ජීවිතේ කරදරම කාලවලදි සහ වැදගත්ම සිදුවීම් සිදුවන අවස්ථාවලදි අපේ පෙට්ටගම්, අල්මාරි ලාච්චු අස්සෙන් එළියට එන එක් වැදගත් ලියවිල්ලක් තියනවා. උප්පැන්න සහතිකයට, හැඳුනුම්පතටත් වඩා අපේ තොරතුරු රැස් කර තියන ඒ ලියවිල්ල හඳුන්වන්නත් ගොඩක් නම් තියනවා. හඳහන, කේන්දරය, ජන්මපත්‍රය, වේලාපත්කඩය ඒ නම් අතරින් සමහරක්.අපේ වත්මන් පරම්පරාව මේ කේන්දර, ජ්‍යොතිෂය වගේ දේවල් වැඩිය තකන පිරිසක් නොවෙයි. එහෙම උනත් මේ දේවල් විශ්වාස නොකරන අයට පවා තමන්ගෙ ජීවිත වලින් මේ වටිනා ලියවිල්ල බැහැර කරන්න බැරි වෙලා තියනවා. ඒකට හේතුව තමයි අනාදිමත් කාලයක් තිස්සේ මේ දේවල් කෙරෙහි තිබෙන විශ්වාසය රැකගෙන එන අපේ දෙමවුපියන් ඇතුලු පෙර පරම්පරාවල බලපෑම.තමන්ගෙ අනාගතේ සහ වර්තමානය තීරණය කරන මේ කේන්දරය විශ්වාස කරනවාද නැද්ද කියන එක ඔබේ විශ්වාසයන්ට අනුව තීරණය වන්නක්. ඔබ මේ දේවල් විශ්වාස කලත්, බැහැර කලත් මේ ගැන යම්කිසි අවබෝධයකින් එය කරන එකයි වඩා සුදුසු වන්නේ.

1. කේන්දරේ ඉතිහාසේ ජ්‍යොතිෂ ඉතිහාසයේත්, ග්‍රහ පිහිටීම් සඳහන් කරන කේන්දරයේත් ආරම්භය සිදුවූ කාලවකවානුව පිළිබඳව නිශ්චිත අදහසක් පවතින්නේ නැහැ. සාමාන්‍ය පිලිගැනීම නම් මෙය ක්‍රි.පූ 3000ත් 6000ත් අතර කාලයක් තුල බිහිවූවක් බවයි. ඉන්දියානු දාර්ශනිකයෙක් වූ වරහමිහිර විසින් මීට වසර 1500කට පමණ පෙර ලියන ලද ජ්‍යොතිෂය සම්බන්ධ පොත් මේ ශාස්ත්‍රයේ පැරණිකම පිළිබඳ අදහසක් ගන්න පුලුවන් වටිනා සාක්ෂි වනවා.

2. මොකක්ද මේ කේන්දරේ?මීට අවුරුදු තිහකට විතර එහාපැත්තෙ ඉපදුණු කෙනෙකුටනම් කේන්දරේ කිවුවම් මතක් වෙන්නෙ පුස්කොල පොතක් වගේ රෝල් කරපු තල් කොල සටහනක්. අද දවස වෙද්දිනම් කොම්පියුටර් ප්‍රින්ට්අවුට් වලින්,පොත් හැටියට මේ සටහන් එන්නෙ.කෙනෙක් උපදින මොහොතේ ඒ තැනැත්තා උපදින ප්‍රදේශයට නැගෙනහිරින් පායා තිබෙන තරු රාශිය ඔහුගේ හෝ ඇයගේ ලග්නය සේ ගැනෙනවා. ඒත් සමගම පුද්ගලයා උපන් ස්ථානයට සාපේක්ෂව හිරු, සඳු ඇතුලු අනෙකුත් ග්‍රහයන්ගේ පිහිටීම පෙන්නුම් කෙරෙන සටහනක්, එහෙමත් නැත්නම් සඳහනක් තමයි මේ කේන්දරය කියල අපි හඳුන්වන්නේ. පෙර ආත්ම වල කරන ලද කර්මයන්ට අනුව පිහිටන මේ ග්‍රහ සටහන ඇසුරින් මිනිසෙකුගේ ජීවිතේ පුරාවටම උදාවෙන හොඳ නරක කාල ගැන අවබෝධයක් ගන්න පුලුවන්.ඕනෑම කේන්දරයක් කොටු 12කට වෙන්කර තිබෙන අතර මේ එක් එක් කොටුවලින් ඒ ඒ පුද්ගලයාට අනන්‍ය චරිත ලක්ෂණ, බාහිර පෙනුම සහ ජීවිතයේ සැප දුක, ලාභ අලාභ ආදී අටලෝ දහමේ බලපෑම පිළිබඳ කරුණු නිරූපණය වනවා.

