මම අහස දෙස බැලූවෙමි. අහස පැහැදිලිය. කාලගුණය යහපත්ය. මගේ ප‍්‍රයත්නයට හොඳම දිනය අද යැයි මම සිතුවෙමි. ඒ නිසාම තුරුලතා වලින් හා නිල්වන් කෙත්වතුවලින් සශ‍්‍රික වූ රමණීය පෙදෙසකට මම ගමන් ගතිමි. ඒ උඩුගම්පල රාජධානියේ සැඟවී ඇති ඉතිහාසය සොයාගෙනය.මුලින්ම උඩුගම්පල ප‍්‍රාදේශීය සභාවට සේන්දු වූ මා සභාපතිතුමාගේ අවසරය මත එහි ප‍්‍රජා සංවර්ධන නිලධාරිනියකු වන ඉරේෂා ජයසිංහ මහත්මිය සමඟ උඩුගම්පල රාජධානියේ පැරණි නටඹුන් සොයා පියමන් කළෙමු. සැබැවින්ම එහි අතීතය මෙසේය.1485-1805 කාලය තුළ ලංකාද්වීපය පාලනය කරන ලද්දේ වීර පරාක‍්‍රමබාහු රජුය. ඔහුට ධර්ම පරාක‍්‍රමභාහු, තනිවැල්ල පරාක‍්‍රමභාහු, ශ්‍රී රාජසිංහ, විජයබාහු, රයිගම් බංඩාර, සකලකළා වල්ලභ සහ එක් දියණියක් වූහ.

මේ කුමරුවන් අතරින් රාජසිංහ සහ විජයබාහු මැණික්කඩවරපුර වාසය කළ අතර රයිගම් බණ්ඩාර රයිගම පාලනය කළේය. සකලකලා වල්ලභ කුමරුට උඩුගම්පල උප රාජධානිය භාරවිය. තනි වැල්ලභාහු කුමරු මාදම්පේ පාලනය කළ අතර එකම දියණිය රජතුමා සමඟම සිටි නල්ලූර්තුනෙයියාර් නම් මලබාරයෙකුට විවාහ කර දුන්නේය.ඒ ආකාරයට වීර පරාක‍්‍රමභාහු රජුගේ පුතුන් සයදෙනා ප‍්‍රාදේශීය රාජධානි භාරගෙන පාලනය කළ අතර සකලකලා වල්ලභ රජු භාරගත් උඩුගම්පල රාජධානිය බතින් බුලතින් සශි‍්‍රක කළේය. ඊට හොඳම උදාහරණ ලෙස ගොඩවැව සහ මහවැව පෙන්වාදිය හැකිය.

එසේම එතුමා විසින් අස්වාන ප‍්‍රදේශයෙන් විශාල වැවක් කරවූ බවත් ඒ වැවේ සිට එතුමා විසූ මාළිගාව අසල පිහිටි පතහට උමඟක් මගින් ජලය ගෙනගිය බවත් ජනප‍්‍රවාදයේ සඳහන්ය. එසේම එම අස්වාන වැවේ වැව්කණ්ඩිය නිතරම කැඞීයාම හේතුකොටගෙන සකලකලා වල්ලභ රජු ස්වර්ණාභරණයෙන් සැරසූ කන්‍යාවන් හත් දෙනකු බිළිදුන් බවත් ඔවුනගේ යම් යම් ශරීර කොටස් ගසාගෙන ගොස් නැවතුණු ස්ථාන ඒ ඒ නම්වලින් නම් කෙරූ බවත් ඉතිහාස කතා තුළ අන්තර්ගතය. ඒ පිළිබඳ කළ විමසීමකදී අස්වාන පුරාණ රජමහා විහාරයේ පරිවේණාධිපති හා ලේඛනාධිකාරි …………. සීලරතන ස්වාමීන් වහන්සේ පැවසුවේ මෙවන් අදහසකි.

