චිලී හී සැන්ඩියෝගෝ රගර් කණ්ඩායම සමග පැවත්වෙන රගර් තරගාවලිය සදහා උරුගුවේ හී මොන්ටිවීඩියෝ කණ්ඩායම 1972 වසරේ ඔක්තෝබර් 12 වන දින කැරස්කෝ අන්තර්ජාතික ගුවන්තොටුපලින් පිටත්විය. ඒ සදහා ඔවුන් උරුගුවේ ගුවන් හමුදාවේ FH-227 වර්ගයේ ගුවන් යානයක් කුලියට ගෙන තිබුණු අතර පැය 5117ක ගුවන් පලපුරුද්දක් සහිත නැවියෙකු වූ ජූලියෝ සීසර් හා නවක උපනියමු දාන්තේ හෙක්ටර් ගමනට සහභාගී විය. රගර් කණ්ඩායමේ සාමාජිකයින් 19 දෙනාට අමතරව ගුවන් යානයේ බොහෝ ඉඩකඩ තිබුණු බැවින් ඔවුන්ගේ මිතුරන් කිහිපදෙනෙක් මෙන්ම පවුලේ සාමජිකයින්ද ගමනට එක් වූ අතර ඒ සියල්ල සමග මගීන් 40 දෙනෙකුගෙන් සහ නියමුවා, උප නියමුවා ඇතුළු ගුවන් සේවකයින් 05 දෙනෙකුද වනපරිද්දෙන් 45 දෙනෙකු පටවාගත් යානය චිලී බලා පියාසැරීම ඇරඹීය.

ගමනෙන් අඩකටත් වඩා නිරුපද්‍රිතව ගමන් කිරීමෙන් අනතුරුව දුෂ්කර වූ අන්දීස් කදුවැටිය ඉහළින් පියාසැරීම පුහුණුවීම සදහා උපනියමුවාට පැවරූ ජූලියෝ කෙටි නින්දකට වැටිණි. එදින අධික මීදුමින් හා වළාකුළු වලින් පිරී ගිය අහසක් පැවතියත් අතට ගත් ගුවන්යානය මනාව හැසිරූ උපනියමු හෙක්ටර් අන්දීස් කදුවැටිය උඩින් ගුවන්‍ යානය සුමටව ගෙනයනලදි. කදුවැටිය පසුවීමත් සමග අංශක 30ක් උතුරු දෙසට ගුවන්‍ යානය හරවා චිලී ගුවන්තොටුපට ගොඩබස්වීම සදහා යානය කෙමින් අවරෝහණය කළයුතුව තිබිණි. ඒ සියල්ල ඒ පරිද්දෙන්ම සිදු කරමින් යානය අවරෝහණය කල උපනියමු හෙක්ටර් භීතියෙන් ඇළලී ගියේ යානය හරි කෙළින් ඉදිරියෙන් සුදුපැහැ යෝධයෙකු මෙන් ඉහළට නැගී සිටි අන්දීස් මහා කදුවැටිය දැකීමෙනි. ඔහු අන්දීස් කදුවැටිය සම්පූර්ණයෙන්ම පසුවීමට පෙර හැරවුම ගෙනතිබුණු අතර අංශක 30 වෙනුවට ගෙනතිබුණේ අංශක 14ක හැරවුමක් පමණි. තව මිනිත්තුවකින් යානය කන්දෙහි හැපී සුණුවිසුණු වනු ඇත!

