මෙරට පිත්තල කර්මාන්තයේ ඉතිහාසය ගැන පරීක්ෂා කිරීමේදී ඉන්දියාවේ ආභාසය ලැබී ඇති බව පෙනීයයි. ඉන්දියාවේ ගෝවේ ප්‍රදේශයේ පිත්තල කර්මාන්තයේ හැඩතල කැටයම් මුලදී අපේ රටේ මුල් බැසගත්තේය ලංකාවට ආවේණික පිත්තල කර්මාන්තය සිදු කරන්නේ හම්බන්තොට ප්‍රදේශයෙහිය. එහි ඇත්තේ පසාරු කැටයම්වලින් හදන නිර්මාණය එය නියම පිත්තල වන අතර කල් පැවැත්ම අතින්ද ශක්ති සම්පන්න බවෙන්ද වැඩිය. එදා පිත්තල කර්මාන්තයේදී පිත්තලවලට කිසිදු දෙයක් කලවම් කළේ නැත ඒ නිසා පිත්තල ශක්ති සම්පන්න බවෙන් වැඩිය නමුත් අද පිත්තල කර්මාන්තයේදී අතීතයේ මෙන් හොඳ පිත්තල දැකගත නොහැකිය ඒ පිත්තල වෑල්ඩින් කිරීම නිසාය. අද පිත්තල නියම ගුණාත්මක බවෙන් නොමැති නිසා ඊයම්, තඹ කවලම් කරයි. එහිදී ඇතිවන පලුදු මැකීමට ඊයම් යොදා වෑල්ඩින් කිරීම සිදුවේ පිත්තල වක්කොට හදන විට පලුදු ඇති වීම සාමාන්‍ය දෙයකි නමුත් හොඳ පිත්තලවලදී පලුදු ඇති නොවීමට හදන අය වගබලා ගනී නමුත් පිත්තල වක්කිරීමේදී ඇතිවන පලුදු මැකීමට ස්ප්‍රීතු ලාම්පුවකින් රත්කොට පිත්තල උණුවීමට ඉඩ හැර පලුදු මකන පැරැන්නෝද තවම සිටිති. මේ විධියට පිත්තල උණු කොට පලුදු මකන එක පොඩි මකනවා කියා හඳුන්වයි වැල්ලේ ඉරක් ඇඳ පිත්තල මාත්තුව ඊට දමා මෙය සිදුකරයි.

අඩු උෂ්ණත්වයකදී පිත්තල උණුවීමට පටන් ගනී. මේ නිසා පිත්තලවලට ඇලුමිනියම් සහ ඊයම් කලවම් කොට මාත්තුවක් සාදාගනී. මේ මාත්තුවෙන් පිත්තල බඩු හැදීමට බැරිය කළ හැක්කේ පිත්තල බඩු හැදීමේදී ඇතිවන පලුදු මැකීම සඳහා යොදා ගැනීමය එහිදී පලුදු ඇති තැනට පිත්තල මාත්තුව ගෙන ස්පී්‍රතු ලාම්පුව එක පැත්තකින් අල්ලනු ලැබේ එහිදී උණුවෙන පිත්තල මාත්තුව අදාළ තැනට කටින් පිඹිමින් දමා ගනී එයට පොඩි මකනවා යැයි කියයි නමුත් අද ඒ ක්‍රම සියල්ල පසෙකලා අලුත් ක්‍රම යටතේ පිත්තලවලට රිදී සහ ඊයම් කවලම් කොට බඩු හදයි ඒ නිසා එම පිත්තල ඉක්මනින් අවපැහැයට පත්වෙයි නමුත් පරණ පිත්තල එසේ නැත හොඳින් මැදගත් විට නියම දිස්නයක් ලැබේ අප අද කියන්නට යන්නේ පිත්තල කර්මාන්තය කරන හැටි නොවේ පිත්තල කර්මාන්තය නිසා සිදුවීමට යන මාරක ක්‍රියාදාමයක් ගැනය කාලයක් තිස්සේ එක දිගටම පිත්තල කර්මාන්තයේ යෙදෙන අය දරුණු රෝගවලට ගොදුරුවෙයි ඒ කිසිදු පරිස්සමක් නොමැතිව මෙම කර්මාන්තයේ යෙදෙන හෙයිනි පිත්තලවල මිනිස් සිරුරට අහිතකර රසායනික ද්‍රව්‍ය බොහෝමයකි එහෙත් පිත්තල කර්මාන්තයේ යෙදෙන අය මේ ගැන කිසිදු සැලැකිල්ලක් දක්වන්නේ නැත කර්මාන්තයේ යෙදෙන විට පිත්තල කුඩු නහයටත් යන නිසා රෙදි කෑල්ලකින් මුහුණ ආවරණ කරගනී. ඉන්පසු සුළු විවේකයක් ගන්නා විට එම රෙදි කෑල්ල ගලවා දමයි.