‘‘උඩුගම්පල කියන්නේ කෝට්ටේ යුගයේ තිබූ ප‍්‍රාදේශීය රාජධානියක්. එය පාලනය කළේ සකල කළා වල්ලභ නම් ප‍්‍රාදේශීය රජ කෙනෙක්. ඔහු උඩුගම්පල ප‍්‍රදේශය බතින් බුලතින් සශ‍්‍රික කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ නිසාම ඔහු ගොවිතැනට අවශ්‍ය ජලය රැුස්කර තබාගැනීමට වැව් සාදා තිබෙනවා.එහි එක් නිර්මාණයක් ලෙස අස්වාන වැව සඳහන් කරන්න පුළුවන්. අද අස්වාන වැව දකින්න නැහැ. ඒත් වැව් බැම්ම විතරක් දැකගන්න පුළුවන්. එදා එම වැව හැදුවාම නිතරම වැව කැඞී වතුර පිටාරගොස් තිබෙනවා. ඒ නිසා සර්වාභරණයෙන් සැරසූ කුමාරිකාවන් හත්දෙනෙකු බිලි දුන් බව සඳහන් වෙනවා. ඒ බිලි දුන් කුමාරිකාවන්ගේ එක් එක් කොටස් ගසාගෙන ගොස් නැවතුණු තැන් ඒ ඒ නම්වලින් හැඳින්වී තිබෙනවා.

එහිදී කුමාරිකාවන් සැරසී සිටි ආභරණ ගසාගෙන ගොස් නැවතුණු ස්ථානය මිණිරුවන්ගොඩ ලෙසත් එය පසුව මිනුවන්ගොඩවූ බවත් ජනප‍්‍රවාදයේ සඳහන් වෙනවා. කුමාරියන්ගේ ඔළු ගසාගෙන ගොස් නැවතුණු ගල්තලාව ගල්ලොළුව වූ බවත්, කලවා ප‍්‍රදේශ ගසාගෙන ගොස් නැවතුණු ප‍්‍රදේශය කලවාන වූ බවත් ජනප‍්‍රවාදයේ සඳහන් වෙනවා.හැවණතැන්නේගම සීලරතන ස්වාමීන් වහන්සේ මිනුවන්ගොඩ අවට ගම්වල නම් සෑදුනු ආකාරය හා බැඳි ජනප‍්‍රවාද කතා එසේ සඳහන් කළ අතර පත්තිනි දේවාලය භාර දුලංජන කපුමහතා සඳහන් කලේ මෙවන් දෙයකි.‘‘එම කුමාරිකාවන් හත් දෙනා රජතුමා වැවට බිලි දුන් පසු ගමේ අමනුස්ස දෝස පැතිරීගිය බව ජනප‍්‍රවාදයේ සඳහන්. ඒ නිසා රජතුමා විසින් දේවාල ඇතිකර ගමිබිම් දෙවියන්ට භාරදුන් බව සඳහන් වෙනවා. ඒ වගේම මේ ස්ථානයේ දිවුරුම් බෝධියක් තියනවා. එතන රජතුමා වැඳුම් පිදුම් කටයුතු වගේම නීතිය පසිදලීමේ කටයුතුද සිදුකළ බව ජනප‍්‍රවාදයේ සඳහන් වෙනවා. අදත් මේ ස්ථානයේ නාගයෙක් ඉන්නවා. මංගල්‍යය වගේ කරන අවස්ථාවල රිලව් පැනයන අවස්ථා, දෙබරු කූඩු සෑදීම, මීමැස්සෝ ඒම, නාගයා දෘෂ්‍යමාන වීම වගේ දේවල් සිද්ද වෙනවා.

