සෙංකඩගල පුරයට පිවිසෙන බොහෝ දෙනා දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් ඉක්බිති පිවිසෙන්නේ වැවෙහි අසිරිය නරඹමින් මහනුවර මනස්කාන්ත පරිසරය හා ඒකාත්මික වන්නට ය.මේ වැව අතීතයේ දී නම් කෙරුණේ ‘සෙංකඩගල කිරි මුහුද’ යනුවෙනි. දළදා මැදුරු සෙවණේ ඉදිවූ ක්ෂීර සාගරය සිංහලේ අවසන් රජතුමා වූ ශ්‍රී වික්‍රම රාජසිංහයන්ගේ අපූර්ව නිර්මාණයකි.දළදා මාළිගයට නවාංග එක් කිරීමට මහත් රුචියක් දැක්වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා දළදා මාලිගා පරිශ්‍රය හා අගනුවර සිත් ගන්නා සුළු අයුරින් වැඩි දියුණු කිරීමට සැලසුම් කළේ ය.තම රජවාසලට යාබද දළදා මාලිගා භූමියේ පත්තිරුප්පුවක් හා ඊට මඳක් ඔබ්බෙන් උල්පැන්ගෙයක් ද වැවක් ද බැඳීමේ සංවිධාන කටයුතු කර ඒ සඳහා වැසියන් සහභාගි කරවන ලෙස රජතුමා එවකට මහ අදිකාරම වූ පිළිමතලව්වේට කීප වරක් ම උපදෙස් දුන්නද ඔහු එය නෑසූ කන්ව සිටියේ ය.දිනක් පිළිමතලව්වේ මාලිගාවට කැඳවූ රජතුමා “මහ අදිකාරම… පත්තිරුප්පුවයි වැවයි හැදීමේ රාජකාරියට වැසියෝ එවන්නේ නැතුව තවත් පමා කර කර ඉන්නේ ඇයි…?“රජතුමනි, ඔය වැඩ කටයුතුවලට වැසියෝ කැමැති නෑ…”

‍මහ අදිකාරම දළඳා මාලිගාවයි, අගනුවරයි අලංකාර කරනවාට වැසියෝ අකමැති වෙන්නේ නෑ…. මම මගේ වැසියන්ව හොඳාකාරම අඳුනනවා… මේවට විරුද්ධ මහ අදිකාරමයි… මේ කතා කරන්නේ… රජ්ජුරුවෝ… වැසියෝ එවලා… මේ වැඩ ඒ විදිහට කෙරෙන්ඩ ඕනෑ…” ‍රජතුමා කීවේ දැඩි ස්වරූපයෙනි.කිසිවක් නොදෙඩූ පිළිමතල‍ව්වේ රජුට ආචාර කර රජවාසල පියගැට පෙළ බැස යන්නට ගියේ අවුල් වූ මනසකින් යුතුව ය.‘කන්නසාමි’ ට (ශ්‍රී වික්‍රම රාජසිංහ) රජකම ලබාදීමට පිළිමතලව්වේ මුල් වී කටයුතු කළ ද පසුව රජු නායක්කාර් වංශික වඩුග ජාතිකයෙකු වීම ආදී තවත් හේතු රැසක් නිසා ඔහු ඉංග්‍රීසින් හා එක්ව අනෙකුත් සිංහල රදළ නායකයින් සමඟ රජුගේ කටයුතුවලට සහාය නොදීමේ පිළිවෙතක් අනුගමනය කළේ ය.රජුගේ නියෝගය පරිදි ‘හුළංගමුවේ ආචාරියා’ නමැති දෛවඥයා වැව තැනීමට යෝග්‍ය බිමක් නිරීක්ෂණය කරද්දී නූතන වැවේ නැ‍ඟෙනහිර කෙළවර දිය කඩත්තක වෙසෙන කිරි ඉබ්බෙකු දැක ඇත. එම ස්ථානයේ කුඩා පොකුණක් තනවා එය කිරි ඉබ්බාගේ වාසය සඳහා ම වෙන්කර ඇත.දෙණියක්ව පැවැති මෙම ප්‍රදේශය පසුව රාජකීය කුඹුරක් ලෙස සකසා වී ගොවිතැනට යොදා ‍ෙගන තිබේ. මේ වෙල්යාය ඔස්සේ රජවාසල සිට මල්වත්ත විහාරය දෙසට මාවතක් ද තිබී ඇත.හන්තාන කඳුයායේ සිට මේ වෙල්යාය ඔස්සේ ගලාගිය ‘හීල්පැන් කඳුර’ ඇළ ආශ්‍රිතව දෙවන රාජසිංහ රජ සමයේ කුඩා විලක් තිබූ බවත් රජ නිධාන එහි පැවැති බවත් ‍’රොබට් නොක්ස්’ කියා ඇත.

