වර්තමාන ශ්‍රී ලංකාවේ සෑම ගෙදරක ම පාහේ විවිධ රෝගාබාධවලින් දුක් විඳීන්නන් අධිකව වෙසෙන බව අපි දනිමු. ඇතැම්හු දියවැඩියාව, පිළිකා, හෘදයාබාධ, අධික රුධිර පීඩනය වැනි කිසියම් බෝ නොවන රෝගයකින් පෙළේ. ඇතැම්හු ඌණ පෝෂණය නිසා රෝගී වෙති.ඇතැම්හු මානසික රෝගවලින් පෙළෙති. මෙබඳු තත්වයකින් අධික ජන කොටසක් සිටීම සැබැවින් වර්තමාන සමාජය අත්විඳීන ඛේදවාචකයකි. බුදුදහම අනුව සලකා බලන විට රෝගීවීම යනු දුකකි. එයින් තහවුරු වන්නේ මුළු ජනගහණයෙන් අධික සංඛ්‍යාවක් ව්‍යාධි දුක්ඛයෙන් පෙළෙන බවයි. එබැවින් මෙම රෝගාබාධ, ඌණපෝෂණය හා මානසික ව්‍යාධීන්ට හේතු හා විසඳුම් සෙවීම සමාජයේ විවිධ පාර්ශ්වයන් සතු වගකීමකි. ආගම ධර්මයෙන් ද මේවාට හේතු හා විසඳුම් සෙවීමේ හැකියාවක් පවතී.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් පරිදි යහපත් මනුෂ්‍ය ජීවිතයක් සඳහා සෑම සත්වයෙකුටම යහපත් ආහාරයක් ලැබිය යුතු ය. ඉතා කෙටියෙන් කිවහොත් සියලු සත්ව වර්ගයාගේ පැවැත්මට ඉවහල් වන මූලික කාරණය ආහාරය වේ. වර්තමානය වන විට මිනිස් සමාජය සිය පැවැත්ම සඳහා විවිධ ආකාරයේ ආහාර අනුභව කළ ද එය දැනුවත්ව හා සන්තෘප්තව සිදු කෙරෙන ක්‍රියාවලියක් නොවේ. වර්තමාන ජීවන රටාව යනු හුදු ක්‍රියාවලියක් පමණකි. ගැඹුරින් සලකා බැලූ විට මෙම ආහාර බුදින මිනිසුන් ආහාර යනු කුමක් දැයි කියාවත් නො දන්නා තරමට විසංඥ වී ඇත. මෙය මෙරට කුඩා දරුවන්ගේ මෙන්ම තරුණ තරුණියන්ගේ ද වැඩිහිටියන්ගේ ද පෝෂණය සම්බන්ධ ගැටලු රාශියක් උද්ගත කොට ඇත. පහත දැක්වෙනුයේ ආහාර හා පෝෂණය සම්බන්ධයෙන් බුදුදහමේ දැක්වෙන කරුණු කිහිපයක් පැහැදිලි කිරීමකි.

බුදු දහම අනුව ආහාර වර්ග හතරකි. එකී ආහාර පිළිබඳ ධර්මානුකූල අරුතේ ගැඹුර නොවිමසා, මතුපිට අරුත සැලකූ කල්හි පළමුවැනි කබලිංකාරාහාරය යන්නෙන් අදහස් වන්නේ අප කැබලිවලට කඩා මුඛයෙන් ගනු ලබන බත්, පාන් වැනි ආහාර වර්ගයි. මෙම ආහාර පෝෂණීය ගුණයෙන් උසස් වූ තරමට කායික හා මානසික සෞඛ්‍යය යහපත් ලෙස පවත්වාගෙන යාමේ හැකියාවක් පවතී. ආහාරවල ගුණාගුණ, අනුභව කළයුතු වේලාවන් හා ක්‍රම හා පිළිවෙත් යනාදිය පිළිබඳව වෛද්‍ය ශාස්ත්‍රයේ මෙන් ම බුදු දහමේ ද විශේෂ විස්තර දක්නට ලැබේ. වෛද්‍ය ශාස්ත්‍රයේ ආහාර යන්න හඳුනාගෙන ඇති ආකාරයට වඩා බුදු දහම ආහාර යන්න පහදා දෙන ආකාරය තරමක් වෙනස් ය. බුදු දහම අනුව කබලිංකාරාහාරය පමණක් මිනිසෙකුට ප්‍රමාණවත් නොවේ.

