ගෙදරක ගෘහමූලිකයා කියලා ස්වාමිපුරුෂයට දාන්න වෙන්නේ ඉතින් ඡන්ද ලැයිස්තුවට විතරයි කියන එක ලංකාවේ ප්‍රසිද්ධ කතාවක්. ඇත්තම ගෘහමූලිකයා ගෙදර නෝනනේ ඉතින්. පවුලේ තත්ත්වේ එහෙම වුණාට ලංකාවේ හැබැයි වැඩි හරියක් ඉඳලා තියෙන්නේ රජවරු. අතරින් පතර තමයි කාන්තාවෝ රජවෙලා තියෙන්නේ. එහෙම අපේ රටටම නායකත්වය දුන්න කාන්තාවෝ ගැන තමයි මේ..

1. අනුලා රැජින-ලංකා ඉතිහාසයේ ප්‍රසිද්ධ අනුලලා දෙන්නෙක් ඉන්නවා. එක් කෙනෙක් තමයි ලංකාවේ පළවෙනි භික්ෂුණින්වහන්සේ බවට පත් වුණු අනුලා දේවිය. ඇය දේවානම්පියතිස්ස රජුගේ බිසවක්. අනිත් අනුලා ලංකාවේ රජ වෙනවා. ඒත් එයාව හඳුන්වන්නේ කාම ධේනුවක් විදිහට. අනුලා කියන චරිතේ අපිට මුලින්ම මුණ ගැහෙන්නේ වළගම්බා රජ්ජුරුවන්ගේ බාලපුතා චෝරනාගගේ බිසව විදිහට. මේ චෝරනාගව වංශකතාවල හඳුන්වන්නේ රාජකීය උරුමයක් තිබ්බත් වෙහෙර විහාර පවා කොල්ලකාපු හොරෙක් විදිහට. ඒ නිසා අපිට හිතාගන්න පුළුවන් චෝරනාගගේ ආසාවන් කොහොම වෙන්න ඇතිද කියලා. අනුලා චෝරනාගට වස දීලා චෝරනාගගේ නෑයෙක් වුණු කුඩා චූලික තිස්සව රජ කමට පත් කරගෙන ඔහුටත් බිසව වෙනවා. අවුරුදු තුනක් විතර යද්දි තිස්සව එපා වෙන අනුලා, ශිව කියලා කෙනෙක්ට ඇදෙනවා. ප්‍රතිඵලය තිස්ස ආහාර විස වෙලා මැරෙන එක. ශිව රජ වෙනවා. අවුරුද්දක් වගේ යද්දි වටුක කියලා වඩු කාර්මිකයෙක්ගේ වැඩවලට අනුලාට කැමැත්තක් ඇති වෙනවා. ශිව මළවුන් අතරට යද්දි වටුක සිංහාසනේ වාඩිවෙනවා. මාස 14ක් යද්දි අනුලාගේ ඇස් යොමු වෙන්නේ මාළිගාවට දර ගෙනාපු දාරුකැටියාතිස්සට, දර පලන එක වගේ හොඳට රජකම කරගන්න බැරිවුණ නිසාමද මන්දා දාරුකැටියාතිස්සටත් හම්බ වෙන්නේ මාස 13ක්. ඊට පස්සේ නීලීය කියන බ්‍රාහ්මණයගේ පහසට අනුලා යොමු වෙනවා. අවසානයේදි අනුලා අමුතුම පියවරක් ගන්නවා. ඒ තමයි නීලියව මරලා තමන්ම රජ වෙන එක. මේක ලංකා ඉතිහාසයේ වගේම කලාපීය ඉතිහාසයෙත් සුවිශේෂී අවස්ථාවක්. ඒත් අනුලාට රජ කරන්න ලැබෙන්නේ මාස 4යි. කුඩා චූලික තිස්සගේ සහෝදරයෙක් වුණු කූටිකණ්ණ තිස්ස කුමාරයා අනුලා හිටපු මාළිගාව වට කරලා, මාළිගාවට ගිනි තියලා අනුලා කාම ගින්නෙන් දැවි දැවී හිටපු මාළිගාවම ඇගේ චිතකය කරනවා. අනුලා චරිතය පදනම් කරගෙන නවකතාත් ලියවිලා තියෙනවා. මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරුගේගේ “එපුර රැජයූ ඇය” සහ මොහාන් රාජ් මඩවලගේ “රැජන” ඇය ගැන ලියවුණු ප්‍රසිද්ධම නවකතා දෙක.

2. සීවලී රැජින.-ලංකා ඉතිහාසයේ මුණ ගැහෙන දෙවෙනි රැජිනගේ නම තමයි සීවලී. ඇය කණිරාජානුතිස්ස රජුගේ දියණිය. කණිරාජානුතිස්ස රජුගෙන් පස්සේ ඔහුගේ පුතා සහ සීවලීගේ සහෝදරයා වුණු චූලාභය රජ වෙනවා. චූලාභයගේ හදිසි මරණයෙන් පස්සේ සීවලී කුමරියව, සීවලී රැජන විදිහට අභිෂේක කෙරෙනවා. නමුත් ඇයට රජකම් කරන්න ලැබෙන්නේ මාස කීපයක් විතරයි. ඉළනාග නම් කුමාරයෙක් ඇයව බලයෙන් පහ කරලා රජ බවට පත්වෙනවා.