ඒ ආකාරයට දුලංජන කපුමහතා ඔහු දන්නා ජනප‍්‍රවාද කතා ඉදිරිපත් කළ අතර පුංචි බංඩාර කපුමහතා අපත් සමග පැවසුවේ මෙවන් දෙයකි.
‘‘මේ පන්සලේ විහාර භූමියට ඇතුල්වෙන තැන තියන ගල්පඩි ඔය ඔයෙන් මතුවුන ඒවා. ඔතන තියන ගල් කෑල්ලක්වත් නිකන් ගේන්න බෑ. ඉස්සර ලොකු හාමුදරුවෝ කියලා තියනවා ගල් පඩි අල්ලන ගානට වැඩිපුර දෙකක් ගෙනැත් තිබුණ නිසා ? එළි වෙනකම් නිදාගන්න බැරිවුණා කියලා. ඊට පස්සේ වැඩිපුර තිබුණු ගල්පඩි දෙක ආපසු ගිහින් දැම්මලූ. දැන් විහාර මළුවට ගොඩවෙන තැන අල්ලලා තියෙන්නේ ඒ ගල්පඩි. මේ හරිය හරිම අදෘශ්‍යමානයි. ඉස්සර ?වෙද්දි කිසිම කෙනෙක් මේ ඇතුල් පාරවල් වල තනියම ගමන් යන්නේ නැහැ. ඔය බිසෝවරු නෑවා කියන ස්ථානයේ හරිම පාළු ගතියක් තියෙන්නේ. වතුර පිරෙන කාලවලට ?ට දියබුන් ගහන සද්දේ ඇහෙනවා කියලා මිනිස්සු කියලා තියනවා.මීළඟට මේ වැව සම්බන්ධ තවත් ජනප‍්‍රවාද කතාවක් ඉදිරිපත් කළේ අස්වාන විහාරයේ විහාරාධිපති මකුද්දල චන්දාලෝක ස්වාමින් වහන්සේය.

‘‘මේ මෑතකදී ඔය බිසෝවරු නෑවා කියන ස්ථානයේ තරුණ ළමයි පිරිසක් මාළු බාන්න ගිහින් තියනවා. ඒ ළමයි වතුර මෝටරයකින් ගහලා මාළු අල්ලන ප‍්‍රමාණයට ආවම ආයෙත් අර වතුර ඇවිත් වළ පිරුණලූ. හැමදෙනාම පුදුම වෙලා. ඒ වගේම මේ පන්සල් භූමියේ තමයි දිවුරුම් බෝධිය තියෙන්නේ. රජතුමාට මාළිගයේ සිට දිවුරුම් බෝධියට ඒමට උමඟක් තිබුණ කතාව ජනප‍්‍රවාදයේ සඳහන් වෙනවා. ඒත් තාම එහෙම දෙයක් නම් පෙනිලා නෑ. ඒ වගේම රජතුමා ජල ක‍්‍රීඩාකල පොකුණට වතුර ගෙනගියේ අස්වාන වැවෙන්ලූ. අද ඒ හරියේ උමඟක් මතුවෙලා තියනවා. ඒත් ඒ වතුර එන උමඟ සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා තාම හොයාගෙන නෑ.

සකලකලා වල්ලභ රජතුමා කුමාරිකාවන් මරා බිලිපූජා කළ නිසා යක්ෂ ආත්මයක් ලැබූ බවට ජනප‍්‍රවාදයේ සඳහන් වෙනවා. ඒ වගේම එතුමා මේ පළාතේ කෘෂිකර්මය නගාසිටුවලා ජනතාවට කරපු යහපත නිසා දේවත්වයෙන්ද සලකනවා.සැබැවින්ම සකලකලා වල්ලභ රජු සම්බන්ධවූ රසවත් ජනප‍්‍රවාද කතා නම් බොහෝ විය. ඒ නිසාම එතුමා ස්නානය කළ එම පතන සොයා ගමන් ගත්තෙමි. සැබැවින්ම නිල්වන් කෙත්වතු හා තුරුලතා මැදින් වැටී තිබූ මාර්ගය අයස්කාන්තය.එම පළාත අද ජනාකීර්ණ වුවද එදා ස්වභාව සෞන්දර්යෙන් ආඩ්‍යව පවතින්නට ඇතැයි වර්තමාන තත්ත්වය පිරික්සීමේදීද ගම්‍යවේ. මේ වන විට ප‍්‍රතිසංස්කරණය කර තිබූ එම පතන සැබැවින්ම ආකර්ෂණීයය. එය වටා ඉදිකර තිබූ කබොක් ගල් බැම්මත්, මාළිගය වටා යන ආරක්ෂිත දිය අඟලක්,

