පෙම්වතුන්ගේ දිනය දා බොහෝ පෙම්වතුන් තම ආදරවන්තියන් සතුටු කරන්නට ආදරවන්තයා පුදුම කරන්නට විවිධ දෑ කළහ. සෑම වසරකම පෙබරවාරි දාහතර වැනිදා උදා වන තුරු පෙම්වතුන් නොඉවසිල්ලෙන් බලා සිටියහ. ඇතැම්හු පෙම්වතුන්ගේ දිනය දා තම ආදරවන්තියට රෝස මලක් සමඟ වටිනා තෑග්ගක් ලබාදුන්හ. තවත් කෙනෙක් එදා මතකය රඳවාගන්නට හෝටල් කාමරවලට ගාල් වූහ. ඇතැමුන් චිත්‍රපට ශාලාවල අඳුරු කුටියකට වී පෙම්බස් දෙඩූහ.මේ අතර තවත් පිරිසක් මේ සොඳුරැ දිනයදා හරි අපූරු කටයුත්තකට මුලපිරෑහ. වැලැන්ටයින් දිනයට හරි අපූරැ අර්ථකථනයක් එකතු කරන්නට කණ්ඩායමක් අත්වැල් බැඳගත්හ. විශේෂ දක්ෂතා ඇති දරුවන් සහ දෘෂ්‍යාබාධිතයින් පිරිසක් එකතුකර තවත් පිරිසකගේ ආධාරයෙන් සිරිපාදය වන්දනා කරවූහ.සරත් අත්තිඩිය මහතා දෘෂ්‍යාබාධිතයින් වසර කිහිපයක්ම සිරිපා කරුණාව කිරීමට උඩමළුවට රුගෙන ගියේය. මේ වසරේදී මෙම සත්ක්‍රියාව සඳහා සරත් අත්තිඩිය හා අත්වැල් බැඳගන්නට විශාරද නඳුන් හෙට්ටිආරච්චිට අවශ්‍ය විය. විශාරද නදුන් හෙට්ටිආරච්චි විශේෂ දක්ෂතා ඇති දරැවන්ට අධ්‍යාපනය ලබාදෙන ගුරුවරයෙකි.මීට පෙර මෙම සත්ක්‍රියාව කළේ සරත් අත්තිඩිය මහතායි.

ඔහු ඇස් නොපෙනෙන අය කිපවතාවක්ම සිරිපාදේ සහ වෙනත් පූජනීය ස්ථාන දෙතුන් තැනකට එක්කගෙන ගිහින් තිබුණා. මේ අවුරුද්දේ අපේ දක්ෂතා තියෙන දරුවනුත් මේ කණ්ඩායමට එකතු කරගෙන ගමන යමු කියලා ඔහුට යෝජනා කළා. ඒ අනුව තමයි පෙම්වතුන්ගේ දිනය දා අපි මේ වන්දනා ගමන ගියේ. යැයි නදුන් හෙට්ටිආරච්චි දේශයට පැවසීය.වන්දනා ගමන සඳහා විශේෂ දක්ෂතා ඇති දරුවන් සීයයක් පමණ එකතු වූහ. ඊට අමතරව දෘෂ්‍යාබාධිතයින් දෙසීය අසූවක්ද ඇතුළුව තුන්සිය අසූවක් සිරිපා කරුණා කළහ. ඔවුන්ට සහයෝගය දැක්වීමට ඔවුන්ගේ මව්පියන් සඳහා යුද හමුදා, ගුවන් හමුදා, නාවික හමුදා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් ද, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු විවිධ අය ඇතුළු එක්දහස් දෙසීයකගෙන් යුක්ත කණ්ඩායමක් සිරිපා කරුණා කිරීමට එකතු වූහ.මෙම ගමන ආරම්භ කරන ලද්දේ පෙබරවාරි මස දහතුන්වෙනිදාය. මෙය ලෙහෙසි පහසු ගමනක් වූයේ නැත. පළමුව ඔවුහු කාණ්ඩ කළහ. ගමන ආරම්භ කරන ලද්දේ පාදුක්ක ප්‍රදේශයෙන් සවස හතට පමණය. මොවුන් පාන්දර දොළහත් එකත් අතර වෙද්දී හැටන් ප්‍රදේශයෙන් සිරිපා කරැණා කිරීමේ ආරම්භයට ළඟාවිය.

