බුදුරජාණන් වහන්සේ ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් එකකි සුපතිට්ඨිත පාද ඇති බව. එ නම් මනා ව මසින් පිරි, සම ව පිහිට ඇති බව යි. අප ඇවිදින විට පාදයන් මුළු පොළොවේ ම ස්පර්ශ වන්නේ නැත. නමුත් බුදුරජාණන් වහන්සේ ගේ සිරිපතුල් සම්පූර්ණයෙන් ම පොළවේ ස්පර්ශ වේ. මෙය බුදුරජාණන් වහන්සේලා ට පිහිටන මහාපුරුෂ ලක්ෂණයකි. එ සේ ම උන්වහන්සේ ගේ සිරිපතුල්වල දසදහසක් නිම්වළලුවලින් යුතු චක්ර ලකුණු පිහිටා ඇති අතර එය වටා එකසියඅටක් මංගල ලකුණු පිහිටා තිබූ බව මහාපුරුෂ ලක්ෂණ පිළිබඳ දේශිත දේශනාවන් හි සඳහන් වේ. තව ද, උන්වහන්සේ ගේ ශ්රී පාදය සාමාන්ය මිනිසුන් ගේ පාදයන් ට වඩා බෙහෙවින් වෙනස් ය. උන්වහන්සේ ට පාදයේ දිගු විලුඹක් පිහිටා තිබූ අතර එකහා සමාන දිගින් යුක්ත දිගු ඇඟිලි පිහිටා තිබූ බව ත්, සඳහන්.

එ සේ ම තව ත්, වැදගත් කරුණක් සඳහන් කළ යුතු ය. බුදුරජාණන් වහන්සේ පියවර තබමින් වැඩම කරන විට උන්වහන්සේ ගේ සිරිපා සටහන් මහපොළොව මත නො පිහිටයි. බුදුරජාණන් වහන්සේ පොළොව මත පාදය තබා ඔසවනවාත් සමග ම ඒ සිරිපතුල් සටහන පොළොවෙන් මැකී යන්නේ ය. එය ට හේතුව වන්නේ උන්වහන්සේ ගේ අධිෂ්ඨානය යි. එ නම් අපා, දෙපා, සිව්පා, ආදී කෙලෙස් සහිත සතුන් ට මෙ ම සිරිපතුල් සටහන් නො පෑගේ වා! යන්න ය.

එ සේ නම් මාගන්ධියා ගේ මව්පියන් බුදුරදුන් සිටින තැන ට පියවර සටහන් ඔස්සේ පැමිණියේ කෙ සේ දැ යි යන ප්රශ්නය යමෙකු ට ඇති විය හැකි ය. සාමාන්යයෙන් බුද්ධ අධිෂ්ඨානය නිසා පාදය ඔසවනවා ත් සමග ම සිරිපා සටහන් පොළොවෙන් මැකී යයි. එ නමුත් යමෙකු ට ධර්මාවබෝධය පිණිස පියවර සටහන් පොළොව මත පිහිටවිය යුතු නම් බුද්ධ අධිෂ්ඨානය මත යම් කාලයක් සිරිපා සටහන් පොළොව මත පිහිටන්නේ ය.“නින්නං ඨානං උන්නමති ගච්ඡන්තේ ලෝක නායකේ උන්තං ච සමයං හෝති පඨවි ච අචේතනා”තථාගතයන් වහන්සේ ගේ සිරිපතුල් පොළොව මත තබන විට පොළොවේ උස් තැන් පහත් වී පහත් තැන් උස් වී පොළොව සම මට්ටම ට පත් වී සම්බුදු සිරිපතුල පිළිගන්න ට පොළොව සකස් වන්නේ ය.