රජතුමා ජලක‍්‍රීඩා කිරීමට පැමිණ වතුරට පැනීම සඳහා භාවිතා කළ ගල් පුවරුවක් එහි දක්නට ඇත. එසේම ඊට මෙහායින් පරණ නාන ළිඳ නවීකරණය කොට පරිහරණයට සුදුසු ලෙස සකස්කර තිබුණි. අපි පතන වටා ගමන් ගන්නා විට එක් සුවිශේෂී ස්ථානයක් නෙත ගැටුණි. එය පතනට අස්වාන වැවේ සිට ජල ප‍්‍රවාහණය සඳහා භාවිතා කළ උමඟ ලෙස සැකකරන ස්ථානය බැව් දැන ගතිමු.සැබැවින්ම සකලකලා වල්ලභ රජුට කලාකාමී ඇසක් තිබී ඇත. එසේම ඔහු කෘෂිකර්මාන්තයේ එම ප‍්‍රදේශ සරුසාර කළා සේම හොඳ ජල සැපයුම් ක‍්‍රමයක් භාවිතා කර ඇති බවද ඉන් ගම්‍ය විය.එසේ කෘෂිකර්මාන්තයත් වාරි කර්මාන්තයත් නගා සිටවූ රජතුමා මංමාවත් නිර්මාණය කළ හා ජනතාවගේ සැපපහසුව පිළිබඳ සොයා බලා කටයුතු කළ අයෙකු බවද සඳහන් කළ හැකිය. එනම් දුර ගමන් වල නිරතවන පුද්ගලයන්ට ගිමන් නිවාගෙන යාම සඳහා ඒ ඒ මාර්ග අසල නිමවා ඇති වෑගොව්ව අම්බලම හා බලබෝව අම්බලම ඊට උදාහරණය.එසේම සකලකළා වල්ලභ රජු හොඳ දේවභක්තිකයෙකු බවද සඳහන් වේ. ඊට උදාහරණ ලෙස අස්ගිරිය පුරාණ රජමහා විහාරය අස්වානේ ශ්‍රී ධර්ම රත්නෝදය පිරිවෙන් විහාරයෙහි පැවති දේවාල භූමිය උග්ගල්බඩ පුරාණ දේවාලය, දොඹවල දේවාලය දැක්විය හැකිය.

මේ සියළු දේ සේම සකලකලා වල්ලභ රජු ජීවත්වූ මාළිගාවද විශේෂීය. උඩුගම්පල උත්තරාරාම පුරාණ විහාරය හෙවත් මාළිගාගොඩැල්ල නම් ස්ථානය එතුමාගේ මාළිගය පිහිටා තිබූ ස්ථානය සේ සලකයි.මේ වන විට මාළිගාවේ නටඹුන් දක්නට නොමැති අතර මාළිගාවේ තිබුණා යැයි සැලකෙන ශෛලමය උළුවහු කඳන් හා මාළිගයේ වහලට සෙවිලි කළ පැතලි උළු, කබොක් ගල් ආදිය තැනින් තැන මතුවී දක්නට ලැබේ. එසේම පැරණි ගල් ආසනයක් සහ පොළව යට පසින් වැසී ඇති ගල් පඩිපෙළක අඩිතාලමක්ද දෘෂ්‍යමාන වේ. අලූතින් ඉදිවන ගොඩනැගිලි හේතුවෙන් යම් යම් අවස්ථාවල පොළව කැපීමේදී හමුවන පුරාණ සිහිවටනයන් නම් ගල් සහ උළු කෑලිය. මේ සම්බන්ධව උත්තරාරාම පුරාණ විහාරයේ කෙන්ඩිමහර සුමේද හිමියෝ පවසා සිටියේ මෙවැන්නකි.

