පෙරදිග ධාන්‍යාගාරය ලෙස අතීතයේ ලෝ ප්‍රකට වූ ශ්‍රී ලංකාව වර්තමානයේ පෙරදිග ආරෝග්‍යශාලාව වන තරමටම බරපතළ ලෙස රෝගීන්ගෙන් පිරුණු රටක් බවට පත් වී ඇත.දේශීය කෘෂිකර්මාන්තය තුළ හෙළි වී වර්ග දහසකටත් අධික ගණනක් මේ පින්බර මාතෘභූමිය මත කෙත්වල ඉස අප කුසගිනි නිවාගත් කාලයේ මෙරට තුළ වූයේ ග්‍රාමීය රෝහල් කීපයක් පමණි. අද වන විට ශ්‍රී ලංකාව පුරා පිහිටා ඇති ප්‍රධාන රෝහල්වල දෛනිකව රෝගීන් 1000- 3000 ක් අතර ප්‍රමාණයක් ද විවිධ රෝග සඳහා වන සායනික ප්‍රතිකාර සඳහා විශාල රෝගීන් ප්‍රමාණයක් ද වශයෙන් රටේ සමස්ත ජනතාවගෙන් විශාල ජන ප්‍රතිශතයක් රෝහල් පෝළිම්වලදී දැකිය හැකිය.

එමෙන්ම පෞද්ගලික චැනල් සේවා ආයතන හා පෞද්ගලික රෝහල්වල පිහිට පතා දිනපතාම එක්රොක්වන රෝගීන් ද සුළු පටු නැත.මේ රෝගීන් අතරින් 90% ක්ම සිටින්නේ බෝ නොවන රෝගවලින් පෙළෙන අයයි. දියවැඩියාව, පිළිකා රෝග, අක්ෂි රෝග, අධි රුධිර පීඩනය, ස්ථූලතාවය , හෘදයාබාධ , මානසික රෝග, ශ්වසන රෝග, වකුගඩු ආබාධ, ගබ්සාවීම් හා දරු උපත් නොමැතිකම ආදී වශයෙන් වූ බොහෝ බෝ නොවන රෝගවලට ප්‍රබල ලෙස හේතු වන්නේ වර්තමාන ආහාර, සිරිත් විරිත් බව වෛද්‍ය නිගමනයයි.

ලොව පුරාම බෝ නොවන රෝග උත්සන්නවීමට බලපාන ප්‍රධාන හේතු කීපයක් වෛද්‍යවරුන් විසින් ඉදිරිපත් කරයි.

  • ආහාර සුසිරිත්වල විනාශකාරි අවදානම් සහගත වෙනස්කම්
  • ව්‍යායාම මදකම
  • ජල දූෂණය හා වායු දූෂණය
  • නවීන කෘෂිකර්මාන්තය සඳහා අධික ලෙස රසායනික පොහොර කෘමිනාශක හා වල්නාශක භාවිතා කිරීම
  • මානසික ආතතිය ඉහළ යාම
  • දවසේ දිගු වේලාවක් එක තැන හිඳගෙන කරන රැකියාවලට බහුතර පිරිසක් යොමුවීම
  • ජංගම දුරකථනය, පරිගණකය හා රූපවාහිනිය මඟින් ක්‍රියාශීලි සමාජය අලස පිරිසක් බවට පත් කිරීම
  • කෘෂි භෝග සඳහා යොදන ග්ලයිපොසේට් හේතුවෙන්

අප රෝගී වන හැටි-බෝ නොවන රෝගවලින් මිදීම සඳහා ඉහත සඳහන් කළ සියලුම දුර්වලතා අප යම් දිනෙක නිවැරදි කර ගත්ත ද නිරන්තරයෙන් ම අප රෝගීන් බවට පත්කරවන පළිබෝධනාශක සහ වල්නාශක මෙන්ම රසායනික පොහොර වත්මන් කෘෂිකර්මාන්තයට ඍජුවම සම්බන්ධ වී ඇත. දිනපතා පිසෙන බත්මුට්ටියෙන් පෙරාගන්නා රසවත් කැඳ, උගුරක් ඉඳහිටවත් පානය කරන්නට අද දරුවන් වාසනාවන්ත නැත.මේ නිසාම වස විස නොයෙදු එළවළුවක්, පලතුරක් ,පලාවක් අපට නෙළාගත හැක්කේ අපේ ගෙවත්තෙන්ම පමණි.