කුරුණෑගල වත්හිමි පාරේ උස් බිමක පිහිටි වත්හිමි බණ්ඩාර දේවාලය මුස්ලිම් පල්ලියක් වැනිය. එහි පැමිණෙන තරුණ පෙම්වතුන්, පොලිස් නිලධාරීන්, ව්‍යාපාරිකයන්, ගැමියන් මුදල් නෝට්ටු පූජා කරමින් පළතුරු වට්ටි පූජා කරමින් විවිධ භාරහාර වෙති. තම දෛනික කාර්යයන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරති. එහි කපු මහතා ද මුස්ලිම් ජාතිකයෙකි. ඔහු සිංහල යාතිකාව අරඹන්නේ මොහොමඩ්ගේ නාමය සඳහන් කරමිනි. අවසාන කරන්නේ ගලේබණ්ඩාර ඔලියුල්ලාහ් දේවාරක්ෂාව පිහිට ලැබේවායි කියමිනි. දේවාලය මුස්ලිම් ජාතිකයන් විසින් පවත්වාගෙන ගිය ද එහි පිහිට පතා පැමිණෙන්නේ සිංහලයෝ වෙති. ඔවුන් අතුරින් බහුතරයක් දිනපතාම රුකියාවට යන ගමන්, ව්‍යාපාරික කටයුතුවලට යන ගමන් ගලේබණ්ඩාර දෙවියන්ගෙන් පිහිට පතති.

කුරැණෑගල පොලිසියේ නිලධාරීන් රැසක් නිලඇඳුම පිටින්ම දවසේ රාජකාරි ඇරඹීමට පෙර මේ දේවාලයට පැමිණෙන අන්දම සාමාන්‍ය දසුනකි. අපට නම් සිතුණේ මෙය සිංහල – මුස්ලිම් සංහිඳියාවට ද අපූරැ තැනක් බවයි. ඒ අනුව ගලේබණ්ඩාර දෙවිඳු සිංහල මෙන්ම මුස්ලිම් බැතිමතුන්ට ද අයිතිය.මේ අපූරැ සිද්ධියේ සුලමුල සෙවීමට නම් කුරැණෑගල ඇතුගල රාජධානියේ සංචාරය කළ යුතුය. ජනප්‍රවාද හාරා අවුස්සා බැලිය යුතුය. කුරුණෑගල රාජධානියේ කිරුළ දැරූ දෙවැනි බුවනෙකබාහු (ක්‍රි.ව. 1293 – 1303) රජුට රජකම බාරදීමට පිරිමි දරුවකු සිටියේ නැත. රාජකීය දෛවඥයා රජුට පවසා සිටියේ වෙනත් ආගමක් අදහන කාන්තාවක් තම බිසව කරගත්තොත් රජුට පිරිමි දරැවකු උපත ලබන බවය. දිනක් රජතුමා අස්වැද්දුම නම් ගම්මානය හරහා ගමනක යෙදී සිටින අතර රෑමත් මුස්ලිම් කාන්තාවක් හමුවිය. රජු ඇය යකඩ දෝලියක් කරගෙන විවාහ කර ගත්තේය.

  • තම පුර සිරි බලමින් රජු ඇතු පිටින
  • යනවර අස්වැද්දුම නම් ගම මැදින
  • දිවසර වැනි තුනු රුසිරෙන් දිළ තරුණ
  • මනහර යොන් අඟනක් දැක සිත ඇලුණ