නියමුවා වහා ක්‍රියාත්මක විය. අති සීඝ්‍ර උඩුකුරු ත්වරණයක් ලබා ගැනීමෙන් යානයේ ඉදිරිපස උඩට එසවූ ඔහු යානය සම්පුර්ණයෙන් සිරස් කොට වේගයෙන් ඉහළට ගෙනයන ලදි. අතිශූර ගුවන් නියමුවා යානයේ ඉදිරිපස ශිඛර මුදුනෙහි නොවද්දවා ඊට ඉහළින් ගමන් කරවීමට සමත් වූ මුත් අවාසනාවකට යානයේ පිටුපස කොටස එහි ගැටිණි. අධික වේගය හේතුකොටගෙන පිටුපස කොටස ගැළවී විසි වී ගියේ මගීන් තිදෙනෙකු හා ගමන්මළු සියල්ලද සමගිනි. ඔවුන් තිදෙනා අන්දීස් කදුපාමුළ ප්‍රපාතයේ සුන්බුන්ව සදාකල් නින්දෙහි සැතපුනු අතර ගුවන් යානයේ ඉදිරිපස තවමත් ඉදිරියට ඇදිනි. මෙසේ ත්ත්පර කිහිපයක් ඉදිරියට ඇදුනු යානයේ වම් පස තටුව දෙවන වරට කදුවැටියේ ගැටීමත් සමග එයද ගැලවී විසිවූ අතර තවත් මගීන් දෙදෙනෙක් ඉන් ඉවතට විසිවිය. කදුවැටියේ හිමවැටුනු බෑවුම මත යානය ඇද වැටුනු අතර පැයට කි.මී 350 ක වේගයෙන් එය පහළට ලිස්සා ගිය අතර මීටර 800ක පමණ ලිස්සා යාමකින් පසුව හිමමිදී ගිය ග්ලැසියරයක් මත වැදී යානය නිසල වූයේ ගුවන් නියමුවා ඇටුළු සිව් දෙනෙකුට ක්ෂණික මරණයක් හා උප නියමුවා ඇතුළු තවත් කිහිප දෙනෙකුට මරණීය තුවාල ගෙනදෙමිනි.

33 දෙනෙකු තවමත් ජීවතුන් අතර විය. ඉන් බොහෝදෙනෙක් ගැලවී ඉදිරියට විසිවී ගිය ගුවන් යානයේ ආසන අතර සිරවී සිටි අතර කිහිපදෙනෙකු අස්ථි භග්න වීමෙන් එක්තැන්ව සිටියහ. වේදනාත්මක එමෙන්ම ජීවිතය හා මරණය අතර ගෙවී ගිය කෙදිරිල්ලෙන්, මොර ගෑමෙන් මෙන්ම දෙවියන් යැදීමෙන් ද ශාප කිරීමෙන්ද පිරීගිය රාත්‍රියක් පහන් විය.

ගතවූ රාත්‍රියේ පස් දෙනෙකු වේදනාත්මක මරණයකට මුහුණ දී තිබුණු අතර එලෙස සදාකල් වැතිර මරණය එනතුරු වැටී බලා සිටිය නොහැකි බව තේරුම් ගත් කිහිපදෙනෙකු සිහි එළවාගෙන අනෙකුන්ද සනසා වහ වහා සිදුවීම් සියල්ල එකිනෙක තේරුම් ගනිමින් කලයුත්ත කුමක්දැයි තේරූහ. රගර් කණ්ඩායමේ නයක මාර්සෙලෝ පීරෙස් නායකත්වය ගත් අතර 19 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යයෙකු වූ රොබේර්ටෝ කැනෙසා ට තුවාල ලැබූවන් ට පිහිට වීම භාර විය. ෆීටෝ ස්ට්‍රෞජ් නිර්මාණාත්මක පුද්ගලයෙකු වූ අතර ඔහුට යානයේ ප්‍රයෝජනයට ගත හැකි දෑ වෙන්කිරීම භාරවිය. බරපතල තුවාල රහිතව නැගී සිටගත හැකිවූ සියල්ලන්ම එකිනෙකාට උදව් කරගැනීම ඇරඹිණි. පැය කිහිපයකින් මළවුන් එක් ගොඩකට වෙන්කරගත් අතර තුවාල ලැබූවන් බරපතලත්වය අනුව වෙන්කොට පසෙකට කෙරවූ අතර යානයේ වූ ආහාර හා ප්‍රයෝජනයර ගතහැකි සියල්ල එක මුල්ලකට ගොඩගසන ලදි.

යානයේ බද කොටස අවම අලාභ හානි සහිතව නිරුපද්‍රිතව වූ අතර එය ඔවුනට නිවෙසක් මෙන් පිළිසරණය විය. මේවන විට 27 දෙනෙකු ජීවතුන් අතර සිටි අතර කිහිපදෙනෙකුගේ තත්වය බරපතළ විය. යානයේ පිටුපස කොටස සමග ගමන්මළු සියල්ලම විසිවී යාම ඔවුනට සිදුව තිබූ විශාලතම පාඩුව විය. මුළු යානයම පිරික්සා ඔවුනට චොක්ලට් බාර් 8 ක්ද, ජෑම් බෝතල් 3ක් ද, ආමන්ඩ් බෝතලයක්ද, රට ඉදි සහ මුද්දරස්පලම් කිහිපයක් හා වයින් බෝතල් 4ක් සොයාගත හැකි විය. නායක පීරෙස් විසින් ඒ සියල්ල සමානව පණ ඇති සියල්ලන්ට බෙදා දුන් අතර සියල්ලෝ එක්ව යානයේ ආසන එකමත එක ගොඩගසා බදෙහි විවෘත අවකාශය වසා සංවෘත කරගත්හ.

