ජය ශ්‍රී මහා බෝධියට ආරක්ෂාව පිණිස සිටින ප්‍රධාන ආරක්ෂක දෙවියන් වන්නේ කළු බණ්ඩාර දෙවියෝය. උන්වහන්සේ නොපෙනෙන බලවේගයක්ව මහබෝ රකින බව බෞද්ධයෝ පිළිගනිති. එසේම මහ බෝ වන්දනාවේ එන සැදැහැවතුන්ට ආරක්ෂාව පිණිසත් ඒ සැදැහැවතුන්ගේ අදහස් මුදුන් පැමිණවීම පිණිසත් කළු බණ්ඩාර දෙවියන් ක්‍රියාකරන බව පැරණියෝ විශ්වාස කරති. මහ බෝ අසළ සිටින විල්ලිදුර පරපුර කළුබණ්ඩාර දෙවියන්ට නිතර යාතිකා කරන්නාහ. ඔවුහු සැදැහැවත් ජනයාට යහපතක් වේවායිද ග්‍රහ අපල රෝ දුක් දුරු කරත්වායිද යහපත් අපේක්ෂා මුදුන්පත් වේවායිද කළුබණ්ඩාර දෙවියෝ යදින්නාහ.

මේ කළුබණ්ඩාර දෙවියන් පිළිබඳ මත රාශියක් ජනප්‍රවාද, සහ විවිධ සාහිත්‍ය ග්‍රන්ථවල එයි. එහි එක් මතයක් වන්නේ කළුබණ්ඩාර යනු ජය ශ්‍රී මහා බෝධිය ලක්දිවට වැඩම කරවද්දී ඉන්දියාවේ සිට මෙරටට මහ බෝධිය ආරක්ෂාව සඳහා පැමිණි ආරක්ෂක කණ්ඩායමේ ප්‍රධානියා වශයෙනි. ඔහු මහ බෝ සමග පැමිණි දහ අට සේනාවේ සිටි බෝධි ආරක්ෂකයාය. මේ කළුබණ්ඩාර සේනාපතියා කලක් ඇවෑමෙන් මරණයට පත්වී මරණින් මතු මහ බෝ රක්නා පිණිස කළුබණ්ඩාර දෙවියන්ව උපත ලද බව කියැවේ.

ඊට තවත් අදහසක් ජයශ්‍රී මහා බෝධියට තේවා කරන විල්ලිදුර පරපුරේ හේතුවාගේ විල්ලිය මහතා අපට මතක් කළේය.ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවෝ මහ මෙවුනා උයනේ රෝපණය කළාට පස්සෙ පළමුවෙනි කිරි පිඬු ආහාර පූජාව කරලා තියෙන්නේ කළුවා කියන ගොවියෙක්. ඔහු ගොවිතැන් කරලා තියෙන්නේ අනුරාධපුර නගරයේමය. මහා බෝධියට දීර්ඝ කාලයේ කිරිපඬු පූජා කළ මේ කළුවා කියන ගොවියා මරණින් මතු දේව ආත්මයක් ලැබූ බව පිළිගන්නවා. කළු ගොවියා, කළු දෙවියා වුණු බව අපි අතරෙහි තියෙන එක් මතයක්.කළු බණ්ඩාර දෙවියන්ගේ මුල් කාලය පිළිබඳව පුස්කොල පොතේ එන කෝල්මුර කවිවල මෙසේ සඳහන් වේ.

  • එරන්දතී කුස පිළිබඳ පූර්ණක පිය රජු දාකොට
  • තරං වයස සත් අවුරුදු කුමරු කෙළිය පිරුණු කලට
  • කුමරු කෙලිය පිරුණු කලට
  • නිරන්තරව පිය රජුගෙන් උදහස් යෙදුන කුමරුට
  • නරන් රකින්නට වල්වැද පැන්නා සත් ගවු හිමයට

මේ කෝල්මුර කවියට අනුව කළු බණ්ඩාරගේ මව එරන්දතියයි. පියා පූර්ණක රජුය. කළු බණ්ඩාර සත් හැවිරිදි විය එළැඹෙද්දී ඔහු දඟකාරයකු විය. මේ නිසා පිය රජ වූ පූර්ණකගෙන් උදහසට ලක්වී කළු බණ්ඩාර අවුරුදු හතේදීම හිමාලයට පලා ගිය බව කියැවේ.

