සමහර අයට සෙම්ප්‍රතිශ්‍යාව වැලඳී ටික දිනකින් ඇදුම හටගනී. එහෙත් තවත් කෙනෙකුට ඇදුම ඇති වන්නේ සෙම්ප්‍රතිශ්‍යාව නිසා නොවේ. ව්‍යායාම කළ නිසා ය. ඇතැමෙකුට ඇදුම මතුවන්නේ ගොයම් කපන කාලයටයි. සමහරකුට ඇදුම මතුවන්නේ අධික ලෙස සිනහ වූ විටයි.ව්‍යායාම කරන විට හටගන්නා ඇදුම රෝගය ශීත පරිසරයක දී වඩාත් උග්‍ර වීමට ද පුළුවන.දුමපානය කරන අය පිට කරන දුම් ආශ්වාස කරන අවට සිටින අයට ද ඇදුම ඇති විය හැකියි.අධික සිත් තැවුල, භීතිය සහ සංත්‍රාසය ඇදුම වැඩිවීමට හේතු වන විසර්ජකයක් ලෙස ක්‍රියාකළ හැකිය.

නිවෙස්හි මෙට්ටවල සහ කාපට්වල ජීවත්වන කෘමීන් සහ කීඩෑවන් ගේ අපද්‍රව්‍යයන් ද ප්‍රබල විසර්ජකයක් ලෙස ක්‍රියා කරයි.දරුවන් ගේ මෙන්ම වැඩිහිටියන් ගේ ද ඇදුම රෝග ලක්ෂණ මතු වීමට බලපාන සාධක හෙවත් විසර්ජක සිය ගණනක් ඇත. එහෙත් මේ හැම විසර්ජකයක් ම හැම ඇදුම රෝගියාටම එක සේ බලනොපායි.සමහර අයට ඇදුම ඇති වීමට හේතුව එක විසර්ජකයක් පමණක් නොවේ. විසර්ජක කිහිපයකි.හදිසියේ සිදුවන පරිසර විපර්යාසයන් සහ වියළි දේශගුණය තවත් කෙනෙකුට විසර්ජකයක් ලෙස බලපෑ හැකිය.

කුඩා ළමුන් කරන සාමාන්‍ය සෙල්ලම් පවා සමහර දරුවන්ට අහිතකර විසර්ජකයක් ලෙස කලාතුරකින් බලපෑමට පුළුවන.මින් අදහස් කරන්නේ කුඩා දරුවන් සෙල්ලම් කිරීමෙන් වැළැක්විය යුතු බව නොවේ. ඇදුම රෝගයෙන් පෙළෙන දරුවාට සෙල්ලම් කිරීමට පෙර ප්‍රතිකාර ලබාදිය යුතු බවයි. එමෙන් ම දරුවාට ගැළපෙන ව්‍යායාම සහ ක්‍රීඩාවන් තෝරාගත යුතු බවයි.මල් රේණු, නිවසේ ඇති දූවිල්ල, බළලුන්, බල්ලන් වැනි සුරතල් සතුන් ගේ ලොම් මෙන් ම සිගරට් දුම ද වෙනත් ඇදුම විසර්ජකයන් ය.

තව ද, නිවෙස්හි මෙට්ටවල සහ කාපට්වල ජීවත්වන කෘමීන් සහ කීඩෑවන් ගේ අපද්‍රව්‍යයන් ද ප්‍රබල විසර්ජකයක් ලෙස ක්‍රියා කරයි.දුම සහිත පරිසරයකට ගිය විට සමහර අයට ඇදුම ඇති වේ.දුම්පානය සමහරුන්ට ඇදුම ඇති කරවයි. ගර්භණී කාලයේ දී මව දුම්පානය කිරීම නිසා පසු කලෙක දී දරුවාට ඇදුම ඇති විය හැකි බවද සොයාගෙන තිබේ. මීට අමතර ව අප දැනගත යුතු තවත් වැදගත් කරුණක් නම් දුම්පානය කරන අය පිට කරන දුම් ආශ්වාස කරන අවට සිටින අයට ද ඇදුම ඇති විය හැකි බවයි.කිරි වර්ග, (දොඩම්, දෙහි වැනි) පලතුරු බීම වර්ග මෙන් ම රට කජු වැනි ආහාර වර්ග ද සමහර අය ගේ ඇදුම ඇති වීමට හේතු විය හැකිය.

බියර් සහ මත්පැන් පානය තවත් අයෙකු ගේ ඇදුම ඇති වීම සඳහා විසර්ජකයක් සේ ක්‍රියා කරයි.කෙසේ වෙතත් පොදුවේ ගත් කල අප ආශ්වාස කරන විසර්ජකයන් ප්‍රමාණයට වඩා අප අනුභව කරන විසර්ජක සංඛ්‍යාව අඩු ය.අධික සිත් තැවුල නිසා ඇදුම හටගනියි. කියා විශ්වාසයක් පවතී. එය වැරැදි මතයකි. එහෙත් අධික සිත් තැවුල,භීතිය සහ සංත්‍රාසය ඇදුම වැඩිවීමට හේතු වන විසර්ජකයක් ලෙස ක්‍රියාකළ හැකිය.කාන්තාවන් ගේ ආර්තවය සහ ඇදුම අතර ද යම් සම්බන්ධයක් තිබෙන්නට පුළුවන. සමහර කාන්තාවන් ගේ ඇදුම රෝග ලක්ෂණ මතු වන්නේ ඇය ගේ ආර්තවය හටගැනීමට දින කිහිපයකට පෙර ය.

