තෙල් තාච්චියක් ළිප නොතිබ්බෝතින් ගෙදරට අවුරුදු කුමාරිය වෙනුවට මූදේවිය ඒවි.” අපේ පැරැන්නෝ හිතුවේ එහෙමයි. ළිප තැබූ තෙල් තාච්චියේ හැදෙන කොණ්ඩ කැවුම අලුත් අවුරුද්ද වෙනුවෙන් හැම ගෙදරකම වැරැදුණේ නැහැ. එළැඹෙන අලුත් අවුරුද්ද පිළිගන්න ඔබේ ගෙදරටත් කොණ්ඩ කැවුම් අනිවාර්යය අවුරුදු කැවිල්ලක්ද?ඇත්තටම සතුට සැමරීමේදී කොණ්ඩ කැවුම් අපේ ජන ජීවිතයත් සමඟ හරි අපූරුවට සබැඳිලා තියෙනවා.‘අඩියක් යන්නයි – කැවුමක් කන්නයි’ ඉස්ස ඉස්සරවෙලාම දරුවකු මොළකැටි දෙපා තබා ඇවිදිද්දී අපේ අම්මලාගේ මුවින් පිටවූයෙත් මේ කවි පදයයි.“ඉස්සරහ ගෙදර පොඩි දුව කැවුම් කාලා” මේ ව්‍යංගයෙන් කියන්නේ දැරියකගේ මල්වරවීමක් ගැන බව කවුරුත් දන්නවා.විභාගයක් සමත් වුණු පුතාගේ විභාගය ලියූ අත් කාටත් හොර රහසේ උණු කැවුමකින් තවන්නට අපේ අම්මලා සෙනෙහෙබරයි. ඇත්තටම අපේ සංස්කෘතියේදී කොණ්ඩ කැවුම් උපතේ සිට ඉඳුල් කටගෑම, හිස කෙස් කැපීම, කන් විදීම, අකුරු කියවීම, විවාහය, දානමාන ආදී එකි නොකී සතුටු සැමරුම්වල දී මුල් තැන ගන්නවා.

ජීවිතයේ කොණ්ඩ කැවුම් හැදෙන අවස්ථා බොහෝ තිබුණත් එහි පාරම්පරික සූප ශාස්ත්‍රය පරම්පරාවෙන් පරම්පරාවට උරුමකර දෙන්නේ අවුරුදු සමයේදීයි.“කොණ්ඩ කැවුමක් හදන්න ඉගෙන ගන්න.” මේ සඳහා නිදහස් පසුබිමක් තියෙන්නේ අත ළඟ එන අලුත් අවුරුදු උදාවත් එක්කයි.ඒත් අද කොණ්ඩය ඇති කොණ්ඩ කැවුමක් හදාගන්න දන්නෙ කීයෙන් කීදෙනාද? අලුත් අවුරුද්දට ගෙදරට එන අමුත්තන්ට ඔබේ අතින්ම හැදූ කොණ්ඩ කැවුම්වලින් සංග්‍රහ කරන්නට ලැබීම සැබෑම ආඩම්බරයක්.ඔබේම අතින් හැදූ බරට බර කොණ්ඩ කැවුම් පෙට්ටියක් එක්ක නෑගම් යන්නත් බැරිකමක් නැහැ. මේ අවුරුද්දේදී නොවරදවාම කොණ්ඩ කැවුම් හදන පාරම්පරික සූප ශාස්ත්‍රය පවරාගන්න.උනන්දු වන්න. ඒ වෙනුවෙන් ආධුනික ඔබට කොණ්ඩ කැවුම් සාදා ගන්න පුහුණු වන්න පහසු ක්‍රමය රහස් නොතබාම මෙලෙස හෙළිදරවු කරනවා.මේ විදිහට අවශ්‍ය දේවල් ටික ළං කරගන්න. පදමට කොණ්ඩ කැවුම් මිශ්‍රණය හදාගන්න කාටවත්ම වැරැදෙන්නේ නැහැ.

  • හාල් කැට 3 ක පිටි (හුණ්ඩු තුනක)
  • සීනි ග්‍රෑම් 500 ක්
  • (නැතිනම් සීනි ග්‍රෑම් 250 ක් සමඟ පැණි 1/4 ක්)
  • පාන් පිටි මිටක්
  • ඇල්වතුර අඬු කෝප්ප 1 ක් පමණ
  • ලුණු වතුර ටිකක්
  • තෙල් බෝතල් 3/4 ක්
  • තාච්චියක්
  • බදින හැන්දක්

