මිනුවන්ගොඩ වෑගොව්ව ගලේවෙල නමින් ප්‍රසිද්ධ වෙල් යාය දිවුලපිටිය – මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ සිට බලන විට ඉතා රමණීය වූ වෙල්යායකි. වෙල් යායට පෝෂණය දෙන ඇළ මාර්ගය වෙල් ඉස්මත්තේ සිට නිහඩව ගලා බසින්නේ යාය මැද පිහිටි ගල් තලාව මතිනි. මීට වසර 150 පමණ කාලයකදී ගල් තලාව මත කුඩා නුග පැළයක් දලුලා වැඩෙන්නට විය.එදා පැරැන්නන් මේ නුග පැළය ගල් තලාව මත පිහිටියේ යම් හාස්කමකින් යයි සිතා නුග ගස අසලින් පහන් පැලක් සාදා යම් යම් අවශ්‍යතා මත භාර හාර වීමටද පැරැන්නන් අමතක නොකරන ලදී.

එසේ භාර හාර වූයේ ගම්භාර දෙවියන් හා පත්තිනි මෑණියන් උදෙසාය.එසේ භාර හාර වීමේදී තමන් සිතන කරුණ ඉටුවන බවක් ඔවුන්ට දැනින. මෙය අසල්වැසි යනට පවා පැතිර යද්දී වාහන අලෙවි කරන ව්‍යාපාරිකයකු තම ව්‍යාපාරයේ දියුණුව උදෙසා භාරයක් ගැට ගසන ලද්දේ එය සාර්ථක වුවහොත් දේවාල කුටියක් ඉදිකරන බවටය.

ඔහුගේ පැතුම් ඉටුවිය. පැරණි දේවාල කුටිය ඉදිවූයේ එලෙසය.වර්තමාණයේ දිවයින පුරා ප්‍රසිද්ධියට පත් මිනුවන්ගොඩ නගරයට නුදුරු ගලේ දේවාලය යනු සිද්ධ සූනියම් ගම්බාර දෙවියන්ගේ බලය ක්‍රියාත්මක පූජනීය ස්තානයකි.අද මෙම ස්ථානය ලක්බිම සතර දිග් භාගයම වෙලාගත් පුදබිමක් බව පෙනීයන්නේ කෙම්මුර දිනයන්හිදී දිවා රාත්‍රී පැමිණෙන දස දහස් ගණනක ජනතාව පොදි කන අයුරු දැකිමෙනි.

දරුඵල ප්‍රමාදවූවන් , විවාහ ප්‍රමාදවූවන් , නීතියෙන් අසාධාරණයට පත්වූවන් , නොයෙකුත් ආකාරයේ ගැටලු පවතින්නන් මෙම පූජා භූමියේදී මුණගැසෙයි.බාරහාර සිදුකර, තමාගේ ප්‍රර්ථනා ඉටුවූවන , සිය බාරහාර ඔප්පු කිරීමට වැඩි වශයෙන් පැමිණ සිටින බව එහිදී හදුනාගත හැකිවෙයි මෙම දේවාලයේ විශේෂත්වය දේවාල බිම භාරහාර වීමට කපුමහතකු නොවිමය.

තමන් තමන්ගේ දුක් ගැනවිල්ල සිහිපත් කොට පැරණි නුග ගසේ හෝ එතැන ඇති යමක තම භාරය ගැට ගසාකෙම්මුර කිහිපයක් දේවාලයට ගොස් භාරය සිහිපත් කොට දෙවියනට පිංදීම පමණකි. මේ අනුව ජනතාව වැල නොකැඩීඑන්නට විය .යම්කිසි පාලනයක් තිබිය යුතුයයි ගම්වැසි තරුණයන්ට සිතින ඔවුන් වහාම සමිතියක් පිහිටුවා ස්ථානයේ දියුණුවට වැඩ සලසන ලදී.භාරහාර වන්නන්ගේ පඩුරු සඳහා අවශ්‍ය උපකරණ සලසා එමගින් ස්ථානයේ දියුණුවට වැඩ සලසන ලදී.

ඒ අනුව වත්මන් විහාර ගෙය ,ගම්භාර දේව ප්‍රතිමාව ඉදිකරමින් දිවා රාත්‍රි පැමිණෙන දහස් ගණනක බැතිමතුන් ගේ පහසුව තකා මාර්ග සංවර්ධනය,විදුලිය සැපයීම ආරක්ෂිත වැටවල් සැකසිම වාහන ගාල් කිරිමට ආරක්ෂාවට පහසුකම් සැපයිම සිදුකෙරිණි.අපි දියුණු විද්‍යාවක ප්‍රතිලාභ විඳින පුළුල් ප්‍රජාතන්ත්‍රවාදි ලෝකයක ජීවත් වන බව කියමු. මේ සා දියුණු යැයි කියන ලෝකයක ද මිනිසුනට කෙළවරක් නැති ප්‍රශ්න තිබේ. මිනිසුන් දෙවියන්ගේ පිහිට පතන්නේ සෙස්සන්ට නොකිව හැකි පෞද්ගලික ප්‍රශ්න මහා කන්දරාවක් තමන්ට තිබෙන බැවිනි. මෙබඳු තැනකින් එබඳු ‍දේට සහනයක් ලැබෙන්නේ නම් එය කෙතරම් ලොකු දෙයක් ද?ගලේ දේවාලය වන්දනා කිරීමට යන ඔබ දැනගත යුතු ස්තෝත්‍ර කිහිපයක් පහත සඳහන් වේ ශ්‍රී සිද්ධ සූනියම් දෙවියන් නැමදීම

