මහාවංශය ඇතුළු වංශ කතාවලට අනුව මෙතෙක්‌ ඉතිහාසයේ ශේ්‍රෂ්ඨතම නරපතියා වන්නේ දුටුගැමුණු රජුය. පණාකඩු තඹ සන්නස හමුවීමෙන් පසු ඒ මතයේ වෙනසක්‌ විය යුතු බවට තොරතුරු විස්‌තර කරදීම මෙම ලිපියෙහි අරමුණ වී ඇත. ලංකා ඉතිහාසයේ භයානක දකුණු ඉන්දීය ආක්‍රමණය සිදුවන්නේ ක්‍රි. ව. 1017 දීය. එම ආක්‍රමණය ලංකා ඉතිහාසයේ තීරණාත්මක අවස්‌ථාවකි. මේ අවස්‌ථාවේ රට නිදහස්‌ කරගත් නායකයාගේ ළමා කාලය නිර්මාණය වන්නේ මාතර ප්‍රදේශයෙනි. මේ පිළිබඳ වංශ කතාවලින් මෙතෙක්‌ හෙළි නොවූ කරුණු රාශියක්‌ හෙළිවන්නේ පණාකඩුව තඹ සන්නස කියවා බැලීමෙන් පසුවය. ඒ අනුව වංශ කතා නොදුටු ඉතිහාසයේ ශේ්‍රෂ්ඨතම නරපතියා පළමු විජයබාහු බව පණාකඩුව තඹ සන්නසින් හෙළිවෙයි.

මේ තීරණාත්මක අවස්‌ථාවේ රට බේරා ගැනීමට නායකත්වය දුන් නායකයා අන් කිසිවකු නොව ෂ විජයබාහු රජු බව කවුරුත් දන්නා කරුණකි. ඔහුට මේ සඳහා පසුතලය ගොඩනඟා දුන්නේ කවුරුන්ද කුමන ප්‍රදේශයකින්ද යන්න හෙළි කිරීම දෙවැනි අරමුණයි. පසින් වැසී ගිය ඉතිහාසයක තොරතුරු හෙළි කරගන්නේ පණාකඩු තඹ සන්නසෙනි. පසින් වැසී ගිය මේ ඓතිහාසික විස්‌තරය ඇතුළත් තඹ සන්නස සොයාගත් අයට ද ඉතිහාසයේ යම්කිසි ස්‌ථානයක්‌ හිමිවිය යුතුය. ඒ වාගේම එම සන්නසෙහි සඳහන් වන බූදල්නාවන් (බුද්ධරාජ) නමැති ප්‍රාදේශීය පාලකයාටත් මාතර ප්‍රදේශයටත් ඉතිහාසයේ විශේෂ ස්‌ථානයක්‌ හිමිවිය යුතුය යන්න මෙම සටහන ඉදිරිපත් කිරීමේ පරමාර්ථය බව ඉතාම පැහැදිලිව කිවයුතු කරුණකි.

ක්‍රි. පූ. යුගයේ පටන් ලංකා ඉතිහාසය ගොඩනැඟෙනුයේ මහාවංශය හා දීපවංශය වැනි වංශ කතා හා රාජාවලිය ආශ්‍රයෙනි. එයිනුත් මහාවංශයට විශේෂ තැනක්‌ හිමි වේ. මහාවංශය අනුව ද්‍රවිඩ ආක්‍රමණවලින් රට බේරාගත් පළමු නරපතියා වන්නේ දුටුගැමුණු රජුය. එය අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි. නමුත් අප අදහස්‌a කරන්නේ ද්‍රවිඩ ආක්‍රමණ අතර වඩාත් තීරණාත්මක අවස්‌ථාව කුමක්‌ද කියා සොයා බැලීමයි. ලංකා ඉතිහාසයේ පළමු දකුණු ඉන්දීය ආක්‍රමණය ආරම්භ වන්නේ සේන ගුත්තික අශ්ව වෙළෙඳුන් දෙදෙනාගේ ආක්‍රමණයයි. ඔවුන් දෙදෙනා ද ද්‍රවිඩ සම්භවයක්‌ ඇති බව මහාවංශය වැනි වංශ කතාවලින් හෙළි කරදී ඇත. මහාවංශය ලියෑවෙන්නේ ක්‍රි. ව. පස්‌වැනි සියවසේදීය. වර්ෂ හත්සියයක්‌ තරම් පැරණි මෙම තොරතුරු මහාවංශ කතුවරයා ලබාගත්තේ කෙසේද? මුඛ පරම්පරාවෙන් ලබාගත් කරුණුවලට තව නොයෙක්‌ මත පසුකාලීනව එකතු විය හැකිය.

