කවුරු කුමක් කීවත් තවමත් මේ රටේ රජුන් තනන්නා තමා බව වතු යටිතල පහසුකම් හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමාන් පවසයි මහනුවර මහවැලි රිච් හෝටලයේදී පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ වතුකරයේ ජනතාවට මුවා වී රජුන් තනන්නන් වීමට ඇතැමුන් උත්සාහ කළත් වතුකර ජනතාව එම අවස්ථාවාදී දේශපාලකයන්ගේ උත්සාහයන් ව්‍යාර්ථ කළ බවයි කටමැත ‍දාඩවන ඇතැමුන් රාජ්‍ය බලය දේශපාලන බලය තම අමාත්‍ය බලය පෙන්වමින් ජනතාව රවටා ඔවුන්ගේ ඡන්දය පැහැර ගැනීමට උත්සාහ කළද පසුගිය ජනපති මැතිවරණයෙන් කඳුකරයේ පළාත් පාලන ආයතන 12කින් 11කම බලය ලබා ගැනීමට තමා සමත් වූ බවත් ජනතාව සිටින්නේ කා සමඟද යන්න ඉන් හෙළි වන බවත් ඒ මහතා කීය

මෙතෙක් වතුකරයේ දමිළ ජනතාවට දැනෙන සේවයක් ඉටු කළේ මහින්ද රාජපක්ෂ මහතා බවත් මේ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේද සහාය ලබා ගනිමින් එම සේවය තව තවත් ප්‍රවර්ධනය කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවැසීය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසූ ආකාරයෙන් වතුකර ජනතාවගේ වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වනවිට පැවැත්වෙන බවත් ඉදිරි තෛපොංගල් උත්සවයට පෙර ඒ සම්බන්ධයෙන් හොඳ පුවතක් අනිවාර්යයෙන් වතුකරයේ ජනතාවට ලැබෙන බවත් තොණ්ඩමාන් අමාත්‍යවරයා සඳහන් කළේය ඉදිරි මැතිවරණවලදී වර්තමාන ආණ්ඩුව සමඟ එක්ව පොහොට්ටුවෙන් තරග කිරීමට තම පක්ෂය බලාපොරොත්තු වන බවත් මෙම ආණ්ඩුව පිළිබඳව දමිළ ජනතාවගේ දැඩි විශ්වාසයක් ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය මහනුවර කේ.එල්. සුරවීර