අපි එතැන ඉඳන වරින් වර කණ්ඩායම් කිහිපයක් සිරිපා කරුණා කිරීමට පිටත් කළා. අපි පහළ සිට ඉහළ මාලයට කරුණා කිරීම ආරම්භ කළේ පාන්දර දෙකට විතර අවසන් කණ්ඩායම උඩ මළුවට ළඟාවද්දී සවස දෙක පමණ වුණා. නදුන් හෙට්ටිආරච්චි පැවසීය.විශේෂ දක්ෂතා ඇති දරැවන් සමඟ දෘෂ්‍යාබාධිතයින් කිසිදු කෙනෙකු මින් පෙර සිරිපා කරැණා කර තිබුණේ නැත. සැබැවින්ම මොවුන්ට මෙය හැබෑ නොවන සිහිනයක් වුණි. මේ නිසාම මේ ගමන යාමට ඔවුන් සූදානම් වූයේ අසීමිත සතුටිනි. කවදාවත් නොගිය ගමනක් යන විශේෂිත දක්ෂතා ඇති දරැවන් මේ ගමන සාමාන්‍ය සරල විනෝද ගමනක් ලෙස සැලකූහ. ඔවුන්ට ඉහළ මළුවට ඇති දුර ප්‍රමාණය ගැන නිශ්චිත වැටහිමක් නොතිබුණි. වරක් ඉහළ මළුවට යන ගමනේදී රද්දොළුගම සිට පැමිණි අන්ධ මවකට දරාගත නොහැකිව සිහිමුර්ජාවට පත්විය. වහාම හමුදා සෙබළුන් පිහිට වූහ. ඔවුහු ඉතා ඉක්මනින් සේලයින් ඇතුළු ප්‍රතිකාර ලබාදී ඇයව යථා තත්ත්වයට පත්කළහ. නැවතත් ඇය හෙමි හෙමීට සිරිපා කරැණා කළාය. ඔවුන්ට වෙහෙස දැනුණි. මඟ දෙපස ඔවුන් බොහෝ වෙලාවක් නතර වී සිටියහ. කාලය ටිකින් ටික ගතවුණි. නමුත් බොහෝ දෙනාගේ උදව්වෙන් ඔවුන් සැවොම සිරිපා කරුණා කළෝය.

උඩ මළුවේදී ඔවුන් සැවොම සිරිපා පතුල වැන්දෝය. මෙවැනි උසස් භූමියකට ආ සතුට ඔවුන් සැවොම අත්වින්දාහ. කෙසේ හෝ ඔවුන් ඉහළ මළුවට ගියද නදුන් ඇතුළු ආරාධකරැවන්ට ඇතිවූ ප්‍රධානම ගැටලුව වූයේ ඔවුන් නැවත පහළට රුගෙන ඒමය. එය ලේහෙසි පහසු කටයුත්තක් වූයේ නැත. අන්ධ පුද්ගලයින් කිහිපදෙනෙක්ට සහ විශේෂිත දක්ෂතා ඇති දරැවන් කිහිපදෙනෙකුට පහළට බැස ගැනීමට කොහෙත්ම බැරිවිය. මේ නිසා ත්‍රිවිධ හමුදා නිලධාරින් ඇතුළු අනෙකුත් අයගේ උදව්වෙන් ඔවුන් කරමත තබාගෙන ජනතාව රැගෙන ආහ.
එවැනි මිනිසුන් පිරිසකට සිරිපා කරැණා කරන්නට උදව් කරපු ඒ හැමෝටම ජන ප්‍රසාදය ලැබෙන්නට ඕනේ. ඒ අය උදව් කළේ හරිම ආසාවෙන්. අපිට යන ගමනේදී අපි ඒ අයට කොහොම හරි එක්කගෙන ගියා. පුදුම උත්සාහයක් දරලා අපි කොහොම හරි එක්කගෙන ගියා. හැබැයි එන ගමනේදී ඔවුන්ට ඒ ශක්තිය තිබුණේම නැහැ. ඒ නිසා අපිට උදව්වට ගිය අයගේ ආධාරයෙන් තමයි ඒ අය පහතට ආවේ. නදුන් හෙට්ටිආරච්චි වැඩිදුරටත් පැවසීය.

