නාග ගෝත‍්‍රිකයන් සිංහල ඉතිහාසයේ ද සඳහන් වන ප‍්‍රබල ජන වර්ගයකි. එමෙන්ම සිංහල සහ දෙමළ ජාතිකවාදය මැද ස්ථානගත වූ ජන වර්ගයකි. යකුන් ගෞතම බුදුන් වහන්සේට මහියංගනයේ දී එරෙහි වන විට නාගයන් උන්වහන්සේ පිළිගත්තෝය. එමෙන්ම නාගයන්ටaඑරෙහිව යකුන් කෙරෙහි දිගු කාලීනව පැවති බල අරගලවලින් මෙරට ඉතිහාසය පිරී පවතී. යකුන් ස්වදේශික ජන ගෝත‍්‍රයක් ලෙස ද නාගයන් ආගන්තුක ජන ගෝත‍්‍රයක් ලෙස ද අදහස් දැක්වීමක් විද්වත් ලෝකයාට වේ. මේ සියල්ල මැද නාගයන්ගේ දැඩි විරෝධයට බඳුන් වූ සිංහල රජතුමා වන්නේ දුටුගැමුණුය. එම කරුණ සැලකිල්ලට ගනිමින් නාගයන් ද්‍රවිඩ ජාතියේ මූල ජන ගෝත‍්‍රය බවට මුදලි රාසනායගම් ස්වකීය කෘති කීපයකින්ම ඓතිහාසික තර්කයක් ඉදිරිපත් කරයි. ඔහුගේ මතය එක් අතකින් ප‍්‍රබල වන්නේ ලක්දිව සිංහල, දෙමළ ජාතිකවාදයේ උණුසුම්ම දේශපාලන සමය වූ එළාර හා දුටුගැමුණු යුගය සසඳා බලන විටය.

දුටුගැමුණු මාගම දිනා ගැනීමෙන් පසු මායා රට දිනා ගන්නට දැරූ තැත වළක්වන්නේ එහි විසූ නාගයන්ය. ඉන් ඉක්බිතිව දුටුගැමුණු කුමරුට තම මව වූ විහාර මහා දේවිය යුද පෙරමුණේ ඉදිරියෙන්ම තබාගන්නට සිදුවූයේ මේ නිසාය. දුටුගැමුණුට විරුද්ධ වූ මායා රට නාග ප‍්‍රභූහු විහාර මහා දේවියට අවනත වූහ. ඉන් මාගම ද මායා රට ද එක්සත් කොටගෙන රජරට දිනා ගන්නට ගැමුණු කුමරුට පදනම සකස් කර ගත හැකි විය.දුටුගැමුණු කුමරුට එරෙහිව නාග විරෝධය යළිත් ඉස්මත්තට එන්නේ සේරු නුවරදී සහ සෝම නුවරදීය. ඒ දීඝාභය කුමරු හරහාය. සේරු නුවරත් සෝම නුවරත් මාගම රාජධානියෙන් ද රජරට රාජධානියෙන් ද වියුක්ත වූ ජනපද විය. මෙම ජනපද දෙකම නාග ගෝත‍්‍රිකයන්ගේ සුපිරි වෙළෙඳ නගර වූ අතර, දීඝාභය කුමරු හරහා පාලනය වූ බෞද්ධ පුරවරයන් ද විය. දුටුගැමුණු කුමරුට මායා රට දිනා දුන් තම මව්තුමිය සේරු නුවර හා සෝම නුවර නාග විරෝධය ද සමනය කර දුන්නේය. මේ සියල්ල වෙතින් පෙනෙන කරුණක් නම් දුටුගැමුණුගේ සිංහල රණවාදයේ මුහුණත යක් ගෝත‍්‍රිකයන් වූ බැවින් එය නාග ගෝත‍්‍රිකයන් පිළිකෙව් කළ බවකි. නොවේ නම් මුදලි රාසනායගම් පඬිවරයා ක‍්‍රි.ව. 1906 රචිත තම ”පුරාතන යාපනය” කෘතියෙන් තර්ක කරන ලෙස නාගයන් නූතන දෙමළ ජාතියේ අතීත පාදම වන නිසාය. මේ පිළිබඳ සිංහල ඉතිහාසඥයෝත් දෙමළ ඉතිහාසඥයෝත් නිමක් නැති විවාදයක තවමත් ගිලී සිටිති.

