අනුරාධපුරයේ රජකළ ධාතුසේන රජුට යකඩ දෝලියකගෙන් ලත් කාශ්‍යප නම් කුමරුවෙකු හා අභිශේක බිසවගෙන් ලත් මුගලන් නම් වූ පුතුන් දෙදෙනෙක්ද දියණියක ද වූහ. රජු තම නැගණියගේ පුත් සෙන්පති මිගාරට ඇය විවාහ කර දුන්නේය. මිගාර දිනක් තම දියණියට අමානුෂික ලෙස පහර දුන්නේ යැයි කිපුණු ධාතුසේන රජු, තම සොහොයුරිය වූ මිගාරගේ මව නිරුවත් කොට පුළුස්සා මරා දමන්නට නියෝග කළේය. මේ නිසා ධාතුසේන රජුගෙන් පළිගන්නට සිතූ සෙන්පති මිගාර, කාශ්‍යප කුමරුන්ව රාජ්‍යය ලබා ගැනීමට පෙළඹුවේය. මේ අතර මුගලන් කුමරු සේනා සංවිධානය කොට රාජ්‍යය ලබා ගැනීමේ අරමුණින් ඉන්දියාවට පලා ගියේය.
මුගලන් කුමරු වෙනුවෙන් ධාතුසේන රජු ධනය තැන්පත් කර ඇති බව කියමින් සෙන්පති මිගාර, කාශ්‍යප කුමරුන්ට ධාතුසේන රජු කෙරෙහි තවත් වෛර බැඳවීය. මුගලන් කුමරුන් හට තැන්පත් කළ ධනය ගැන විමසූ විට ධාතුසේන රජු කාශ්‍යප කුමරුන් හට කියා සිටියේ ඒ ධනය, කලා වැව බවයි. ඉන් කිපුණු කාශ්‍යප කුමරුන් තම පියරජු නිරුවත් කොට කලා වැවේ වැව් බැම්මට තබා මැටි ගස්සවා මරා දැමීමට නියෝග කළේය.සිය පියා මැරූ පළිය ගැනීමට තම සොහොයුරා වූ මුගලන් කුමරු කෙදිනක හෝ තමා සමඟ යුද්ධයට එතැයි බියෙන් කාශ්‍යප රජු සීගිරි බලකොටු රාජ්‍යය ගොඩනැගූ බව ඉතිහාසය සාක්ෂි දරයි.අද අප දකින සීගිරිය ඉතිහාසයට එක් වන්නේ ක්‍රි.ව. 477 දී කාශ්‍යප රජු සිය මාළිගාව සීගිරි පර්වත මස්තකයේ තැනීමෙන් පසුවය.සීගිරි පර්වතය මත ඉදිකර ඇති රජ මාළිගය සහ අනෙකුත් ගොඩනැගිලි එකළ ශ්‍රී ලංකාවේ පැවති දියුණු ගෘහ නිර්මාණ ශිල්පයට මනා සාක්ෂියක් වී ඇත.

ඉතා සමමිතික ආකාරයෙන් නිමවා ඇති ජල උද්‍යානයත් එහි ඇති ජලවහන පද්ධතියත් නූතන ඉංජිනේරුවන් මවිත කරවන නිර්මාණයක් බවට පත්වී හමාරය. වැසි වැටුණු විට තවමත් ක්‍රියාත්මක වන ජල මල් පද්ධතිය සීගිරි යුගයේ සිටි හෙළ නිර්මාණකරුවන්ගේ විශ්මිත හැකියාවන් විදහා දක්වයි.සීගිරිය ප්‍රසිද්ධත්වයට පත් වූයේ එහි ඇති බිතු සිතුවම් හේතුවෙනි. එහි ඇත්තේ ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ ගනයේ චිත්‍ර නිර්මාණ බව විද්වතුන්ගේ මතයයි. රන්වන් හා නිල්වන් වර්ණයන්ගෙන් යුතු ලලනාවන්ගේ රූප 22ක් දැනට එහි දක්නට ලැබේ. ස්වර්ණ වර්ණ කතුන් අන්ත:පුර ස්ත්‍රීන් බවත් නීල වර්ණ කතුන් සේවිකාවන් බවත් මෙරට ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්.පී.සී. බෙල් මහතා පවසයි. මෙම කතුන් මල් රැගෙන පිදුරංගල වන්දනා කරන්නට යන බවද ඔහු තවදුරටත් පවසා ඇත.ඉන් පසුව එම තනතුරට පත් පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන මහතා පවසා සිටියේ විජ්ජු ලතා සහ මේඝ ලතා සංකේතවත් කරමින් මේ කතුන් ඇඳ ඇති බවයි.සීගිරියේ තවත් අපූර්වතම නිර්මාණයක් වන කැඩපත් පවුරේ සටහන් තබා ඇත්තේ ඉන්පසු සීගිරියට පැමිණි විවිධ තරාතිරමේ පුද්ගලයන් විසිනි. අද වන විට එහි පැහැදිලිවම හඳුනාගත හැකි කුරුටු ගී 700 ක් පමණ ඇති බව සඳහන් වේ. අතීත භාෂාවත්, ඔවුන්ගේ රසාඥතාව හා සිංහල භාෂාව ක්‍රම ක්‍රමයෙන් විකාශය වූ ආකාරයත් මෙම කුරුටු ගී වලින් මනාව පෙනී යයි.

