වෙළෝදපොළෙහි පවතින විවිධ භාණ්‌ඩ මිල දී ගැනීමේ දී ඒවා අසුරන ලද පොලිතින්, ප්ලාස්‌ටික්‌, කඩදාසි, කාඩ්බෝඩ්, වීදුරු වැනි ද්‍රව්‍ය අපට හමු වනවා. මේ අතරින් ප්ලාස්‌ටික්‌ භාණ්‌ඩ විශේෂ තැනක්‌ ගන්නවා. මේ ප්ලාස්‌ටික්‌ ඇසුරුම්වල සංකේත ගණනාවක්‌ ඇතත් ඒ පිළිබඳ මනා දැනුමක්‌ අප හට නොමැතිකමින් සෞඛ්‍යයට මෙන් ම පරිසරයට හානි සිදු වනවා. එබැවින් සැම දෙනා ම ඒ පිළිබඳව දැන සිටීම ඉතා වැදගත්.1988 වර්ෂයේ දී ප්ලාස්‌ටික්‌ කර්මාන්තය වෙනුවෙන් පිහිටුවූ Society of the Plastics Industry – SPI සංගමය මගින්, ප්ලාස්‌ටික්‌ වර්ගය තනා ඇති රෙසින අනුව අංක 01 සිට 07 දක්‌වා අංක හදුන්වා දී තිබෙනවා. එමගින් ඒ ඒ ප්ලාස්‌ටික්‌ වර්ගය ප්‍රතිචක්‍රීකරණය කිරීමට ඇති හැකියාව හඳුනාගැනීමට සහ සෞඛ්‍යයට හිතකර ප්ලාස්‌ටික්‌ බඳුන් තෝරාගැනීමට පාරිභෝගිකයාට පහසු වනවා.ඔබත් පානීය ජල බෝතල්, කෑම පෙට්‌ටි හා විවිධ ආහාර වර්ග අසුරා ඇති ප්ලාස්‌ටික්‌ බඳුන් භාවිත කරන්නේ නම් එහි අඩියේ ඇති ඊතලවලින් වට වූ ත්‍රිකෝණයක්‌ තුළ කුඩා අංකයක්‌ තිබේ දැයි බලන්න. මේ අංකය මගින් ප්ලාස්‌ටික්‌ වර්ගය හා ඒවා ප්‍රතිචක්‍රියකරණය කිරීමට ඇති හැකියාව පිළිබිඹු වනවා.සමහර ප්ලාස්‌ටික්‌ නැවත නැවත භාවිතයට සුදුසු වන අතර සමහර ප්ලාස්‌ටික්‌ වර්ග ප්‍රතිචක්‍රීකරණය කිරීමට නොහැකියි. ප්ලාස්‌ටික්‌ කර්මාන්තය හඳුන්වා දී ඇති මේ සංකේත සියලු ම නිෂ්පාදන ඇසුරුම්වල අන්තර්ගත කිරීම නෛතික අවශ්‍යතාවක්‌ නො වන නමුත් මේ සංකේත පිළිබඳ තේරුම්ගැනීම හා මනා අවබෝධයක්‌ තිබීම පාරිභෝගික ඔබ සතු වගකීමක්‌.ඔබත් ප්ලාස්‌ටික්‌ බඳුනක්‌ මිල දී ගැනීමට පෙර ඔබට අවශ්‍ය අදාළ අංකය තිබේ දැයි භාජනයේ අඩිය පරීක්‍ෂා කර බලන්න. ඔබ මේ පිළිබඳව ඔබ අවට සිටින්නන් වන ඔබේ යහළුවන්, නැදෑයන් සහ ළමයින් දැනුවත් කරන්න.

01. PET or PETE (Polyethylene Terephthalate) පොලිඑතලීන් ටෙරප්තලේට්‌ මේ අංකය (1) සහිත භාජන ඔබට නිරන්තරයෙන් දක්‌නට ලැබෙන අතර මේ සංකේතය අඩංගු භාජන ඉතා බහුලව ආහාර ද්‍රව්‍ය ඇසුරුම් කිරීමට යොදාගැනෙනවා. මේ සංකේතය පානීය ජල බෝතල්වල සහ බීම බෝතල් අඩියේ දැකගත හැකියි.මේ ප්ලාස්‌ටික්‌ වර්ගය විනිවිද පෙනෙන අයුරින් සහ වායු වර්ග සහ තෙතමනය ගමන් කිරීමට බාධක ලෙස ක්‍රියා කිරීමට හැකි වන අයුරින් නිෂ්පාදනය කර තිබෙනවා. භාවිතයට එක්‌ වරක්‌ පමණක්‌ සුදුසු මේ ප්ලාස්‌ටික්‌ වර්ගය පොලියෙස්‌ටර් යන නමින් ද හදුන්වනු ලබනවා. මේ බෝතල් නැවත නැවත භාවිත කළ හොත් එහි කඩතොළු ඇති වන අතර එවිට එය පිරිසිදු කිරීම දුෂ්කර නිසා බැක්‌ටීරියා වැනි විෂබීජ වර්ධනය වන්නට පිළිවන්. මේ පොලිඑතිලීන් ටෙරප්තලේට්‌ නිසා පිළිකා ඇති විය හැකි බවටත් විවිධ මත පවතිනවා. මේ ප්ලාස්‌ටික්‌ වර්ගය ප්‍රතිචක්‍රීකරණය කර ගෘහ භාණ්‌ඩ, කාපට්‌, ජැකට්‌ හා භාජන වැනි දෑ නිපදවනු ලබනවා.පාරිභෝගික ඔබ අංක 01 වර්ගයේ ප්ලාස්‌ටික්‌ භාජන, බෝතල් ප්‍රතිචක්‍රීකරණයට යොමු කළ යුතු අතර මෙවැනි දෑ නැවත නැවත භාවිතය නො කළ යුතුයි.