ඉරටුවක් හෝ ලී කෝටුවකින් තැනූ කූරක්-කැවුම් සඳහා හාල් සෝදා ගරා දියේ දමා දිය සීරෙන්නට තබා පිටි කොටා ගන්නා බව ඔබ සාමාන්‍ය දැනීමෙන්ම දන්නවා ඇති.මෙහිදී හාල් කැට තුනකින් පිටි කැට හයක් ලැබෙන බවටත් දැනුවත් වන්න. මේ පිටි කැට හයට, පාන් පිටි මිට, සීනි හා ලුණු එක්කර කැවුම් මිශ්‍රණය අනාගත යුත්තේ අතේ පදමටයි.එහිදී ටික ටික ජලය එක්කරමින් නොකැඩී වැත්කෙරන ස්වභාවයට පිටි මිශ්‍රණය අනාගන්න. එය හැන්දෙන් වත්කරන විට නොකැඩී වැත්කෙරුණත් වැඩි දිය ගතියෙන් නොතිබිය යුතුයි.කොණ්ඩ කැවුම් මිශ්‍රණය සකසා ගැනීමේදී ආධුනිකයන් පැණි භාවිත කිරීම එතරම් සුදුසු නැහැ. ඒ පැණිවලින් පහසුවෙන්ම කොණ්ඩ කැවුමේ කොණ්ඩය ගැනීමට අපහසු නිසායි. සීනිවලින් හැදුවත් කොණ්ඩ කැවුම පැණි පාට කරගන්න පුළුවන්. සීනි මේස හැන්දක් ළිප තබා කරකර වතුර මේස හැඳි 2 ක් දමා දියකර ගන්න. එය කැවුම් මිශ්‍රණය සාදද්දී එකතු කළ යුතුයි.

දැන් සකසාගත් පිටි මිශ්‍රණය පැය 2 – 3 ක් පිපෙන්නට තබන්න. කොණ්ඩ කැවුමේ කොණ්ඩය එන්නේ නැහැ යැයි තැවෙන ආධුනිකයන් බොහෝ දෙනකු පිටි මිශ්‍රණය පිපෙන්නට තබන රහස ගැන දන්නේ නැහැ.කොණ්ඩ කැවුම් හදන ළිප ගැනත් ඔබ දැනුවත්ව සිටිය යුතුයි.ළිප තබන තැන අනුව හුළං එනවිට ගින්දර වෙනස් නොවිය යුතුයි. එය එසේ වුවහොත් කොණ්ඩය හරිහැටි ගැනීමට නොහැකි වේවි. එමෙන්ම ළිපේ ගින්දර පාලනය කිරීමටත් හැකි විය යුතුයි. ගෑස් ළිපක කොණ්ඩ කැවුම් සෑදීම ආධුනික ඔබට පහසුවක් වේවි. දර ළිපේ කොණ්ඩ කැවුම් හදනවා නම් පළමුව ළිප සුළඟින් ආවරණය වන තැනක සකසා ගන්න. මෙහිදී දර සඳහා පහසුවෙන් ගින්දර පාලනය කළ හැකි හනසු ඉරු, පොල් කොළ භාවිත කරන්න.තාච්චියේ තෙල් පැවතිය යුත්තේ කොණ්ඩ කැවුමේ කොණ්ඩය යට නොයන ප්‍රමාණයටයි. මේ ප්‍රමාණයට තෙල් දැමූ තාච්චිය ළිප තබා හොඳින් රත්කරගන්න. කැවුම් මිශ්‍රණයෙන් බිංදුවක් තාච්චියට දැමූ විට එය බුබුළු නංවා ඉහළට ඒ නම් තෙල් රත්වීම ප්‍රමාණවත් වනවා.

දැන් පීරිසියක් මත තැබූ අඬු කෝප්පය පිටි මිශ්‍රණයෙන් පුරවාගන්න. ඉන් ටිකක් තාච්චියට වත් කරන්න. එය පෙන බුබුළු නංවමින් රවුම් වන විට එහි මැදට යළිත් පිටි මිශ්‍රණයෙන් බිංදුව බිංදුව එකමතට වත්කරන්න. කැවුම සම්පූර්ණයෙන් රවුම් වන විට මැදට ඉරටුව දමා කරකවන්න.ඒ සමඟම අතින් හැන්ද ගෙන කැවුම මතට තෙල් ටික ටික ඉහින්න. මෙහිදී අත් දෙකම නොනැවතී ක්‍රියා කළ යුතුයි. කූර දිගේ ඉහළට එන කැවුම මැද පිටි මිශ්‍රණය කොණ්ඩයක් ලෙස ගුළිවන හැටි ඔබට පෙනේවි.කොණ්ඩය ගන්න අවස්ථාවේදී තාච්චියට ලැබෙන ගින්දර ප්‍රමාණයත් අඩු කරගත යුතුයි. ගින්දර වැඩි වුවහොත් කැවුම කළු විය හැකි බවත් දැන සිටින්න. රන්වන් පාටට කැවුම බැදුණ පසු එය කඩදාසියක් ඇතිරූ තෙල් සීරෙන කූඩයකට බා ගන්න.මේ විදිහට කීප වරක් උත්සාහ කළ විට ඔබට හරි හැටි කොණ්ඩය ආ ලස්සන කොණ්ඩ කැවුමක් සාදා ගැනීමේ අතේ හුරුව ලැබේවි. සීනි පැණි වැඩිවූ විට කොණ්ඩය ගැනීමට අපහසුයි. සීනි පැණි අඩුවූ විට කොණ්ඩ කැවුම ඉක්මනින්ම ඝන වෙනවා. පිටි මිශ්‍රණයට කබලේ බැදගත් තල ඇට සූදුරු ඇට දැමූ විට වෙනස්ම රසයකටත් කොණ්ඩ කැවුම් සාදා ගත හැකියි.කොණ්ඩ කැවුම් සාදා ගැනීමේ සූප ශාස්ත්‍රය පිහිටන්නේ අත්දැකීම් එක්කයි. ඒ නිසා මෙහිදී වඩා වැදගත් වන්නේ උත්සාහය බවත් නොකියා බැහැ.