ක්‍රමයෙන් වනාන්තරයෙන් වැසීගිය සීගිරිය නැවත සොයාගෙන ඇත්තේ 1831 දී මේජර් එච්. පෝර්බ්ස් විසිනි. යළි 1833 දී පොර්බ්ස්, සීගිරියේ කැඩපත් පවුර සහිත මාර්ගය දක්වාම ගොස් ඇතත් පර්වතය මතට නැඟීමට නොහැකි වී ඇත. නමුත් 1853 දී ඒ.වයි.ඇඩම්ස් හා ජේ.බේලි යන තරුණ සිවිල් නිලධාරීන් දෙදෙනා මුලින්ම සීගිරි පර්වතය මතට නැඟුණු බව කියති. යළි 1894 දී එච්.සී.පී.බෙල් මහතා සීගිරිය එළිපෙහෙළි කොට එහි පුරාවිද්‍යාත්මක ගවේෂණ යළි ආරම්භ කළේය.පැරණි ශ්‍රී ලාංකිකයගේ අතිශය විශ්මිත නිර්මාණයක් වූ සීගිරිය, ලාංකික සංස්කෘතිය හා ඔවුන්ගේ ප්‍රතිභාපූර්ණ නිර්මාණ ශක්තිය පිළිබඳ අපූර්වත්වය සමස්ථ ලෝකයා හමුවේ තබන අති දැවැන්ත නිර්මාණයකි.සීගිරියේ බටහිර දොරටුව කැණීම් සිදුකර තිබේ. ඒ අනුව එහි ජල උද්‍යානයේ බොහෝ කොටස් මතු කරගෙන ඇත. නැගෙනහිර දොරටුව කැණීම් සිදුකර ඇතත් ඒ ප්‍රදේශයේ කරන ලද ගවේෂණ අනුව පෙනී ගොස් ඇත්තේ නැගෙනහිර දෙසින් ඇති ගොඩනැගිලි ඉදිකිරීම් අතරමඟ නවතා දමා ඇති බවයි. මුගලන් කුමරු යුද්ධයට එන විට නැගෙනහිර දෙසින් නගර නිර්මාණය කරමින් තිබෙන්නට ඇත. එම ප්‍රදේශය විශාල ප්‍රමාණයේ රථ වාහන පර්වතය ආසන්නයට ගතහැකි ආකාරයෙන් නිර්මාණය වී තිබෙන බවබොහෝ දුරට ඒවා ඇත් කරත්ත වැනි වාහන විය හැකි බවද පුරාවිද්‍යාඥයෝ පවසයි.