02. HDPE (High Density Polyethylene) ඝනත්වයෙන් වැඩි පොලිඑතලීන් මෙය ඉතා ආරක්‍ෂිත ප්ලාස්‌ටික්‌ වර්ගයක්‌ ලෙස හදුන්වන අතර නැවත නැවත ද භාවිත කළ හැකියි. ෂොපින් බෑග්, බෝතල්, පවිත්‍රකාරක, විලවුන් හා ක්‌ෂාලක (cosmatics & detergent), ප්ලාස්‌ටික්‌ බෑග් ඇසිරීම සදහා ගන්නා උපාංග (industrial wrapping and films,sheets) සදහා භාවිත වන මේ ප්ලාස්‌ටික්‌ බහුලව ප්‍රතිචක්‍රීකරණය කරනු ලබනවා. HDPE ප්ලාස්‌ටික්‌ දැඩි බවින් යුක්‌ත නිසා මේවා හිරු එළිය, අධික උෂ්ණත්වයකට හෝ අධික ශීතල හමුවේ වියෝජනය වන්නේ නැහැ. ඒ හේතුවෙන් මේස, පුටු, උද්‍යානවල ඇති බංකු, කසළ බදුන් වැනි දෑ මේවා යොදාගෙන නිෂ්පාදනය කරනු ලබනවා.

03. PVC ( Polyvinyl Chloride) පොලිවයිනයිල් ක්‌ලෝරයිඩ් PVC යන නාමය දුටු විට මතකයට නැෙගන්නේ ජල නළ, බට, පයිප්ප සහ උපාංග ආදියයිs. එහෙත් විනිවිද පෙනෙනසුලු ආහාර ඇසුරුම්, ආහාර පිසින තෙල් බෝතල් හා සෙල්ලම් බඩු තැනීමටත් මේ PVC ප්ලාස්‌ටික්‌ යොදාගනු ලබනවා. භාණ්‌ඩ සුරක්‌ෂsතව ඇසිරීම සඳහා යොදාගන්නා වායු බුබුළු සහිත ප්ලාස්‌ටික්‌ කවර සාදා ඇත්තේ ද PVCවලින්. මීට අමතර ව රථවාහනවල විවිධ උපාංග නිෂ්පාදනයටත් සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේ භාවිත වන විවිධ උපකරණ සෑදීමටත් මේ ප්ලාස්‌ටික්‌ වර්ගය භාවිත කෙරෙනවා.

04. LDPE ( Low Density Polyethylene) අඩු ඝනත්ව පොලිඑතලීන් ප්ලාස්‌ටික්‌ බෑග්, මූඩි (container lids), මිරිකිය හැකි බෝතල් (squeezable), ගොසරි බෑග් ආදිය LDPE ප්ලාස්‌ටික්‌ වර්ගය යොදා නිපදවනු ලබනවා. මේ LDPE ප්ලාස්‌ටික්‌ අනෙකුත් ප්ලාස්‌ටික්‌ වර්ගවලට සාපේක්‌ෂව විෂ බවින් අඩු නිසා භාවිතයට සුදුසුයි. මේවා තවමත් ප්‍රතිචක්‍රීකරණයට නො ගන්නා අතර ප්‍රතිචක්‍රීකරණය කිරීමට විවිධ පරීක්‌ෂණ පැවැත්වෙනවා. එහි ප්‍රතිඵලයක්‌ ලෙස මේවායින් කාපට්‌, මල් බඳුන්, කසළ බඳුන් ආදිය නිපදවීමට සමහරුන් පෙලඹී සිටිනවා. මේ ප්ලාස්‌ටික්‌ වර්ග නැවත නැවත භාවිත කිරීම මගින් පරිසරයට එක්‌ වන LDPE ප්‍රමාණය අවම කරගැනීමට ඔබටත් දායක විය හැකියි.

