ඇරිස්ටෝටල් සොක්‍රටීස් ඔනාසීස්” ග්‍රීක ජාතික නැව් හිමිකරුවෙකු වූ මොහු කලක් ලොව විශාලම පෞද්ගලික නැව් සමාගමට හිමිකම් කිව්වා. ඒ වගේම මොහු 1970 දශකයේ ලොව ලොකුම ධනවතා සහ එකල ලොව ප්‍රසිද්ධම පුද්ගලයන්ගෙන් කෙනෙක් වුණා. ඔහුව ලෝකයම හදුනගත්තේ ඔහුගේ ව්‍යාපාරික සාර්ථකත්වය සහ ඔහුගේ ධනවත්කම නිසා…මොහු වරක් ප්‍රකාශ කරලා තියෙනවා මොහු ධනවත් වීමට කලින් ධනවත් පුද්ගලයන් ගැවසෙන හෝටල් වැනි ස්ථානවලට ගොස් එම ස්ථානවල ගැවසුණ බවත් තමන් ධනවත් පොහොසත් පුද්ගලයෙකු යැයි සිතින් මවාගෙන ඒ අනුව වැඩ කළ බවත්..තමා හිතින් ධනවත් යැයි සිතන මිනිසෙකුට ධනාත්මක සිතිවිලි, ආකල්ප නිරායාසයෙන්ම ඇතිවන බවත් එමගින් නව මංමාවත් විවර කර ගැනීමට අවස්ථාවන් සැලසෙන බවත් ඔහු ප්‍රකාශ කරලා තියෙනවා..

ඇරිස්ටෝටල් ඔනාසීස් උපත ලැබුවේ ක්‍රි.ව 1906 ජනවාරි 20 වන දින තුර්කියේදී. තුර්කීයේ මූලික පාසල් අධ්‍යාපනය ලැබුවත් මොහු පාසල් යාමට අකමැති පුද්ගලයෙක් වුණා. කෙසේ නමුත් වයස අවුරුදු 16 දී මොහුට ග්‍රීක, ස්පාඤ්ඤ, තුර්කි සහ ඉංග්‍රීසි භාෂා හතරම හැසිරවීමට හැකියාව තිබුණා. ක්‍රි.ව 1922 දී ඔනාසීස් පවුල තුර්කීය හා ග්‍රීසිය අතර හටගත් යුද්ධයේදී සිය දේපළ අහිමි ව සරණාගතයන් ලෙස ග්‍රීසියට පලා යනවා.ක්‍රි.ව 1923 දී මොහුට වයස අවුරුදු 17 දී මොහු ආජන්ටිනාවට සංක්‍රමණය වෙනවා. ආජන්ටිනාවේදී ඔනාසීස් සිය පළවන රැකියාව දුරකථන ක්‍රියාකරවන්නෙකු ලෙස (Telephone Operator) ලබා ගන්නවා. පසුව ඔනාසීස් ආජන්ටිනා ආනයන – අපනයන සමාගම (Argentine import – export Company) ආරම්භ කරමින් ව්‍යවසායකයෙකු බවට පත් වෙනවා. ඒවගේම මොහු ඉංග්‍රීසි – තුර්කි දුම්කොළ ආජන්ටිනාවට ආනයනය කරමින් ධනය ඉපැයීමට සමත් වෙනවා. 1929 දී ආජන්ටිනාවේ පුරවැසිකම ලබාගන්නා ඔනාසීස් ආජන්ටිනාවේ සිය ප්‍රථම නාවුක වෙළද සමාගම බුවනෝස් අයිරීස් හීදී පිහිටුවනවා. පසුව ඔහු ඔහුගේ නැව් ව්‍යාපාර මුළු ලෝකය පුරා ව්‍යාප්ත කරනවා.

ඔනාසීස්ගේ ව්‍යාපාර ඔනාසීස් භාණ්ඩ ප්‍රවාහන හා තෙල් ප්‍රවාහාන නෞකා වලින් සමන්විත නැව් සමාගමක් ආරම්භ කරන අතර අවසානයේදී මෙම සමාගම නෞකා 70 කින් සමන්විත සමාගමක් බවට පත් වෙනවා. ඔනාසීස් ආරම්භයේදී සිය නැව්වලින් භාණ්ඩ ප්‍රවහානයට අය කළේ ඉතා අඩු මිල ගණන් වුවත් පසුව සෑම ගණුදෙනුවකින්ම ලාභයක් ලැබෙන ආකාරයට සිය ව්‍යාපාර හැරවීමට ඔහු සමත් වුණා. ඔනාසීස් විශාල තෙල් සමාගම් සමග ස්ථාවර මිල ගණන් යටතේ දිගු කාලීන ව්‍යාපාරික ගණුදෙනු කිරීමෙන් විශාල ලාභ ලබා ගැනීමට සමත් වුණා.

ඔලිම්පික් ගුවන් සමාගම ක්‍රි.ව 1956 දී ග්‍රීක ගුවන් සේවාවන් ආර්ථික දුෂ්කරතා, සේවක වැඩ වර්ජන නිසා ග්‍රීක රජය මෙම සමාගම් පෞද්ගලික අංශයට දීමට තීරණය කරනවා. ඔනාසීස් විසින් ග්‍රීක රජය සමග මෙම සමාගම් මිලට ගැනීමේ ගිවිසුමකට අත්සන් කරනවා.
ඔනාසීස් ඔලිම්පික් ගුවන් සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ කාලය එහි ස්වර්ණමය යුගයක් ලෙස සැලකෙනවා. එකල ඔනාසීස් ලොව පෞද්ගලික ගුවන් සේවාවක් හිමි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කෙනෙක් ලෙස ඉතිහාසයට එකතු වුණා.

ඔනාසීස්ගේ ආයෝජන ක්‍රි.ව 1957 දී ග්‍රීක ගුවන් සේවා පෞද්ගලීකරණය කර ඔලිම්පික් ගුවන් සේවය පිහිටුවීමට ඔනාසීස් මැදිහත් වුණා. ඇමරිකාව, වෙනිසියුලාව සහ මැද පෙරදිග යන රටවල තෙල් සමාගම්වල ප්‍රාග්ධනයෙන් තුනෙන් එකක කොටස් ඔහු සතු වුණා. මහාද්වීප පහක බහුජාතික සමාගම් 95 ක කොටස් වෙලදපොලේ කොටස් පාලනය කිරීමටද ඔහුට හැකි වුණා. ඔනාසීස්ට ලතින් ඇමරිකානු ගුවන් සමාගමක වැඩි කොටස් සහ බ්‍රසීලයේ ඩොලර් මිලියන 4 ක් වටිනා ආයෝජන හිමිකරගත්තා. එසේම ඔලිම්පික් සමුද්‍ර හා ඔලිම්පික් සංචාරක සමාගම් ඔහු සතු වුණා. පර්සියාවේ රසායන ද්‍රව්‍ය නිෂ්පාදන සමාගමක්, පැරීසිය, ලන්ඩන්, මොන්ටේ කාර්ලෝ, ඇතෑන්ස් සහ Acapulco හී මහල් නිවාස සංකීර්ණ, දකුණු ප්‍රංශයේ මාළිගාවක්, මැන්හැට්න් හී තට්ටු 52 ක ඔලිම්පික් ව්‍යාපාරික ගොඩනැගිල්ල, ඔලිම්පික් ගුවන් සේවය, ග්‍රීසියේ බටහිර මුහුදු තීරයේ දූපතක්, ප්‍රසිද්ධ සුඛෝපභෝගී මුහුදු යාත්‍රාවක් වන “ක්‍රිස්ටිනා” නැව, ලොව පුරා බැංකු 217 ක භාණ්ඩාගාරවල තැන්පතු ගිණුම් සහ අනෙකුත් ගිණුම් ඔහුගේ වත්කම්වලට ඇතුලත් වුණා..