දුටුගැමුණු කුමරු එළාර රජු ද ඔහුගේ දෙමළ සේනාව ද නසා දිග්විජය කළේය. ඉන්පසු රජ දුටුගැමුණුගේ යෝධ පියවර වූයේ මහා සෑය රුවන්වැලිසෑය නැංවීමය. ඒ සඳහා ඔහුට මහමෙව්නා උයනේ පිහිටි පෞරාණික රන් තෙළඹු වෘක්ෂය කපා හෙළන්නට සිදුවිය. එම සිදුවීම දුටුගැමුණුට එරෙහිව මාරක විරෝධාකල්පයක් පැන නැගීමට හේතුවූ අතර එකී විරෝධයට මුල්වූ ගාඩි වංශය දේශපාලනිකව සංවිධානය කළේ නාග ගෝත‍්‍ර බළමුලූව විසින්ය. එය පාගා දමා මහා සෑය නැංවීම සඳහා දුටුගැමුණු රජු එඩිතර විය.එහෙත් මහා සෑයේ තැන්පත් කිරීම සඳහා සර්වඥ ධාතුන් වහන්සේලා රැුගෙන මහ රහතුන් වහන්සේලා පෝක් සමුද්‍ර සන්ධිය හරහා වැඩමවීමේ දී උන්වහන්සේලාට මහා විරෝධතාවකට මුහුණ දීමට සිදුවූ බව මහාවංශය සඳහන් කරයි. එම විරෝධතාවේ පෙරමුණ ගත්තේ ද නාගයන්ය. එය දිය ගොඩ දෙකින්ම සිදුවූ යුද්ධයක් බඳු වූයේය. භක්තිමත් බෞද්ධයන් ලෙස ඉතිහාසය පුරා හමුවන නාග ගෝත‍්‍රික මූල නාගයන් මෙලෙස මහා සෑයට විරෝධය පළ කළේ මන්ද? විටෙක නාගයන්ගේ දේශපාලනික උභතෝකෝටිකය වන්නේ ද එයමය. දුටුගැමුණු රජුට බෞද්ධත්වය වඩාත් හොඳින් ආරෝපණය කර ගැනීමට මෙම විරෝධතා හේතු වූයේය. අන් අතකින් මහා සෑයේ තැන්පත් කරන්නට ලබාගත් සර්වඥ ධාතූන් වහන්සේලා එතුවක් කල් දිවිහිමියෙන් රැුකගෙන සිටියේ ද නාගයන්ය.

නාගයන් සතුව තිබූ සර්වඥ ධාතුන් වහන්සේලා දුටුගැමුණු රජතුමා අත්පත් කරගත් ශූර මෙහෙයුම වෙනම කතිකා කළ යුත්තකි. නාගයන් සතුවූ ප‍්‍රබලතම ඓතිහාසික සම්පත වූයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලාය. නාග-යක් දිගු කාලීන වෛරය දුටුගැමුණු සමයේ කූටප‍්‍රාප්තියට පැමිණ කෙළවර වූයේ නාගයන්ගේ ඓතිහාසික සම්පත දුටුගැමුණු අතට පත්වීමෙනි.ගැටුම නොනැවතුණි. නාගයෝ කෙටි කලක් දුර්මුඛව සිටියෝය. දුටුගැමුණු රජු මහා සෑය නංවන කාර්යයේය. සිවුසතළිස් වසරක (44) එළාර පාලනය නිමා කොට ලක් පොළෝ තලය මත නංවන අසහාය නිර්මාණය ඉදිකිරීම ඇරඹුණේය. ජන හද තුළ වූයේ දුටුගැමුණු ඉර, හඳ පවතිනතාක් රට කරවන පාලකයා විය යුතුය යන්නය. එය කෙතරම් ගැඹුරු ලෙස කාවැද තිබුණේ ද යත් විජය රජු සිංහලයන්ට දායාද කළ සිංහල ජාතික ධජය ද දුටුගැමුණු සමයේ වෙනස් වූයේය. තනි සිංහ රුවින් යුත් සිංහල ජාතික ධජය සිංහයා දෙපසින් ඉර සඳ ලකුණු ඇතුළත්ව තව මුහුණුවරක් ගත්තේය. ඒ ගැමුණු සමය සදාතනික වන බවට තවත් අරුතක් විය. ඉදිවන මහා සෑය ඒ විස්මයට තවත් බලාපොරොත්තුවක් එක් කළේය. සසුන් භාරධාරී තෙරුන් වහන්සේලා රාජ දේශපාලනික භාරධාරින් වහන්සේලා වන තරමට සසුන රාජ්‍ය පාලනය සමග සහවාස ගත කෙරිණි. මේ සියල්ල වඩාත් කේන්ද්‍රගත වූයේ මහා සෑයට සර්වඥ ධාතුන් වහන්සේලා ලද උදම් සහගත ජයෙන් අනතුරුවය.