‘හීල් පැන් කඳුර’ ඇළ ආශ්‍රිතව දෙවන රාජසිංහ රජ සමයේ කුඩා විලක් තිබ‍ූ බවත් රජ නිධාන එහි පැවැති බවත් ‘රොබට් නොක්ස්’ කියා ඇත.“හීල්පැන් කඳුර හා එහි පරිවාර ජලාධාරත් සරණංකර ඇළ, රජපිහිල්ල ඇළ ආදිය හරස් කර රජතුමාගේ පදවි ප්‍රාප්තියෙන් වසර 13 කට පමණ පසු 1810 දී මෙම වැව තැනීම අරඹා තිබේ.කිරි ඉබ්බා වාසය කළ කුඩා පොකුණ ද අයත් වන සේ වැව බැඳීම ඇරඹූ අතර එහි ඉදිකිරීම් බාරව කටයුතු කළේ ‘මීගස්තැන්නේ’ අදිකාරමය. වැව තැනීමේ ඉංජිනේරුමය තාක්ෂණික උපදෙස් ලබාදුන්නේ ‘දේවෙන්ද්‍ර මූලාචාරී’ ප්‍රධාන ශිල්පීන් විසිනි. වැසියන් විශාල පිරිසකගේ ශ්‍රම දායකත්වයෙන් බැඳී වැවේ කටයුතු නිම වූයේ 1812 ජූනි මාසයේදී ය.‍බෝගම්බර කිරි මුහුද’ හුදෙක් මාලිගාවේ හා අගනගරයේ අලංකාරය සඳහා ම රජුගේ සංකල්පයක් අනුව ඉදිකළ බව පැවසේ.සෙංකඩගල කිරි මුහුද, සෙංකඩගලවැව, අලකොළවැව, බෝගම්බර වැව, නුවර වැව යන නම්වලින් මේ වැව හඳුන්වා ඇත.පත්තිරිප්පුවේ සහ උල්පැන්ගෙයිත්, වැවේත්, වලාකුළු බැම්මේත් තැනීම් කටයුතු නිමවීමෙන් පසු ඒ නිර්මාණ පිළිබඳව මහත් පැහැදීමට පත් රජතුමා ‘දේවේන්ද්‍ර මූලාචාරි’ ඇතුළු ශිල්පීන්ට පැසසුම් කොට රාජකීය තෑගි බෝග පිරිනමා ඇත‍.මාතලේ අඹන්ගඟ ඉවුරේ පුද ලැබූ දකුණු ඉන්දියාවෙන් මෙහි පැමිණියේයයි කියන ‘බෝගම්බර’ නමැති දෙවියන් නමින් හෝ සෙංකඩගලපුර, ‘බෝගම්බර’ පිහිටි දේවාලයක් අසල මෙම වැව ඉදිකළ නිසා හෝ වැවට ඒ නම ලැබුණු බව ද කියති. වැව බැඳීම සඳහා ‘බෝහෝ ගම්වර’ ලැබුණු හෙයින් ‘බෝගම්බර’ වූ බවට ද මතයක් වෙයි.

වැව වටා වූ ඉවුරේ විවිධ ශාක විශේෂ රැසක් දැකිය හැකි ය. ඒ අතර සල්, නා, දොඹ, සපු කහ මාර, අඹ, තල්, ගොඩපර, බුළු, මුරුත, මයිල, රුක් අත්තන, හුරිමාරා, කුඹුක්, තැබුබියා, බක්මී, කොළොං, කරඳ ආදී රුක් වේ.වැවෙහි මිරිදිය මසුන් ලක්ෂ ගණනක් නිදහසේ සැරිසරමින් දිවි ගෙවන අතර වැව ආශ්‍රිතව කොක්කු, දියකාවුන්, පිළිහුඩුවන්, මයිනන් ඇතුළු ජලාශ්‍රිත පක්ෂීහු ද ඉදිබුවන්, කබරගොයින්, තලගොයි, දියබරියන් ඇතුළු උභය ජීවීහු ද බහුලව වෙති.වැවේ සතර දෙසින් ගලා එන ගල්, පස්, වැලි රොන් මඩ ආදිය හා වැවට යොමු‍ කොට ඇති භූගත කානු පද්ධතිය නිසාත්, විටින් විට වැව් ඉවුරේ වූ පැරැණි ශාක වැව තුළට ඉදිරී වැටීමත් නිසා වැව ශීඝ්‍ර ලෙස ගොඩවීමේ තර්ජනයකට ලක්ව තිබේ.වැවට නිරන්තරයෙන් ගලා එන මේ බාහිර අපද්‍රව්‍ය රොඩු – බොඩු ආදිය ඉවත් කිරීමට මහත් පරිශ්‍රමයක් දරමින් වැ‍වේ නඩත්තු කටයුතු කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගන්නා වෙහෙස පිළිබඳව මෙහිදී කෘතඥ පූර්වකව සිහිපත් කළ යුතු ය.ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සංකල්පයක් අනුව (මීට වසර 204 කට පමණ පෙර) දේවේන්ද්‍ර මූලාචාරීන් මීගස්තැන්නේ අදිකාරම ඇතුළු කන්ද උඩරට එදා ජීවත්වූ වැසියන් විසින් අතිමහත් කැපවීමකින් ඉදිකළ මේ සෙංකඩගල කිරි මුහුද’ වත්මනේදී මෙන් ම මතුවටත් මෙසේ සිරි දළදා මැදුරු සෙවණේ සිට අපගේ ගත සිත පුබුදවමින් සිසිලසක් ලබාදෙන ‘කිරි සයුරක් ම’ බව කිවයුතු ද…?