3. කේන්දරේ කිවුව ගමන්ම ඊළඟට කියවෙන අපලෙ ගැන දැනගමු.කේන්දරයක් කියපු ගමන් ඊළඟට මතක් වෙන වචනයක් තමයි මේ අපල කියන්නෙ. අපල ගැන සමහරුන් දරණ වැරදි මතයක් තමයි ග්‍රහයො පිස්සු කෙලල වැරදි පාරවල් වල ගිහින් අපිට අපල හදවනව කියල. හැබැයි ජ්‍යොතිෂයෙ මේ දේ සිදුවන ක්‍රමය ගැන පැහැදිලිවම සටහන් වෙනවා.අපි කලින් කිවුවනෙ කේන්දරෙන් පුද්ගලයාගෙ පෙර ආත්ම වල කර්ම වලට අනුවයි ග්‍රහ පිහිටීම් පෙන්නන්නෙ කියල. ඉතින් මේ පිහිටීම් වලට අනුව අපි පෙර ආත්මයක කරපු වැරදි වැඩකට මේ ආත්මෙ අපිට විඳින්න වෙන ප්‍රතිඵලයක් තමයි මේ අපල හැටියට පෙන්නුම් කරන්නෙ. ග්‍රහ පිහිටීම මගින් කරන්නෙ ඒ දේ හඳුනගන්න අපිට සංඥාවක් දෙන එක තමයි.මේ අපලඅතරින් බොහොමයක් අපල වලක්වගැනීමට ජ්‍යොතිෂය තුලින්ම උපකාර ලැබෙනවා. ඔය සුර, මුදු එහෙම දාන්න, බෝධිපූජා සහ දේව පූජා එහෙම තියන්නෙ ඒ වගේ වළක්වගන්න හෝ කල්දමාගන්න පුලුවන් අපල වලට තමයි.

4. හතර කේන්දරේ පාලුයි කියන්නෙ “සදා තනිකඩ” ද?කේන්දරයක් තියන පුද්ගලයෙක්ට වෙන්න පුලුවන් නරකම අකරතැබ්බයක් හැටියට සැලකෙන්නෙ මේ හතර කේන්දරේ පාලු වීම. මේ වගේ පුද්ගලයන්ට විවාහය වගේ ලෞකික සැප සම්පත් ලබාගැනීමට බැරිය ඒ නිසා මේ වගේ හඳහනක් තියන පුද්ගලයෙක්ව මහණ කරන එක තමයි සුදුසුම කියන එක සමාජයේ හැදිල තියන මතයක්. අපි කලින් කිවුවනේ එක් එක් පුද්ගලයාගේ ජීවිතය ගැන තොරතුරු පවසන කොටු 12ක් කේන්දරයක් තියනවා කියල. මේ කොටු 12 අතරින් 1,4,7 සහ 10 කියන කොටු වලින් පුද්ගලයෙකුගේ ජීවිතයේ වැදගත්ම කරුණු කාරණා පිළිඹිබු කෙරෙනවා.