මහා සෑ ගර්භයේ ධාතු නිදන් කළ මංගල්‍යයට පසුව දුටුගැමුණු මහ රජ දුටු රුදුරු සිහිනය ඔහුගේ ආත්මය සසල කළේය. එතැන් පටන් මහා සෑය නංවා එහි රන්කොත බඳින තුරු ඔහුට ඉවසීමක් නොවිණි. මහා සෑ මළුවට විත් එහි කටයුතු කඩිනම් කරවීම හැර ඔහු අතින් එකල වෙනත් රාජ්‍ය පාලන කටයුත්තක් ඉටු නොවිණි. එය කෙතරම් බරපතළ වූයේ ද යත් රජ දුටුගැමුණු රාජ සභාව පැවැත්වූයේ මහා සෑ මළුවේදීය. හිමිදිරියේ මහා සෑ මළුවට පැමිණි මහ රජු රාත‍්‍රිය ළඟා වනතුරු එහි සිටිමින් වැඩ මුර ඉක්මන් කළේය.එක් සැඳෑවක මහ රජතුමාගේ හිස මැදට පැන ගත් නාගයෙක් ඔහුගේ හිස හරි මැද පාදා පෙනය පුම්බා විෂ දළින් ඇන සත් වරක් හිස මුදුනට ගසා නික්මුණේය. පුරුෂ වීර්යයෙන් පිරිපුන් රජ මරණයට මුහුණ දෙන්නට විය. මේ අතර නාගයා රජුගේ රාජකීය වෙදැදුරාට ද පහර දී මරා දැමුවේය. නාග ප‍්‍රහාරයෙන් ඔත්පල මහ රජු සත් දිනක් මරණය සමග සටන් කොට මරණයට පත්වූයේය.

දුටුගැමුණු මහ රජ ඝාතනය කළ මෙම අභිරහස වසර දෙදහසක් මුළුල්ලේ සිංහල අපි ද ඉතිහාස කතාකරුවන් ද සඟවා ගෙන පැමිණ ඇත්තෙමු. ඒ මන්ද යැයි නොදනිමි. ඒත් සිංහල ජන කතාකරු අපූරු ජන කථාවක් ජනප‍්‍රවාද ගත කර ඇත. ඒ අනුව දුටුගැමුණු මහ රජු යුද්ධය දිනූ විගස යාපනයේ නාගදීපයට ගොස් උයනක් ඉදිකළේය. විවේකය, සැහැල්ලූව ඇවැසි විට ඒ නාග උයනට සපැමිණ තනිකඩ වීම රජුගේ සිරිතය. දිනක් උයන්පල්ලා වූ ”ජයසේන” නාග පොකුණට බැස සුහුඹුල් නාග කෙළිත්තියක් හා රාග හුරතලයක වෙළී සිටිනු දුටු රජුට කාම උද්දීපනය වී ජයසේනගෙන් නාග කෙළිත්තිය උදුරා ගෙන ඇය හා රමණය කළේය. ඉන් කෝපයට පත්වූ ජයසේනව ගෙල පාගා මහ රජ මරා දමන්නට උත්සාහ කළ බවත්, රජු අතින් එහිදී ජයසේන මිය ගිය බවත් සඳහන් වේ. ඒ මොහොතේ ”තෝ නාගයෙක් වෙලා ඇවිත් මරමි” යැයි පවසා ජයසේන අවසන් සුසුම හෙළා ඇති බව ජනප‍්‍රවාද කතාව වැඩිදුරටත් කියයි.