සමහර කර්මාන්තශාලාවල වැඩ කරන උදවියට එහි පරිසරයේ ඇති රසායනික ද්‍රව්‍ය විසර්ජකයක් ලෙස බලපෑම නිසා ද ඇදුම රෝග ලක්ෂණ මතුවිය හැකි ය. එවැනි අය ගේ රෝග ලක්ෂණ අධික වන්නේ කර්මාන්තශාලාවේ දී ය. නිවාඩු ගෙන ගෙදර සිටින කාලයේ දී නැත්තම් සති අන්තයේ දී රෝග ලක්ෂණ අඩු වී හෝ පහවී යයි.මා දන්නා එක් කාන්තාවක් සුවඳ විලවුන් සාප්පුවක සේවය කළා ය. ශ්වසන ආසාදනයකින් පසු හටගත් ඇදුම සිරුරට සුවඳ විලවුන් ඉසින විට වැඩි වන බව ඇයට දැනුණි.

ඇය සුවඳ විලවුන් ඇඟේ ආලේප කිරීම නතර කළද ඇදුම රෝගය සම්පුර්ණයෙන් ම සුව වුයේ නැත.ඇයගේ ඇදුම සම්පුර්ණයෙන් ම සුව වුයේ ඇය සුවඳ විලවුන් සාප්පුවේ රැකියාවෙන් අස් වූ පසුවයි.ඇදුම සමහර පවුල්වල වැඩිපුර දක්නට ලැබේ. එහෙත් සමහර අධික ඇදුම රෝගයෙන් පෙළෙන අය ගේ පවුල්වල ඇදුම නොතිබෙන්නට ද පුළුවන.ඇදුම රෝග ලක්ෂණ සමහර විට කිසිදු හේතුවක් නොමැති ව මතුවීමට ද පුළුවන.”වැඩිපුර හිනාවුණොත් මට ඇදුම මතුවෙනවා.””මට ඇදුම මතුවෙන්නේ ගොයම් කපන කාලෙට”. මේවගේ කියමන් තියෙනවා.මොනවාද මේ විසර්ජක?….

  • 1. වෛරස් ආසාදන – සෙම්ප්‍රතිශ්‍යාව
  • 2. අධික සීතල – වායු සමනය
  • 3. ව්‍යායාමය සහ ක්‍රීඩාව
  • 4. අධික ලෙස සිනාසීම
  • 5. දේශගුණය ඇති වන හදිසි වෙනස්කම්
  • 6. ඇඳ මකුණන් සහ දුවිලි කීඩෑවන් ගේ අපද්‍රව්‍ය
  • 7. මල් රේණු
  • 8. බල්ලන් සහ බළලුන් ගේ ලොම්
  • 9. වෙනත් සුරතල් සතුන් ගේ අපද්‍රව්‍ය
  • 10. සිගරට් දුම
  • 11. තීන්ත දුම
  • 12. ඇතැම් කර්මාන්ත රසායනික ද්‍රව්‍ය
  • 13. දුම සහිත පරිසරය
  • 14. කිරි
  • 15. දොඩම් සහ දෙහි පානයන්
  • 16. ශීත කළ පලතුරු බීම වර්ග
  • 17. මත්පැන් – බියර්
  • 18. ටොෆී සහ චොකලට් වර්ණක
  • 19. රටකජු
  • 20. ඇතැම් ඖෂධ
  • 21. කාන්තාවන් ගේ ආර්තවය
  • 22. සුවඳ විලුවුන්
  • 23. සිත් තැවුල්, ත්‍රාසය සහ භීතිය

ඔබ දන්නවාද ?ඉතා ශීත පරිසරයක ජිවත් වුණත් ඇදුම රෝගය එස්කිමෝවරු අතර ඉතා දුර්ලභ ය. එයට හේතුව ඔවුන් වෙසෙන පරිසරය දූවිලි සහ කෘමි අපද්‍රව්‍ය වැනි විසර්ජකයන් ගෙන් තොර වීම විය හැකිය.ගැස්ටි‍්‍රක් අමාරුව ඇති අය අතර ඇදුම තුන් ගුණයකින් වැඩි ය. ගැස්ට්‍රික් අමාරුව නිසා මොළයේ දහවන කපාල ස්නායුව උත්තේජනය වේ. එමඟින් ශ්වාසානාලිකා සංකෝචනය වී ඇදුම ඇති විය හැකි ය.