05. PP ( Polypropylene) පොලිප්‍රොaපිලීන් පොලිප්‍රොaපිලීන් ආහාර පාන වර්ග ඇසුරුම් සඳහා භාවිත කළ හැකි ප්ලාස්‌ටික්‌ වර්ගයක්‌. බීම බට, මාගරින් කෝප්ප (big), අයිස්‌ක්‍රීම් (big), වරක්‌ භාවිත කර ඉවත ලන කෝප්ප, පිඟන්, take away බඳුන් ඇසුරුම් කිරීමට බහුලව යොදාගන්නා අතර අධික උෂ්ණත්වයක්‌ දරාගත හැකි නිසා උණුසුම් ද්‍රව්‍ය ඇසිරීමට වඩා සුදුසුයි. තව ද මේවා රසායනික ද්‍රව්‍යයන් සඳහා ඉහළ ප්‍රතිරෝධිතාවක්‌ දක්‌වනවා. ශක්‌තිමත් බවින් ඉහළ ඝනත්වය අඩු සැහැල්ලු ප්ලාස්‌ටික්‌ වර්ගයක්‌ වන මෙය නැවත නැවත භාවිත කර පරිභෝජනය කළ හැකියි. වතුර බෝතල් (කුඩා ළමයින් පාසල් ගෙන යන) කෑම පෙට්‌ටි, කෑම වර්ග ඇසිරීමට ගන්නා භාජන හා බීම බෝතල් නිෂ්පාදනයට වඩා සුදුසුයි. මේ ප්ලාස්‌ටික්‌ බඳුන් පරිභෝජනයෙන් පසුව ප්‍රතිචක්‍රීකරණය කිරීමට යොමු කළ හැකියි.

06. PS ( Polystyrene) පොලිස්‌ටයිරින් බත් පැකට්‌ අසුරන රිජිෆොaම්, බීම, යෝගට්‌ කෝප්ප, හැඳි, බටර්/මාගරින්/ අයිස්‌ක්‍රීම් කෝප්ප (small size) වැනි දැ තිනීමට යොදාගන්නා මිලෙන් අඩු සැහැල්ලු පහසුවෙන් නිපදවිය හැකි ප්ලාස්‌ටික්‌ වර්ගයක්‌. තව ද තාප පරිවාරක ද්‍රව්‍යයක්‌ ලෙස නිවාස ඉදිකිරීම් ක්‌ෂේත්‍රයේ භාවිත කරනු ලබනවා. පොලිස්‌ටයරින්වලින් ස්‌ටයරින් නැමති රසායනික ද්‍රව්‍යය කාන්දු වන අතර මයික්‍රෝවේව් උදුන්වල රත් කිරීමේ දී පිළිකාකාරක මෙන් ම වෙනත් සෞඛ්‍යයට හානිකාරක විෂ ද්‍රව්‍ය එක්‌ විය හැකි බවට මත පළ වී තිබෙනවා. පොලිස්‌ටයරින් ඉතා සැහැල්ලු නිසා පහසුවෙන් පරිසරයට එකතු වන අතර ප්‍රතිචක්‍රීකරණය කිරීම ඉතා අපහසුයි.

07. Other (Polycarbonate and Lexan) පොලිකාබනේට්‌ සහ වෙනත් වර්ගවල ප්ලාස්‌ටික්‌ මෙයට ඇතුළත්. මේ සලකුණ අඩංගු භාජන තුළ ආහාර ද්‍රව්‍ය හෝ බීම වර්ග ඇසුරූ විට ඒවා තුළට ප්ලාස්‌ටික්‌වල ඇති රසායනික ද්‍රව්‍ය කාන්දු වීමේ ඉඩකඩ වැඩි බැවින් මේ ප්ලාස්‌ටික්‌ තෝරාගැනීමේ දී සැලකිලිමත් විය යුතුයි. මෙවැනි ඇසුරුම්වල අප ගේ හෝමෝනවලට බලපාන බිස්‌ෆිනොල් A (BPA) (Bisphenol A) නැමති රසායනික ද්‍රව්‍යය අඩංගු වන අතර ඒවා සුළු වශයෙන් කාන්දු වීමට ඇති හැකියාව වැඩියි. ස්‌වාභාවික ද්‍රව්‍ය එක්‌ කිරීම මගින් පොලිකාබනේට්‌ ප්‍රමාණය අඩු කර ඇති අතර මෙමගින් දිරා යන ප්ලාස්‌ටික්‌ බවට පත් කර තිබෙනවා.පාරිභෝගික ඔබට මේවා වෙන් කරගැනීමට පහසු වන ලෙස අංකය අසල, PLA, හෝ දිරා යන ද්‍රව්‍ය යන අදහසින්, Compostable, ලෙස දක්‌වනු ලබනවා. PLA හෝ Compostable ලෙස දක්‌වා ඇත්නම් එම ප්ලාස්‌ටික්‌ පරිසරයට එක්‌ කළ හැකියි.