නැවත වැඩ පටන් ගන්නා විට ඒ රෙදි කැබැල්ලෙන්ම මුහුණ ආවරණය කර ගනී. නමුත් එසේ ආවරණය කරගන්නා විට කලින් මුහුණ ආවරණය කරගෙන හිටියේ රෙදි කැබැල්ලේ කුමන පැත්තද කියා ඔහු දන්නේ නැත සමහර විටෙක ඔහු ආවරණය කරගන්නේ පිත්තල කුඩු තිබුණු පැත්තය. එවිට කලින් වැඩ කිරීමේදී තිබූ පිත්තල කුඩු ටික ආශ්වාසයත් සමඟ ශරීර ගතවෙයි මේ හේතුවෙන් පිත්තල කර්මාන්තයේ යෙදෙන බොහෝ දෙනකු හඳුනානොගත් රෝගවලට ගොදුරු වී ඇත මේ හේතුවෙන් හෘද රෝග, පිළිකා, වකුගඩු ආශ්‍රිත රෝග, ආමාශගත රෝග මෙන් හඳුනා නොගත් රෝගවලටද මේ කර්මාන්තයේ යෙදෙන අය ගොදුරු වී හමාරය සමහර අයගේ කොන්ද දෙපස කොළ පැහැයක්ද දක්නට ලැබේ ඒ නිසා මේ කර්මාන්තයේ යෙදෙන අයගේ ආයුෂ කෙටි වෙයි පිත්තල කර්මාන්තය කරන ප්‍රදේශවල ළමයි දරුණු සමේ රෝගවලට ගොදුරු වීමේ අවදානමක තිබෙන බවද වාර්තා වේ එසේම පිත්තලවලින් වැඩ අවසන් වූ පසු ඉතිරිවන දේ කුණු ගොඩවල්වලට දමයි නැත්නම් පුලුස්සා දමයි පිත්තල අඩු උෂ්ණත්වයකදී උණුවෙන නිසා ඉතිරිවෙන අපද්‍රව්‍ය ජලය සමඟ මිශ්‍ර වී තිබේ. මේ ආකාරයට ජලයට මිශ්‍රවෙන පිත්තල කුඹුරුවලට එක්වෙයි අප කියන මේ කාරණාවල ඇත්ත බලා ගැනීමට පිළිමතලාව ප්‍රදේශයේ සංචාරයක නිරත වූ විට සොයාගත හැකිය අද වනවිට මේ ප්‍රදේශයේ ගොවිතැන් කටයුතුවලට මෙය බාධාවක් වී තිබේ කුඹුරකට බැස්සවිට කකුල් කුණුවීම, බිබිළි දැමීම සිදුවෙයි මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සොයා බැලීමක්ද කර තිබිණි එහිදී අනාවරණය කරගෙන තිබුණේ කුඹුරු වැඩ කිරීමට අපහසු බවකි වැඩකළ කුඹුරුවල ගොයම් කරල් කහම කහපාට විය ගොයම් ගස් උස නොයයි මේ ගැන සොයා බැලූ වගකිවයුතු ආයතන පිළිමතලාව ප්‍රදේශයේ පිත්තල රසායනයේ බලපෑම ඇති තැන්වල පස් පරීක්ෂාවක්ද කර තිබිණි