ෆීටෝ විසින් ඇළුමිනියම් මත තබා හිම දියකරගත හැකි ක්‍රමවේදයක් සොයාගත් අතර නිපද වූ ජලය ඔවුහූ හිස් වයින් බෝතල් වලට පුරවාගත්හ. හිම අන්ධතාවයෙන් බේරීම සදහා යානයේ නියමු කුටියෙන් සොයාගත් කළුපැහැ ප්ලාස්ටික් බොඩි වයිසර් හා කාන්තා බ්‍රසියර් යොදා ගනිමින් ඔවුහූ අව් කණ්ඩාඩි සාදාගත් අතර ආසන වල කවර ගලවා බ්ලැන්කට් තනා කුෂන් මගින් හිම සපත්තු තනාගත්හ. සියළුම කාන්තාවන්ගේ තොල් අවරණ එකතු කොට ඔහුවූ යානයේ මුහුණත මත ‘SOS’ කියා සටහන් තැබුවේ ඔවුන් සොයා පැමිණෙන පුද්ගලයින් සදහා පහසු වීමටය. සියල්ල හොදින් සකසා ගතමුත් ආහාර දිනෙන් දින අවසන් වෙමින් පැවති අතර අවසාන මුද්දරස්පලම ද හත්වන දින වනවිට අවසාන වීමත් සමගම ඔවුන් සතුව කෑමට කිසිවක් නොවීය.

ඔවුහූ යානයේ ආසන හා හම්වලින් නිර්මිත දෑ කෑම ඇරඹීය. කිහිපදිනකින් යකඩ හා මලකදන් ඉතිරිව උන් අනෙක් සියල්ල ගිල දමා තිබිණි. කෑමට තවත් කිසිවක් ඉතිරිව නැත. සාගින්නෙන් කුස දැවුනු අතර සමහරු ක්ලාන්තව ඇද වැටුණි. කෙනෙකු හාමත්ව උමතුව සිටි අතර එකෙකු ඇළුමිනියම් කෑමට උත්සහ කොට කට ලේ විලක් බවට පත්කරගෙන තිබිණි. මේ සියල්ල අතර මළකදන් අධික සීතල හේතුවෙන් උන් අතරම නිරුපද්‍රිතව නිදා වුන් අතර ප්‍රෝටීන හා මේදයෙන් බහුල සිය පැරණි මිතුරා දෙස උන් එකිනෙකාට රහසේ හොරැහින් බැලීය.

බඩගින්න ඉවසිය නොහැකි උපරිම මොහොතක එකෙකු ගුවන් යානයේ කවුලුවේ වීදුරුවක් කඩාගෙන ගුවන්නියමුවා වෙත හෙමිහිට බඩගා ගිය අතර සියල්ලෝම ඒ දෙස බලා සිටියේ සිදුවෙන්නට යන සියල්ලම හොදින් දන්නාමුත් මහත් වූ කුතුහලයකිනි. කපිතන්ගේ දේහයෙන් සියුම් මස් තීරුවක් කපා ගත් පුද්ගලයා එක්වරක් සිය මිතුරන් දෙස බලා එය කටෙහි ඔබාගත් අතර ඉන් දිරිමත් වූ තවකෙකු ඒ වෙත ලගා විය. හවස් භාගය වනවිට කපිතන් ගේ සිරුරේ උඩුකය අස්ථි කිහිපයකට පමණක් සීමා විය.

මිනීමස් බුදීම සාමාන්‍යකරණය විය. ඔවුන් උදෑසනම කිසියම් මියගිය පුද්ගලයෙකුගේ ගාතයක් කපා කැබලි කොට සියුම් තීරු වෙන්කර ගන්නා අතර එය ගුවන් යානය මත තබා වියළා ගෙන දහවල් වනවිට ආහාරයට ගත් හ. සම් හා මාංශය අවසන් වූ පසු හදවත මොළය ඇතුළු සියළු අවයවද කුඩා කැබලි විය. ඒ මළසිරුරු ඔවුන්ගේ හොදම මිතුරන්ගේය, හිතවතුන්ගේය, නෑදෑයන්ගේ ය. නමුත් සාගින්න උන්ව අසරණ කොට තිබිණි.