එබැවින් දෙවන ආහාරයක් නිර්දේශ කොට ඇත. එය නම් ස්පර්ශාහාරය යි. දළ අරුත අනුව එයින් අදහස් වන්නේ ශරීරයට මනා ස්පර්ශය මගින් ගෙන දෙනු ලබන පෝෂණය යි. ඒ අනුව මනා සීත, උෂ්ණ ආදී දේශගුණික තත්වයන් මෙන් ම සුවපහසු ගේ දොර, ඇඳ පුටු මේස ආදිය මගින් ශරීරය ඔස්සේ මනසට ආහාර සම්ප්‍රේෂණය කළයුතු වේ. එසේ නොවුණහොත් කෙනෙකු කායික වශයෙන් පෘෂ්ටිමත් වුවත්, මානසික වශයෙන් රෝගියකු වේ. මේ නිසා දරුවන් පෝෂණය කරනු ලබන මව්පියවරුන්ගේ කාර්යභාරය දරුවාට කිසිවක් කෑමට දීමෙන් පමණක් සම්පූර්ණ නොවේ. එසේම සෑම පුරවැසියෙක්ම කෑම්බීම්වලට අමතරව තම සුවපහසුව පිළිබඳව ද දැනුවත් ව ක්‍රියා කළ යුතු ය.

තවද කෙනෙකුගේ කායික, මානසික ස්වස්ථතාව එම ආහාර වර්ග දෙකෙනුදු සුරක්ෂිත නොවේ. ඔහුට මනෝසංචේතනාහාරයක් ද තිබිය යුතු ය. එනම් මනස පෝෂණය කරන, එය සතුටින් පවත්වාගෙන යාමට අවශ්‍ය සිතිවිලි ය. උසස් සාහිත්‍ය සංගීත කලාවන්ගෙන්, කාව්‍ය නාට්‍යාදිය මගින්, ස්වභාව සෞන්දර්යය මගින් ලබන වින්දනය මගින් මනසට එකී ආහාරය ලබාදිය හැකි ය. මෙය ද මිනිසෙකුට අවශ්‍ය ය. බුදු දහමින් කියාදෙන සිවුවන ආහාරය විඤ්ඤාණාහාරය යි. මනසේ ගැඹුරු තැන් ස්පර්ශ කරන, ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයන් අවබෝධ කරවන, දැනුම, විඤ්ඤාණාහාර යන්නෙන් අරුත් ගැන්විය හැකි ය. අධ්‍යාපනය, ආගමික ඉගැන්වීම් ආදිය මගින් මෙකී විඤ්ඤාණාහාරය කෙනෙකුට ලැබෙනු ඇත.

ඉහත කී පරිදි බුදු දහමේ ඉගැන්වෙන ආහාර පිළිබඳ කරුණු පරීක්ෂා කිරීමෙන් එකී ආහාර හතරෙන් පළමුවැන්න පෝෂණය කරන්නේ අපගේ රූපකාය හෙවත් මාංශ ශරීරය යි. අනෙක් තුනම නාම කය හෙවත් මනස සම්බන්ධ වේ. එහෙයින් අප අංග සම්පූර්ණ ආහාරයක් ලබා ගන්නා අය නම් ඒවා අපගේ කයට මෙන් ම, මනසට ද පෝෂණයක් ගෙනදිය යුතු ය. මෙම කාරණය ගැන ගැඹුරින් සිතීමට අපොහොසත් යමෙක් වේ නම්, අවම වශයෙන් මුඛයෙන් ගනු ලබන ආහාර පිළිබඳවවත් මනා ලෙස සිතා බැලිය යුතු ය. විශේෂයෙන් මස් මාංශ අනුභවය පිළිබඳව සැබෑ තත්වය තේරුම් ගත යුතු ය. අප ජීවත්වන බෞද්ධ සමාජය තුළ පවා මස් මාංශ අනුභවය පිළිබඳ මතවාද දෙකක් පවතී.

මස් මාංශ අනුභවය රුචි කරන සමහරු බුදුන් වහන්සේ පවා මස් අනුභව කළ බව තහවුරු කිරීමට විවිධ කරුණු ගෙනහැර පාති. එක් අතකින් බුදුරජාණන් වහන්සේ වූ කලී මහාකාරුණික වන සේක. අනෙක් අතින් උන්වහන්සේ අප සිතන ආකාරයට වඩා ඉතා නිවැරැදි ලෙස හා වඩාත් ඵලදායක ලෙස කරුණු කාරණා විනිවිද දැකීමට සමත් වූ උතුමන් වහන්සේ නමකි.මිනිසා නිර්මාංශ නොවීම ලෝකයේ ලෙඩ රෝග බහුලවීමට ප්‍රධාන හේතුවක් බව ඇමෙරිකානු වෛද්‍යවරුන් විසින් සොයාගෙන ඇත. ඔවුනට අනුව මිනිසාට මරණය උරුම කොට දෙන ප්‍රධාන රෝග පහළොවෙන් දාහතරක්ම නිර්මාංශ නොවීම හේතුවෙන් ඇතිවන හා උග්‍රවන ලෙඩ රෝගයන් ය. මෙය ශ්‍රී ලංකාවට ද පොදු යථාර්ථයකි. ආගමික මතවාද පසෙකලා මත්ස්‍ය මාංශ අනුභවය පිළිබඳව සමස්තයටම පොදු කරුණු සලකා බැලීමෙන් වුව ද මෙහි අයෝග්‍යතාව තේරුම් ගත හැකි ය.

