ඔබ මේ දකින්නේ “රාජීව් පාති” නමැති නිර්වින්දන වෛයද්‍යවරයායි.මම දැන් මේ සූදානම් වන්නේ “ඩේලි මේල් වෙබ් අඩවිය” පවා වාර්තාකර තිබූ සත්‍ය පුවතක් ඔබ වෙත ගෙන එන්නයි. මරණාසන්න අත්දැකීම් ලැබූ රෝගීන්, ශරීරයෙන් පිටත අත්දැකීම් ලැබූ අවස්තාවන් සහ, මරණින් මතු ජීවිතය පිළිබඳව දුටු අවස්ථාවන් අනන්තවත් තිබෙනවා. නමුත් බටහිර වෛද්‍යවරුන් නම් එවැනි දේවල් කිසිසේත් පිළිගන්නේ නැහැ. ඉස්සර “රාජීව් පාති” කියන්නෙත් එවැනි වෛද්‍යවරයෙක්.නමුත් ඔහුටම මුහුණ දෙන්න සිදු උන මේ සිද්දිය නිසා අපාය ගැන ඔහු ලෝකයටම රහසක් හෙළි කරා මේ ඒ ගැන විස්තරයයි

නමුත් එම නිර්වින්දන වෛද්‍යවරයාට, පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් ඇතිවූ නිසා, ශල්‍යකර්මයකට මුහුණ දීමට සිදුවුනා. එම සැත්කම සිදුකරන අතරතුර දුටු දෙයින් පසුව, මණින් මතු ජීවිතයක් සහ අපායක් ඇති බව ඔහු තදින්ම විශ්වාස කළා. නිර්වින්දනය කරනවාත් සමගම, මීදුමක් වැනි පටලයකින් අවට දසුන් සියල්ල බොඳවීගිය බවත්, සැත්කම සිදුකරමින් සිටි වෛද්‍යවරුන් තමන් සියසින්ම දුටු බවත් ඔහු පවසා තිබුනා. ඉන්පසුව ඔහු දැක තිබුනේ, සිහිකරනවිට පවා භීතිය ඇතිකිරීමට සමත් දර්ශනයකි. ඔහු එම අත්දැකීම විස්තර කර තිබුනේ මෙහෙමයි.උසුලාගත නොහැකි වේදනාවකින් දුකටපත්වී සිටි පිරිසක් කෑමොර දෙන හඬක් මට ඇසුනා. පෙනෙන මානයේ හැමතැනම තිබුනේ එකම ගිනිජාලාවක්. එම ගිනිදැල් වලින් නිකුත්වූ දුම නිසා හුස්ම ගැනීමට පවා අපහසු වුනා. ඒවගේම මස් පිළිස්සෙනවා වැනි අප්‍රසන්න දුගඳක්ද නිකුත් වුනා. එවිට තමයි මට හැඟුනේ මා සිටින්නේ අපායේ දොරටුව අසල බව.

ගිනිගෙන දැවෙන ශරීරවලින් ඈත්වී, ඉන් පිටවෙන්නට උත්සකරන විට, භයානක හඬකින් යමෙකු ඔහු අමතන බව ඔහුට ඇසී තිබුනා. එම හඬින් ඔහුට දඬුවම් නියමකිරීමට කටයුතු කර තිබුනා. ඔහු සිදුකල වරද වුනේ, “ආගම දහම ප්‍රතික්ෂේප කොට භෞතිකවාදී අදහස් දැරීමයි”. අන්ත අසරණව සිටි ඔහු, තවත් අවස්ථාවක් ඉල්ලමින් දෙවියන්ට යාඥා කර තිබුනා. ඉන් පසුව ඔහු රෝහල් කාමරය තුලින් හදිසියේම අවදිවී තිබෙනවා. ඔහු ලැබූ එම අත්දැකීම නිසා, ඔහු ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන තිබුනා. ඔහු සතු ධනය අතහැරදැමීමට පවා ඔහු කටයුතු කර තිබෙනවා. වෛද්‍ය විද්‍යාව හදාරන වැඩිමහලු පිරිමි දරුවන්ටද ඔහු අවවාද කර තිබුනා.