  • ‘යුද්ධ’ රොසින් ගත් මේසය
  • බැලුවෙනි වතු පන්දහසට
  • ඇද්ද කෙනෙක් මම සරියට
  • වල් වැඳ පැන්නා හිමයට
  • යුද්ධ උතුම් දෙවි වැඩ සිටි
  • පතිනිට වැඳ සැලකර. සිට
  • මැද්ද දේසයට පළයන්
  • සිරිමා බෝ වඩින තැනට

හිමාලයට ගිය කළුබණ්ඩාර පත්තිනි මෑණියන් හමුවී අවසර ගන්නේය. එදා පත්නිය මෑණිය කළු බණ්ඩාරට ලක්දිවට වඩින ජය ශ්‍රී මහා බෝධියේ ආරක්ෂාව පිණිස යාමට අවසර දුන් බව මේ කෝල්මුර කවියේ සඳහන් වෙයි.මහ බෝ ශාඛාව ලක්දිවට වැඩම කරද්දී කළු බණ්ඩාර දෙවි කෙනෙක් හැටියට මුහුදු දියේ පයින්ම පැමිණි බව කියැවේ. මහබෝධිය සමග දහ අට සේනාව, සංඝමිත්තා රහත් තෙරණිය ප්‍රමුඛ එකොළොස් නමක් රහත් භික්ෂුණීහු නාවික යාත්‍රාවෙන් වැඩමවද්දී කළුබණ්ඩාර දෙවියන් නැවද සමග පා ගමනින් එහි ආරක්ෂාව සලසා ගෙන ආ හැටි පහත කෝල් මුර කවිය විස්තර කරයි.

  • සුර බඹ ඉසිවර විෂ්ණු මහේෂ්වර බෝධිය සමගත් වැඩමවමින්
  • දහඅට කුලයක පිරිවර සමගින් මුහුදු ජලෙහි එති නැවක් පිටින්
  • විසිතුරු තෙද ඇති මේ කළු දේවතා පතුල නොතෙමි එති රැල්ල පිටින්
  • අසිතක් නැතුවම සාසනෙ බාරව ශ්‍රී මහා බෝ රජු මුර කරමින්

කළු බණ්ඩාර දෙවියන්ට ජය ශ්‍රී මහා බෝධියේ මුර භාරව සිටින්නට පත්තිනි මෑණියන්ගෙන් අවසර ලැබිණි. ඒ දෙවියන් මහ බෝ මුර කරමින් සැදැහැවතුන්ගේ මුරුතැන් පූජා භාර ගන්නට වරම් ලද බව කියැවේ. රටට එන බාධක දුරු කරමින් යහපත සැලසීමට කළු දේවතා බණ්ඩාර විටෙක රූමත් මවක මෙන් පිහිට වන බව පහත කෝල්මුරයේ සඳහන් වෙයි.

  • උඩමළුවේ ජය රන්කඳ භාරවෙලා වැඩ සිටින්ට
  • සෘද්ධි වෙලා දන් මුරුතැන් කිරි ඉතිරුම් භාර ගන්නට
  • වැඩිකර එන නැවු කප්පර පොඩි කර දස අත දමන්නට
  • හැඩ මාතා උතුම් කෙනෙකි කළු දේවතා වැඩමවන්න