මාංශ අනුභවය පමණක් නොව අප රටෙහි බහුලව පානය කරනු ලබන කිරි පානය ගැන සිතන්න. සාමාන්‍යයෙන් ක්ෂීරපායී සතුන් පවා කිරි පානය කරනුයේ ළදරු කාලයේ දී පමණකි. ලෝකයේ මහලුවියේදීත් කිරි පානය කරනු ලබන යම් සත්ව වර්ගයක් වේ නම්, ඒ මනුෂ්‍යයා පමණකි. අනෙක් අතින් එක් සත්ව වර්ගයක පැවැත්මට වෙනත් සත්ව වර්ගයක කිරි අවශ්‍ය වන බව කීම ස්වභාව ධර්මයේ යුක්තියට ගැළපෙන්නක් නොවේ. කිරි සම්බන්ධයෙන් එබඳු යථාර්ථයක් වේ නම්, මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට වෙනත් සත්වයන්ගේ මස් අවශ්‍ය යැයි කීමේ අයුක්තිය ඔබට සිතාගත හැකි ය. එබැවින්ම අපගේ ආහාරය සඳහා සත්ත්ව කිරි පානයත්, ඔවුන් මරා මස් කෑ යුතු යැයි කීමත් මිථ්‍යාවකි. එබඳු මිථ්‍යාවක් සාධාරණීකරණය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ නමැති උතුමන් වහන්සේ පෙනී සිට බව කීම වැරැදි සහගත ය.

මිනිසුන් රෝගීවීමට බලපාන අනෙක් කරුණ වන්නේ ස්වභාව ධර්මයේ දූෂිත බවයි. යාන වාහන, නැව්, ගුවන්යානා ආදියෙන් පිට කෙරෙන දූෂිත වායුවට අමතරව ලෝකයේ සත්ත්ව නිෂ්පාදන ආයතන මගින් කෙරෙන පරිසර දූෂණය ද සුළුපටු නොවේ. නිදසුනක් ලෙස බිලියන හතක් වන ලෝක ජනගහණයේ පරිභෝජනය සඳහා වසරකට අප විසින් ඇති දැඩි කොට ඝාතනය කරනු ලබන ගොඩබිම සතුන් සංඛ්‍යාව පමණක් බිලියන හැත්තෑවක් වන බව හඳුනාගෙන ඇත. මෙපමණ සත්ත්ව සංඛ්‍යාවක් පෝෂණය කිරීම සඳහා අවශ්‍ය වන ආහාර පාන කෙතරම් දැයි ඔබට සිතාගත හැක. එනිසාම මිනිස් සමාජයේ පරිභෝජනයට ආහාර අඩුවීමත්, සත්වයන් පෝෂණය කිරීම සඳහා අධික ප්‍රමාණයක් ආහාර අවශ්‍යවීමත් හේතුවෙන් මන්ද පෝෂණය ද පැතිර පවතී. එසේම එකී සතුන්ගේ මළ මූත්‍රාදිය සහ ඔවුන් ඝාතනය කිරීමෙන් පරිසරයට එකතු වන අපද්‍රව්‍ය මෙන්ම, මරණ වේදනාවෙන් ලතෝනි දෙන සතුන්ගේ චිත්තාවේග මගින් සිදුවන පරිසර දූෂණයත් මිනිස් සමාජයේ හඳුනාගත නොහැකි තත්වයේ රෝගාබාධ බහුල වීමට තවත් හේතුවක් වේ.