‘‘මෙය ගොඩක් පරණ පන්සලක්. අද පරණ මාළිගාවේ නටඹුන් නෑ. ඒත් මාළිගාවේ තිබුණායැයි සැක කළ හැකි ගල් උළුවහු කඳන් තියනවා. ඒ වගේම පැතලි උළු හම්බවෙලා තියනවා. ගල් ආසනයක් තියනවා. ඉස්සර රජකාලේ භාවිතා කළ වැසිකිළි පාදමක් තියනවා. ඒ වගේම දිගටම ඇති කියලා සැකකරන්න පුළුවන් ගල් බැම්මක් පොළවයට තියනවා. එය පසින් වැහිලා තියෙන්නේ. මේ පිළිබඳ රජයේ අවධානය යොමුවෙලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සංරක්ෂණය වෙනවා නම් අනාගත පිරිසට මෙහි ඇති ඓතිහාසික දේ ආරක්ෂා කරදෙන්න පුළුවන්.අද මේ පුරාණ පන්සලේ සකලකලා වල්ලභ රජතුමා වෙනුවෙන් ඉදිවුන දේවාලයක් තියනවා. එතුමා දේවත්වයෙන් සලකනවා. එහි පැරණි දේවාලයේ භාවිතා කළ ආභරණ තැනපත් කරලා තියනවා. මේ දේවල් ආරක්ෂාකර ගැනීම මේ ප‍්‍රදේශයට ලොකු ගෞරවයක්.

සැබැවින්ම කලාකාමී ඇසක් තිබූ හා දේවත්වයෙන් සලකන සකලකළා වල්ලභ රජතුමා දක්ෂ බුද්ධිමත් පාලකයෙකි. ඒ නිසාම විටෙක ඔුහ කෝට්ටේ රාජ්‍ය භාරගැනීමට යෝජනා කරන ලද්දෙකු විය. එහෙත් එය ප‍්‍රතික්ෂේප කළ එතුමා උඩුගම්පල රාජධානිය සශ‍්‍රික කළේය. ඒ නිසාම ඔහුගේ රාජ්‍ය කාලය දිගුවිය.එය දරාගැනීමට නොහැකිවූ ඔහුගේ දරුවෝ කුමන්ත‍්‍රණයක් කළහ. ඒ ඔහු ජලක‍්‍රීඩා කිරීම සඳහා භාවිතා කරන පතනේ දැවමය උල්ගසා ඔහු මරා දැමීමය. කුමාරවරු එය එසේම ක‍්‍රියාත්මක කළහ. රජතුමාත් සුපුරුදු පරිදි ජල ක‍්‍රීඩාවට ගියේය. එහෙත් ඔහුගේ හිස වටා කැරීකි ගොස් වතුරේ වැසූ බඹරෙකු නිසා කුමරුවන්ගේ උපක‍්‍රමය වැරදී ගියේය. වතුරේ වැසූ බඹරා පිළිබඳ පරික්ෂණ කළ රජතුමා ඔහුගේ දිවි තොර කිරීමට පතනේ උල් සිටවා ඇති බව දැන්ගත්තේය. එය රජුගේ අවධානයට ලක්වීමත් සමග කුමාරවරු කැලයට පලාගියහ. මේවන විට කැණීම්කර පිළිසකර කර ඇති පතනේ තිබී එතුමා මැරීමට සිටවූ දැවමය උලක් යැයි සලකන්නක් මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභා භූමියේදී ප‍්‍රදර්ශනයට තබා ඇත.

