතුකුමාරණ යනුවෙන් හා සද්ද විද්ද පළඟ පතිර අඹකුමාර වශයෙන් දෙඅයුරකින් සඳහන්ය කෙසේ වුවත් මෙය අන්දරේ නමින් ජීවත් වූ එම සැබෑ මිනිසාගේ චරිතය පසුකාලීන ජනතාව විසින් රසවත් ලෙස ප්‍රතිනිර්මාණය වීමෙන් ඇතිවූ බේගල් බව ඒ සම්බන්ධයෙන් කරනු ලබන විමසුම්වලදී පෙනී යයි ඊට හේතුව ඔහුට එම පෙළපත් නාමය හිමිවූ ආකාරය කෙසේවත් විශ්වාස කළ නොහැකි බැවිනි

අන්දරේ පිළිබඳ පිළිගත හැකි තොරතුරුවලට අනුව ඔහු මාතර දිස්ත්‍රික්කයේ දෙවුන්දර, කිරලවැල්ලේ ගුරුන්නැහේගේවත්ත නම් ප්‍රදේශයේ උපත ලැබූවෙකි අන්දරේගේ උපන් ගම දික්වැල්ල යැයි ඇතැමෙක් පැවැසුවද එය ඔහුගේ මවගේ ගම බව පිළිගැනීමට අපට සිදුවෙයි එමෙන්ම අපගේ ජන සම්ප්‍රදාය අනුව විවාහපත් බිරිඳක් තම පළමු දරු ප්‍රසූතිය ළංවන විට සිය මව සමීපයට යන බැවින් අන්දරේගේ පාරම්පරික ගම දෙවුන්දර වුවද පවුලේ එකම දරුවා වූ ඔහු දික්වැල්ලේ ඉපදීමේද අරුමයක් නැත සියලු ජනප්‍රවාද ගැන තොරතුරුවලට අනුව අන්දරේගේ පියා අයිමන් විල්හෙම්පැල්ක් (වර්ෂ 1762-1785) නම් ඕලන්ද ආණ්ඩුකාරයා වෙතින් පවා පදවි තානාන්තර ලැබූ එවක සමාජයේ සිටි උගත් ප්‍රභූවරයෙකි ලන්දේසි, පෘතුගීසි ආදී අපරදිග භාෂාවන් සේම සිංහල, දෙමළ, පාලි, සංස්කෘත ආදී පෙරදිග භාෂාවලත් නිපුණත්වයකින් හෙබි උගතකු වූ ඔහු එවක ඕලන්ද රජයෙන් හිමි වන පල්ලියේ ගරු තනතුරකින් ද පිදුම් ලැබූවෙකි එනිසාම ඔහු කිරලවැල්ලේ ගුරුන්නාන්සේ නමින් ප්‍රකට​ වූ බවද පැවැසෙයි වර්තමාන සිංහල බසෙහි පල්ලිය යන්න දේවස්ථාන හැඳින්වීම සඳහා යොදාගැනෙන මුත් ඉන්දු ආර්ය සහ ද්‍රවිඩ භාෂා කිහිපයකම පල්ලි යනුවෙන් හැඟවෙනුයේ විද්‍යස්ථානය නැතහොත් පාසල යන්නය එමෙන්ම ඕලන්ද පාලන සමයේ අධ්‍යාපන සේම විවාහ ලියාපදිංචි කිරීම්ද දේවස්ථානවලම සිදු කෙරුණු බැවින් ඒවායේ ඉගැන්වූ ආචාර්යවරුන් සේම එම විවාහ ලියාපදිංචි කිරීම් භාර නිලධාරීන් ලෙස කටයුතු කළ ප්‍රභූන් පල්ලියේ ගුරුන් යන නමින් හැඳින්වෙන්නට විය