අනෙක් අතින් මාංශ අනුභවය පෝෂණයට අවශ්‍යම යැයි පැවසීම මිථ්‍යාවකි. ලෝකයේ ලොකුම සත්වයන් වන අලි ඇතුන්, ගවයන්, අශ්වයන් වැනි සතුන් පවා ජීවත් වන්නේ ශාඛ අනුභවයෙනි. මාංශ අනුභවයක් නොමැති හෙයින් ඔවුන්ගේ පෝෂණය අඩු යැයි කිසිවෙකුට කිව නොහැක. එසේ නම් මිනිසාගේ පෝෂණයට මාංශ පරිභෝජනය අවශ්‍යම යැයි කිසිවෙකුට කිව නොහැකි ය. චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය අනුව මිනිසා පැවත එන්නේ වානරයෙකුගෙනි. එය එසේ වුවහොත් වානරයා ද මාංශ භක්ෂිකයෙකු නොවේ. රොබට් නොක්ස්ගේ එදා හෙළදිව නම් ග්‍රන්ථයේ අතීත සිංහලයන් මස් කෑම ඉතා අප්‍රිය කළ බව සඳහන් වේ. මෙකී හේතු සහ වර්තමානයේ ඇමරිකාව වැනි රටවල පර්යේෂකයන් සොයා ගෙන ඇති කරුණු ද, බුදු දහමේ ඉගැන්වීම් ද සමාලෝචනය කොට බලන කල්හි වර්තමාන ශ්‍රී ලාංකික සමාජය ලෙඩ රෝගවලින් බේරා ගැනීමටත්, ඔවුන්ගේ ආයුෂ වැඩි කිරීමටත් නිර්මාංශ ආහාර වේලක් සඳහා ඔවුන් පෙළඹවීම වහා කළයුත්තක් වේ. කිසිදු අයුරකින් බුදු දහමේ ඉගැන්වීම් ගෙනහැර දක්වමින් මාංශ අනුභවය සඳහා ජනතාව පෙළඹවීම නොකළ යුත්තකි. යමෙක් එසේ කරන්නේ නම්, ඔහු විසින් ආගමික හා සමාජ අපරාධයක් කරනු ලබන බව කිව යුතු ය.

බුදුරජාණන් වහන්සේ විසින් රසගෙධවිවජ්ජිතො යනුවෙන් දේශිත ප්‍රකට දේශනා පාඨයක් ත්‍රිපිටකයෙහි ඇත. මෙහි තේරුම වන්නේ රස තෘෂ්ණාව අත්හරින ලද්දේ යන්නයි. රස තෘෂ්ණාව යනු ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රිය පහ පිනවීමට ඇති ආශාව යි. අප අනුභව කරන ආහාරවල රස දැනෙනුයේ දිව සිට උගුර දක්වා වන සුළු දුර ප්‍රමාණයකට පමණකි. එතැනින් එහාට රස සංජානනයක් සිදු නොවේ. ඇසට වර්ණවත් ආහාරයක් හමු වූ විට අපි ඒවා මුඛයට දමාගෙන රස විඳීමට හුරු වී සිටිමු. එසේම සුවඳ දැනුණු විට කෑමේ රුචිකත්වයෙන් අප අනුභව කරන ආහාර ද බොහෝ ය. දිව පිනවනු වස් විවිධ රසයෙන් යුතු ආහාර ද මුඛයට ඇතුළු කරයි. තවත් ආහාර රසයක් ඇතත්, නැතත් ස්පර්ශමය රසය නිසා අනුභව කෙරේ.

ආපනශාලා විවිධ වර්ණයෙන්, හැඩතලවලින්, රසයෙන් හා සුවඳීන් යුතු ආහාර වර්ග ප්‍රදර්ශනය කරමින් තබනුයේ මිනිසුන්ගේ මෙම ඉන්ද්‍රියයන් ඇද බැඳ ගනිමින් පෙළඹවීම සඳහා ය. අප විසින් පරිභෝජනය කරනු ලබන ආහාර පාන සම්බන්ධ සත්‍යය මෙයයි. විෂ රසායනික ද්‍රව්‍ය හා රසකාරක යොදමින් කරනු ලබන මෙම ආහාරපානවල අවසාන ප්‍රතිඵලය ලෙස දියවැඩියාව, හෘදරෝග, පිළිකා වැනි මාරාන්තික රෝගවලට අප භාජනය වන බව ප්‍රත්‍යක්ෂ ඇත්තකි. මරණය දකිමින් ජීවත්වීමට සිදු වූ කල්හි අපගේ ආහාර රටාවේ වරද ගැන සිතමින් ශෝක වන තත්වයට අද වන විට අපි පත්වී සිටිමු. බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි ආහාර සම්බන්ධයෙන් අපගේ ඉන්ද්‍රිය දමනයක් තිබුණි නම්, මෙබඳු ව්‍යසනයක් ලෝකයේ කිසිදු සත්ත්වයෙකුට උරුම වන්නේ නැත. එබැවින් බුදු දහමේ දැක්වෙන ආහාර පිළිබඳ ඉන්ද්‍රිය පාලනය මෙකල අවබෝධ කොට ගතයුතු විශේෂ පාඩමක් වේ.