කිසියම් කෙනෙක්ගෙ කේන්දරයේ මේ කියන කොටු හතර හිස්ව පැවතුනොත් හතර කේන්දරේ පාලු හැටියටයි සැලකෙන්නේ. හැබැයි ඒක මේ කොටු හතරේ බලපෑමෙන් විතරක් සිද්ධවෙන දෙයක් නෙමෙයි. මේ සඳහා මීට වඩා පුලුල් ලෙස කරනු ලබන අධ්‍යයනයකින් පසුවයි මේ හතර කේන්දර ස්වභාවය තීරණය කරනු ලබන්නේ.ජ්‍යොතිෂය පැත්තෙන් ගත්තහම කොහොම උනත් මේ වගේ ග්‍රහ පිහිටීමක් ගැන දැනගත්විට තමාගේ මානසික මට්ටම කඩා නොවැටී පවත්වගන්න එක තමයි වැදගත් වෙන්නේ. මෙහෙම උනා කියලා තමන්ට විවාහයක් නොවෙයි, ජීවිතේ දියුණුවක් නොවෙයි කියලා හිතුවොත් තමන්ගෙම සෘණ ආකල්ප වල ගොදුරක් වෙලා තම ජීවිතේ විනාශ වෙන්න වැඩි ඉඩ තිබෙන බව සිහියේ තබාගෙන වැඩ කලොත් හොඳයි.

5. බදින්න පොරොන්දම් ගැලපෙන්නම ඕනෙද? තරුණ තරුණියො ආදර සම්බන්ධතා පටන් ගන්නවා, බොහොම විශ්වාසයෙන්, ආදරයෙන් සහ අවබෝධයෙන් ඒ සම්බන්ධතා සාර්ථකව පවත්වාගෙන යනවා. අන්තිමේදි දෙමවුපිය ආශිර්වාදයත් අරගෙන යනවා මගුල් පොරොන්දම් බලන්න. වැඩේ එතනින්ම හබක් වෙලා යනවා.

කොච්චර අවාසනාවක්ද නේද?විවාහපත් වන්න සූදානමින් සිටින යුවලගේ විවිධ ගති ලක්ෂණ ගැන කියවෙන පොරොන්දම් 20ක් ගණනය කොට 50%ක වත් සමානකමක් ඇති උනොත් තමයි පොරොන්දම් ගැලපෙනවායැයි කියන්නේ. මේ පොරොන්දම් බැලීමේදී මෙය බලන ජ්‍යොතිෂවේදියාගේ ජ්‍යොතිෂ දැනුම ඉහල මට්ටමක තිබීම ඉතා වැදගත් වනවා. මොකද යම් යම් කාරණා නොගැලපුනත් ඒ නොගැලපෙන කාරණා තේරුම් අරගෙන තම ජීවිතේ හැඩගස්සවාගන්න හැකියාව ඒ යුවලට තිබෙනව. ඒ නිසා මේ දේවල් ඒ අයගේ මනස කඩා වට්ටන්නේ නැතිව ඒ අයගේ ජීවිතවලට ධනාත්මක ශක්තියක් වන සේ පැහැදිලි කරදීම ජ්‍යොතිෂ වේදියාගේ වගකීමක් වනවා. ඒ වගේම තමයි පොරොන්දම් නොවෙයි මොනවා නොගැලපුනත් වෙන් වෙන්නේ නැහැ කියල හිතන් ඉන්න පෙම්වතුන්ටත් මේ පොරොන්දම පරික්ෂා කරල අනවශ්‍ය ප්‍රශ්න ඔලුවට දමාගන්න එපා කියලත් අපි මතක් කරනවා.

