චීනයේ පැතිර යන අබිරහස් වයිරස් රෝගයට ගොදුරුවන සහ එයින් මියයන සංඛ්‍යාව වේගයෙන් ඉහළ යෑම හේතුවෙන් එරට නගර කිහිපයක්ම මුද්‍රා තබන ආකාරයෙන් සම්පූර්ණයෙන් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ. මේ ආකාරයෙන් මෙම නගර මුද්‍රා තැබීම නිසා ඒවායේ වැසියන්ට එම නගරවලින් පිටතට ඒම මෙන්ම පිටත සිටින්නවුන්ට එම නගරවලට ඇතුළුවීමද සම්පූර්ණයෙන් තහනම් වේ. මේ ආකාරයෙන් මුද්‍රා තබා ඇත්තේ මෙම වයිරසය මුලින්ම සොයාගත් හූබෙයි පළාතේ වූහාන් නමැති නගරය සහ තවත් නගර කිහිපයකි සිකුරාදා (24දා) වනවිට නගර අටක් මේ ආකාරයෙන් මුද්‍රා තබා ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි චීන බලධාරීන් ගෙන ඇති මෙම පියවර නිසා එම නගරවල ජීවත්වන මිලියන 26කට කිට්ටු ජනතාවක් සිය නගර තුළ සිරකරුවන් වී සිටින ආකාරයක් දැකිය හැකි වෙයි මෙම නගරවල මගී ප්‍රවාහන සේවාද සම්පූර්ණයෙන් අත්හිටුවා තිබේ මේ අනුව ගුවන් ගමන්, බස් සේවා, දුම්රිය සේවා, බෝට්ටු සේවා ආදී සියලු සේවාවන් නතර කර ඇති බව වාර්තා වෙයි එමෙන්ම සංචාරක හෝටල්වල සහ ප්‍රධාන සංචාරක ස්ථානවල පැවැත්වීමට නියමිතව තිබූ සියලු උත්සව අවලංගු කරන ලෙසද දැනුම් දී තිබේ මෙම සති අන්තයේ චීනයේ අලුත් අවුරුද්ද සැමරීමට නියමිතව තිබූ නිසා ජනතාව විශාල වශයෙන් උත්සව පැවැත්වීමටත් තැන් තැන්වල සංචාරය කිරීමටත් සූදානම්ව සිටියහ. දැන් පනවා ඇති තහංචි සමඟ ඒ සියල්ල නතර කිරීමට සිදුව තිබේ.

චීන බලධාරීන් මෙවැනි දැඩි පියවරක් ගත්තේ ඉහත කී වයිරස් රෝගය වඩා වේගයෙන් සහ දරුණු ආකාරයෙන් පැතිරෙන්නට පටන් ගැනීමත් සමඟය. සිකුරාදා වනවිට පළ වී තිබූ තොරතුරුවලට අනුව චීනය තුළ රෝගීන් 830කට ආසන්න සංඛ්‍යාවක් සොයාගෙන තිබේ. ඒ අතරින් 25 දෙනකු මරණයට පත්ව තිබිණි. ඊට කලින් දින වනවිට වාර්තා වී තිබුණේ රෝගීන් 570ක් පමණි ඒ වනවිට මරණ සංඛ්‍යාව 17ක් පමණක් විය. රෝගය පැතිරෙමින් ඇති වේගය මේ අනුව තේරුම් ගැනීම අපහසු නොවේ. මෙම වයිරසය මෙයට පෙර හඳුනාගෙන තිබූ වයිරසයක් නොවීමද මේ පිළිබඳ බිය වැඩි කිරීමට හේතුවී තිබේ. කෙසේ වෙතත් එය කොරෝනා වයිරස යනුවෙන් හැඳින්වෙන වයිරස කාණ්ඩයට අයත් වන්නක් බව සඳහන් වේ කලකට පෙර සිය ගණනකට මරු කැඳවමින් රටවල් රැසක පැතිර ගිය සාර්ස් වසංගතයට හේතු වූයේද මෙම කාණ්ඩයට අයත් වයිරසයකි මෙම අලුත් වයිරසය නිසාද රෝගීන් නියුමෝනියාව වැනි බරපතළ ආසාදනයන්ට ගොදුරුවන අතර මරණ සංඛ්‍යාවද වේගයෙන් ඉහළ යමින් තිබේ නයේ ඉහත කී නගර සම්පූර්ණයෙන් වසා දැමීමත් සමඟ ඒවායේ වැසියන් ආහාර ආදිය ගබඩා කර ගැනීමට පියවර ගෙන ඇති බවත්, මේ නිසා වෙළෙඳසල් හිස් වී ඇති බවත් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඇතැමුන් නිවෙස්වලින් එළියටවත් නොබැස ඇතුළටම වී සිටින බවද සඳහන් වේ. එළිමහනේ හැසිරෙද්දී සියලු දෙනා මුහුණු ආවරණ පැලඳ සිටිය යුතු බවද දැනුම්දී ඇති අතර එසේ නොකරන්නන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරන බවද දන්වා ඇත. මෙම තත්ත්වය තුළ මුහුණු ආවරණ, අත්වැසුම් ආදිය වේගයෙන් අලෙවි වෙමින් ඇති බවද පැවසේ

තත්ත්වය වඩාත් භයානක වෙමින් ඇත්තේ රෝගීන් වාර්තා වන වෙනත් රටවල් ගණනද කෙමෙන් වැඩි වෙමින් තිබීම නිසාය මුලින් රෝගීන් වාර්තා වූයේ චීනයෙන් පමණක් වුවත් පසුව ජපානය දකුණු කොරියාව තායිලන්තය ඇමෙරිකාව යන රටවලින්ද හොංකොං, තායිවානය යන කලාපවලින්ද රෝගීන් ගැන වාර්තා විය බ්‍රහස්පතින්දා වනවිට සිංගප්පූරුව සහ වියට්නාමයද මෙම ලැයිස්තුවට එක්වී තිබිණි. චීනයෙන් පිටත වැඩිම රෝගීන් ගණනක් හමුවී ඇත්තේ තායිලන්තයෙනි සිකුරාදා උදයේ පළවී තිබූ තොරතුරුවලට අනුව තායිලන්තයෙන් රෝගීන් සිවුදෙනකු හමු වී තිබිණි අනෙක් රටවලින් තවමත් වාර්තා වී ඇත්තේ රෝගීන් එක්කෙනා දෙන්නා බැගිනි නමුත් ඉදිරියේදී මෙම සංඛ්‍යා ඉහළ යා හැකි බවට බිය පළවෙමින් තිබේ මෙය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කළ යුතුද යන්න තීරණය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂ රැස්වීම් දෙකක් පසුගිය දිනවල කැඳවා තිබිණි. නමුත් එහිදී ඔවුන් තීරණය කර ඇත්තේ තවමත් එවැනි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට අවශ්‍යතාවක් නොමැති බවයි. රෝගය පැතිර ඇත්තේ රටවල් සුළු ගණනක පමණක් වීම එයට හේතුව බව සඳහන් වේ නමුත් ඇතැම් විශේෂඥයන් සඳහන් කර තිබුණේ ඉදිරියේදී ගෝලීය වසංගත තත්ත්වයක් ප්‍රකාශ කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි මේ අතර බොහෝ රටවල් තම රටවලට ඇතුළුවන විදේශිකයන් ගුවන්තොටුපොළ වැනි ස්ථානවලදී විශේෂ පරීක්‍ෂාවන්ට ලක් කිරීමට පියවර ගෙන තිබේ උතුරු කොරියාව සංචාරකයන් ඇතුළු කර ගැනීම සම්පූර්ණයෙන් අත්හිටුවා ඇති බවක්ද පසුගිය දිනවල විදෙස් මාධ්‍ය වෙත වාර්තා කර තිබිණි වයිරසය මුලින්ම බෝ වෙන්නට ඇත්තේ සතුන්ගෙන් බව විශ්වාස කෙරේ එහි පැතිරීම ආරම්භ වූයේ චීනයේ වූහාන් නගරයේ මාළු වෙළෙඳසලක් ආශි්‍රතවය මේ අතර ඇතැම් වයිරස විශේෂඥයන් පවසා තිබුණේ නයින් හෝ වවුලන් වැනි සතුන්ගෙන් මෙය බෝ වූවාද යන සැකයක්ද පවතින බවයි සනත් වික්‍රමගේ