3. ලීලාවතී රැජින-ලීලාවතී කියන්නේ මහා පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ අගබිසව. ලීලාවතී බිසව ශ්‍රී වල්ලභ සහ සුගලා කියන රුහුණ පාලනය කරපු රජ යුවලගේ දුව. ඊට පසු කාලෙක මහා පරාක්‍රමබාහු රජු ලංකාව එක්සේසත් කරන්න ලීලාවතීගේ සහෝදරයා වුණු මානාභරණ සහ මව වුණු සුගලා එක්කත් සටන් වදිනවා. මේ නිසා ඇයට සමහර විට පරාක්‍රමබාහු රජු සමග විවාහ ජීවිතය යම්තාක් දුරකට අපහසු වෙන්නත් ඇති. වංශකතාවල හැටියට පරාක්‍රමබාහු සිංහාසනය බාර දීමට උරුමක්කාරයෙක් නැතුව මිය යනවා. මේ නිසා රජකම විවිධ පුද්ගලයන් අතට යනවා. ඒ කාල පරිච්ඡේදයේදි විවිධ සෙන්පතියන් විසින් අවස්ථා තුනකදි ලීලාවතීව සිහසුනේ තබනවා. ලීලාවතීගේ රාජවංශික උරුමය මේකට ප්‍රධානම හේතුව වෙන්න ඇති. හැබැයි ලීලාවතී ගැන අපේ වංශකතා ගොඩක් ඉහළින් කතා කරනවා. “සසදාවත” ලියපු කතුවරයාත් ලීලාවතීව වර්ණනා කරනවා. ඒවගේම දඨාවංසය ලියපු ධම්මකිත්ති හාමුදුරුවොත් ඇය ගැන කතා කරන්නේ ප්‍රසාදයකින්.

4. කල්‍යාණවතී රැජින-මහා පරාක්‍රමබාහුගෙන් පස්සේ රාජ්‍ය කාලය අතිශය අවුල් සහගත කාලයක්. මේ කාලේ ටික කාලයකට හරි රට ස්ථාවරව තියාගන්නේ නිශ්ශංකමල්ල විතරයි. නිශ්ශංකමල්ලගෙන් පස්සේ විවිධ අය අතට පාලනය හුවමාරු වෙනවා. මේ කාලෙදි එක අවස්ථාවකදී නිශ්ශංකමල්ලගෙම බිසවක් වුණු කල්‍යාණවතීව සිංහාසනයේ තියන්න පිරිසක් සමත් වෙනවා. නමුත් ඒකත් ටික කාලෙකට විතරයි. ගොඩක් අය හිතන් ඉන්නවා කල්‍යාණවතී කියන්නේ නිශ්ශංකමල්ලගේ අගබිසව කියලා. නමුත් ශිලාලිපි සාධක අනුව කල්‍යාණවතී කියන්නේ නිශ්ශංකමල්ලගේ දෙවෙනි බිසවක්. නිශ්ශංකමල්ලගේ අගබිසව විදිහට සලකලා තියෙන්නේ සුභද්‍රා කියන බිසව.

5. වික්ටෝරියා රැජින-මේ නම කියෙව්වම මේ මොකද්ද? මේ ලියලා තියෙන්නේ කියලා හිතුවා නේද? මේකයි කතාව, අපි කැමති වුණත් අකමැති වුණත් අපේ රට 1815 දී සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍යයන්ට යටත් වුණා කියන එක අපිට පිළිගන්නම වෙනවා. එතකොට බ්‍රිතාන්‍යයේ රජ කරපු කෙනාම තමයි බ්‍රිතාන්‍යයෙන් නිදහස් වෙනකන් අපේ රටෙත් රජු විදිහට සැලකෙන්නේ. එහෙම බලද්දි 1837 ඉඳන් 1901 වෙනකන් අපේ රටේ රැජින වෙන්නේ වික්ටෝරියා.‍ යගිරළ ප්‍රඥානන්ද හාමුදුරුවෝ මහාවංශය ලියද්දි වික්ටෝරියා රැජිනව වර්ණනා කරන්නත් අමතක කරන්නේ නෑ. වික්ටෝරියා රැජිනගේ ප්‍රතිමාවක් අපිට කෞතුකාගාරයේ පසු පස දොරටුව අසලදි මුණ ගැහෙනවා. ඒ ප්‍රතිමාව කලින් තමන්ගේ නමින් වික්ටෝරියා පාක් කියලා නම් කරලා දැන් විහාරමහාදේවී උද්‍යානය විදිහට හඳුන්වන උද්‍යානය දිහා බලාගෙන ඉන්නවා.

6. දෙවෙනි එළිසබෙත් රැජින-1952 ඉඳන් 1972 ලංකාව ජනරජයක් වෙනකන් අපේ රටේ රැජින වුණෙත් එයාම තමයි. 1972 ලංකාව ජනරජයක් වුණේ නැත්තන් තාමත් ඉතින් එයා තමයි. ජෝන් කොතලාවල අගමැතිවරයාගේ පාලන කාලය තුළ ලංකාවේ රැජින විදිහටත්, ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලෙදි බ්‍රිතාන්‍ය රැජින විදිහටත් ඇය ලංකාවේ සංචාරය කරනවා.