තලෙයිමන්නාරම පිහිටි උප්පුතරවු හෙවත් වෙට්ටිතරවු නමැති ඉඩමට ව්‍යාජ ඔප්පු සකසා විකිණීමක් සිදුකර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ සොහොයුරා වන මොහොමඩ් රිෆ්කාන් බදුර්දීන් යන අය මේ වනවිට විමර්ශන මඟහැර සැඟ වී සිටින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කරුණු වාර්තා කර සිටියේය මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන සිදුකරන බවත් ඒ අනුව රිෆ්කාන් බදුර්දීන් යන අයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශ ලබාදෙන ලෙස දන්වා තිබුණද ඔහු ප්‍රකාශ ලබාදීමට නොපැමිණි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ මීට පෙර ප්‍රකාශ කර තිබිණි ප්‍රශ්න ගත දේපළ අයත් නොබෙදූ අක්කර 280 සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙමින් පවතින බවත් එහි එක් කොටසක විකුණුම්කරුවකු වන අල් මීනාපුරම්, තිල්ලයාඩි, පුත්තලම පදිංචි බදුර්දීන් මොහොමඩ් රිෆ්කාන් යන අය යම් හෙයකින් විදේශගත වුවහොත් එය ඉදිරි විමර්ශන කටයුතු සඳහා බාධාවක් විය හැකි බව පවසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයෙන් සැකකරුට විදේශ ගමන් තහනමක් ලබා ගෙන තිබිණි.

එමෙන්ම ප්‍රශ්න ගත දේපළෙහි තවත් කොටසක් විකිණූ බව කියන තලෙයිමන්නාරම පියර්, තලෙයිමන්නාරම පදිංචි මදාර් මොහිදීන් අන්සාර්ධීන් යන අයගේ ප්‍රකාශයක්ද පසුගිය 01 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහුව පසුගිය 04 වැනි දින සවස අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුට ඇප ලබාදෙන මෙන් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබූ නමුත් මෙම වංචනික ක්‍රියාවට සම්බන්ධ තවත් පුද්ගලයන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමටත්, ප්‍රශ්න ගත ලේඛන පිළිබඳව පරීක්ෂකවරයා වෙත යොමු කිරීමටත් ඇති බැවින් ඇප පනතේ 14 1(අ),1,2,3 වගන්ති ප්‍රකාරව සැකකරුට ඇප ප්‍රතික්ෂේප කර බන්ධනාගාරගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයෙන් ඉල්ලා තිබිණිකරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි ඒ අනුව මදාර් මොහිදීන් අන්සාර්ධීන් යන සැකකරු ඊයේ දින බන්ධනාගාරය මඟින් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබිණි මෙම සැකකරු ලබන 23 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය මෙම නඩුව නැවත එදින කැඳවීමට නියෝග කළාය අබ්දුල් කාසිම් මොහොමඩ් සලාහි යන අය විසින් 2015 නොවැම්බර් මස 16 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන ඒකකය වෙත කරනු ලැබූ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබිණි හංසි නානායක්කාර