එම පරීක්ෂාවේදී අනාවරණය වී ඇත්තේ මෙම රසායනිකය අඩංගු කුඹුරුවල හැදෙන වී වලද අදාළ රසායනිකය අන්තර්ගත බවය. ඒ සහල් පරිභෝජනයට ගන්නා විටද එහි බලපෑමක් මිනිස් සිරුරට ඇති කරන බවටද පරීක්ෂාවේදී අනාවරණය වී ඇත මේ ආකාරයට පස් පරීක්ෂාවක් කර තිබුණේ පිළිමතලාව, දවුලගල ප්‍රදේශයේය එම පස් පරීක්ෂාව කර තිබුණේ ඉන්දියාවේ පරීක්ෂණාගාරයකය මේ පස් පරීක්ෂාව කළේ ප්‍රදේශයේම කෘෂිකර්මාන්තයට අදාළ රජයේ ආයතනයක් විසිනි දැනට වසර දෙකකට පෙර මෙම පස් පරීක්ෂාව සිදුකර ඇති අතර එහි වාර්තාවට අනුව ජනතාව දැනුවත් නොකර වාර්තා සඟවා ඇතැයිද වාර්තා වේ ඊට හේතුව වී ඇත්තේ අදාළ වාර්තාවේ තොරතුරු එළියට ගියොත් ප්‍රදේශයේ ජනතාව කුඹුරු වැඩවලින් ඉවත් වී යන හෙයින් බවටද තොරතුරු වාර්තා වේ එසේම තවත් අය කියන්නේ පිත්තල කර්මාන්තයේ යෙදෙන අය මේ වාර්තාව එළියට ඒම වැළැක්වීමට පියවර ගත් බවටද චෝදනා එල්ල වෙයි වාර්තාවේ අඩංගු කරුණු එළියට ගියේ නම් ඉන් නිසි ප්‍රතිඵල පිත්තල කර්මාන්තයට එල්ල වේවි යන බිය මත වාර්තාවේ තොරතුරු සඟවා ඇතැයිද චෝදනා එල්ල වෙයි.

අද වන විට පිළිමතලාව, දවුලගල ප්‍රදේශයේ කුඹුරු වැඩ කිරීමෙන් සමහර ජනතාව අෑත් වෙමින් පවතියි. ඊට හේතුව වී තිබෙන්නේ කුඹුරු වැඩවලට කියා කුඹුරුවලට බැස්සවිට කකුල්වල බිබිළි මතු වී තුවාල ඇති වීම, හේතුවක් නැතිව අසනීප වීම වැනි කාරණා නිසා බවද වාර්තා වේ මේ ආකාරයට පිත්තලවලින් පසට එක්වන රසායනික ප්‍රදේශයේ ජලයට මිශ්‍ර වී ඇත්දැයි ජනතාව බිය පළ කරති මන්දයත් ප්‍රදේශයේ වකුගඩු රෝගීන්ද වැඩි බව ජනතාව චෝදනා කරති රජරට ප්‍රදේශයේ පැතිරී යන හඳුනානොගත් වකුගඩු රෝගය මෙන් පිළිමතලාව, දවුලගල ප්‍රදේශයේද ජනයා පීඩා විඳිනවා යැයි ජනතාව චෝදනා කරති මේ ප්‍රදේශයේ පිළිකා රෝගය පැතිරීම සිදු වන්නේ මේ රසායනිකයේ බලපෑමක් නිසාදැයි තමන් නොදන්නා බව ජනතාව කියති පිළිමතලාව ප්‍රදේශයේ ඇත්තේ ලංකාවට අවේණික පිත්තල කර්මාන්තය නොවේ ලංකාවට ආවේණික පිත්තල කර්මාන්තය ඇත්තේ මාතර ප්‍රදේශයේය. පිළිමතලාවේ ඇත්තේ ඉන්දියාවෙන් ආ පිත්තල කර්මාන්තයයි මේ පිත්තල කර්මාන්තයේදී සිදු කරන්නේ කැටයම් කොටන එකය. ලංකාවට ආවේණික පිත්තල කර්මාන්තයේ කැටයම් කිරීමක් සිදු වන්නේ නැත එහි ඇත්තේ පසාරු කැටයම්ය නමුත් ඉන්දියන් කැටයම් කලාවේ ඇත්තේ කැටයම් කෙටීමය ඒ සඳහා ඊයම්, තඹ මෙන්ම වෙනත් රසායනික ද්‍රව්‍ය භාවිත කිරීමක් සිදුවෙයි. මේවා අවසානයේ සේදී යන්නේ ඇළ ‍ෙදාළ, ගංගාවලටය ඒවා කුඹුරුවලට එක්වීම මත පස සමඟ මිශ්‍ර වෙයි වී වගාවේදී යොදන රසායනිකද පිත්තල සමඟ එක්වෙන රසායනිකය සමඟ ක්‍රියාත්මකවන විදිය ප්‍රදේශයේ ජනතාව දන්නේ නැත. ඔවුහු කුඹුරු වගාවේ නිරත වෙති මේ රසායනිකය මඟින් ගොයම් ගසේ වැඩීම බාල කරමින් තද කහ පැහැයක් ගන්නේ නම් එහි බලපෑමක් තිබේ. එම කුඹුරුවලින් නිප දෙවෙන හාල්වලද මේ රසායනිකය ඇත්නම් තවත් බලාසිටිය යුතු දැයි බලධාරීන්ගෙන් දැනගත යුතුය

වී ගොවිතැනින් ජනතාව ඉවත් වේ යැයි යන බිය මත අදාළ වාර්තාවේ තොරතුරු සැඟවීම මත මේ බය අහිංසක ජන ජීවිතය සමඟ සෙල්ලම් කිරීමට සැරසෙන බවක් පෙනේ යහපාලනයේ හිටපු පාලකයන්ට මෙන්ම නිලධාරීන්ටද ජනතාව ගැන කැක්කුමක් තිබුණේ නම් මෙවැනි දෙයක් වෙන්නේ නැත හඳුනානොගත් වකුගඩු රෝගය නිසා රජරට ප්‍රදේශයේ ජනතාව විඳින දුක්ගැහැට එමටය ඔවුන් වෙනුවෙන් විශාල මුදලක් රජය වියදම් කරයි. වකුගඩු රෝගය නිසා පවුල් පිටින් අසරණ වී සිටිති. වකුගඩු රෝගයෙන් මිය ගිය දරුවන්ට කාගෙන්වත් පිහිටක් නැත. මේ සා දුක් විඳින ජනතාව ගැනවත් බලා පිළිමතලාව සහ දවුලගල ප්‍රදේශයේ ඇතිවී තිබෙන මේ ප්‍රශ්නයට බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය එසේ නොවන්නට තවත් ව්‍යසනයකට අපි නොදැනුවත්වම ගොදුරු ඇත මේ ලිපිය පළ වීමෙන් පසු ප්‍රදේශයේ බලධාරීන් මේ කතා බොරු, එසේ නැතැයි කියා අපට දෝෂාරෝපණය කිරීමට පෙළගැසෙනු ඇත. අප ඒ නිලධාරීන්ට කියන්නේ අපට දෝෂාරෝපණය කරන කාලයද වෙන් කොට මේ ගැටලුව ගැන අවධානය යොමුකරන ලෙසයි. මීට වසර දෙකකට පෙර ඉන්දියාවේ දී දවුලගල ප්‍රදේශයේ කළ පස් පරීක්ෂාවේ සැඟවුණු වාර්තාද සැලකිල්ලට ගෙන ප්‍රශ්නය විසඳීමට කටයුතු කරන ලෙසය ප්‍රගීත් සම්පත් කරුණාතිලක