“පාසාණා සක්ඛාරා චෙව කඨලා ඛාණු කණ්ඨකා සබ්බේ මග්ගා විවජ්ජෙන්ති ගච්ඡන්තේ ලෝකනායකේ.”තථාගතයන් වහන්සේ ගේ සිරිපතුල් පොළොව ට ළං කරනවා ත් සමග ම පොළොව මත ඇති ගල්කැට, මැටි කැට, ආදිය හා උල් කටු ආදී සියල්ල ම පොළොවෙන් ඉවත් වී පාදය තබන්න ට සූදානම් වන තැන පිරිසිඳු වන්නේ ය.විවිධ ස්ථාන කිහිපයක සිරිපා සටහන් පිහිටවූ බව සඳහන් වේ. බුද්ධ අධිෂ්ඨානයෙන් පිහිටවූ සිරිපා සටහන් සතරක් මෙලොව පවතී.

සමන්තකූඨයේ සිරිපා සටහන සම්බුද්ධත්වයෙන් නවමසක් ගිය තැන බුදුරදුන් මහියංගනය ට වැඩම කළ බව සඳහන් වේ.නාගයන් අතර ඇති වූ ආරවුලක් සංසිඳුවා, දෙවියන් උදෙසා සිදුකළ ධර්ම දේශනයකින් සුමන සමන් දෙවියන් සෝතාපත්තිය ට පත් විය.දෙවන වතාවේ දී නාගදීපය ට ද, තෙවන වතාවේ දී කැලණිය ට ද, බුදුරදුන් වැඩම කළ සේක.එ ම අවස්ථාවේ දී දෙවියන් විසින් “ස්වාමීනි, භාග්යවතුන් වහන්ස. දෙවියන් වන අප ට වන්දනමාන සිදු කිරීම ට පූජනීය සලකුණක් සමන්තකූඨයේ පිහිටුවන සේක් වා!” ය යි ඉල්ලීමක් සිදු කළේ ය.සුමන සමන් දෙවියන් විමාන කරගෙන සිටින සමන්තකූඨ පර්වතය මුදුනේ දෙව්මිනිසුන් ට වන්දනා කරනු පිණිස බුදුරජාණන් වහන්සේ ප්රථම සිරිපා සටහන පිහිටුවන ලදී. සිරිපාද කඳු මුදුන ට අහසින් වැඩම කළ බුදුරදුන් සමන්තකූඨ පර්වතය මුදුනේ පිහිටි ගල්තලාවක එක්තරා ස්ථානයක බුද්ධ අධිෂ්ඨානයෙන් මැටි පිඬක් සේ කළුගල මෙලෙක් කොට දහසක් නිම්වළලු සහිත චක්ර ලකුණු සියල්ල පිහිටන අයුරින් උතුම් සිරිපා සටහන වසර පන්දහසක් යන තෙක් ම නො මැකී පවතී වා! යන අධිෂ්ඨානයෙන් යුතු ව ප්රථම සිරිපා සටහන පිහිටුවන ලදී.බුදුන් පිරිනිවූ තැන පටන් වසර පන්දහසක් ගතවන තුරු මෙ ම සිරිපා සටහන නො මැකී පවත්නා අතර සියලු සර්වඥ ධාතූන් වහන්සේලා එකට එක් ව පිරිනිවන් පාන අවස්ථාවේ දී සිරිපා සටහන් ද, නො පෙනී යන්නේ ය.

මක්කම විහාර භූමියේ සිරිපා සටහන-බුදුරජාණන් වහන්සේ දෙවන වර ට සිරිපා සටහන පිහිටවූයේ මකුලක මක්කම නම් ස්ථානයේ ය.
මෙ ම ප්රදේශය අතීතයේ හඳුන්වන ලද්දේ “සුනාපරන්ථ” හෙවත් “යෝනකපුරය” යන නමින් ය. බුදුරදුන් වැඩසිටි සමයේ ද, මෙ ම ප්රදේශයේ සිටි ඇතැම් මිනිසුන් ඉතා දරුණු බව සඳහන් වේ. මෙ ම ප්රදේශයේ ධර්මදූත මෙහෙය ඉටු කරන ලද්දේ පුණ්න මන්තාණිපුත්ත හිමියන් ය. බුදුරදුන්ගෙන් කමටහන් ගෙන සුනාපරන්ථය ට වැඩම කරවීම ට පුණ්න තෙරුන් බුදුරදුන්ගෙන් අවසර පැතූ අතර එ හි දී බුදුරජාණන් වහන්සේ පුණ්න තෙරුන් ගෙන් මෙ සේ විචාලේ ය.“පුණ්න, ඒ ප්රදේශවල සිටින්නේ ඉතා දරුණු මිනිසුන්. ඒ අය ඔබ ට බැණවදී. පරුෂ වචනවලින් බැණවදිනු ඇත.”“ස්වාමීනි භාග්යවතුන් වහන්ස, ඒ අය මට බැණවැදුන ද, මට අතින් පයින් හිරිහැර නො කළේ ය යි හිත හදාගත හැකි ය.”“ඒ අය ඔබ ට අතින් පයින් හිරිහැර කළහොත්?”“ස්වාමීනි භාග්යවතුන් වහන්ස, ඒ අය මට දඬු මුගුරු, අවි ආයුධවලින් පහර දෙන්නේ නැතැ යි හිත හදාගත හැකි ය.”