කෙසේ වෙතත් එම ප‍්‍රදේශයට සුවිශාල සේවාවක් කළ සකලකළා වල්ලභ රජතුමා ඔහු නිර්මාණය කළ අස්වාන වැව නිතරම කැඞීයාමේ හිත්වේදනා ඇතිව ඊටම පැනමියගිය බවත් එතුමාගේ බිසෝවරුන් ඒ දුකින් එම වැවට පැන දිවි තොරකරගත් බවත් ජනප‍්‍රවාදයේ සඳහන්ය.අද එම ප‍්‍රදේශවාසීන් අස්වානේ දෙවියන් ලෙසින් අදහනුයේ සකලකළා වල්ලභ රජතුමාය.කැලයට පැනගිය එතුමාගේ පුතුන් පිළිබඳවද පටබැඳි ජනප‍්‍රවාද කතා බොහෝය. එම පුතුන් සයදෙනාගෙන් කෙනෙකුවූ කළුහම් කුමාරයා කුණුදිය පර්වතයෙන් පැන දිවි තොර කරන්නේය. ඔහුගේ පැතුම යක්ෂ ආත්මයක් ලබා ඔහු යදින බැතිමතුන්ට සෙතක් කිරීමය. ඔහු කළුකුමාර නමින් දේවත්වයට පත්විය. අද එම ප‍්‍රදේශයේ ජනතාව අලූත් අස්වනු ගෙට ගන්නාවිට අලූත් වී ඇට පවා යදින යාතිකාව කළුකුමාර යාදින්න ලෙසින් ජනප‍්‍රියවී ඇත.

එසේම රජුගේ බාලම පුත් කිරිබොන ඈපානෝය. ඔහු තරුණවියට පත්වූ පසු විවාහවීමට අවශ්‍යවිය. එහෙත් ඔහු නන්නාඳුනන්නෙකුු නිසා කිසිවෙකු දියණියක් සරණයට නොදුන්නා. ඒ නිසාම ගවයන් සැඟවීම හා නැවත භාරදීම සැඟවී කර අදෘශ්‍යමාන බලවේගයක් බවට පෙන්වා ඔහු හිතගිය තරුණියද ලබාගත්තේය. මුලින්ම එම තරුණිය ලබාගැනීමට ගොස් ඔහු පරිත්‍යාග කළ මාලය ආපසු ප‍්‍රතික්ෂේපකර දොරේ එල්ලූ නිසා සමගම දුන්න මාලේ දුනුමාලේ ලෙස ව්‍යවහාරයට පැමිණි බවද ජනප‍්‍රවාද කතාවක් විය. එදා පටන් එම ප‍්‍රදේශය දුනුුමාලේ දෙවියන් සඳහා වූ ප‍්‍රදේශය බවට පත්වී ඇත.

පියෙකු හා පුතුන් දෙදෙනෙකු දේවත්වයෙන් සලකන ඉතිහාසයේ ඉතාම දුර්ලභ අවස්ථාවක් ලෙස මෙය පෙන්වා දිය හැකිය.
මෙම ලිපිය සැකසීමේදී තොරතුරු ලබාදීමට නොමද සහයක් ලබාදුන් මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ සභාපති පද්මකුමාර අරංගල්ල මහතාටත් ප‍්‍රජා සංවර්ධන නිලධාරිනී ඉරේෂා ජයසිංහ මහත්මියවත්, උත්තරාරාමයේ විහාරාධිපති හෙන්ඩිමහර සුමේද ස්වාමින් වහන්සේටත් අස්වාන ධර්මෝදය පිරිවෙණේ විහාරාධිපති මකුද්දල චන්ද්‍රාලෝක ස්වාමින් වහන්සේ සහ සීලරතන ලේඛකාධිකාර ස්වාමින් වහන්සේ ඇතුලූ සියළු දෙනාවත් ඔහු විජේරත්න සොයුරියටත් විශේෂ ස්තූතිය.