සේන ගුත්තික වෙළෙඳුන් දෙදෙනා සූරතිස්‌ස රජු විනාශ කර වර්ෂ (22) විසිදෙකක්‌ මේ රට පාලනය කර ඇති බව මහාවංශය පෙන්වා දෙන අතර එය ද්‍රවිඩ ආක්‍රමණයක්‌ද නොවන බව එම විස්‌තරයෙන්ම තහවුරු කරයි. මෙයින් අපට තවත් කරුණක්‌ පැහැදිලි වන්නේ එදා පැවැති රාජරක්‍ෂාවයි. වෙළෙඳ කණ්‌ඩායමකම පවා රාජ්‍ය පැහැර ගැනීමට හැකිවීම එදා අප රටේ පැවැති රටේ ආරක්‍ෂක සංවිධානය දුර්වලව පැවැති ආකාරය කොතරම් ද වටහා ගත හැකිය.මොවුන් විනාශ කර නැවත රාජ්‍ය ගොඩනඟන්නේ අසේල රජුය. ඉන්පසු ඇතිවන එළාර ආක්‍රමණය පිළිබඳ විස්‌තර ඉතිහාසඥයෝ නොයෙක්‌ මත පළ කරති. මහා වංශයට අනුව එළාර රජු උතුර කේන්ද්‍රිය කරගෙන වර්ෂ 44 දැහැමෙන් සෙමෙන් ඉතා නීතිගරුකව ලංකාව පාලනය කර ඇත. සමහර ඉතිහාසඥයන් එළාර ආක්‍රමණය ද්‍රවිඩ ආක්‍රමණයක්‌ විදියට හඳුන්වන්නේ නැත. මෙම අවස්‌ථාව ද සිංහල රාජ්‍ය ඉතිහාසයේ සංධිස්‌ථානයක්‌ වන අතර එය ලඝූ කොට දැක්‌වීම අපේ අදහස නොවේ. එළාර පාලනය විනාශ කර නැවත පාලනය භාර ගත්තේ දුටුගැමුණු රජතුමාය.

ඉතිහාසඥයන් දෙවිදියටක මේ සඳහා කරුණු ඉදිරිපත් කර ඇත. මහාවංශයේ පරිච්ඡේද කිහිපයකින්ම විස්‌තර වන්නේ දුටුගැමුණු එළාර යුද්ධයත් දුටුගැමුණු රජුගෙන් බුද්ධාගමට සිදුවූ සේවාවත් සවිස්‌තර ඉදිරිපත් කිරීමටය. මහා වංශයට අනුව දුටුගැමුණු එළාර යුද්ධය සිංහල දෙමළ අතර ඇතිවූ යුද්ධයක්‌ ලෙසය හඳුන්වා ඇත්තේ. ඒ අතර බුද්ධාගම බේරා ගැනීමට කරන ලද යුද්ධයක්‌ ලෙස ද හඳුන්වා ඇත. දුටුගැමුණු රජු පවසා ඇත්තේ “මාගේ මේ ව්‍යායාමය කිසි කලෙකත් රජ සැප පිණිස නොවේ බුද්ධ ධර්මයේ චිරස්‌ථිතිය සඳහාය” යන ප්‍රකාශයෙන් එය තවත් තහවුරු කර ඇත. ඉන්දියාවේ අධිරාජ්‍යයක්‌ ගොඩනැඟූ අසෝක අධිරාජයාගෙන් පසු බුද්ධ ධර්මයේ පැවැත්මට සේවාවක්‌ කළ එකම රාජ්‍ය නායකයා දුටුගැමුණු රජු බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි. නමුත් ඊට පෙර පැවැති එළාර පාලන සමය බුද්ධ ධර්මයේ පැවැත්මට වැඩ නොකළත්a එහි විනාශය කරා ගෙන නොගිය බව මහාවංශය ප්‍රකාශ කරන අයුරින්ම පැහැදිලි වේ.

