1938 වසරේ චීන පුරාවිද්‍යා මහාචාර්ය චී පූ තෙයි සිසුන් පිරිසක් සමඟ විශේෂ ගවේෂණ චාරිකාවක යෙදුණා. මොවුන් ගවේෂණය කළේ හිමාලය කඳුකරයයි. ගවේෂණය ආරම්භ කරද්දී කිසිවෙක් දැන සිටියේ නැහැ ඔවුන්ට අපූරු සොයා ගැනීමක් කරන්න හැකියාව ලැබේවි කියලා. ඒ සොයා ගැනීම දැන් විද්‍යාවට අභියෝගයක් වෙලා. එය පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන පාදක කරගත් තර්ක විතර්ක අතරේ වඩාත් කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත් වුණා. එය තවමත් නොවිසඳුණු අබිරහසක්. එය හැඳින්වෙන්නේ ‘අබිරහස් ඩ්‍රෝපා පාෂාණ’ Mysterious Dropa Stones කියලයි.මහාචාර්යවරයා සිසුන් පිරිසක් කැටුව හිමාල කඳුකරයට ගියේ එහි ඇති සුප‍්‍රකට ලෙන් ගැන අධ්‍යයනය කරන්නයි. එකිනෙකට යා වූ මේ ලෙන් පිහිටා ඇත්තේ ‘බයංකාර උලා’ BayanKara-Ula නම් කඳුවළල්ලෙයි. අද මේ ලෙන් හරිම ප‍්‍රසිද්ධයි. ඒත් එදා මේ ගැන වැඩි දෙනෙකු දැන ගෙන සිටියේ නැහැ. ඒ ගැන උනන්දුවක් දැක්වුවේ පුරාවිද්‍යාඥයන් විතරයි. මේ ගවේෂණ කණ්ඩායම ඒ ලෙන්වලට ඇතුළු වෙද්දී ම, ඔවුන් ඒවායේ සුන්දරත්වයෙන් උද්දාමයට පත් වුණා.එහි සුන්දරත්වය අත්විඳිමින් ටිකෙන් ටික අඳුරු ගුහා තුළට යද්දී හිටිහැටියේ එක් ගුහාවක තිබී සොහොනක් හමුවුණා. ඔවුන් කිසිවෙක් මෙවැන්නක් අපේක්ෂා කළේ නැහැ. විමසිලිමත් වූ ඔවුන් දුටුවා එහි සොහොන් වළවල් කිහිපයක් ඇති බව. ඒවා නිර්මාණය කළේ කවරකු වුවත් ඒවා ඉතා නිවැරදිව එක පෙළට සිටින සේ තනා තිබීම ගැන ගවේෂණ පිරිස පුදුම වුණා.ඒ සොහොන් ගැබ් පිරික්සද්දී ඒවායේ මළ සිරුරු තැන්පත් කර ඇති බව ඔවුන් දුටුවා. ඒවායින් ඉතිරිව තිබුණේ අස්ථි විතරයි. බැලූ බැල්මට ඒවා මිනිස් අස්ථි ලෙස පෙනුනත් හොඳින් පිරික්සද්දී ඔවුනට තේරුණා ඒවා සාමාන්‍ය මිනිස් අස්ථි නො වන බව. ඒ අස්ථිවල ලක්ෂණ සාමාන්‍ය මිනිසුන්ගේ අස්ථිවලට වඩා වෙනස් වුණා. හැම හිස්කබලක්ම ප‍්‍රමාණයෙන් සාමාන්‍ය මනුෂ්‍ය හිස්කබලකට වඩා විශාල වූ අතර සිරුරු ප‍්‍රමාණයෙන් කුඩා ඒවා වුණා. පාදවල සහ අත්වල අස්ථි ඉතා සිහින්. ගවේෂණ කණ්ඩායම එම අවස්ථාවේදී සිතුවේ මේ අස්ථි හිමාල අඩවියේ ජීවත් වූ වෙනස් විධියේ මනුෂ්‍ය විශේෂයකට අයත් වෙන්න ඇතැයි කියලයි.

