අප භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය හදවතෙහි දරාගෙන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකා ධරණිතලයට වැඩමකොට බුදු සසුන පිහිටවූ සේක. ලංකාදීපයට ශාස්තෘන් වහන්සේනමක් බඳු මහා මහින්ද මහරහතන් වහන්සේ සිංහල මිනිසුන්ට සියල්ල ම ලබා දුන් සේක. මේ සිංහලදීපය එතරම් ම වාසනාවන්ත වන සේක. නමුත් අතීතයේ පටන් ම මේ පුංචි දිවයිනට පරදේශී ආක්‍රමණිකයින් නොයෙක් හිරිහැරයන් වධහිංසා සිදු කළහ. වෙහෙර විහාර කඩා බිඳ දමමින්, කෙත් වතු පාළු කරමින්, සිංහල මිනිසුන් මරමින් මේ ලංකාභූමිය අයිති කර ගන්නට හැකි සෑම ප්‍රයත්නයක් ම දැරූහ. නමුත් ඒ සියලු වධහිංසා මධ්‍යයේ වුව ද ලංකා මාතාව ආරක්ෂා වූයේ අන් කිසිවක් නිසා නොව, බුද්ධානුභාවය නිසා ය. අතීතයේ වරින් වර දෙමළ ආක්‍රමණිකයන් විසින් මේ දිවයින පාලනය කිරීමට වෙහෙස දරා ඇත. නමුත් මිථ්‍යාදෘෂ්ටික රජෙකුට මෙම ලංකාදීපයේ ආණ්ඩු කිරීමට වරම් නැත.

ඔවුන්ගේ වංශ පරම්පරාව පවතින්නේ නැත. බුද්ධ ශාසනය අනතුරට ලක්වෙද්දී එය බේරා ගැනීමට කලින් කලට යුග පුරුෂයන් මේ පින්වන්ත භූමියේ පහළ වන්නාහු ය. ලංකාවේ උතුම් මහරහතන් වහන්සේලා වැඩ සිටි යුගයේ පවා එළාර නම් දෙමළ ආක්‍රමණිකයෙක් මේ රටෙන් කොටසක් අල්ලා ගත්තේ ය. අපගේ දුටුගැමුණු රජතුමා එම දෙමළ රජා පරාජය කොට රට එක්සේසත් කොට බුදු සසුන බැබළවූ සේක.දුටුගැමුණු රජතුමාට ලංකාදීපයේ පරසතුරු කටු කොහොල් ඉවත්කොට ලංකා රාජ්‍යයේ හිමිකරු වෙලා උතුම් බුද්ධ ශාසනය බබළවන්නට විශේෂයෙන් ම සහය දුන් යෝධයන් දස දෙනෙක් සිටියේ ය. පෙර කළ පින් ඇති ගෞතම බුද්ධ ශාසනයේ ම සසරෙන් සදහට ම නිදහස් වන්නට උතුම් රහත් මුනිවරුන්ට වාසනාව ඇති පින්වන්තයෝ ද එම දස දෙනා අතර සිටියහ. අද අපි හිත පහදවා ගන්නේ යුද්ධ දෙකෙන් ම ජයගත් ලංකාවාසී රහත් මුනිවරයෙක් ගැනයි. උන්වහන්සේ ගැන බොහෝ දෙනා දන්නේ දසමහා යෝධයන් අතර සිටින මහා බලසම්පන්න ශක්තිවන්ත සූර වීරයෙක් ලෙසයි. නමුත්, බුදු සසුන නමැති අහසෙහි තරුවක් වන්නට මේ වීර පින්වන්ත පුරුෂයාට වාසනාව තිබුණි. නිකෙලෙස් මුනිවරයෙක් වන්නට වාසනාව තිබුණි. එනම්, මේ උතුම් ලංකාදීපයේ පහළ වූ ගෝඨයිම්බර මහරහතන් වහන්සේ ය.