රන්ගිරි දඹුලු විහාරයෙන් නිකුත් කරන “රන්ගිර” නමැති සඟරාවේ 2010 අගෝස්‌තු නිකිණි කලාපයට ලිපියක්‌ සපයමින් ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා සඳහන් කර ඇත්තේ මෙසේය. “සේන ගුත්තික ද, එළාර ද ද්‍රවිඩ ආක්‍රමණිකයන් විදියට මහාවංශය හැඳින්වුවද රාජවංශය පුස්‌ථක සටන, රාජ වෘත්තාන්තය, පූර්ණ වංශ හා පරම්පරා පුස්‌ථක ග්‍රන්ථ සමඟ විමසන විට මහාවංශය අවිද්‍යාත්මක ප්‍රබන්ධයක්‌ ලෙස සිතීමට අපමණ සාවද්‍ය කරුණු ඇති බව පවසා ඇත. මේ අනුව එළාර භාරතීය වංශිකයෙකි. භාරතීය වංශය ආර්ය වංශයට අයත්ය. ද්‍රවිඩයන් ආර්ය වංශයට අයත් නොවන බව ද ඔහු එම ලිපියෙන් පවසා ඇත. මහාවංශය “එළාලෝ නාම දව්ලෝ” යන්නෙන් සඳහන් කරමින් එළාර රජුට අපකීර්තියක්‌ ද දුටුගැමුණු රජුට කීර්ති නාමයත් පලලඳවා ඇත. මහා වංශයේ ප්‍රධාන කතා නායකයා දුටුගැමුණු රජු ය. ඒ නිසා අනෙකුත් නරපතියන් ලඝූකොට සලකා ඇත.

මෙම ලිපිය අනුව මහාචාර්ය පරණවිතාන සූරීන්ගේ මතය වන්නේ එළාර රජු මවු පාර්ශ්වයෙන් මුටශීව රජුට මෙන්ම දුටුගැමුණු රජුගේ සමීප ඥතියෙක්‌ බවටය.ලක්‌දිව සිංහල, දෙමළ සබඳතා නමැති ග්‍රන්ථය ලියූ ලයනල් සරත් මහතා එම ග්‍රන්ථයෙන් ප්‍රකාශ කර ඇත්තේ දුටුගැමුණු එළාර යුද්ධය සිංහල, දෙමළ යුද්ධයක්‌ නොවන බවය. එම ග්‍රන්ථයට අනුව ඒ සඳහා කොතෙකුත් සාධක දක්‌වා ඇත. දීඝාභය කුමරු කාවන්තිස්‌ස රජුට දාව අනෙක්‌ බිසවකගේ කුසින් උපන් කුමාරයෙකි. ඔහු දුටුගැමුණුට විරුද්ධව එළාරගේ පැත්ත ගෙන සිටි සෙනෙවියෙකි. එළාරගේ සෙනෙවියන් අතර පෙරුමක තත්ත්වයේ සිටි චිත්‍ර නමැති සෙනෙවියෙක්‌ ද විය. ඔහු සිංහල ප්‍රධානියෙකි. ඔහු දුටුගැමුණු රජුගේ දසමහා යෝධයන්ගෙන් කෙනකු වූ නන්දිමිත්‍රගේ මාමාය. එයින් පෙනී යන්නේ එකල අනුරාධපුර වැසියන් අතර සිංහල දෙමළ භේදයක්‌ නොතිබූ බවය. යුද සේනාව සිංහල, දෙමළ දෙපාර්ශ්වයම භටයන්ගෙන් සමන්විත වී තිබුණි.

