කෝච්චිය. කෝච්චි පීලි දෙකක් උඩ තමයි ගමන් කරන්නේ ඒ බව ඔබත්, මමත් දෙදෙනාම විතරක් නොවෙයි, සෑම කෙනෙක්ම දන්නා කරුණක්. කෝච්චිය පිල්ල උඩ යවන්න නිතර නිතර ඒ ගැන පරීක්ෂාවෙන් හා සුපරීක්ෂාවෙන් ඉන්න ඕනැ ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ නඩත්තු සේවකයන් පිරිසක් දිවා රාත්‍රී නොබලා වෙහෙසී වැඩ කරනවා ඔවුන් දුම්රිය මාර්ගයේ යම් අනතුරක් තියෙනවාද කියලා නිතර නිතර සොයා බලනවා ඔන්න ඔය අතරතුර දුම්රිය මාර්ගයට හරි දුම්රිය පීල්ලට හරි යම් අනතුරක් වෙලා තියෙනවා ඒ ආසන්නයේම දුම්රියක් එනවා ඉක්මනට කෝච්චිය නතර කරගන්න ඕනැ. කෝච්චිය නතර කරගන්න බැරි වුණොත් විශාල විනාශයක් හානියක් සිදුවෙනවා. ඝන මීදුමකින් අවට පිරී ඉතිරිලා ගිහිල්ලා ඒ මදිවට කිසිම සංඥාවක් හෝ ළඟ ඉන්න කෙනෙක් හරි පෙන්නේ නෑ එච්චරටම මීදුම දැන් මොකද කරන්නේ?

කෝච්චි පාරක අලුත්වැඩියාවක් සිදුවෙන විට එහෙමත් නැත්නම් කෝච්චි පාරේ අනතුරක් දුටුවාම කෝච්චියක් ක්ෂණිකව නතර කරගන්න නැතිවම බැරි දෙයක් තමයි රේල් වෙඩි මොනවා… වෙඩි… කෝච්චි පාරට පාව්ච්චි කරනවා? කෝච්චි පාර, එහෙමත් නැත්නම් කෝච්චිය පුපුරන්නේ නැද්ද? රේල් වෙඩි කියන්නේ කෝච්චි පාරේ, කෝච්චි පීල්ලට සවි කරන වෙඩි විශේෂයක් මේක පැතලි වෘත්තාකාර හැඩයකින් සමන්විත වෙනවා මේවා දුම්රිය මාර්ගයේ සේවයේ නියුතු ජංගම මුරකරු ළඟ තියෙනවා ජංගම මුරකරුට අමතරව යතුරුකරු, දුම්රිය රියැදුරු, දුම්රිය ගාර්ඩ් සහ දුම්රිය ස්ථානවල ද මෙම රේල් වෙඩි තියෙනවා ජංගම මුරකරු සතුව ඇති උපකරණ බටයේ මේ රේල් වෙඩි අටක්ම තියෙනවා ජංගම මුරකරු දවසේ පැය 24 පුරාවටම දුම්රිය මාර්ගය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කළ යුතුයි දුම්රිය මාර්ගයට යම් අනතුරක් සිදුවී තිබිය හැකියි එවන් අවස්ථාවලදී දුම්රිය නතර කර ගැනීමට මෙම රේල් වෙඩි භාවිතයට ගන්නවා දුම්රිය රියැදුරුට සහ ගාර්ඩ්වරුන්ට රේල් වෙඩි දීලා තියෙන්නේ තමා සේවය කරන දුම්රියට හෝ දුම්රිය මාර්ගයට හෝ (පීලි පැනීමක් වැනි) අපදාවක් සිදුවුවහොත් දුම්රිය මාර්ගයේ යම් හේතුවක් නිසා ටැබ්ලට් රහිතව පැමිණිය හැකි ඩක්කු, හෝ දුම්රියක් අනතුර සිදුවී ඇති ස්ථානයට ළඟා වීම වැළැක්වීම සඳහායි.