එසේ නම් දුටුගැමුණු මහ රජු රුවන්වැලි සෑ මළුවේ දී විෂ විද මරා දැමුවේ ඔහුමද? නොවේ නම් කවුරුද? නාගයන් විසින් දුටුගැමුණුට එරෙහිව කාලයක් පුරා ගෙන ගිය වෛරයේ අවසානය මෙයද? මෙහි පවසන නාගයා නාගයකු ද නොවේ නම් නාග ගෝත‍්‍රිකයකු ද? මේ කිසිවක් නිශ්චිත කරගැනීමට ඉතිහාසය අපට ඉඩදී නැත. සරලව පවසතොත් දුටුගැමුණු මහ රජතුමාගේ මරණ පරීක්ෂණ වාර්තාව ජනගත නොවුණේය. එය ඉතිහාසවේදීන් ඉතිහාසගත කිරීමක් ද නොකළෝය. ගැමුණු රජු සිරිතේ සියල්ල ලියා ඇත. ඔහුගේ බිසව ද ඔහුගේ මරණය ද ඉතිහාසයෙන් සඟවා තබා ඇත. ඒ මන්ද? දුටුගැමුණු හිස මස්තකයට විද එතුමා මරා දැමූ නාගයා කාගේ කවුදැයි අපි තවමත් නොදනිමු. ඒත් ඔහු හෝ එම සර්පයා ඓතිහාසික රාජ දේශපාලන බල අරගලයක ජීවමාන සාධකයක් බව පැහැදිලිය. සියවස් විස්සක් ගෙවී ගොස් ඇතත් සිංහල ජාතියේ අසහාය රාජවිරුවාගේ මරණ පරීක්ෂණය සොයා බැලිය යුතුය. කිසිවෙක් ඒ ගැන නොසිතති. ඒත් මෙය ඉතිහාස නිමිත්තකි.

ඒ අනුව දුටුගැමුණු රජ ඝාතනය කළ නාගයා එකල රජු අතින් පරාජය වූ නාග ජන ගෝත‍්‍රයේ වෛර ප‍්‍රාර්ථනාවද? නොවේ නම් ද්‍රවිඩ ජන මූලයේ වෛර ප‍්‍රාර්ථනාවද? එසේත් නොවේ නම් නාග උයනේ දී තම පෙම්වතිය පැහැරගත් ශෝකය වෛරයට පෙරළී දුටුගැමුණු රජු අතින් මිය ගිය ජයසේනගේ ආත්මය ද? එසේත් නොමැති නම් දුටුගැමුණු රජතුමාගේ කර්ම විපාකයද? එසේ නොවේ නම් මේ සියලූ සාධක එකට එක්වී සිදුවූ නියාමයක් ද? කෙසේ නමුත් අවසානයේ දුටුගැමුණු රජුම බලයෙන් පහකළ සද්ධාතිස්සට ලක්දිව රජ පදවිය යළිත් ලැබුණේය. ගැමුණු පුත් කුමරු සාලිය රාජ දේශපාලනය හැර පියා රොමැන්ටික දාර්ශනිකයකු වූයේය. එළාර ඝාතනය කළ දුටුගැමුණු රජු ද ඝාතනය විය. මහා සෑය සදාතනික වූයේය. ඉතිහාසය සර්ව සාධාරණ රිද්මයක අකුරු මාත‍්‍රාවක් යැයි විටෙක සිතෙන්නේ එබැවිනි.