මේ භද්‍රකල්පයේ තුන්වෙනුව පහළ වූ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි එක්තරා කුලගෙයක දරුවෙක් උපන්නේ ය. දැනුම් තේරුම් ඇති වයස වන විට විහාරයට ගොස් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා සිත පහදවාගෙන සංඝයා වහන්සේලාට කිරි සමඟ ලහබත් නිරන්තරයෙන් ම දානයට දුන්නේ ය. එසේ ම, පොරෝනා, සැරයටි, පටි ආදිය දෙමින් බල වඩනට නිසි බොහෝ පින් කොට ආයු කෙළවර දෙව්ලොව ඉපිද බොහෝ දිව්‍ය සැප සම්පත් අනුභව කොට පසුව මිනිස් ලොව මනුෂ්‍ය සම්පත් විඳිමින් මෙසේ එක් බුද්ධාන්තරයක් ගෙවා අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිරිනීවීමෙන් පසුව මෙම ලක්දිව රුහුණු ජනපදයෙහි “තිටොල්විටි” නම් ගම බොහෝ සම්පත් ඇති මහානාග නැමැත්තාට පුත්ව උපන්නාහ. තවද වැඩිමහල් පුතුන් සය දෙනෙක් ද ඒ පවුලේ සිටියහ. ඒ සය දෙනාට ම බාල වූ මොහුට ඉතා මිටි ශරීරයක් පිහිටා තිබුණු හෙයින් “ගෝඨක” යැයි කියන්නාහු ය. එසේ මිටි වුවත් ඇතුන් දස දෙනෙකුට බල ඇත්තේ ය.

මේ ගෝඨක කොපමණ ශක්තිවන්තයෙක් වුව ද ගෙදර කිසිදු වැඩක් නොකරයි. එක් දවසක් වැඩිමහල් සහෝදරයන් සය දෙනා වගා කිරීමට ඉඹුරු වනයක් කපා එළිකොට භාගයක් ගෝඨකයන්ටත් තබා ගියහ. ඔවුහු ඒ බව ගෝඨකයන්ටත් දැනුම් දුන් පසු මහත් වූ ඉඹුරු ගස් තම්පලා පැළ සේ මුලිනුදුරා ගෙන ගොස් දමා බිම සකස් කර එපුවත් සහෝදරයන්ට ද දැනුම් දුන්නේ ය. එබසට සිනා සී ගෝඨකයා කළ මෙහෙවර බලම්හයි ගොසින් ඔහු කර ඇති ආශ්චර්යවත් මෙහෙවර දැක ඔහු සමීපයට ඇවිත් ප්‍රශංසා කළහ. එතැන් පටන් ගෝඨකයා ගෝඨයිම්බර විය. කාවන්තිස්ස රජ්ජුරුවෝ ගෝඨයිම්බරයන්ගේ බල අසා දෙමාපියන්ට බොහෝ ප්‍රසාද දී ගෝඨයිම්බරයන් කැඳවා එන ලෙස යැවූහ.ගෝඨයිම්බරයෝ ඒ පවත් අසා දෙමාපියන් වැඳ අවසර ගෙන මහජනයා පිරිවරා මාගමට යන්නාහු ය. අතරමග “සප්පදුරුහොය” සමීපයේ සප්පදුරු නම් විහාරයෙහි පොල් උයනක් දැක එයට පිවිස පොල් ගස් සොලවා ගෙඩි කඩා විළුඹින් ඇන ලෙලි ගලවා කැටුව යන සේවකයන්ට බොන්නට දුන්හ. ගෝඨයිම්බරයෝ ඔවුන් පිරිවරා මාගමට ගොස් රජ්ජුරුවන් දුටුහ.

රජ්ජුරුවෝ බොහෝ සතුටු වී මහත් වූ සත්කාර කොට ගෙයක් ද නිල කොට ලබා දී සේවයට බඳවා ගත්හ. පසුව ඒ ගෝඨයිම්බර යෝධයාණෝ දුටුගැමුණු රජතුමා හා එක්ව දෙමළුන් හා යුද්ධ කොට රට එක්සත් කොට අපගේ මහ රජතුමා ඔටුනු පැලඳ රාජ්‍යය කරන්නාහු ගෝඨයිම්බරයන්ට බොහෝ සම්පත් දී මඟුල් මහා වීදියෙහි ගෙයක් ද නිල කොට දී බොහෝ පරිවාර සම්පත් ද සලස්වා එහි වාසය කරවූහ.මෙසේ ගෝඨයිම්බර යෝධයා මහත් වූ සැපයෙන් වසනුයේ දිනපතා ම නෑම සඳහා යොදුනක් දුර තිසාවැවට යයි. එක් දවසෙක වැවට ගොස් එන අතර ඉසුරුමුණි විහාරයට ගියහ. එම විහාරයේ වාසල් දොර සමීපයේ මහ උණ පඳුරක් මග අවුරා පිහිටා තිබුණි. එම විහාරයේ වසන මහ තෙරුන් වහන්සේ එදවස තවත් බොහෝ මිනිසුන් සමඟ එම උණ පඳුර ඉවත් කරන්නට සූදානමින් සිටියේ ය. ගෝඨයිම්බරයෝ එය දැක තෙරුන් වහන්සේ වැඳ කාරණය විමසා, “ස්වාමීනී, මහත් වරමන්දක් ගෙන්වුව මැනව.” යි ගෙන්වාගෙන උණ පඳුර මුලින් බැඳ වමතින් අල්වා ඇද හිස වටා කරකවා මහමගින් දුරට දමා නුවරට ගියහ. ඒ උණ පඳුර ප්‍රමාණයෙන් ගැලක් පුරා ගෙන යන බර ඇත්තේ ය.

