‘ක්‍රෙඩිට් කාඞ්පතක’ ප්‍රමාණයේ ප්ලාස්ටික් ප්‍රමාණයක් එක් සතියකදී සෑම ශ්‍රී ලාංකිකයකු විසින්ම ආහාර සහ ජලය වශයෙන් ගිල දමන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.ස්කන්ධය වශයෙන් සැලකුවහොත් මෙම ප‍්‍රමාණය ග‍්‍රෑම් 5 කි. ප්‍රමාණාත්මකව සැලකූ කල මිලිමීටර් 5 කට අඩු ඉතා කුඩා ප්ලාස්ටික් බිඳිති (හෝ කැටිති* 1669 ක් මෙසේ සතියකදී අපගේ ශරීර ගතවේ.සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ විද්‍යාඥ ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා මේ බව අනාවරණය කළේ ඉකුත්දා පරිසර රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ‘ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් (Micro plastic) ව්‍යසනය පිටුදකිමු’ මැයෙන් පැවැති වැඩමුළුවකදීය.මෙය අපට සැහැල්ලූවෙන් සිතා සැහැල්ලූවෙන් බැහැර කළ හැකි තත්ත්වයක් නොවේ. අප කැමති වුවත්, අකමැති වුවත් මෙසේ අපට සතිපතා හෝ දිනපතා ප්ලාස්ටික් කෑමට හෝ බීමට සිදුව තිබේ.මෙහිදී අදහස් දැක්වූ වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සෙව්වන්දි ජයකොඩි මේ පිළිබඳව තවදුරටත් විග්‍රහ කළ පරිදි, අප විසින් පරිසරයට ඉවක් බවක් නැතිව එකතු කරන අතිවිශාල පොලිතින් හා ප්ලාස්ටික්ම එක් පැත්තකින් මෙසේ අපේ ආහාර හා ජලය තුළින් යළිත් අප සොයා පැමිණේ.

මධ්‍යම පරිසර අධිකාරිය කියන පරිදි පොලිතින්, ප්ලාස්ටික් අතිවිශාල ලෙස මිශ්‍ර වූ දැවැන්ත කුණු කඳු 150 ක් රටපුරා බිහි වී තිබේ.එසේම, සාගර දූෂණය අතින් ලොව අංක පහ (5* ස්ථානයේ සිටින්නේ ශ්‍රී ලංකාව බවට දැනටමත් ශ්‍රේණිගතවී හමාරය. ඒ කෙතෙක්ද යත්, ආචාර්ය ටර්නි ප්‍රදීප් කියන පරිදි 2018 වසර තුළ ශ්‍රී ලංකාවේ සමස්ත වෙරළ කලාපය තුළ එකතුවූ පොලිතින්, ප්ලාස්ටික් ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 33 කි.මෙසේ කුණු කඳු හා සාගර පොලිතින් ප්ලාස්ටික් කාලාන්තරයකදී ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් බවට බිඳී යාමෙන් ඒවා වරදවා වටහා ගන්නා කුඩා මසුන්, ඉස්සන්, දැල්ලන් වැනි මුහුදු සතුන් ආහාරයට ගැනීමෙන් යළිත් අපගේ ආහාර මාර්ග තුළට සෘජුවම පැමිණේ. බෝතල් කළ ජලය හා නළ ජල මාර්ගද දැනටමත් මේ රකුසාට ගොදුරුවී හමාරය.එනමුත් වැඩි භයානක කම ඇත්තේ මෙසේ බිඳී යන ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් (බිඳිති) වලටත් වඩා හිතා මතා බිඳ දමා වෙළෙඳපොළට එන ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් (කැටිති) ඉවක් බවක් නැති භාවිතය තුළය.

සමාජ ස්ථරවල 99% ක් දෙනා නොදන්නා මෙම වෙළෙඳපොළ ප්ලාස්ටික් මාරයා විටෙක අප නිවෙස තුළට එන්නේ ‘ටූත් පේස්ට්’, ‘ෆේස් වොෂ්’ හෝ ‘ශරීරාලේපන’, ‘චුවින්ගම්’ ආදී වශයෙනි.මේ රටේ පාරිභෝගික කටයුතු අධිකාරියත් නොදන්නා මෙම ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ආලේපන දැනටමත් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ ග්‍රහණය කරගෙන අවසන්ය. කොහෙන් එන්නේද, කවුරුන් ගෙනෙන්නේද, අන්තර්ගතය මොනවාද නොදන්නා එම ආලේපන මගින් සෘජුවම මුඛය තුළින් හා සම තුළින් ප්ලාස්ටික් රකුසා ශරීරය තුළට රිංගා ගන්නා බව බොහෝ දෙනා නොදන්නා කතාවකි.එසේ හෙයින් පිළිකා වැනි මාරාන්තික රෝග රැසකට හේතුවන ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් මරුවාගෙන් ගැලවීම හිතන තරම් ලෙහෙසි දෙයක් නොවේ.එළවළු, සහල් වැනි දෑ සඳහා යොදන අධික කෘෂි රසායන, කුකුල් මස්, බිත්තරවල ඇති අධික රසායන (කෘත්‍රීම හෝමෝන හා එන්සයිම) ද්‍රව්‍යවලින් දූෂිත මිනිස් සිරුර මේ අනුව ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් වැඩි සංයුතියකින්ද දූෂණය වන්නේ නම් හැදෙන ලෙඬේ කුමක් වේදැයි සිතාගැනීමටත් නොහැකිය.

එසේ හෙයින් වහාම රට තුළ පොලිතින් ප්ලාස්ටික් කථිකාවක් ඇතිවිය යුතු බව කොළඹදී පැවැති විද්වත් සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණු අතර අපිද ඒ බව දැඩිව අවධාරණය කර සිටින්නෙමු.පසුගිය මෛත්‍රීපාල සිරිසේන රජය මගින් ප්ලාස්ටික්, පොලිතින් සඳහා වැදගත් නීති අණ පනත් සම්මතවී තිබුණද, ඒවා හරිහැටි තවමත් රට තුළ ක්‍රියාත්මක වන්නේ නැත.එසේම HDP – LDP වශයෙන් පොලිතින් වර්ග කර භාවිත කළත් අවසානයේ මේ සියල්ලම ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් (Micro plastic) බවට පත්වීම නිසා එය වෙනම ආකාරයේ ව්‍යසනයක් නිර්මාණය කරයි. මේ සියල්ලෙන්ම වන්නේ ජනතාව ලෙඩ කිරීමය. එසේ හෙයින් වහාම පොලිතින්, ප්ලාස්ටික් හතුරාගෙන් බැහැරව පරිසර හිතකාමී දිවියකට හුරුවන ලෙස අප ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, වහාම පළාත් පාලන ආයතන ඉදිරිපත් වී පොලිතින්, ප්ලාස්ටික් සඳහා තම බල ප‍්‍රදේශවල නීති රීති සකසා ක‍්‍රමවත් බැහැර කිරීමකට කටයුතු යෙදිය යුතු බවද පෙන්වා දෙමු.රජය ඊට ඉහළින් නීති සම්පාදනය හා ක්‍රියාකාරී වී සුපිරි වෙළෙඳසල්වලින්, දන්සැල් ලෙස බෙදන පොලිතින්, ප්ලාස්ටික් ආදී දේ පාලනය කරමින් පරිසර හිතකාමී දේශයක් ගොඩනැගීමට ජනතාවට වහ වහා බලකරන ලෙසද අපි අවධාරණය කරනු කැමැත්තෙමු.