මේ සිද්ධිය තුලින් කිසිසේත්ම “අන්තරාභවය” කියන කාරණය සනාථ වන්නේ නැහැ. ඒක මම ඔබට මෙහෙම පැහැදිලි කර දෙන්නම්. අපට අසන්නට ලැබෙන මෙයට සමාන, මෙවැනි කතා හැම එකකම වගේ, ඒ ඒ පුද්ගලයා අපායටම යන ආකාරයක් දක්නට ලැබෙනවා. ඉන්පසු නැවත මේ භවයේ පණ එනවා. නිරයේ ඉපදෙන්න නම්, කලින් භවය නිරුද්ධ වී තිබිය යුතුයි. යම් කිසි සත්වයකුට භව දෙකක් එකවිට තියෙන්න බෑ. මේ සෑම කතාවකදීම, එක් භවයක මග නතර වී, තවත් භවයක් ගත කර, නැවත කලින් භවය ආරම්භ කිරීමක් වගේ දෙයක් දක්නට ලැබෙනවා. ඇත්තටම මෙතෙන්දි වෙන්නේ මේකයි. දෙවියන්ගේ බලපෑමෙන් සිහින දැකිය හැකි බව බුදුරාජාණන් වහන්සේ දේශණා කොට තිබෙනවා. දේව දූත සුත්‍රයෙන් මේ ගැන කරුණු සොයා ගත හැකියි.

නිරයන් ඇති බවටත්, සිත දියුණු කර ඒ ඒ ලෝකයන් දැකිය හැකි බවටත්, ආදී ලෙස මේ නිරයන් සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා විසින් දර්ශනය කර තිබෙන බව, ත්‍රිපිටකයේ යම් යම් තැන්වල සඳහන් වෙනවා. බොහෝ අවස්ථාවල පෙර සසරේ රැස් කරන ලද පුණ්‍ය ශක්තියෙන් ඉහල මිනිසුන්ට ( මේ භවයේ පාප කාර්ම බහුලව කර තිබුනද, පෙර සසරේ කරන ලද කුසලය ඉහල විය හැකි අවස්ථාවල ) තමන් මරණාසන්න අවාස්ථාවලදී මෙහෙම වෙන්නේ, එම මිනිසුන් නොදැන කරන පව් නිසා, නිරයක් තිබෙන බව සම්‍යක් දෘෂ්ටික දෙවි – දේවතාවුන් වහන්සේලා විසින් පුද්ගලානුබද්ධව පෙන්වාදීම් වශයෙනි. ජාතක කතා වලද මෙයට සමරූපී අවස්ථා දැකගත හැකි වෙනවා. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂයි. ඒ හැරෙන්නට අපායට හෝ දිවය ලෝකෙට තාවකාලිකව යන්න මෙහෙන් මැරෙන්නම අවශ්‍ය නැහැ. ඉර්දියකින් සිත දියුණු කිරීමෙන් ලැබෙන තත්ත්ව, සමහරවිට නොයෙක් හේතු නිසා, වෙනත් තත්ත්ව යටතේ සිදුවීමටද හැකියාවක් පවතී.

* කෙනෙකු මරණයට පත්වූවාට පසු ඔහුට ඉපදීමට සුදුසු ස්ථානයක් සකස් වී නොතිබුණොත් ඉපදීමට තැනක් සොයමින් අහසේ හැසිරෙන බවත්, එය “අන්තර්භවය” බවත් ඇතැමුන් ප්‍රකාශ කරනවා. නමුත් “අන්තරාභවය” තුන්වන ධර්ම සංගායනාවෙන් ප්‍රතික්‍ෂේප වුනා. මවු කුසක දරුවෙකු හටගැනීමට කරුණු තුනක් සම්පූර්ණ විය යුතු බව මෙසේ මජ්ම නිකායේ “මහා තණ්හා සංඛය” සූත‍්‍රයේ සඳහන් වෙනවා. මෙහි සඳහන් “ගන්ධබ්බයා” යනු “අන්තරාභවිකයා” බව වරදවා වටහා ගන්න එපා. චුතියට අනතුරුව පටිසන්ධිය ගැනීමට සුදුසු පුද්ගලයෙකුයි ගන්ධබ්බ කියන්නෙ. දැන් ජීවත්ව සිටින අප සැම දෙනාමත් ගන්ධබ්බ කියන වචනයෙන් භාවිතා කළ හැකියි. රහතන් වහන්සේ හැර සෝවාන් – සකදාගාමී – අනාගාමීන් වහන්සේලාත්, අනෙක් පෘථග්ජන සත්ත්වයෝත්, නැවත උත්පත්තිය ලබන බැවින් “ගන්ධබ්බ” නම් වෙනවා. උත්පත්ති වශයෙන් තවත් භවයකට යා යුතු පුද්ගලයා කියන එකයි “ගන්ධබ්බ” කියන වචනයේ තේරුම. එහෙම නැතිව මරණයට පත් වී, අහසේ පාවෙමින්, ඉපදීමට සුදුසු මව්පිය දෙන්නෙක් සොයන අන්තරාභවිකයෙකු නොවෙයි.