ඉක්බිති ඒ යෝධයාණෝ තුන්මහල් ප්‍රසාදයක් කරවා දිව්‍ය සම්පත්ති විඳින්නා සේ මහත් වූ සැප සම්පත් ලබමින් මහ උත්සවයක් පැවැත්වී ය. හේ නොයෙක් තූර්යවාදන, සිය ගණන් ස්ත්‍රීන් සරසා රා පිරවූ රා කොතලයක් අතට දී සිටුවා තබා වෙනම නාට්‍යාංගනාවන් ද බෙර ගසන නටන ගී කියන නාටක ජනයා ද ඇතුළු ව මුළු ප්‍රාසාදය ම අලංකාර කොට ඒ ඒ තැන්හි තියුණු වූ රා පිරූ කළ, මහසැල් බඳුන් ආදිය තබ්බවා රා බොන්නට පටන් ගත්තේ ය.ඒ වෙලාවෙහි රිටිගල වසන ජයසේන නම් වූ යක්ෂයෙක් සිය ගණන් වූ යක්ෂ පිරිසක් සමඟ අමුසොහොන බලනුයේ මේ ශබ්දය අසා ඒ දිශාව බලා මේ රා බඳුන් දැක අහසින් බැස තමාගේ යක්ෂ සේනාව සමඟ මණ්ඩපයට පැමිණ බලනුයේ ගෝඨයිම්බරයන්ගේ බිරිඳ දැක ඇය පිළිබඳ ව සිත් ඇතිව එම ස්ත්‍රියගේ ඇඟට ආවේශ විය. ඇය එකෙණෙහි ම අල්වාගෙන සිටි රා කොතලය බිම හෙළා සිහිසුන් ව එහෙ මෙහෙ පෙරළෙමින් මුඛයෙන් කෙළ වගුරවමින් උඩට පෙරළී ගිය ඇස් ඇතිව වැතිරී සිටියා ය.

එකල්හි ගෝඨයිම්බර යෝධයා බිරිඳට වූ දෙය දැක, දොම්නස්ව, පරීක්ෂා කොට බලා යක්ෂයෙක් ආවේශ වූ බව දැක මහත් වූ අභිමාන උපදවා කිපී කියනුයේ, “එම්බල යක් කොල්ල, නොපෙනී සිට කුමක් පිණිස මාගේ බිරිඳ වෙහෙසට පත් කරයි ද? ඉදින් තෝ පෙනී සිට මෙබදු දෙයක් කළේ නම් මාගේ වම් පයින් ගසා මරා භෂ්ම කොට අළු පමණකුත් නොතබවමි. හැකි නම් දෘශ්‍යමාන රූපයෙන් මා ඉදිරියට වර, එසේ වී නම් දෙදෙනාගෙන් ජය පරාජය කාට ද කියා දැක්ක හැකි ය.” යි කී ය. එකෙණෙහි ම යක්ෂයා ඇයගේ ශරීරයෙන් පහව ගොස් රුදුරු වූ භයංකර රූපයෙන් පෙනී සිට, “එම්බල කොලු පැටව, උඹ මාත් සමඟ යුද්ධ කරන්නෙහි දැ?” යි අසා, “මෙයින් දවස් තුනකට පසුව ‘තාම්බුපර්ණි’ නම් වූ අමු සොහොන සමීපයේ යුද්ධ කරන්නෙමු. ඉදින් තෝ යුද්ධ කරන්නට පැමිණෙන්නට කලින් සියලු වස්තු පුත්‍රදාරාදීන්ට ලබා දී පරලොවට කළමනා සුචරිත ධර්මයන් පුරාගෙන සටනට වර.” යයි කී ය. මෙසේ යක්ෂයා කී කාරණය අසා ගෝඨයිම්බරයෝ කියන්නාහු, “උඹ වැනි එක යකෙක් මට කුමක් කරන්න ද? එතැනට පැමිණි විට බලා ගමු. දැන් තෝ නන් නොදොඩා පලා යව.” යි කීහ.