6. කේන්දරේ කියවන්න හොඳම ජ්‍යොතිෂවේදියෙක් හොයාගන්නේ කොහොමද?කාලෙන් කාලෙට විවිධ මාධ්‍ය ඔස්සේ ජ්‍යොතිෂ චරිත කරළියට එනවා. මේ අය විවිධ අනාවැකි පල කරනවා. තමන්ගෙ ජීවිත පවා පරදුවට තියලා අනාවැකි කියලා ජනප්‍රියත්වයෙන් පහ වෙච්ච ජ්‍යොතීර්වේදියො ඉන්නවා. රටේ ඉහලම තානාන්තර වල අයට ජ්‍යොතිෂ උපදෙස් දීල වරද්දපු සුප්‍රකට ජ්‍යොතිෂවේදියොත් ඉන්නව. මේ දේවල් පසුපස වෙනයම් බලපෑමුත් තිබෙන්නට ඇති. ඒ කෙසේ වෙතත් අපිට ඔබේ බලාපොරොත්තු කඩ කරමින් කියන්න වෙන්නේ හොඳ ජ්‍යොතිෂ වේදියෙක්ගෙන් නරක කෙනෙක් වෙන් කරල හඳුනගන්නම් හරිම අමාරුයි කියල තමයි.

ලංකාව පුරා විසිරිලා ඉන්න දහස් ගණනක් ජ්‍යොතිෂඥයන් අතරේ විවිධ දැනුම් මට්ටම් සහිත පුද්ගලයෝ තමයි ඉන්නෙ. සමහරු යාන්තම් පොතේ දැනුම ලබාගෙන මේ ක්ෂේත්‍රයට පිවිසෙන අය. තවත් අය මෙය ඉගෙනගෙන පරීක්ෂණ පවත්වල අත්දැකීම් වලින් පරිණත වෙච්ච උදවිය. මේ කොයි ගොල්ලො අතරත් පොතේ ගුරාල ඉන්නවා. ඒ අය ඒ තරම් නම්‍යශීලී උදවිය නෙමෙයි. හෙට මැරෙනව, අද මගුල කැඩෙනව වගේ දේවලුත් කෙලින්ම කියල දාන අය. මේව අහල හොඳින් ඉන්න මිනිස්සුත් ලෙඩ වෙනවා, හොඳට තියන මගුලුත් කැඩිල යනවා. තවත් සමහරු ඉන්නවා කොයි තරම් නරක දෙයක් ග්‍රහපිහිටීම් වල දැක්කත්, එහි අසුබ ප්‍රතිඵල කෙලින් දන්වන්නේ නැතිව පුද්ගලයාට ඒ අසුබ ප්‍රතිඵලයෙන් මිදෙන්නට මග කියන්නටත්, ධනාත්මක සිතුවිලි වර්ධනය කරන්නටත් සමත් අය.

තව ඉන්නවා කපටි කෛරාටික උදවියත්. ඒ අය දන්නවා මගුලකට තුලාවකට වගේ දෙයක් හැරුණහම මිනිස්සු ගොඩක් කේන්දර බලවගන්නේ කරදර කාලවලදි කියල. ඉතින් ඒ දැනුමෙනුත් ඔබේ හැසිරීම් සහ ඉරියවු ප්‍රකාශන වලිනුත් ඔබ ගැන වැටහීමකට ඇවිත් ඔබේ පණං හතරට තට්ටු කරන්න ඒ අය සැදී පැහැදී ඉන්නෙ. හදිසියේ අනාවැකිය වැරදුනත් කේන්දරේ වැරදියි, උපන් වෙලාව වැරදියි වගේ බොරු ගහල ලිස්සල යන්න ඒ අය දක්ෂයි.ඔබ තෝරාගන්නා ජ්‍යොතිෂවේදියා මින් කවරාකාරයේ කෙනෙක්ද යන්න ඔබේ ග්‍රහයන්ට අනුව තීරණය වෙන දෙයක් කියල විහිලුවෙන් හිත හදාගන්න තමයි වෙන්නේ.