කිරලවැල්ලේ ගුරුන්නාන්සේ තම එකම පුතණුවන් හට එවක පෘතුගීසී ජාතිකයන් විසින් බහුලවම යොදාගත් ආන්දේ යන නම යොදන ලද්දේ ඔහු පෘතුගීසි පාලන සමය තුළ උපත ලැබූ නිසා විය හැක තම ආගමික සංස්කෘතික විශ්වාසවලට අවනත වන්නවුන් හට විවිධ සමාජ ආර්ථික වරප්‍රසාද හිමිකර දීමට යටත්විජිත පාලකයෝ විශේෂ උනන්දුවක් පළ කළහආන්දේ යන්න ඉංග්‍රීසි බසෙහි වර නැගෙනුයේ ඇන්ඩෲ යනුවෙනි තම පියා සමාජ සම්මත උගතකු හා ප්‍රභූවරයකු වුව තම ළමා වියේ සිට සාම්ප්‍රදායික අධ්‍යාපනය ප්‍රතික්ෂේප කළ අන්දරේ විශිෂ්ට නිර්මාණාත්මක හා පරිකල්පනමය හැකියාවෙන් සපිරි කවිකාර තරුණයකු වූ බව පෙනේ ද්‍රවිඩ නායක්කර් වංශික රජුන් අතරේ වඩාත්ම බහුශ්‍රැත රජු වන රාජාධිරාජසිංහයන් බලයට පත්වන විට අන්දරේ මැදිවියේ පසුවූවකු බව පෙනී යයි වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍ය මොරතොට ධම්මඛන්ද හිමියන් ඇසුරේ අධ්‍යාපනය ලබා පාලි සංස්කෘත ඇතුළු පෙරදිග භාෂා පිළිබඳ මැනවින් උගත් මොහු ශබ්ද ශාස්ත්‍රයේ විශාරදයකු බවත් අසදෘශ්‍ය ජාතකය සිංහලයෙන් කවියට නැගූ පඬිවරයකු බවත් චූල වංශයේ එකසිය එක්වන පරිච්ඡේදයේ සඳහන් වෙයි

නමුදු මේ වනවිට එකිනෙකා පරදමින් රාජ්‍යත්වයේ ඉහළට ඒම පිණිස කන්ද උඩරට රදළයන්ගේ කුලල් කා ගැනීම නිසා අතිශය මානසික පීඩාවට පත්ව සිටි රජතුමා ඉන් අත් මිදෙනු පිණිස රාජ්‍ය පාලන කටයුතුවලට පවා කිසියම් සෞන්දර්යාත්මක ප්‍රවේශයක් දීමට කටයුතු කළ බව පෙනේ එහෙත් කන්ද උඩරට රජතුමාට වන්දි භට්ටයන් විසින් ප්‍රශස්ති ගැයූ කවිකාර මඩුවට සෞන්දර්යාත්මක සහ විනෝදාත්මක ස්වරූපයක් ලබාදීම රාජාධිරාජසිංහ රජු විසින් සිදුකරන ලද නිහඬ විප්ලවයකි කන්ද උඩරට රාජ්‍යයේ ඔඩු දුවා තිබූ කුලභේදය පිළිබඳව පවා තැකීමක් නොකළ ඔහුගේ කවිකාර මඩුවෙහි සිටි කවීන් අතර මුංකොටුවේ රාළ, කොත්මලේ සංගර නයිදේ, වඩුගොඩපිටිය නිලමේ සහ උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ යන අතිශය ජනප්‍රිය කවිය සහිත කැලණි හෑල්ල රචනා කළ තාඹුගල ලෝකුරු නයිදේද විය ඔවුන් අතරේ අන්දරේටද සුවිශේෂ තැනක් හිමිව තිබූ බව පෙනේ

පසුකාලීන මූලාශ්‍රවලට අනුව අන්දරේට රාජාධිරාජසිංහ රජතුමා විසින් අධිකාරම් පදවියක් පවා දී තිබේ රජතුමා හැරුණු කොට රජවාසල වැඩිම බලයක් හිමි පදවියක් වන අධිකාරම් තනතුරු මුල් යුගයේ තිබුණේ එකක් පමණිපසුව එය කිහිපයක් දක්වා වැඩි වූ බව පෙ​නේ ඒ අනුව අන්දරේ හුදු කවටයකු පමණක් වී නම් ඔහුට අදිකාරම් වැනි නිලයක් දක්වා උසස්වීම් ලැබෙනුයේ කෙසේද යන්නද පැනයකි කෙසේ නමුත් රාජාධිරාජසිංහ රජුට අතිශය හිතෛෂී රාජ්‍ය නිලධාරියකු වූ අන්දරේ සෙසු හිතුවක්කාර දඩබ්බර නිලමේවරුන් පාලනය කිරීම සම්බන්ධයෙන් රජතුමා හට සොඳුරු සහයෝගයක් දුන් බව අනුමාන කළ හැක එමෙන්ම රජතුමා සියුම් ලෙස අන්දරේ එවැනි කටයුතු සඳහා යොදාගත් බව පෙනේ වරක් රාජ සභාවේදී අන්දරේ එහි කිසිදු නිලමේවරයකුට රජ වාසල ​පොකුණ තුළ කිමිදී දිය යටින් බිත්තරයක් ගෙන ආ නොහැකි බවට රජු ඉදිරියේදීම අභියෝගයක් කරයි එහෙත් නිරතුරුවම ඔහු​ගේ අභියෝගවලින් පරාජයට පත්වන නිලමේවරු කිසියම් උපායක් යොදා ඒ අභියෝගය ජය ගැනීමට රහසේ කතිකා කරගනිති ඒ අනුව කලින් සොයා ගත් බිත්තරය බැගින් ඉණේ සඟවා ගන්නා නිලමේවරු රජු ඉදිරියේදී ඒ අභියෝගය ජය ගනු පිණිස එක්වරම පොකුණ යට කිමිදී යළි දිය මතුපිටට පැමිණ තමන් රහසින් සඟවාගෙන සිටි බිත්තර රජුට දක්වති එහෙත් ඒ නිලමේවරුන් සමගම දිය යට කිමිදුණු අන්දරේ යළි දිය මතට එනුයේ බිත්තරයක් නොමැතිවය එසේ පැමිණෙන ඔහු මමයි කුකුළා, මමයි කුකුළා කියමින් කුක්කු කූක්කූ හඬ නගනුයේ සෙසු සියලු නිලමේවරුන් රජු ඉදිරියේ මහත් ලැජ්ජාවට ලක් කරමිනි මෙය ඔවුන්ගේ පෞරුෂය දරුණු ලෙස බිඳ හෙළීමකි