ගෝඨයිම්බරයෝ පළමු කී පරිද්දෙන් දවස් හතක් උත්සව පවත්වා සත්වන දවස යක්ෂයා සමඟ සටනට නික්මිණි. ජයසේන යක්ෂයා ද බොහෝ යක්ෂයන් රැස් කරවාගෙන ගෝඨයිම්බරයන් එන මග බලා සිටියේ ය. ගෝඨයිම්බරයන්ගේ ගමන වළක්වන්නට දේවතාවන් හා යක්ෂයන් කොතෙක් උත්සාහ කළ ද එය අසාර්ථක විය. එම සොහොන් භූමියේ දී ජයසේන යක්ෂයා සමීපයේ සිට වටේ බලා සිටි යක්ෂයන්ට කියන්නාහු, “එම්බා මේ බලා සිටින යක්ෂයෙනි, මාගේ කිසි දෝෂයක් නැත. මේ ජයසේනයා මා ළඟට අවුත් යුද්ධයට මා කැඳවයි. අප දෙදෙනාගේ ජය පරාජය බලා ගනුව. මේ ජයසේනයාට මාගේ දකුණු පයින් වේවා, දෑතින් වේවා පහරක් නොගසමි. මොහුට කළ යුතු දේ දන්නේ මාගේ වම් පයේ සුලැඟිල්ල යි.” යැයි වහසි බස් කියා මහත් කොට අත්පොළසන් දී ජයසේන යක්ෂයා සටනට කැඳවූයේ ය. ජයසේන නම් යක්ෂයා මහත් කොට හඬ නගා අත්පොළසන් දෙමින් දිවගෙන ආවේ ය. එකල්හි ගෝඨයිම්බරයා එතැන්හි සිටියා සේ ම වේග දක්වා අසූහතක් උස අහසට පැන තම වම් පයේ සුලැඟිල්ලෙන් යක්ෂයාගේ හනුවට ගැසී ය.

එකල යක්ෂයාගේ හිස ගැලවී අඩ යොදුනක් පමණ තැන් ගොස් බිම වැටිණි. එතැන රැස් වූ යක්ෂයෝ ඔල්වරසන් හඬ ගසමින් කෝලාහල පැවැත්වූහ. දේවතාවෝ සාධුකාර දෙමින්, “ඔය තාගේ බලයක් නොවෙයි, කාශ්‍යප බුදුන් සමයේ සංඝයා වහන්සේ උදෙසා දුන්නා වූ පායාස දානයෙහි බලය ය.” යැයි කීහ. මේ සටනින් ජය ලැබූ සතුටට ගෝඨයිම්බර දවස් හතක් ප්‍රීති උත්සව පවත්වා රා මදයෙන් මත්ව මහරජතුමා දකිමි’යි කියා පැමිණියේ ය. රජතුමා ඒ මහත් වූ ශබ්දය අසා කුමක්දැයි විචාළහ. “ගෝඨයිම්බර තෙමේ ජයසේන නම් යක්ෂයෙක් සමඟ යුද්ධ කොට දිනා ප්‍රීතියට උත්සව පවත්වා රා මදයෙන් මත්ව නුඹ වහන්සේ දක්නට එන්නේ ය.” යැයි පැවසූ විට රජ්ජුරුවෝ රා බී මත් වූ බව අසා “ඔහුට මෙතැනට එන්න නොදෙව.” යි අමාත්‍යයන්ට නියෝග කළහ. ඇමතිවරු එපරිද්දෙන් ම ඔහුට රජගෙට එන්න නොදුන්හ. ගෝඨයිම්බරයෝ රජතුමාගේ නියෝගයෙන් ඇතුළට එන්න නුදුන් බව අසා, මෙතැන් පටන් රජ්ජුරුවන් වහන්සේ නැවත දැක්මෙක් නැතැයි කියා පෙරලා තමන් වසන නිවසට ගොස් පුත්‍රදාරයන්ට හා පරිවාර ජනයාට කළ කිවමනා කටයුතු නිෂ්ඨා කොට එදවස නුවරින් පිටත්ව දොලොස් යොදුනක් දුරකතර ගෙවා මණිනාග දිවයිනට ගොස් එතැන් සිට ගොස් මුහුදට පැන යොදුන් විසිහතරක් පමණ තැන් පිහිනාගෙන ගොස් කාවීර පට්ටනයෙන් ගොඩනැග්ගේ ය.

