භාග්‍යවතුන් වහන්සේ පස්වග භික්ෂූන් වහන්සේලාට ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ බරණැස ඉසිපතන මිගදාය පිහිටියේ, බරණැසට ආසන්න සාරානාත්හි ය. බුද්ධකාලීන දඹදිව සොළොස් මහා ජනපද අතරින් කාසි රාජ්‍යයේ අගනුවර වූයේ බරණැස් නුවර හෙවත් වාරාණසී නගරය යි. බර්ණා සහ අසි යන ගංගා දෙක අතර පිහිටි බැවින් බාරාණසී නම් වූ අතර, සංස්කෘත භාෂාවෙන් වාරාණසී යනුවෙන් හැඳින්වෙන්නේ වරුණ සහ අසී ලෙස ගංගා නාමයන් සැලකීමෙනි. එම ගංගා දෙක සුප්‍රසිද්ධ ගංගා නදියේ ශාඛා දෙකක් වන අතර බරණැස් නගරයේ බටහිර දෙසින් ගංගා නදිය අදටත් ගලා බසී. බරණැස් නගරයේ සිට කි.මී. 10ක් පමණ දුරින් සාරානාත් හෙවත් ඉසිපතන මිගදාය පිහිටා ඇත. මෙම භූමියට ඉසිපතන යන නාමය ලැබී ඇත්තේ ද කරුණු කිහිපයක් නිසාවෙනි. හිමාලයේ සිට අහසින් වඩින ඍෂිවරයන් මෙහි බසින හෙයින් ද, පෙරලා වඩින කල්හි එම උයනේ සිට අහස් ගමන ආරම්භ කරන හෙයින් ද ඉසිපතන නම් විය. එමෙන්ම ගන්ධමාදන පර්වතයේ විසූ පසේබුදුරජාණන් වහන්සේලා සතියක් පුරා සමාපත්ති සුව විඳ අනෝතප්ත විලෙන් පැන් පහසු වී පිඬු පිණිස මිනිස් වාසයට වැඩම කිරීම පිණිස ඉසිපතනයෙන් බිමට වඩින හෙයින් ද ඉසිපතන නම් විය.

තවද සිදුහත් කුමරුන් උත්පත්තිය ලැබීමට පෙර වැඩසිටි අවසන් පසේබුදුරජාණන් වහන්සේ වන මාතංග නම් පසේබුදුරජාණන් වහන්සේ වැඩවාසය කොට ඇත්තේ ද මෙහි ම ය. අප මහා බෝසතාණෝ අතීත ජීවිතයක මුව යෝනියේ ඉපිද සියලු මුව රැලට නායක වූ නීග්‍රෝධ නම් මුව රජුව සිටියදී එකල රජ කළ බ්‍රහ්මදත්ත නම් රජු, මුව රජුගේ අපූර්ව ගුණ සම්පත්තිය දැක සියලු මුවන්හට අභය දානය ලබා දුන්නේය. නිග්‍රෝධමිග ජාතකයේ දැක්වෙන එම කතාපුවත අනුව මුවන්ට අභය දානය දුන් වන පියස බැවින් මිගදාය යන නම ද ඉසිපතනයට එක්විය. සාරානාත් යන නාමය ද සාරංගනාථ යන්නෙන් සකස් වූවකි. සාරංග යනු මුවා ය. නාථ යනු (පිහිට සැලසූ) ප්‍රධානියා ය. එහෙයින් සාරංගනාථ යනු මුව නායකයා හෙවත් මුව රජුය. එම මිගදාය සංකේතවත් කිරීමට වර්තමානයේ ද මෙහි මුව වනයක් කරවා තිබේ. තවද ජාතක පොත් වහන්සේගේ සඳහන් කතා 436ක ම සඳහන් පරිදි මහ බෝසතුන් ඉපිද ඇත්තේද බරණැස් නුවර බව සදහන් වේ..
ඔබ සැමට තෙරුවන් සරණයි …!