“ඒ අය ඔබ ට ආයුධවලින් පහර දුනහොත්?”“ස්වාමීනි භාග්යවතුන් වහන්ස, ඒ අය මාව නො මරන්නේ ය යි හිත හදාගත හැකි ය.”“ඒ අය ඔබව බැරිවෙලාවත් මරණය ට පත්කළහොත්?”“ස්වාමීනි භාග්යවතුන් වහන්ස, ඒ අය මට දෙතිස් කුණප කොටස්වලින් යුත් මේ පිළිකුල් සිරුරෙන් මිදීම ට උපකාර කළේ ය යි සිතා සිත හදාගත හැකි ය.”මේ අයුරින් බුදුරජාණන් වහන්සේ ට පිළිතුරු දුන් පුණ්න තෙරුන් ට සුනාපරන්ථය ට ගොස් ධර්මය ප්රචාරය කිරීම ට අවසර ලබාදුනි.ඒ අනුව සුනාපරන්ථය ට ගොස් බොහෝ පිරිසක් පහදවා ගෙන විදසුන් වඩා රහත්ඵලය ට පත් විය. උන්වහන්සේ වැඩවිසූ ආරාමය වූයේ මකුලක මක්කම නම් විහාරය යි. අනතුරුව උන්වහන්සේ ඍද්ධියෙන් දඹදිව ට වැඩමකර සුනාපරන්ථයේ ජනතාව ට අනුග්රහ පිණිස එ ම ප්රදේශය ට වඩින ලෙස බුදුරදුන් ට ආරාධනය කරන ලදී. ආරාධනය පිළිගෙන බුදුරදුන් සුනාපරන්ථය ට වැඩමකර ජනතාව ට ධර්මය දේශනා කරන ලදී. උන්වහන්සේ යළිත් සැවැත් නුවර ට වැඩම කරන්න ට සූදානම් වන මොහොතේ දී පුණ්න රහතන්වහන්සේ හා බොහෝ පිරිසක් තථාගතයන් ගේ ගුණ සිහිකරමින් වන්දනමාන සිදුකිරීම ට උතුම් පූජනීය වස්තුවක් පිහිටවනු මැනවැ යි ඉල්ලා සිටියේ ය.මක්කමඒ අනුව දෙවන සිරිපා සටහන මකුලක මක්කම විහාරය ආශ්රිත නදිය අසල පිහිටුවන ලදී. එ ම සිරිපා සටහන් වර්තමානයේ බෞද්ධ ජනයා ට වැඳපුදා ගැනීම ට අවකාශ නො ලැබුණ ද, දසදහස් ගණන් මිනිසුන් ගේ වන්දනමානය ට පාත්ර වන බව කිව හැකි ය.