රේල් වෙඩි වාණිජමය වශයෙන් නිෂ්පාදනය වන්නේ 1841 වර්ෂයේදී. රේල් වෙඩි ප්‍රථමවරට සොයා ගෙන තියෙන්නේ ඉංග්‍රීසි ජාතික එඩ්වඩ් ඇල්ෆඩ් කවුෆර් විසින්. එඩ්වඩ් ඇල්ෆඩ් කවුෆර් 1819 දෙසැම්බර් මස 19 දින තමයි ඉපදිලා තියෙන්නේ. ඔහුගේ පියා මහාචාර්ය එඩ්වඩ් සික්ල් කවුෆර් එඩ්වඩ් ඇල්ෆඩ් කවුෆර් 1837 දී එනම් වයස අවුරුදු 18 දී තමයි දුම්රිය පීලි වෙඩි හෙවත් රේල් වෙඩි සොයාගෙන තියෙන්නේ එංගලන්තයේ දුම්රිය ධාවනයේදී වර්ෂා සමයේදී ඇති වෙන දැඩි මීදුමත්, වර්ෂාවත් නිසා වෙනත් දුම්රිය මාර්ග සංඥ‌ා භාවිත කිරීම අපහසු වූ නිසා තමයි වෙනත් විකල්ප සංඥාවක් වශයෙන් රේල් වෙඩි භාවිතයට ගැනෙන්නේ පළමු අත්හදා බැලීම් සිදුකරලා තියෙන්නේ, ක්රෝලිඩොන් දුම්රිය මාර්ගයේ. එහිදී එය අතිසාර්ථක වූයෙන් අද දක්වාම එය භාවිතයට ගන්නවා ඇමරිකාවේදී මෙම රේල් වෙඩි ට්‍රැපිඩො යන නම තමයි භාවිතයට ගන්නේ එහිදී මෙය හතරැස් හැඩයකින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේදී භාවිතයට ගැනෙන රේල් වෙඩි සිලින්ඩරාකාර හැඩයක් ගන්නා අතර එය පැතලිය අඟලක පමණ ගනකමක් තමයි තියෙන්නේ රේල් වෙඩිය දුම්රිය පීල්ලට සවි කරන්නේ එහි ඇති අඟලක් පමණ පළලැති තහඩු පටිවලිනි ඒ වාගේම රේල් වෙඩි භාවිතයට ගැනෙන්නේ හදිසි ආරක්ෂණ ක්‍රමවේදයක් වශයෙනි.

රේල් වෙඩි අනතුරක් ඇති ස්ථානයේ ඉඳලා මීටර් 300ක් දුරින් දුම්රිය එන දිසාවේ දුම්රිය රියැදුරු සිටින පැත්තේ (වම් පැත්තේ) කෝච්චි පීල්ලට සවි කරනවා. මේකට රේල් වෙඩි බඳිනවා එහෙමත් නැත්නම් වෙඩි බඳිනවා කියලා තමයි කියන්නේ එහෙම බඳින පීලි වෙඩි කෝච්චියේ රෝදයේ ගැවුණාට පස්සේ දුම්රියේ ඇති බර සහ රේල් පීල්ලත් අතර ඇතිවන පීඩනය නිසා පුපුරලා ශබ්දයක් පිටවෙනවා රේල් වෙඩියට ආවේණික ශබ්දය දුම්රිය රියැදුරු විසින් එක් ක්ෂණයෙන් හඳුනා ගන්නවා ඒ මගින් දුම්රියේ රියැදුරු යම් බාධකයක් ඉදිරියෙන් ඇති බව දැනගෙන දුම්රිය නතර කරනවා ඒ වාගේම ශීඝ්‍රගාමී දුම්රිය මාර්ගවල දුම්රිය මාර්ගයේ දෙපැත්තේම තියෙන පීලි දෙකෙම මේ පීලි වෙඩි බඳිනවා රේල් වෙඩිවල තියෙන විශේෂත්වය වන්නේ රේල් වෙඩි පුපුරා ගියත් දුම්රියට හෝ දුම්රිය මාර්ගයට හෝ කිසිදු අනතුරක් සිදුවෙන්නේ නෑ ඒ වාගේම ජංගම මුරකරු හෝ ජංගම යතුරුකරු හෝ මෙම රේල් වෙඩි රැගෙන යන අවස්ථාවේදී හෝ පුපුරා යන්නේ නැත්තේ මේවා පුපුරා යාම සඳහා අධික පීඩනයක් ඕනෑ කරන නිසාය. සටහන හා ඡායාරූප ඉන්දක  කරුණාදාස