7. තීරණේ ඔබේ අතේ ඈත අතීතයේ අපේ උදවිය මගුලකට තුලාවකට විතරක් නෙමෙයි බේතක් හේතක් ගන්නටත් කේන්දරය අරගෙන ගිය බවයි සඳහන් වන්නේ. පැරණි ආයුර්වේදයට අනුව කේන්දරේත් බලනව වෙදකම් කරන්නට කලින්. ඒ වගේම අංගම්පොර වගේ අපේ පැරණි සටන් ක්‍රම උගන්වන්නට කලිනුත් ඒ දේ ඉගෙනගැනීමේ හැකියාව තිබෙනවාදැයි කේන්දරය පරික්ෂා කිරීමෙන් දැනගෙනලු ඉගැන්වීම් අරඹන්නෙ. අද කාලෙ වෙද්දි මගුලකට, ගෙයක් දොරක් හැදිල්ලකට හෝ දුක් කරදරේකට විතරක් මේ කේන්දර පරික්ෂාව සීමා වෙලා.

කේන්දරයක් විශ්වාස කිරීමෙන් වෙන්නේ හොඳක්ද නරකක්ද කියන එක තීරණය වෙන්නේ ඔබේ මනස හැඩගැසී ඇති අන්දම අනුවයි. සාමාන්‍යයෙන් අපි හැමෝටම අපේ අනාගතය හොඳ වේවිද? ආර්ථික දියුණුවක්, ප්‍රීතිමත් විවාහයක් ලැබේවිද කියන කුතුහලේ තියනවා. අපි ගාව කාල යන්ත්‍ර නැති නිසා මේ දේවල් වල තොරතුරු දැනගන්න තියන ළඟම ක්‍රමය තමයි මේ කේන්දර බැලිල්ල කියන්නේ. තමන්ගේ මේ කුතුහලය තමන් දන්නා ශාස්ත්‍රය තුලින් සංසිඳුවා තමන්ව යහපත් මාර්ගයකට යොමු කරන ජ්‍යොතිෂඥයො වගේම මෙයින් වැරදි ප්‍රයෝජන ගනිමින් අර අපල මේ අපල කියමින් යන්ත්‍ර මන්ත්‍ර වලට ලක්ෂ ගණනින් ඔබේ මුදල් සූරාකන්න පෙළඹෙන අයත් ඉන්නවා. මතක තියාගන්න ඔබ එවැනි මාර්ගයකට වැටුනොත් සූදුවට යොමු උනා හා සමාන විපතක් තමයි ඔබට වෙන්නෙ කියලා.

කේන්දරයක් බලන්න යනවානම් ඔබේ ජීවිතයට හානි අඩුම ක්‍රමය තමයි එහිදී කියවෙන පළාපල වලින් සුබ දේ වැඩිපුර හිතට අරගෙන ඒ දේවල් වලට වැඩි අවධානයක්, උත්සහයක් යොමු කරන එක. ඒ වගේම මැරෙනව, පවුල් කැඩෙනව, හිරේ වැටෙනව වගේ නරක දේවල් ඕනෑවට වඩා හිතට ගන්නෙ නැතිව සෞඛ්‍ය සම්පන්න ජීවිතේකට, එකිනෙකාට වඩාත් සමීපව කටයුතු කරන විවාහයකට, නීතිගරුක අවංක පුද්ගලයෙක් ලෙස ජීවත්වන්නට අවධානය යොමු කරන එකයි.මතක තියාගන්න, අපි ජීවත් වන්නේ නැකැත් නැති නිසා සංවර්ධනය නැවතුනා යැයි පැවසෙන දුප්පත් රටක බව. ඔබේ ජීවිතයේ දියුණුව ඔබේ ආත්ම විශ්වාසය කරගැනීම වඩාත් යහපත් බවත් ඒ සමගම සිතේ තබාගන්න.