මෙලෙස කාලය ගතව ගිය අතර එක්තරා රාත්‍රියක මහා හිම නායයාමක් සිදුව යානය හිමෙන් යටවී ගිය අතර තවත් 8 දෙනෙකු ජීවිත්ෂයට පත් විය. ඉන්ද බොහෝ පරිශ්‍රමයකින් යුතුව ගොඩ ආ පණ රැක ගත්තවුන් එක්ව තීරණයකට එළඹිණි. එනම් දෙදෙනෙකු උදව් සොයා යා යුතුය. මේ වනවිට දින 50ක් ගත්ව ඇතිමුත් කිසිවෙකු උන් සොයා නොපැමිණිය හ. අප උන් සොයා යා යුතුය. එදා සිට දෙදෙනෙකුට වැඩිපුර මස් ලැබුනු අතර වැඩිපුර ඇදුම්ද සමග දෛනික කර්තව්‍යයන් ගෙන් නිදහස් කොට උන්ව උදව් සොයායන අතිදුෂ්කර ගමනට සූදානම් කරවීය. දින 7කින් ගමන් ඇරඹිණි.

ඔවුන් දෙදෙනා අන්දීස් කදුවැටිය තරණය කල ධෛර්යය සම්පන්න එනමුදු දීර්ඝ කතාව පැවසීමෙන් මම ඔබව වෙහෙසට පත් නොකරමි. නමුත් දින 10කට අධික අති දුෂ්කර එමෙන්ම අති වෙහෙසකර ජීවිතය කෙළවර විය හැකිව තිබූ ගමනකින් පසුව ඔවුන් දෙදෙනා චිලී දේශයේ දුප්පත් ගම්මානයකට පැමිණි අතර දිනක් ඇතුළත ඔවුන්ට අවශ්‍ය සියළු සහය චිලී රාජ්‍ය වෙතින් ලබාදෙමින් ඔවුන් මුදවා ලීම සදහා හෙලිකොප්ටර් 3 කින් යුතු දැවැන්ත ගලවාගැනීමෙ භට කණ්ඩායමක් යෙදවිණි.

ගුවන්‍ යානය අනතුරට ලක් වී දින 72කට පසුව මගින් 45 දෙනාගෙන් 16 දෙනෙකු පණපිටින් ගලවාගැනීමට හැකි වූ අතර මියගිය 29 දෙනා එන ස්ථානයේම සමූහ මිනීවලක වළලන ලදි. ඉන් මළකදන් 15ක ඉතිරිව තිබුණේ අස්ථි පද්ධතිය පමණකි. ඔවුන්ගේ මෙම දිවි ගලවාගැනීමේ විශ්මයජනක කතාව ලොවපුරා එක් ක්ෂණයකින් පැතිර ගිය අතර ඔවුන්ට හොද, නරක ප්‍රතිචාර මිශ්‍රව ලැබිණි. ඔවුන්ගේ ජීවිත ගලවාගැනීමේ ප්‍රයත්නය කිසිවෙකුට විනිශ්චය කළ නොහැකි මුත් ලැබුනු දොස් පරොස් අපමණය. ඒ සියල්ල මැදින් ජීවිතය තවදුරටත් ජයගත් ඔවුහූ අදටත් හොද මිතුරන් ව කල්ගෙවති. උන්ගේ දරුවන් එකට අධ්‍යාපනය ලබන අතර එකට සෙල්ලම් කරති. එවකට 19 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යයා අද ළමා හෘද රෝග විශේෂඥවරයෙකි.සෑම වසරකම දෙසැම්බර් 23 වනදින ඔවුහූ මුණ ගැසෙන අතර එදින එක් ව කා බී සතුටු වන ඔවුහූ, මියගොස් තමන්ට ජීවය ලබාදුන් මිතුරන් සිහිකරන අතර අවලංගු වූ ඒ ඓතිහාසික තරගය සිහිකොට හවස් යාමයේ රගර් තරගයක් ද පවත්වති.