එම පටුන්ගම මිනිසුන් දැක බුද්ධපුත්‍ර වූ සිල්වත් ගුණවත් සංඝයා වහන්සේ කොයි වසනයෙක්දැයි විචාළේ ය. “පින්වත, හිමාලයේ වාසය කරන්නා වූ භික්ෂූන් වහන්සේලා අහසින් අවුත් මෙතනට බැස ගමේ පිඬු සිඟා ගොස් පෙරලා නැවත මෙතැනට අවුත් ඍද්ධි බලයෙන් අහසට නැගී හිමාලයට වඩින සේක” යි කීහ. ගෝඨයිම්බරයෝ ඔවුන්ගේ බස අසා හිමාලය දෙසට නික්මුණහ. මෙපරිද්දෙන් දුටු දුටුවන් අතින් විචාරා සංඝයා වහන්සේ ළඟට යන්නාහු එක් ප්‍රපාත ස්ථානයක ලෙනක් දැක එතැනට බැස, උඩ නැගී රහත් නොවී යා නොහැකි ඉතා රම්‍ය වූ විහාරයක් දැක භික්ෂූන් වහන්සේලා නොදැක ජීවත් වීමට වඩා මිය යෑම යහපතැයි සිතා ප්‍රපාතයට පැන්නේ ය. එකල එක් රහත් තෙර කෙනෙකුන් වහන්සේ කඳු කුහරය අතුරෙහි වැටෙන්නා වූ ඔහු දැක අත් දික් කොට අල්වාගෙන තමන් වහන්සේ සමීපයේ ඉන්ට සලස්වා, “පින්වත් උපාසකය, මෙතනට කුමක් පිණිස ආවේ දැ?” යි විචාළහ. එකල ගෝඨයිම්බරයෝ සියලු විස්තර පවසා සිටියහ. තෙරුන් වහන්සේ ඔහුගේ අභිප්‍රාය දැන කෙස්, රැවුල් බහවා මහණ කොට කර්මස්ථාන ලබා දුන් සේක. එකල්හි ඒ ගෝඨයිම්බරයන් වහන්සේ මහණ වූ නොබෝ දවසකින් ම විදර්ශනා වඩා රහත් බවට පැමිණ ප්‍රිතී සැපයෙන් දවස් යවන සේක් මෙසේ උදන් අනා වදාළ සේක.

“සංගාම සොණ්ඩෝ පරසත්තුමද්දනෝ- සූරෝච වීරෝ බලවා පරාභිභූ
රුද්දස්ස යක්ඛස්ස සිරං විනාසයිං- කිලේසසීසංච තතෝ විනාසයිං”

“යුද්ධ කිරීමෙහි ඇලුණු, පරසතුරන් මර්දනය කරන, සූර වූ, වීර වූ, බලවත් වූ, අනුන් ව මැඩලන මම රෞද්‍ර යක්ෂයාගේ හිස විනාශ කළෙමි. ඒ අයුරින් ම කෙලෙස් හිස ද විනාශ කළෙමි.”මෙසේ ගෝඨයිම්බර මහරහතන් වහන්සේ කෙලෙස් යුද්ධයෙන් ජය ලැබූ සේක. තුන්ලොව දිනූ අප භාග්‍යවතුන් වහන්සේ වදාළේ “යම් කෙනෙක් යුද්ධ දාහක් කරලා, දහස් ගණන් මිනිසුන්ව පරදවා ජයග්‍රහණය කළත් ඒක නියම ජයග්‍රහණයක් නොවෙයි. නමුත් යම් කෙනෙක් මේ කෙලෙස් යුද්ධයෙන් තමන්ව දිනා ගත්තොත් ඒකාන්තයෙන් ම අර සියලු යුද්ධ දිනපු කෙනාට වඩා උත්තම කෙනෙක් වෙනවා.” යනුවෙනි. යුද්ධ දෙකෙන් ම ජය ගත් ගෝඨයිම්බර මහරහතන් වහන්සේ ආයු ඇතිතාක් වැඩ හිඳ සුදුසු කල්හි පිරිනිවන් පා වදාළ සේක. ලංකා ධරණිතලයේ බුදු සසුන බේරා ගන්නට කැප වුණු, කෙලෙස් යුද්ධයෙන් ද ජය ගත්, බුද්ධ ශාසනය නම් මැණික් ආකරයෙහි මාහැඟි මැණිකක් බඳු වූ, බුදුරජාණන් වහන්සේගේ හද මඬලෙන් උපන්, ලංකාදීපයේ පහළ වූ ගෝඨයිම්බර නම් මහරහත් මුනිඳුන්ට අපගේ වන්දනාව වේවා!