උඩමළුවට ගිය මේ බැතිමතුන් පැය හතරක් පමණ උඩ මළුවේ රැදී සිටියහ. උඩ මළුවේ සිට නැවත ඔවුන් පෙබරවාරී 14 වෙනිදා සවස හයට පමණ පහළට බැසීමට ආරම්භ කළේය. ගමන අතරමඟ නතර වෙමින් ඉතා හෙමින් පැමිණි ගමන පෙබරවාරි පහළොස්වෙනිදා පාන්දර දෙකට පමණ අවසන් විය. සාමාන්‍ය කෙනෙකුට සිරිපා උඩ මළුව කරුණා කිරීමට පැය පහක් ගතවන්නේ නම් මේ කණ්ඩායම ඉහළට ගෙනයාම හා ගෙනඒමට පැය විසිහතරක් පමණ ගතවිය.පෙබරවාරි දහතුන් වැනිදා බදාදා දිනයක් විය. මේ නිසා බ්‍රහස්පතින්දා දිනය ද සිරිපා කරුණා කිරීමට එතරම් සෙනඟක් නොසිටියහ. මේ නිසා මොවුන් උඩ මළුවේ සිට පහළට බහින විටදී ඔවුන්ට ඉහළට යන බැතිමතුන් විශාල පිරිසක් මුණගැසුණි. මේ නිසා ඉහළ මළුවේ සිට පහතට එන මොවුන්ගේ කණ්ඩායමට බොහෝ බැතිමතුන් පිරිසකගේ උදව් උපකාර ලැබුණි. විදේශිකයින් පවා මොවුන්ගේ ඡායාරූප ගැනීමට අමතක නොකළහ. මඟ දෙපස ඇති වෙළෙඳසැල්වලින් මොවුන්ට විශාල සහයෝගයක් ලැබුණි. කෙසේ වුවත් සංවිධායක කමිටුව ඉහළ මළුවට යන මේ බැතිමතුන් කෙනෙකුට වතුර බෝතලයක්, ක්‍රීම්ක්‍රැකර් එකක්, බෙහෙත් ආදිය සෑම දෙයක්ම බෑග්වලට දමා ලබා දුන්නේය. නමුත් කරැණා කරනා විටදී එම වෙළෙඳසැල් මොවුන්ට උපරිම සහයෝගය ලබා දී තිබේ.

සිරිපා කරැණා කර අවසන් වන මොහොතේදී මේ දරුවන්ට සහ දෘෂ්‍යාබාධිතයන්ට එම වෙහෙස දරාගත නොහැකි විය. එය වෙහෙස සාමාන්‍ය කෙනෙකුට දැනෙනවාට වඩා වැඩියෙන් ඔවුන්ට දැනුණි. මේ නිසා නැවත කොළඹට එනතුරු ඔවුන් කතාබහකින් තොරව ආහ. ඇතැමුන් වෙහෙසට පත්ව නිදාගත්හ. නමුත් පහුවදා ඔවුන්ට මේ ගමන ගැන දැනෙන්නට ගත්තේය.ඒ ළමයින්ට හරි සතුටුයි – ඒ වගේම තමයි ඒ දෘෂ්‍යාබාධිත අය. අපි මෙහෙම දෙයක් කළා නේද කියලා එයාලා පුදුම වෙනවා. අපි මේ ගමනට බස් රථ පහළොවක් එකතු කරගත්තා. පාදුක්කේ ඉඳන් යනතුරැම ඒ දරුවෝ සින්දු කිව්වා. හරිම සතුටින් ඒ අය ගියා. ඒ දෙමව්පියන්ට විශ්වාස කරන්නත් බැහැ. ජීවිත කාලේ කිසි දවසක හිතාගන්නටත් බැරි දෙයක් අපි කළා. එයාලාගේ ඥාතීන් වන්දනා ගමන් ගියාට කවදාවත් මේ දරැවන්ව ඒ ගමන්වලට එකතු කරගෙන තිබුණේ නැහැ. කරදරයි කියලා. ඉතින් කරදරකාරයෝම තුන්සිය ගණනාවක් අපි එක්කගෙන ගිහින් සිරිපා කරුණා කළා. නදුන් හෙට්ටිආරච්චි පැවසීය.ආදරවන්තයින්ගේ දිනයදා කොල්ලෝ කෙල්ලන් පිරිසක් එකතු වී මේ දරුවන්ට සිරිපා කරුණා කරන්නට උදව් කළහ. ඔවුන් මේ ආදරවන්තයින්ගේ දිනය සැබෑවටම සැමරූ බව පැවසිය හැකියි.