කළු දෙවියන් මහ බෝ මුර කළත් වැරදි වැඩ කරන අයටත් පුංචි සැර වැරයක් දමන බව කෝල් මුරයේ කළු බණ්ඩාර දේව විස්තරයේ සඳහන් කරයි. අකුණු හඩක් සේ ඝෝෂා කර පොල්ලක් අතට අරන් කළු බණ්ඩාර සිටින බවත් ඔහු සමග දහස් ගාණක් යක්ෂ සේනා සිටින බවත් මිහින්තලේ පොකුණු හතට දිය නෑමට කළු දෙවියෝ වඩින බවත් නරක අයට යම් පහරක් දීමට එතුමෝ පමා නොවන බවත් මෙහි දැක්වෙති.නැති දෙවියන් ලෙස මේ කෝල් මුරයේ කළු බණ්ඩාර දක්වන්නේ වරදට දඩුවම් දෙන එතුමන්ට අගෞරවයක් වන නිසා විය යුතුය.

  • අකුණු හඩක් ඝෝෂා කරමින් සුරතට මුගුරක් ගෙන වැඩියේ
  • ලකුණු ඇතිව ඔබ දහස් ගණන් යක්සෙන් පියවර ගෙන සිටියේ
  • පොකුණු හතේ මැද කළු දිය පොකුණේ දියකෙළියට නිතරම වැඩියේ
  • දකුණු දොරටුවේ ජය රන්කඳ මුල නම නැති දෙවි කැටුවයි සිටියේ

ඉහත කියන කළු බණ්ඩාර දෙවියන්ට අමතරව මහ බෝධිය දකුණු දොරටුවේ සිට මුර කරන තවත් දෙවිවරු ගැන පුරාණ පොතපතේ සඳහන් වේ. ඒ අතරින් කඩවර හා කම්බිලි දෙවියෝ ප්‍රමුඛ වෙති.සාහිත්‍ය ගත හා ජනප්‍රවාද තොරතුරු අනුව කඩවරගේ මුහුණේ එක් පැත්තක් හෙවත් භාගයක් ඉතා ලස්සන මනුෂ්‍ය මුහුණයි. අනෙක් පැත්ත ඉතා රෞද්‍ර යක්ෂ මුහුණයි. එයින් පෙන්නුම් කරන්නේ කඩවර හොඳට හොඳය. නරකට නරකය යන සංකල්පයයි.කඩවරගේ මව උමයංගනාවයි. පියා ඉසුරුයි. දිනක් උමයංගනාව ගං දියේ නාන්නට ගියාය. ඈ ගියේ තනියෙනි. ඇය සළු පිළි ගලවා දිය නා එනතුරු අරක්ෂා කර ගන්නට තරුණයකු මවා ඔහුට සළුපිළි බාර කළාය. උමයංගනා දිය නාන තැන්හි තරුණයකු ඇගේ සළුපිළි බාරව සිටිනු දැක මේ ගැන ඉසුරුට (උමයංගනාගේ ස්වාමියාට) කේලමක් අසන්නට ලැබේ. ඉසුරු ක්ෂණයෙන් ගං දෑල වෙත ගොස් තරුණයා සිටිනු දැක කෝපයෙන් ඔහුගේ හිස කඳින් වෙන් කර කපා මරා දැමුවේය.

උමයංගනා ඉසුරු ඉදිරියේ බැගෑපත්ව ස්වාමිනි මේ තරුණයා මා මැවූ කෙනෙක් යැයි කීවාය.ඒ වේලාවේ ඉසුරු උමයංගනාවට තවත් කුමාරයන් මවාපන් යැයි අභියෝග කළේය. එවේලේ උමයංගනාව ගංබඩ ඊ තණ පතකින් කුමාරයකු මැවුවාය. දිය රළෙත් කුමාරවරු පස් දෙනෙක් මැවුවාය. ඉසුරු මරා දැමූ තරුණයාගේ හිස වැටුණු තැනින් තවත් කුමාරයකු මැවුවාය.මේ කුමාරවරු ගොන්නම ඉසුරු බොහෝ සතුටින් එක තුරුළට ගෙන මාගේ දරුවෝ කියා බදා ගත්තේය. එදා උමයංගනා මැවූ කුමාරවරු කවුද? ඒ අතර ගණපති, කතරගම, කඩවර ආදිය ද විය. ඒ අනුව මේ අය සහෝදරයන් බව පැරණි පුස්කොළ පොත්හි විස්තර වේ.එදා ඉසුරු විසින් තම දරුවෝ යැයි තුරුළු කර ගත් පිරිස අතුරින් රත්න කඩවර පිය තුරුළෙන් කඩා පැන්නේය. එම රත්න කඩවරද මහ බෝ මුර බාරව දකුණු දොරේ සිටින බව විස්තර වේ. ඉහත කතාව කෝල් මුරයේ මෙසේ දක්වයි.