තවත් එක් අවස්ථාවක කවිකාර මඩුවේදී කිසිසේත්ම සත්‍යයක් විය නොහැකි දෙයක් හිටිවනම කවි කර කියන්නැයි රජතුමා එහි කවීන්ට අණ කරයි එවිට එක් එක් කවියා විවිධ නිර්මාණාත්මක දේ පවසතත් ඉන් සෑහීමකට පත්වීමට රජුට නොහැකි වේ අවසානයේ තමන් වෙත පැමිණෙන අවස්ථාව පැමිණි විට අන්දරේ හිටිවනම කියනුයේ මෙම කවියයි රජ කම් කළත් ඉඳගෙන සිහසුනක් මත ඔබ ගොන් රජෙකි මේ මග ගොන් රැලට හිත ඔබ මෙන් කුහක නින්දිත අධමයකු කැත තුන් සිංහලේ වෙන කිසියම් තැනක නැත මෙම කවිය ඇසූ සැණින් රජතුමා දැඩිව කෝපාවිෂ්ට වූ බවත් එකෙනෙහිම අන්දරේද, අවසර දේවයන් වහන්ස, ඔබවහන්සේ මට කිව්වේ කිසි දවසක ඇත්තක් නොවන දෙයක් කවි කර කියන්න නේද? යනුවෙන් විමසා තිබේ කරුණු වටහා ගත් රජතුමා අන්දරේ කී දෙය සත්‍යයක් බැවින් සිනාසී නිහඬ වූ බව ජනශ්‍රැතියේ එයි එහෙත් අන්දරේ සහ රාජාධිරාජසිංහ රජතුමා අතර පැවැති මෙවන් ගනුදෙනු සහ කතාබහ සියල්ල විමසීමේදී පෙනී යන්නේ අන්දරේ යනු රජතුමාගේ අතිශය විශ්වාසවන්ත සමීපතමයකු බවය

එමෙන්ම ඔවුන් දෙදෙනා අතරේ රජවාසල සෙසු නිලයන් නොදත් රහස් සබැඳියාවක් තිබූ බවයි තම ජීවිතයේ අවසන් භාගයේදී රජතුමන් අනියමින් කළ ඉල්ලීමක් හෙවත් අන්දරගේ කෑම පිඟානේ තුන් තැනකට එක්වර පලා බෙදීමක් නිසා රජ වාසල තම සේවය අවසන් වීම රජුගේ අපේක්ෂාව බව වටහා ගන්නා අන්දරේ රජතුමාගෙන් අවසර ගෙන රාජකීය ගෞරව මැද සිය ගම රට බලා පිටත් වූ පුවත අතිශයින් ප්‍රචලිතය ඒ වනවිට ඔහු කුෂ්ට රෝගයකින් පෙළෙමින් සිටි බවද කියනු ලැබේ 1914 මුද්‍රණය කරවන ලද ජේම්ස් බස්තියන් පෙරේරා විසින් ලියූ නීති රත්නාවලී නම් කෘතියේ මාගම් පත්තුවේ කඩඉම වන උඩමළල කරගම් ආරේ එගොඩදී අන්දරේ මළ බවත් දේහය කරගම් ආරේ මෙගොඩට ගෙනවුත් ආදාහනය කළ බවත් සඳහන්ය පසුව එම ස්ථාන දෙකේම ශිලා ස්ථම්භ කරවූ බවත්, දෙවන ශිලා ස්ථම්භය අන්දරේ සොහොන නමින් ප්‍රසිද්ධ වූ බවත් සඳහන්ය එමෙන්ම ඔහු මියගිය ස්ථානය මලල මෝදර ඉහළ මලල්ගම ආදී ලෙසින් විවිධ ස්ථානවල හැඳින්වීම නිසාත් ඔහු උදෙසා සොහොන් ස්මාරක තැනීම නිසාත් ඔහු ප්‍රභූවරයකු ලෙස පිළිගැනීමට අපට සිදුවේ කෙසේ වුවත් ජනප්‍රවාදගත කරුණු අනුව ඔහුගේ මරණය සිදුව ඇත්තේ දිය පිපාසයෙන් ඔත්පලව පලු, වීර ගස් යට අන්ත අසරණ ලෙසිනි