වසර 18කට පසු සේනා රැස් කරගත් මුගලන් කුමරු කාශ්‍යප රජු සමඟ යුද්ධයට පැමිණියේය. යුද්ධයට ගිය කාශ්‍යප රජු මඩ වලකින් එතෙර වීමට නොහැකිව තම ඇතු ආපසු හැරවූ මොහොතේ රජු පලා යතැයි සිතූ කාශ්‍යප රජුගේ සේනාව හිස් ලූ ලූ අත දිව ගියෙන් තනිවූ කාශ්‍යප රජු සියතින් ගෙළ සිඳගෙන මියගිය බව වංශ කතා වල සඳහන් වේ. කාශ්‍යප රජු මිය ගිය පසු රාජ්‍යය අල්ලාගත් මුගලන් රජු සිය සොයුරාට රජෙකුට සුදුසු අවමංගල්‍ය උත්සවයක් පවත්වා භෂ්මාවශේෂ තැන්පත් කර සෑයක් ද කරවා ඇත. එම සෑය පිදුරංගල විහාරයට නුදුරින් සොයාගෙන ඇත. මුගලන් රජු සීගිරිය භික්ෂූන් වහන්සේලාට භාරකොට නැවත අනුරාධපුරයට ගොස් ඇත.එකළ සිංහගිරිය නමින් හැඳින්වූ සීගිරි පර්වතය පසුකාලීනව සීගිරිය බවට පරිවර්තනය වී ඇත.සීගිරි ගල් පර්වතය නැගෙනහිරින් සිංහයෙකුගේ පූර්ව ස්වරූපයෙන් යුතු අතර සීගිරියේ ඉහළ මාලයට පිවිසීමට ඇත්තේ සිංහ කටකිනි. එමෙන්ම සිංහ ස්වරූපයෙන් කළ ආරක්ෂක කුටිද හමුවී තිබේ. ඒ අනුව සීගිරිය හැඳින්වීමට සිංහගිරිය යන නම භාවිතා කළ බව පැහැදිලිය.වර්තමානයේ සීගිරිය පිළිබඳ ගවේෂණ කටයුතු සිදුකරන්නේ සංස්කෘතික ත්‍රිකෝණය මඟිනි. සීගිරිය බලකොටුවක්ය යන්න දැක්වීමේදී ලක්දිව දක්නට ලැබෙන අනෙක් බලකොටුවල මෙන්ම සීගිරිය ද දිය අඟල්, පවුරු පදනම් ආදියෙන් ආරක්ෂිතය. පාලකයාගේ මාළිඟය ආරක්ෂිත ඉහළ මාලයේ පිහිටා ඇත. සීගිරියේ ජල අඟලට පිටතින් ගලින් හා ගඩොලින් කළ විශාල පවුරක් හමුවන අතර ඊට ඇතුළතින් ජල අඟල් දක්නට ලැබේ. ජල පවුර අඩි 80 ක් පමණ පළල් ය. එමෙන්ම එහි හමුව තිබෙන නටඹුන් වලට අනුව අවශ්‍ය විට පමණක් යොදවා ගත හැකි පරිදි ලී වලින් සකස් කළ ඇතුළත පාලම යොදා තිබූ බව සඳහන් ය. ඊට ඇතුළතින් ගලින් හා ගඩොලින් කළ පවුරක් හමුවේ.

සීගිරි පුරා භූමිය ජල උද්‍යානය (සමමිතික සැලැස්ම), ශිලා උද්‍යානය (ස්වාභාවික සැලැස්ම), මාලක උද්‍යානය ලෙස කොටස් 3කට බෙදා තිබේ. ජල පවුරෙන් අනතුරුව හමුවන පවුරෙන් පසුව බටහිරින් සීගිරියට පිවිසෙන විට පළමුව ජල උද්‍යානයට පිවිසේ. එහි වැඩි වශයෙන් පොකුණු දක්නට ලැබෙන හෙයින් එම කොටස මාලක උද්‍යානය ලෙස හැඳින්වේ. එහි ගස් ගල් ආදී භූගෝලීය බාධක ඉවත් කොට මාර්ගය දෙපස ක්‍රමානුකූල සැලැස්මකට අනුව සමාන්තර ලෙස ගොඩනැගිලි හා පොකුණු ඉදිකර තිබෙන බැවින් එම කොටස සමමිතිකානුකූල සැලැස්ම ලෙස හැදින්වේ.ඉන් අනතුරුව පිවිසෙනුයේ ශිලා උද්‍යානයටයි. එම කොටස ශිලා උද්‍යානය ලෙස හඳුන්වා ඇත්තේ වැඩි වශයෙන් ගල් පර්වත වලින් යුතු බැවිනි. එමෙන්ම එම කොටසේ පැවති ගස් ගල් පර්වත ආදී කිසිවක් ඉවත් නොකොට ඒවා පරිසරයේ අලංකාරයක් ලෙස යොදා ගනිමින් විවිධ නිර්මාණ කොට තිබෙන බැවින් එම කොටස ස්වාභාවික සැලැස්ම ලෙස හැඳින්වේ.