  • සදෙන කුමරු සිගා රැළෙන්
  • මැවු දෙවනුව උමයංගනා
  • එදින පළමු ඊ පතනෙන්
  • මැවූ කුමරුන් සහ සත්දෙන
  • රැගෙන දෑත එක් කරමින්
  • අනේ පුතුන් කන්ද කියා
  • එදින ඉසුරු සුරත යටින්
  • කඩා පැන්න කුමරු රත්න

කඩවර ස්වරූප රාශියක් දේව පුරාණයෙහි විස්තර වේ. හත් කඩවර, දහ අට කඩවර, දෙතිස් කඩවර, 64 කඩවර ආදී වශයෙන් ගණනාවකි. ඒ අතර සඳුන් කඩවර, හඳුන් කඩවර, කම්බිලි කඩවර, ලේ කඩවර, මල් කඩවර, පුළුටු කඩවර, ගොපලු කඩවර, දළ කඩවර, ස්වයං කඩවර, තොට කඩවර, භූත කඩවර අභූත කඩවර, රති කඩවර, රෑ කඩවර, සෙල්ලුකඩවර ඉන් සුළු පිරිසෙකි.මේ අතරින් රත්න කඩවර දෙවියන් මුර භාරව සිටින ස්ථාන දේව ස්ත්‍රොත්‍ර වල දැක්වේ. සමනල කන්ද දිවා ගුහාව ජය ශ්‍රී මහා බෝධීය, දළදා මාළිගාව ඉන් කීපයකි. කෝල් මුරයේ එය මෙසේ දැක්වෙයි. සමන්ත කූටේ දිවා ගුහාවේ ජය ශ්‍රී මහා බෝ රන්කඳටවත් අනන්ත බුදුරැස් විහිදෙන දාගැබ් සිරි සහ දළදා මන්දිරෙටත් සම්පත් කමින් එහිමුර කර සිරිලක නෑරම පට පඬුරුද ලැබගත්.

නිවන් පතා අද කොතැනක සිටියත් වඩින්න කඩවර ස්වාමි අදත් මහ බෝ බාරව සිටින කම්බිලි දෙවියන් වෙදකමට ද සම්බන්ධව පිදුම් ලබන දෙවියෙකි. එම නිසා දේශීය වෙදකම කරන අය අවුරුද්දකට වරක් වෙද පොත් තෙල් බේත් තබා කඩවරට පුද පූජා පඬුරු පාත්කුඩම් පිදෙනි දී පොත්ගුල් රාජකාරිය කරති.කළු දේවතා බණඩාරත්න කඩවර කම්බිලි යන දේව සභාව මහ බෝ මුර කරමින් වැඩ සිටින බලවත් දේව මණ්ඩලයකි. එබැනින් මහ බෝ වන්දනාවට සැදැහැවතියෙක් එන අයට මේ දේව මණ්ඩලයේ ආශිර්වාදය ආරක්ෂාව හිමිවන බව පැහැදිලි කරුණකි.මහ බෝ වන්දනාවේ ආශිර්වාදය ලබනවා සේම බලවත් දේව මණ්ඩලයක පිහිට ලැබීම ද උඩමළුවට එන සැදැහැවතුන්ට තවත් භාග්‍යවන්ත අවස්ථාවකි.