එළාර සමයේ රට සරුසාර වූ බවට සාධක කොතෙකුත් එම ග්‍රන්ථයේ දක්‌වා ඇත. කාවන්තිස්‌ස රජුගේ යෝධයකු වූ තිමිල මිහින්තලාවට නුදුරු දොරමඬලාවට ගොස්‌ සල්පිල්වලින් රෙදිපිළි රැගෙන ශ්‍රීමහා බෝධියත් ථූපාරාමයත් වැඳ පුදාගත් බව පැවසේ. එයින් කියෑවෙන්නේ එළාර පාලන සමයේ බුqදුදහමට හානියක්‌ නොවූ බවය. මහා වංශයේ 21 වැනි පරිච්ඡේදයේ දහතුන්වන ගාථාව අවසානය දක්‌වා එළාර දැහැමි පාලකයෙක්‌ බවත් නීතිය කාහටත් සමානව ක්‍රියාකර ඇති බවත් ප්‍රකාශ කර ඇත. සිංහල රජෙකුටත් වඩා දැහැමින් පාලනය කළ බවත් බුද්ධාගමට සතුරුකම් නොකළ බවත් එහි සඳහන්ව ඇත. මහා වංශයේ සඳහන් පරිදි ගවයෙක්‌ තම රියට යට කළ පුත්‍රයා පවා මරණයට පත්කළ බව සඳහන් වේ. එළාර රජු මනුෂ්‍යයන්ට පමණක්‌ නොව සතුන්ට පවා සාධාරණය ඉටු කර ඇත. පූජාවලියේ සඳහන් වන්නේ එළාර බෞද්ධ වෙහෙර විහාර විනාශ කළ බවය. පූජාවලිය ලියෑවෙන්නේ මහාවංශය ලියා වර්ෂ 800 කට පමණ පසුවය. එනම් දහතුන්වන සියවසේදීය. ධර්මසේන හිමියන් එසේ සඳහන් කිරීමට හේතුවී ඇත්තේ කාලිංග මාඝ ආක්‍රමිකයාගෙන් ඇති වූ විනාශය නිසා විය හැකිය.

panakaduwa1මහාවංශයේ විසිපස්‌වැනි (25) පරිච්ඡේදයේ දෙවැනි ගාථාවෙත් දාසයවැනි ගාථාවෙත් සඳහන් කර ඇත්තේ දුටුගැමුණු රජු යුද්ධ කර ඇත්තේ බුදුදහම ආරක්‍ෂා කර ස්‌ථාපිත කිරීමට බවය. මහාවංශයේ විස්‌තර කරන පරිදි එළාර රජු පන්සල්වලට ගොස්‌ භික්‍ෂූන් වහන්සේලාට දාන මානාදිය පිළිගැන්වූ බවත් අපට දැනගත හැකිය. එසේම එළාර රජු සෑගිරි විහාරයේ කොටසක්‌ කැඩී ගියමුත් එය එවෙලේම ප්‍රතිසංස්‌කරණය කළ බව මහා වංශයේ සඳහන් වේ. මේ අනුව පෙනී යන්නේ එළාර පාලනයෙන් අනුරාධපුර රාජධානියට හෝ බුද්ධාගමට හෝ සිංහලයන්ගේ වාරිමාර්ගවලට හෝ අගතියක්‌ නොවූ බව මෙන්ම රුහුණු මාගම රාජ්‍යයට ද අභියෝගයක්‌ නොවූ බවය. ඒ නිසා එළාර පාලනය ද්‍රවිඩ පලනයක්‌ කියා එකවර ප්‍රකාශ කළ නොහැකි අතර දුටුගැමුණු රාජ්‍ය ලෝභිත්වය නිසා සිදුවූවක්‌ බවට ද බොහෝ සේ කරුණු ඇත.

මේ සඳහා අපට නිගමනය කළ හැක්‌කේ එදා රාජ්‍ය පාලකයා සිංහල ද දමිළ ද කියා සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වී නැත. පත්වන රාජ්‍ය පාලකයා ජාතියෙන් කවුරුන් හෝ වේවා වාරිමාර්ග දියුණු කර රට ස්‌වයංපෝෂිත කිරීමත් බුද්ධාගම ආරක්‍ෂා කරනවා නම් ඔහු සිංහල රජෙක්‌ විදියට පිළිගැන්මට ජනතාව පුරුදු වී සිටි බව ඉතිහාසය දෙස විමසීමෙන් අපට පෙනේ. එදා රාජ්‍ය පාලකයා පත්කිරීම අද මෙන් ජනතාවට අයත් කරුණක්‌ නොවේ.පසු කාලීනව රට පාලනය කළ ධාතුසේන රජතුමා කලා වැව වැනි දැවැන්ත වාරි කර්මාන්ත දියුණු කර බුද්ධාගම ආරක්‌ෂා කර දුන් රජ කෙනෙකි. නමුත් තම පුතා විසින්ම හිරභාරයට ගෙන කලා වැවේ කණ්‌ඩියකට හිර කර මැටි ගසා පණ පිටින් මරා ඇත. මෙහිදී ජනතාවගේ කැළඹීමක්‌ ඇති නොවීය. රජු සිරකාරයෙක්‌ විදියට ගෙන යද්දී භික්‌ෂූන් වහන්සේ නමක්‌ මුණගැසී ඇතත් භික්‌ෂූන් වහන්සේ එයට මැදිහත් වී නැත. මහාවංශයද නිහඬ වී ඇත. ඒ නිසා එකල රාජ්‍යත්වය සඳහා අද මෙන් මහජනතාවගේත්, භික්‌ෂූන් වහන්සේලාගේත් එතරම් සම්බන්ධතාවක්‌ නොවීය. මෙම කරුණු සලකා බැලීමේදී අපට පෙනී යන්නේ දුටුගැමුණු, එළාර යුද්ධය සිංහල, දෙමළ යුද්ධයක්‌ නොවන බවත් ද්‍රවිඩ ආධිපත්‍යයක්‌ නොවන බවත්ය. පසුකාලීනව කීර්තිමත් රජ කෙනෙකු වූ මහා පරාක්‍රමබාහු රජු පාණ්‌ඩ්‍ය නොවන බවත්ය.