නර්මදා නදී තීරයේ සිරිපා සටහන බුදුරජාණන් වහන්සේ බුද්ධ අධිෂ්ඨානයෙන් පිහිටවූ තුන්වන සිරිපා සටහන පිහිටා ඇත්තේ නර්මදා අසල පිහිටි ගල් තලාවක ය. නර්මදා නදිය පිහිටා ඇත්තේ ඉන්දියාවේ මධ්ය දේශය තුළ ය.මකුලක මක්කම විහාරය මත උතුම් සිරිපා සටහන පිහිටුවා ආපසු පැමිණෙන විට නර්මදා නදී තීරය අසළ නතර වී විවේක ගන්නා ලදී. එ ම නදිය ට අදිගෘහිත වූ නාගයන් එය දැක බුදුරදුන් වෙත වැඩමකර ආගිය තොරතුරු කතා කළේ ය. බුදුරදුන් එ තැනින් වැඩම කිරීම ට සූදානම් වන විට නාග ලෝකයේ අප ට ත්, වන්දනමාන කිරීම ට පූජනීය වස්තුවක් ලබා දෙන්න ය යි ඉල්ලූ විට බුදුරදුන් ගලා යන නර්මදා නදී තීරයේ එක්තරා ගල්තලාවක් මත බුද්ධ අධිෂ්ඨානයෙන් තෙවන සිරිපා සටහන පිහිටුවන ලදී. මිනිස් ලොව අප ට එ ම සිරිපා සටහන වන්දනමාන කිරීම ට නො හැකි වුව ද, නාග ලෝකයේ තවමත් මහත් වූ පුද සත්කාරයන් ලබමින් නාගයන් විසින් එය ආරක්ෂා කරගෙන සිටිනු ඇත.

සච්චබද්ධ පර්වතයේ සිරිපා සටහන නර්මදා නදී තීරයේ සිරිපා සටහන පිහිටුවීමෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ දකුණු ඉන්දියාවේ සච්චබද්ධ පර්වතය මුදුන ට අහසින් වැඩම කරන ලදී. එ හි විශාල පිරිසක් සහිත ව වාසය කළ සච්චබද්ධ නම් තාපසයා වෙත වැඩම කළ බුදුරජාණන් වහන්සේ ඔවුන් පහදවාගෙන ධර්මය දේශනා කරන ලදී. ඔවුන් සියල්ල ම රහත්ඵලය ට පත් විය.සච්චබද්ධ පර්වතයේ සතියක පමණ කාලයක් වැඩසිටි බුදුරදුන් ජේතවනාරාමය වෙත වැඩම කිරීම ට සූදානම් විය. එ හි දී සච්චබද්ධ මහරහතන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා විසින් වන්දනමාන සිදුකිරීම ට පූජනීය වස්තුවක් ලබා දෙනමෙන් ඉල්ලූ විට බුදුරජාණන් වහන්සේ සච්චබද්ධ පර්වතයේ පිහිටි කළුගලක් මත සිව් වන සිරිපා සටහන පිහිටුවන ලදී.

මෙ ම සිරිපා සටහන්වල ට අමතර ව විවිධ ස්ථානවල සිරිපා සටහන් ඇතිබව වාර්තා වේ.කෙ සේ නමුත් මා උත්සාහ කළේ සිරිපා සටහන්වල ට වන්දනමාන කිරීම තුළින් කුසල් රැස්කර ගත හැකි බව අවබෝධ කර දීම ය.අරුත් නො දැන බුදුන් ට මල් දසදහස් ගණනකින් පූජෝපහාර පැවැත්වුව ද, අරුත් දැන බුදුන් ට එක් මලකින් පූජෝපහාර දැක්වීම ඊට වඩා මහත් වූ ආනිශංස ගෙන දෙයි. එ සේ ම අරුත් නො දැන සියක් වතාවක් සිරිපා වන්දනා කළ ද, අරුත් දැන නියමාකාරයෙන් සිත පිහිටුවා සිදුකරන එක් සිරිපා වන්දනාවක් ඊට වඩා මහත් ආනිශංස ගෙන දෙයි.එ බැවින් බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත වූ ගුණයන් ට මම නමස්කාර කරමි, මා ගේ නමස්කාරය වේ වා! යනුවෙන් අවබෝධයෙන් යුතු ව වැඳීමෙන් විශාල කුසල ශක්තියක් ජනිත වනු ඇත. ඒ කුසල ශක්තීන් ගේ බලය නිවන පිණිස ම වේ වා!