ගලේබණ්ඩාර උපත හෙවත් කාලිංග සිරිමල් එතනා නම් කවිපොතේ ඒ සිද්ධිය දැක්වෙන්නේ එලෙසයි.රජුගේ අන්තඃපුර බිසෝවරු 67 දෙනා අතරට මෙම යෝනක බිසව ද එක් වූවාය. රජුගේ අගමෙහෙසිය වූයේ වීරගල් දේවියයි. යෝනක බිසව පාතිමාය. ඇය හැඳින්වුණේ මැද්දෙකැටියේ කුමාරි නමින්ය.ෆාතිමා බිසව ටික කලකින් ගර්භනී වූවාය. ඒ කාලයේදී බිසව රජුගෙන් ඉල්ලා සිටියේ පුතකු ලැබුණහොත් ඔහු ඉස්ලාම් භක්තිකයකු ලෙස ඇතිදැඩි කර ගැනීමට අවසර ලබාදෙන ලෙසයි. රජුගෙන් ඒ සඳහා අවසරය හා පහසුකම් ලැබුණි. බිසවට පුත් කුමරකු ලැබුණි. රජු මහත් සතුටට පත් විය. බිසව මොහොමඩ් ඉස්මයිල් යන මුස්ලිම් නම කුමරුට තැබුවාය. මුස්ලිම් කුමරාට මාලිගයේ මැති ඇමැතිවරු ඇතුළු නිලධාරීන්ගෙන් විරෝධතා එල්ලවෙන බව දැනගත් පාතිමා හෙවත් මැද්දකැටියේ කුමාරි ඔහු තම ඥාතීන් ජීවත්වන බේරැවලට පිටත් කර හැරියාය. එහිදී ඔහු අරාබි බස හා කුරානය ඉගෙන ගත්තේය.මේ අතර බුවනෙකබාහු රජුට ප්‍රාදේශීය රජකු සමඟ යුද්ධයකට යාමට සිදු වූ අවස්ථාවක මුස්ලිම් කුමරා කැඳවා ඔහුට රාජධානිය බාර දුන්නේය. යුද්ධය රජු ජයගත් අතර ඒ බව බිසෝවරැන්ට දන්වා ඇත්තේ පරාජය වූ බවට විහිළුවක් කරමිනි. මේ විහිළුව දුරදිග ගොස් බිසෝවරැ වීරගල කන්දෙන් පැන දිවිනසාගත් අතර රජු ද දිවිනසාගත් බව ජනප්‍රවාදවල දැක්වේ.

රජුගේ මරණයෙන් පසු මොහොමඩ් කුමරා වත්හිමි බණ්ඩාර නමින් කුරුණෑගල රජු වශයෙන් කිරුළු පැළඳියේය. ඔහු තම ඇමැති මණ්ඩලයට බහුලව පත්කර ගත්තේ මුස්ලිම් ජාතිකයන්ය. මේ අතර රජුගේ වැඩ කටයුතු ද බෞද්ධ භික්ෂූන් වහන්සේ මෙන්ම ප්‍රභූවරු ද අනුමත නොකළහ. දිනක් ඇතුගල පර්වතය මත පිරිත් සජ්ඣායනයක් සංවිධානය කෙරිණි. ඒ ඇතුගල වැවේ ඇතැයි පැවසෙන රන් කෙණ්ඩියක් රජුට ලබා දීමට යැයි පවසමිනි. පිරිත් ඇසීමට රජුට හිඳ සිටීමට සැකසූ මණ්ඩපය මහ රෑ ගලෙන් බිමට කඩා වැටෙන ලෙස කුමන්ත්‍රණයක් දියත් විය. වත්හිමි බණ්ඩාර රජු ඇතුගලින් බිමට වැටී මියගියේ ඇත්කඳ රජමහා විහාරය අසලය. එම දේහය වැටුණු ස්ථානයේ වත්හිමි බණ්ඩාර දේවාලය නමින් සිංහල දේවාලයක් ඉදි වී තිබේ. දේහය මුස්ලිම් චාරිත්‍රානුකූලව මිහිදන් කළ බව පැවසෙන්නේ මුස්ලිම් දේවාලය ඇති ස්ථානයේය. එම දේවාලය මැද ඇත්තේ ඔහුගේ සොහොන යැයි සැලකේ.