වංශයට අයත් ද්‍රවිඩ කුමාරයෙකි. නමුත් ඔහු ලංකා ඉතිහාසයේ කීර්තිමත් සිංහල රජ කෙනෙකි. මේ කරුණු සලකා බලන විට අපට පෙනී යන්නේ ලංකාවේ සිංහාසනයට පැමිණි කිනම් ආකාරයේ පුද්ගලයකු වේවා ඉහත කී කාරණා ඉටු කර ධාර්මිකව රජ කරන්නේ නම් ඔහු සිංහල රජු ලෙස පිsළිගැනීමට රට වැසියා පුරුදුව සිටි බවය. එදා දුටුගැමුණු රජතුමා කළේ තමාගේ රාජ්‍ය පුළුල් කර සම්ප්‍රදායානුකූලව ප්‍රධාන පිළිගැනීමකට තිබුණු ප්‍රධාන බෞද්ධ ආගමික මධ්‍යස්‌ථානය සියතට ගැනීමය. එය සිංහල, දෙමළ දෙවර්ගය අතර ඇති වූ යුද්ධයක්‌ නොවේ. මෙයින් අප පැහැදිලි කර දෙන්නේ එළාර පාලනය සිංහල රාජ්‍යයට තර්ජනයක්‌ නොවූ බවත් දුටුගැමුණු – එළාර යුද්ධය ලංකා ඉතිහාසයේ තීරණාත්මක අවස්‌ථාවක්‌ නොවන බවත්ය.

මීළඟ තීරණාත්මක අවස්‌ථාව වන්නේ වලගම්බා රජු සමයයි. එනම් ක්‍රි. පූ. 103 – 102 වලගම්බා පළමු වරට රාජ්‍යත්වයට පත්වූ සමයයි. මේ අවස්‌ථාවේ තීය නම් බ්‍රාහ්මණ තරුණයෙක්‌ රුහුණේ කැරැල්ලක්‌ ඇති කර ඇත. ඔහු ද්‍රවිඩ ආක්‍රමණිකයෙක්‌ බව සමහරු කියති. මේ අවස්‌ථාවේ දෙමළ ආක්‍රමණිකයන් හත්දෙනකු මාතොටින් ලක්‌දිවට ගොඩ බැස වලගම්බා රජ පළවා හැර අනුරාධපුර රාජධානිය අල්ලා ගනී. ඔවුහු එකිනෙකා මරා ගනිමින් වර්ෂ 14 ක්‌ රජ කරති. වලගම්බා මලය රටට පැන ගොස්‌ සේනා සංවිධානය කර අන්තිම ද්‍රවිඩයා මරා අනුරාධපුර රාජධානියේ රජු බවට පත්වන්නේ ක්‍රි. පූ. 76 දීය. මෙම අවස්‌ථාවේ ද්‍රවිඩ ආක්‍රමණය දුටුගැමුණු – එළාර යුද්ධයට වඩා තීරණාත්මක එකක්‌ විය හැකිය. රට තුළ අභ්‍යන්තරයේ ද කැරැල්ලක්‌ හටගෙන තිබූ මේ අවස්‌ථාවේ ද්‍රවිඩ ආක්‍රමණය ඉදිරියේ රජු පලා යැම හැර අන් දෙයක්‌ කළ නොහැකි විය. කෙසේ හෝ වර්ෂ 14 ක්‌ තිස්‌සේ රුහුණේත්, මලය රටේත් සේනා සංවිධානය කර ද්‍රවිඩ පාලනයෙන් මුදාගැනීම සිංහල බෞද්ධ රාජ්‍ය බේරා ගැනීමේ තවත් වැදගත් අවස්‌ථාවක්‌ ලෙස හැඳින්විය.