  • ශිව මස්තු නමෝ රාමඃ
  • කන්ද සේනා සමාගමඃ
  • වඩිග තන්ත්‍ර මණි කණ්ඨඃ
  • ඔඩ්ඩි මංගල නමෝ නමඃ
  • අග්නිඃ ඛන්දන්ච හස්තෙන
  • හස්ථෙන වඩිග කර්කතේ
  • මුඛේන විෂ සර්පේන
  • ශිර්ශේ පංච කේෂකේ
  • උදරේ නාග බන්දාමි
  • නීලෝ තුරඟ වාහනඃ
  • සූනියම් දේවතා නාම
  • මයිහං පාදකේ නමඃ

ශ්‍රී සිද්ධ සූනියම් දෙවියන්ට පින් දීම

  • නා නා වණ‍්ණ‍ මහා තෙජෝ
  • ඕදාත භය වාහනෝ
  • ග්‍රාම සංඤ්චාරකෝ දේවෝ
  • ඉදං පුංඤනු මොදතු
  • දා වෙමින් නුවර පඬුවස් නිරිදුන්ට
  • තේජසින් තුරඟ වාහන වැඩ ඉන්ට
  • මා තුටින් කියන දේ ඉටු කර දෙන්ට
  • සූනියම් දේවතාවනි මේ පින් ගන්ට

ශ්‍රී සිද්ධ සූනියම් දේව කන්නලව්ව පස්වාන් දහසකට මේ ශ්‍රී ලංකා ද්වීපයේ අතුරු සිදුරු නොමැතිව ගම් කොරටු භාරව සියළු නර සතුන්ගේ පූජාවන්ට දිවැස් හෙලා සියලු සත්වයා හට ශාන්ති දානය සලස්වන ශ්‍රීමත් සිද්ධ සූනියන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට දොහොත් මුදුන් තබා වැඳගෙන කියා සිටින කන්නලව්ව නම් සෘද්ධිමත් මහා බල ඇති සිද්ධ ඔඩ්ඩිස සූනියන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස, නීල වර්ණ දේහයකින් හා එසේම තුරඟ වාහනාරූඪව ත්‍රිශූලය, ගිනි කබල, වඩිග කඩුවක් ද එක් අතක දරා ඇති, භයංකර රාක්ෂ අවතාරයක් මවාගෙන ලේ පොළඟෙක් කටින් ගෙන සිරස ගෙළ අත් උදර වටා නා සර්පාභරණයෙන් ඔප් නැඟී යකුන් පිරිවාරාගෙන ගමන් කරන සිද්ධ බලකාර ගම්භාර සූනියන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස, මේ අසරණ මාගේ කන්නලව්වට දිෂ්ටි දිවැස් හෙලා බලා වදාරා නොදැන කළ වරදක් ඇතොත් කමා වී මාගේ අදහස් ඉෂ්ට කර දී වැඩ වදාරන සේක්වා.

ගලේ දේවාලය ගැන ඔබ දැන ගත යුතු දේ

  • 1. ස්නානය කර, සුදු හෝ ලා පැහැති ඇඳුමකින් සැරසී පැමිණීම වඩාත් සුදුසු වේ.
  • 2. දේවාලය අවට රථ වාහන ගාල් කිරීමට බොහෝ ස්ථාන ඇත.
  • 3. දේවාල භූමියේ හිස්වැසුම් සහ පාවහන් පැළදීමෙන් වලකින්න. පාවහන් තැබීමට රාක්ක සකස් කර ඇත.
  • 4. දේවාල භූමියට ප්ලාස්ටික්/පොලිතින් රැගෙන යාමෙන් වලකින්න.
  • 5. බොහෝ බැතිමතුන් සුදු මල් සහ පිං පඬුරු සිරිතක් ලෙස රැගෙන එයි. දේවාලය අසල මල්, තෙල්, පහන්, හදුන්කූරු වැනි දෑ මිලදී ගැනීමට කුඩා වෙළඳ ස්ථාන ඇත. ඇතැම් බැතිමතුන් විසින් නිවසේදී සදා ගත් මල් මාලා ද ගෙන එයි.
  • 6. සතියේ ඇතැම් දින සහ වේලාවන් වලදී දේවාල භූමිය සහ ඒ අවට විශාල වශයෙන් බැතිමතුන් ගැවසෙනු දැකගත හැක.

දේවාලයට පිවිසීමට මාර්ග කිහිපයක්ම ඇත. පිවිසෙන එක මාර්ගයක් පහත සදහන්වේ.මිනුවන්ගොඩ වට රවුමෙන් කුරුණෑගල පාරට පිවිසෙන්නමෙම මාර්ගය ඔස්සේ කිලෝමීටර 2 ක් පමණ යන විට ලංකා ඉන්ධන පිරවුම් හල දකුණට පිහිටා ඇත එය පසු කර තවත් මීටර 200 ක් පමණ ගමන් කරන විට වෑගොව්ව හරස් පාර දකුණෙන් පිහිටා ඇත.එම මාර්ගයේ (වෑගොව්ව හරස් පාර) මීටර 50 ක් පමණ ගමන් කරන විට වමෙන් පිහිටා ඇති පළමු පිවිසුම් මාර්ගයට ඇතුල් වන්න.තවත් මීටර 300ක් පමණ ගමන් කර වමට හරවන්න.ඉන්පසු මීටර 200ක් පමණ ගමන් කල විට රථ වාහන ගාල් දැක ගත හැක. (කහ පැහැති සංඥා පුවරු වලට අවධානය යොමු කරන්න )