අනතුරුව පිවිසෙන ඉහළ කොටස මාලක උද්‍යානය ලෙස හැඳින්වේ. එහි දක්නට ලැබෙන ප්‍රධාන පුරාවිද්‍යාත්මක නටඹුන් අතර සීගිරි චිත්‍ර, කැඩපත් පවුර, සිංහ පාද, ප්‍රධාන මාළිගය හා ගල මුදුනේ දක්නට ලැබෙන පොකුණු දෙක හා ගල් ආසනයද වැදගත් වේ. සීගිරියට පිවිසීමට බටහිර දිග දොරටුව හැරුණු විට නැගෙනහිර දකුණු උතුරු දෙසින්ද දොරටු පිහිටා තිබූ බවට සාධක තිබේ.දක්නට ලැබෙන ලක්ෂණ:පර්වත මස්තකයේ තිබෙන රජ මාළිගය,ගඩොලින් තැනූ සිංහයාගේ රූපය
පර්වත ශිඛරයේ ඇඳ තිබෙන සීගිරි ලලනාවන්,සීගිරි කැඩපත් පවුර සීගිරිය සංස්කෘතික කලාගාරයක් යැයි පැවසීම හේතු:
ක්‍රි.ව. 5 වන සියවසේ පැවති නාගරික සැලසුම් ක්‍රම හා භූමි නිර්මාණ ක්‍රම,ඉංජිනේරු විද්‍යාව,ජල තාක්ෂණය,ගෘහ නිර්මාණ ශිල්පය,කලා ශිල්ප හා සාහිත්‍යය

ගෘහ නිර්මාණ:ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ අධ්‍යනයේදී සීගිරිය වඩා වැදගත්ය. එනම් අනුරාධපුර, පොළොන්නරුව වැනි ස්ථාන වලින් පුරාවිද්‍යාත්මක නටඹුන් රාශියක් හමු වූවත් ඒවා පාලකයන් රාශියක් යටතේ දීර්ඝ කාල පරිච්ඡේදයක් තුළ සංවර්ධනය වූ ඒවා නමුත් සීගිරිය, ධාතුසේන රජුව මැරූ කාශ්‍යප ක්ෂණිකව තම රාජධානිය ලෙස තෝරාගත් අතර වසර 18ක් වැනි කෙටි කාලපරිච්ඡේදයක් තුළ ගොඩනංවා භික්ෂූන්ට පූජා කිරීමෙන් පසු කිසිම පාලකයෙක් යටතේ රාජ්‍ය මධ්‍යස්ථානය ලෙස යොදා නොගැනීම නිසා පාලකයන් රාශියක් යටතේ සංවර්ධනයට පත් නොවුණි. ඒ අනුව ලාංකික නිර්මාණකරුවන් තුළ පැවති සැලසුම්කරණය, ගෘහ නිර්මාණ තාක්ෂණය, වාස්තු විද්‍යාව, ජල තාක්ෂණය ආදිය අධ්‍යනය කිරීමේදී වඩාත් වැදගත්ය. එමෙන්ම ඉහත අනුරාධපුරයෙන් හා පොළොන්නරුවෙන් හමුවන නටඹුන් බොහොමයක් ආගමික නටඹුන් වන අතර සීගිරියෙන් හමුවන නටඹුන් ලෞකික නටඹුන් වීම නිසා ලංකාවේ ලෞකික ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ අධ්‍යනයේදී සීගිරිය ප්‍රධාන වේ. සීගිරියෙන් හමුවන නටඹුන් අතර බලකොටුවකට අවශ්‍ය නොවන ලෞකික නටඹුන් අතර සීතලමාළිගා, විනෝද උද්‍යාන, ජල තටාක ආදිය වැදගත්ය. ජල උද්‍යානය ආසන්නයේදී සීතල මාළිගයක නටඹුන් හමුව තිබේ. පොකුණේ සිට පැමිණි භූගත ජල මාර්ගයක් සීතල මාළිගයෙහි අත්තිවාරම වටා ගමන් කර නැවත පොකුණට වැටී තිබෙන අතර කුමන තාක්ෂණයක් පැවතියේද යන්න ස්ථිරව කිව නොහැක. පොදුවේ සීතල මාළිගයක් යැයි විශ්වාස කෙරේ.එසේම ජල උද්‍යානය ඉතාම වැදගත් වන අතර එහි අද පවා වර්ෂා කාලයේදී භූගතව ජලය පැමිණ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ජලමලක් හමුව තිබේ.