හැකිය. මීට පසු ද්‍රවිඩ ආක්‍රමණයක්‌ ඇති වන්නේ ක්‍රි. ව. 109 – 112 වංක නාසික තිස්‌ස රජු කාලයේය. පූජාවලියේ හා රාජාවලියේ සඳහන් වන පරිදි මේ ආක්‍රමණිකයා ලංකා වැසියන් දොළොස්‌ දහසක්‌ ඉන්දියාවට ගෙන ගොස්‌ දකුණු ඉන්දියාවේ කාවේරි නදිය සංවර්ධනය කිරීමට යොදවා ඇත. කෙසේ වෙතත් මේ අවස්‌ථාව එතරම් තර්ජනයක්‌ වූවා යයි සිතිය නොහැකිය. වැසියන් දොළොස්‌ දහසක්‌ රැගෙන යැම කිසිසේත් පිළිගත නොහැකි කරුණකි. ගමනාගමනයේ දියුණුවට පත්ව ඇති අද වැනි යුගයක පවා මෙසේ ප්‍රවාහනය කිරීම අපහසුය. තවද ඊට පළිගැන්මට ඔහුගේ පුත් I වන ගජබා රජු එම දොළොස්‌දහසට විසිහතර දහසක්‌ මෙරටට ගෙන ඒමේ කතාවද පිළිගත නොහැකි කරුණකි. කෙසේ හෝ මෙම කාලවකවානුවලින් පසු උතුරේ මෙන්ම උතුරුමැද පළාතේද සෑහෙන දෙමළ ජනගහනයක්‌ ඇති වීම අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි. මීට පසු ද්‍රවිඩ ආක්‍රමණයක්‌ ඇති වන්නේ චිත්තසේන රජු දවසය. (ක්‍රි. ව. 432 – 433) ද්‍රවිඩයන් හය දෙනෙක්‌ ක්‍රි. ව. 432 සිට 454 දක්‌වා වරින්වර පාලනය කර ඇත. මේ ආක්‍රමණිකයන්ගෙන් ලංකා රාජ්‍ය මුදා ගත්තේ ධාතුසේන කුමාරයාය.

මහාවංශය ලියූ මහානාම හිමි ධාතුසේන කුමරු පන්සලක සඟවා තබා රජෙකුට අවශ්‍ය ශිල්ප ශාස්‌ත්‍ර ලබා දුන්නේය. සිංහල ජනතාවගේ උදවු ඇතිව දමිළයින් පරාජය කිරීමට මහ සටනකට සූදානම් වූ ධාතුසේන කුමරා අවසානයේ ආක්‍රමණික බල බිඳ හැර ලක්‌දිව එක්‌සේසත් කර අනුරාධපුර රජු බවට පත්විය. ලක්‌දිව සිංහල ජනයා ද්‍රවිඩ පාලනයෙන් මුදාගෙන කලා වැව වැනි දැවැන්ත වාරිමාර්ග කර සිංහල ජනතාවත් සිංහල රාජ්‍යත් නැවත බේරා ගත්තේ ධාතුසේන රජුය. මේ අවස්‌ථාවේදී ඉතාම අවදානමකට ලංකා රාජ්‍ය යොමු වූ අවස්‌ථාවකි.මීට පසු ද්‍රවිඩ ආක්‍රමණයක්‌ ඇති වන්නේ I සේන රජු කාලයේය. (ක්‍රි. ව. 833 – 853) පාණ්‌ඩ්‍ය, පල්ලව, චෝලයන් එකිනෙකා පරයමින් දකුණු ඉන්දියාවේ අධිරාජ්‍යයක්‌ ඇති කළ අවධියයි මේ කාලය. පාණ්‌ඩ්‍යන් මෙකල බලවත් විය. උතුර කේන්ද්‍ර කර ගනිමින් අනුරාධපුර රාජ්‍ය ආක්‍රමණය කළ විට I සේන රජු වස්‌තුව සමඟ මලය රටට පලා ගියේය.