රිදී කලේ රන් කොතලේ බීපු මට කට කැඩි ක‌ළේ වත් දිය නැත පිපාසෙට යනුවෙන් අන්දරේ අවසන් වරට කියූ බව පැවැසෙන කවියෙන් එය මනාව පැහැදිලි වේ නමුදු ජීවිතයේ අවසාන භාගයේදී කන්ද උඩරට හෙවත් මහනුවර සිට දෙවිනුවරට යා යුතුව තිබූ අන්දරේ ඒ සඳහා සබරගමුව, රන්මලේ කඳුවැටිය ඔස්සේ මාතර දිසාවට වැටී ගත් සෘජු මාවත ඔස්සේ ගමන් නොකොට කන්ද උඩරට රාජ්‍ය සමයේ ලුණු ප්‍රවාහනය සඳහා ප්‍රකටව තිබූ මාර්ගය ඔස්සේ හම්බන්තොටද පසුකොට ගමන් කළේ කුමක් නිසාද යන්නද විමසා බැලිය යුතුය එමෙන්ම අන්දරේ මියගිය බව සැලවූ රජතුමා වහා එහි පැමිණ දෑත් දෙපා විහිදුවා මියගොස් සිටි අන්දරේගේ දේහය දැක පළමුව සිනාසී අනේ අන්දරේ උඹ මැරිලත් මාව හිනැස්සුවා නේද? යනුවෙන් අසා සිටි පුවතද අතිශය ප්‍රචලිතය එහෙත් මෙලෙස රජතුමාගේ පැමිණීමද විශ්වසනීයත්වයෙන් තොර ප්‍රවෘත්තියක් වනුයේ එවක පැවැති මාර්ග සහ ප්‍රවාහන පහසුකම් යටතේ රජ කෙනකුට එවන් පණිවුඩයක් ලැබීමෙන් පසු අසකු පිටින් වුව මෙපමණ දුරක් ඒමට සැලකිය යුතු කාලයක් ගතවන බැවිනි එම කාලය සහ ඒ ප්‍රදේශයේ පවතින පාරිසරික උෂ්ණත්වය අනුව රජතුමා සැබැවින්ම එහි පැමිණියේ නම් ඔහුට දැකගත හැකි වනුයේ සීග්‍රයෙන් නරක් වෙමින් පවතින අන්දරේගේ මළ සිරුරය එවන් මළ සිරුරක් දැක ප්‍රකෘති සිහියෙන් යුතු කිසිවකුටත් සිනා පහළවීමේ ඉඩක් නැත

ඒ කෙසේ වුවද මෙරට මුද්‍රිත සාහිත්‍යයේ ආරම්භයත් සමගම ප්‍රකාශයට පත්වූ අන්දරේගේ කතා, කවට අන්දරේ වැනි පොත-පත හා පසුව මෙම චරිතය මුල් කොට නිපදවූ සිනමා කෘතීන් සහ වේදිකා නාට්‍ය මගින් හුදෙක් අන්දරේ යන සංකේතය යොදා ඉදිරිපත් වූ සමාජ ප්‍රකාශනයන් මිස ඔහුගේ සැබෑ ජීවන චරිතය ඉස්මතු වීද යන්න සැක සහිතය කෙසේ වුවද පාලකයන්ට කෙතරම් සමීපව හා හි​තෛෂීවන්ත ලෙස කටයුතු කළද අවසානයේ ඒ කිසිවකුගේවත් පිළිසරණක් නොමැතිව මහ මග මිය යන්නට සිදුවීම සේම අනවශ්‍ය ලෙසින් කවට නාමයක් ආරූඪ කරගැනීමට සිදුවීම එදා අන්දරේට සේම මෙදා අන්දරේලාටත් එක සේ පොදු ඉරණමක් බව කවුරු කවුරුත් සිහි තබා ගත යුතුය තිලක් සේනාසිංහ