වත්හිමි බණ්ඩාර ගලෙන් බිමට වැටී මැරැණු නිසා ගලේබණ්ඩාර නමින් යක්ෂයෙක් බවට පත් විය. කුරුණෑගල රාජධානියේ මහත් විනාශයක් කරමින් සිටි ඔහු පසුව කතරගම දෙවියන් විසින් අල්ලා ශීලයෙහි පිහිටවූ බව පැවසේ.ගලේබණ්ඩාර දෙවියන් කුරුණෑගල තුන්පත්තුව රජ කරගෙන නිධාන හැට හතරක් බලාගෙන පත්තිරිප්පුවට, ඇළේ දොළේ පෙරහරට, පන්දම් දොළහට, දිය කැපුම් තොටට, ඇතුගල දොළහට, සිංහාසනයට, අරං හළඹට, කඩුවට අධිගෘහිතව වැඩවාසය කරන බව පැවසේ. මුස්ලිම් දේවාලයට මෙන්ම ඇත්කඳ ගලේබණ්ඩාර දේවාලයට ද බොහෝ පිරිස් පැමිණෙති. වාර්ෂිකව ඇත්කඳ රජමහා විහාරයේ පවත්වන ශ්‍රී දළදා පොසොන් පෙරහරේ අංගයක් ලෙස ගලේබණ්ඩාර දෙවියන්ගේ දේවරෑප, ආභරණ සහ දෙවියන්ගේ වාහනය ලෙස සැලකෙන සුදු අශ්වයකු ගමන් කරවීම සිදුවේ.

සිංහල බෞද්ධකම මුල්කරගත් මහාවංශයේ දෙවැනි බුවනෙකබාහුට පසුව කෙටි කලකට රජකම් කළ වත්හිමි බණ්ඩාර ගැන කිසිවක් සඳහන් වන්නේ නැත. නිකාය සංග්‍රහය පමණක් වත්හිමි නම් රාජවංශයේ නමින් ඔහු රාජ්‍යත්වයට පැමිණි බව පවසයි. කෙසේ වුවත් කුතුහලය දනවන ජනකතා රාශියක් මෙම චරිතය වටා ගෙතී තිබේ. කුරැණෑගල නගරය වටා ප්‍රදක්ෂිණා කරන ඇත්කඳ විහාර පෙරහරේ ගලේබණ්ඩාර දේවාල පෙරහර කොටස දැකබලා ගැනීමට බෞද්ධ සහ ඉස්ලාම් බැතිමතුන් පැමිණ පඬුරු දමමින් ආරක්ෂාව සහ ආශිර්වාදය ප්‍රාර්ථනා කරති.නව වාහනයක් මිලදී ගත් විට දෙවියන් බැහැදැකීමට යැයි කුරැණෑගල නගරයේ ව්‍යාපාරිකයන් වැඩි දෙනකු කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේ බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලබාගෙන, ගලේබණ්ඩාර දෙවියන්ගේ ආරක්ෂාව ප්‍රාර්ථනා කරති. විශේෂයෙන්ම විභාගවලට යන දරුවන් ගලේබණ්ඩාර දෙවියන්ගේ ආරක්ෂාව ප්‍රාර්ථනා කරමින් රුගෙන යාම වැඩිහිටියෝ පුරුද්දක් කරගෙන සිටිති.

ඇත්කඳ විහාරය ආශ්‍රය කරගෙන පවත්නා ගලේබණ්ඩාර දේවාලයේ උපාලි රත්නායක කපු මහතා ප්‍රමුඛ පරම්පරාවේ අය පදිංචිව සිටිති. එම ස්ථානයට පැමිණෙන හින්දු සහ බෞද්ධ හෝ අන්‍ය ආගමිකයකු වෙනුවෙන් ආශිර්වාද කරන්නට ද එම කපු මහත්වරැ කටයුතු කරති. මනුස්සයන් ජීවත්වෙන කාලය තුළදී බලාපොරොත්තු වන්නේ නිරෝගීකම, දියුණුව, ආරක්ෂාව, දෙවියන්ගේ ආශිර්වාදයයි. ඒ සියලු දේ කුරැණෑගලට අධිගෘහිත ගලේබණ්ඩාර දෙවියන්ගෙන් ලැබෙන බව කුරුණෑගල බොහොමයක් වැසියෝ එදා මෙන්ම අදටත් විශ්වාස කරති. මුස්ලිම් නිසාම මරණයට පත් කළ කුමරකුගෙන් ඔහු දෙවියකු ලෙස සලකා පිහිටක් බලාපොරොත්තු වීම එක්තරා සරදමක් ලෙස අපට පෙනේ.