අස්ථි දිගින් දිගට ම පිරික්සද්දී ඒ අයට හමුවුණා, තවත් අමුතු දෙයක්, ඒ ලෙන ඇතුළෙන්. එක් සිසුවෙක් දුටුවා සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා විශාල රවුම් පාෂාණයක්. අනෙක් සිසුන්ටත් එවැනිම තවත් රවුම් පාෂාණ හමුවුණා. ගවේෂණ කණ්ඩායමට හමුවුණු පළමු පාෂාණ තැටියේ විෂ්කම්භය අඟල් නවයක්. ඝනකම අඟලක්. පාෂාණ තැටියේ මැද ඉතා නිවැරදි සමානුපාතික විදියට සිදුරක් කපා තිබුණා. එම සිදුරේ විෂ්කම්භය අඟලක්. මේ පාෂාණ තැටිවල සර්පිලාකාර රූ රටා කොටා තිබුණා. ඒවා රූපාක්ෂර විශේෂයක්. ඒ කියන්නේ සන්නිවේදනයට යොදා ගත් පැරණි සංකේත.එදා ගවේෂණ කණ්ඩායම විතරක් නොවේ, පසුව විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්, විද්වතුන් යනාදී කවුරු කවුරුත් උත්සාහ ගත්තා ඩ්‍රෝපා තැටිවල ලියා ඇති කියවන්න. ඒත් හරිගියේ නැහැ. ඩ්‍රෝපා රූපාක්ෂරවලට යම්තාක් දුරට ආලෝකයක් වැටුණේ ඊට දසක දෙකකට පමණ පසුවයි. 1962 වසරේදි මේ රූපාක්ෂරවලින් කියැවෙන දේ අපට තේරෙන බසකට පරිවර්තනය කරන්න චීන විද්‍යාඥයකු සමත් වුණා. ඔහු ආචාර්ය සුම් උම් නුයි. පාෂාණ තැටිවල ඉතිහාසය ඔහු තේරුම් ගත්තා. ඔහු ඒ ගැන පුදුමයෙන් පුදුමයට පත්වුණා. ඔහු හුඟක් උනන්දු වුණා රූපාක්ෂරවලින් කියන්නේ කුමක්දැයි වටහා ගන්න. ඒත් ඒක ලොකු අභියෝගයක් වුණා. ඊට හේතුව එම රූපාක්ෂර කිසිම විධියකින් අපේ පොත්පත්වල හෝ අප දන්නා වෙනත් භාෂාවක හෝ නොතිබීමයි. ඒ විතරක් නොවේ, එම අක්ෂර ඉතා කුඩායි. ඒවා කියවන්න අණ්වීක්ෂයක් අවශ්‍ය වුණා. ඒවා තැටියේ කොටා තිබුණේ සර්පිලාකාරව කිසියම් රටාවකට අනුවයි.

ආචාර්ය සුම් නුම් නුයි, ඩ්‍රෝපා තැටි පරීක්ෂාවට ලක් කළා. ඔහු ඒවායේ කොටා ඇති රූපාක්ෂරවලින් කියැවෙන දේ එසේත් නැතිනම් ඒවායේ සටහන් වී තිබුණු පණිවුඩ පරිවර්තනය කළා. මේ පාෂාණ අවුරුදු 12,000 ක් පැරණි බව ඒ වන විට තහවුරු වී තිබුණා. ඔහු පරිවර්තනය කළ පණිවුඩය එතරම් පැරණි යුගයකට ගැළපෙන්නේ කොහොමදැයි ඔහු පුදුම වුණා. රූපාක්ෂරවලින් කියැවුණේ අපූරු පිටසක්වළ කතාවක්. විශ්වයේ වෙනත් ලොවකින් ආ ගවේෂණ යානයක් අනතුරට පත් වෙලා හිමාල කඳුකරයේ ‘බයංකාර උලා’ ප‍්‍රදේශයට කඩා වැටුණා. තැටිවල සඳහන් වන විධියට යානයේ සිටි ජීවීන් සාමකාමීයි. ඒත් ඒ කාලයේ එම පළාතේ ජීවත් වූ ‘හන්’ නමැති ගෝති‍්‍රකයන්ට ඔවුන්ව වටහා ගැනීමට නොහැකි වුණා. හන් ගෝති‍්‍රකයන් මුලින් සිතුවේ පිටසක්වළයන් ඔවුන්ගේ සතුරන් කියලයි. ඒ නිසා පිටසක්වළින් පැමිණි ඒ අමුත්තන් කීප දෙනෙකු ම ඔවුන් විසින් මරා දමනු ලැබුවා.ඩ්‍රෝපා ජීවීන් කෙසේ හෝ හස්ත සංඥා මගින් ‘හන්’ ගෝති‍්‍රකයන්ට කියා දුන්නා ඔවුන් සතුරන් නොවන බව. කල් ගතවෙද්දී හන් ගෝති‍්‍රකයන් විශ්වාස කළා, ඩ්‍රෝපාවරුන් සතුරන් නොවන බව. ඔවුන්ගෙන් නපුරක් සිදු නොවන බව. කඩා වැටුණු යානය හදා ගෙන ආපහු ඔවුන් ආ ලෝකයට යාමට නොහැකි වීම ඩ්‍රෝපාවරුන්ට ගැටලූවක් වුණා. මේ ඩ්‍රෝපාවරුන් කුරුමිට්ටන් පිරිසක්. ඔවුන් ‘හන්’ ගෝති‍්‍රකයන් සමඟ සාමයෙන් ජීවත් වුණා. ඔවුන් හා විවාහ වුණා. මේ ගෝත‍්‍ර දෙකෙන් පැවැත එන්නන් යැයි සැලකෙන ගෝති‍්‍රක පිරිසක් හිමාල කඳුකරයේ ජීවත් වෙතැයි විශ්වාස කරන අය අදත් ඉන්නවා. මේ ගෝති‍්‍රකයන් ප‍්‍රමාණයෙන් අඩි 4 1/2 ක් පමණ වෙනවා. වැඩුණු අයකුගේ බර රාත්තල් 60 ක්. මොවුන්ගේ මුතුන් මිත්තන් ඩ්‍රෝපාවරුන්ද? ඒක දැනගන්න අපට කවදාවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසයි ‘ඩ්‍රෝපා’ පාෂාණ ලෝකයේ ඇති නොවිසඳුණු අබිරහස් ඉහළින් තියෙන්නේ.