මෙතෙක්‌ අප කරුණු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ සිංහල රාජ්‍යයට එල්ල වූ දමිළ ආක්‍රමණ පිළිබඳවය. මේ සෑම ආක්‍රමණයකින්ම සිංහල රාජ්‍ය විනාශ කිරීමට තරම් බලපෑම එල්ල වුවද ඒවා මර්දනය කිරීමට එයට මුහුණදුන් නරපතියන් සමත් වී ඇත. මේ කාලයේදී දකුණු ඉන්දියාවේ එතරම් ප්‍රබල අධිරාජ්‍යක්‌ ගොඩනැඟී නොතිබුණි. අප මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ක්‍රි. ව. 10 වැනි සියවස වන විට ඉන්දියාවේ ප්‍රබල අධිරාජ්‍යයක්‌ ගොඩනඟන චෝළ අධිරාජ්‍යයෙන් එල්ල වන ආක්‍රමණ පිළිබඳව පෙන්වා දීමටය. I රාජ රාජ හා ඔහුගේ පුත් රාඡේන්ද්‍ර චෝළ අධිරාජ්‍යයේ ව්‍යාප්තිය ඉහළට නැංවූ රජුන් දෙදෙනෙකි. ඉන්දියන් සාගරයේ පිහිටි දූපත් පවා මොවුන් ආක්‍රමණය කොට ඇත. එපමණක්‌ නොව වඩාත් ඈතින් පිහිටි ඉන්දුනීසියාව දෙසටද ප්‍රබල ආක්‍රමණ එල්ල කිරීමට තරම් බලයක්‌ මේ කාලයේ මොවුන් ලබා තිබුණි. මෙම කාලය වන විට ප්‍රබල නාවික ශක්‌තියක්‌ මොවුන්ට තිබී ඇත.

දකුණු ඉන්දියාවේ බලවත් රාජ්‍යයක්‌ ගොඩනැඟුන සෑම අවස්‌ථාවකම ලංකාව ආක්‍රමණය කර ඇත. ඒ සඳහා ලංකාවේ පැවති සිංහාසනය සඳහා වූ බල අරගල බොහෝ සේ ඉවහල් වන්නේය. I සේන රජු කල සිදු වූ පාණ්‌ඩ්‍ය ආක්‍රමණයෙන් ඔවුන්ට අවශ්‍ය වූයේ ලංකාවේ වස්‌තුව කොල්ලකෑමටයි. ඊට පසු රජු වූ II සේන රජුට (853 – 887) IV වන මිහිඳු රජු ක්‍රි. ව. (956 – 972) වැනි අනුරාධපුර අවසාන භාගයේ දකුණු ඉන්දියාවෙන් එල්ල වන ආක්‍රමණයන්ට දැඩි ප්‍රයත්තයකින් මුහුණ දීමට සිදු වී ඇත.ක්‍රි. ව. 982 දී රජවන IV වන මිහිඳු දුර්වල පාලකයකු විය. ඔහුගේ පාලනයට ජනතාව කැරලි ගසා ඇත. ලංකා ඉතිහාසයේ සිදු වන දැවැන්තම ආක්‍රමණය සිදු වන්නේ මේ අවස්‌ථාවේදීය.

මේ ලිපියේ ප්‍රධාන අරමුණු වන්නේ මේ අවස්‌ථාවේ රට බේරා ගත් නරපතියා මීට පෙර අන් කවර නරපතියෙකුටත් වඩා ශේ්‍රෂ්ඨ සම්පන්න නරපතියා බව හුවා දැක්‌වීමටය. ක්‍රි. ව. 1017 දී IV වන මිහිඳු චෝළ සිරකරුවකු බවට පත් විය. ලංකාව චෝළ අධිරාජ්‍යට එක්‌කර මුම්මුඩි ශෝල මණ්‌ඩලම් නමින් නම් කර පොළොන්නරුව අගනුවර කර පාලනය ගෙන ගොස්‌ ඇත. පසුව එය “ජනනාථ මංගලම්” වශයෙන් හැඳින්වූහ. චෝළ අධිරාජ්‍යයා විසින් එවන ලද සෙන්පතියෙකුට පාලන බලය පවරා තිබුණි. කිත්ති කුමරා I විජයබාහු නමින් රජ වී චෝල පාලනය යටත් කර ගන්නා තුරු ක්‍රි. ව. 1017 සිට ක්‍රි. ව. 1070 දක්‌වා අඩ සියවසක්‌ පමණ පාලන බලය ලබාගෙන පාලනය කර ඇත.